ඕං අහගන්ටකෝ ප්‍රස්ථා පිරුළු ගැන ඩිංගිත්තක් (563)

post-title

වියපත් වූ කාලය අතැඟිල්ලෙන් රඳවාගත නොහැකි නිසාවෙන් බොහෝ කලකට පසු වට නිලි වැස්ස යට මා, අක්කා හා සිරිසේන මලයා පියනගන අඩිපාරේ පසුපසින් සීරුවට අඩිකඩන්නට වූයේ ගත දැවැටි සුළං රැල්ලේ ද පහස විඳිමින් ය.

මෙදා වංගියේ සරු සාරෙට අස්වනු පීදුණාක් මෙන් මගේ හද අරණ ද සිනහවෙන් මල් ඵල දරන්නට වැර යොදන්නේ ටිකිරි මැණිකාගේ වතකමලෙහි රැඳි සිනහවද හදබිම වටාම දෝංකාර දෙන අතරතුරය. නමුත් මා සන්තකයේ තිබෙන්නා වූ සියල් මිහිරි මතක ක්ෂණයකින් බිඳ හෙලන්නට තරම් ඈ සමත් වූයේ මන්දැයි අදටත් මා හට කුහුලකි. 

"පොඩි අයියණ්ඩි මොකදෑ ඔය බර කල්පනාවක... පොද වැස්ස නොවැ. ඕං ඔය හබරල කොළයක් කඩාගන්ට. ජර මර අස්සෙ උණ සන්නිපාතයක්වත් හැදුනොතින් මොන දෙයියන්ට කියන්නද? "

යැයි දැනමුත්තෙකු සේ පවසමින් තරමක් කුඩා හබර අල කොළයක් ද මා අතට දිගු කළ සිරිසේන මල්ලී මදෙස බැලුවේ හොරෙකුගේ හොර ඇල්ලීමට වාගේය.

එවිටම පසුපසින් ආ පුංචි අක්කාද 

"මං බලාගෙන ටික දොහක පටන් උඹෙ කල්කිරියාව. එදා අලුත් සහල් මංගල්ලෙ වෙලාවෙදිත් හාවක් හූවක් නැතිව ටිකිරි මැණිකා දිහා බලාන හීන ඇහිඳින අපූරුව"

යැයි පවසමින් ඉදිරියෙන් ගමන් ගත් සිරිසේන මලයාගේද පිටට තට්ටුවක් දමමින් "හනික යමං"යැයි පවසමින් මා හට සමච්චලයට මෙන් සිනාසෙන්නට විය.

"හැබෑවටම මොකදෑ බොල ඔය "කොකා බක තපස් රකිනවා වාගෙ" යැයි විමසූයේ පුංචි අක්කාය.

ඉන්පසු එවිගසම සිරිසේන මලයා විමසූ පැනය නම් බරකතාවකට මුල පුරන්නට රුකුලක් වග මා හට පසක් වූයේ ප්‍රශ්නයෙන් බේරී යෑමේ සිහින් සතුට ද පෙරදැරිවය. 

"ඈ පුංචි අක්කෙ, මොකක්ද ඒකෙ තේරුම?"

" කොකා බක තපස් රකිනවා වාගෙ"?

ඔව් මලයා ඒක අපේ පැරණි ප්‍රස්තාව පිරුළක්. 

ඕං අහගන්ටකො හෙනම් ප්‍රස්තාව පිරුළු ගැන.

  • ••••••••••••••••••••••••••••••••••••••••••

ප්‍රස්තා පිරුළු උපයෝගී කර ගනු ලබන්නේ ජීවිතයේ විවිධ ප්‍රායෝගික අවස්ථා අනුව ය. එකී අවස්ථාව හා බැඳුණු සන්නිවේදනාර්ථ වඩාත් පැහැදිලි කර ගැනීමට හෝ අනෙකාට ඍජුව මුහුණටම ප්‍රකාශ කළ නොහැකි අදහස් දැනවීම පිණිස ද ප්‍රස්තාව පිරුළු යොදා ගනී.

ප්‍රස්තා පිරුළු ජනශ්‍රැති විශේෂයකි. මන්දයත් ඒවා මිනිස් සමාජයේම නිපදවී මුඛ පරම්පරාගත මාර්ගයෙන් ව්‍යාප්තවන බැවිනි. අනෙකුත් ජනශ්‍රැති අංග මෙම ප්‍රස්තාව පිරුළු ද මානව ඤාණ සම්භාරය දරා සිටිමින් එන පරපුරෙන් පරපුරට රැගෙන යන මාධ්‍යයකි.

ප්‍රස්තාව පිරුළු විවිධ පදනම් මත නිර්මාණය වී ඇත. බොහොමයක් පිරුළු සඳහා කිසියම් කතාන්දරයක් පාදක වී ඇත. එම කතාන්දරය ජාතක කතාවක්, උපමා කතාවක්, ආගමික හෝ යකුන්, දෙවියන් පිළිබඳ කතා ප්‍රවාදගත කතා හෝ පුරාණෝක්ති වැනි කුමන හෝ කතාවක් පදනම්ව නිර්මාණය වේ. එහි දී අදාළ කතාවේ මුඛ්‍යාර්ථය හෝ පරමාර්ථය එක් වැකියකට සංක්‍ෂිප්ත වී ප්‍රස්තා පිරුළක් ලෙස සංවිධානය වේ. එහෙත් ඇතැම් පිරුළක කතාව පිළිබඳ ඉඟියක් පළවේ. ඇතැම් තැනක කතාව සැගවී ගොස් පිරුළ පමණක් ප්‍රකටව පවතී.

"කොකා බක තපස් රකිනව වගේ "

මීට පාදකව ඇත්තේ ජාතක කතාවකි. එනම් බක ජාතකයයි. එහි එන කොකා තපස්වරයෙක් විලසින් කුළුණු මෙන් ගුණ පෙන්නා උපායශීලීව මාළුන් සියලු දෙනා මරාගෙන කෑවේ ය. එසේ ම "ගගට ඉනි කැපුවා වගෙයි.'' යන පිරුළට අදාළව ජන කතාවක් ඇත. පියාගේ ඉල්ලීම පරිදි එක් පුතෙක් වැටට සිටුවීමට කැලයට ගොස් ඉනි කැපුවේ ය. එම ඉනි පහසුවෙන් ගේ ලගට ගෙනයාමට සිතා ගේ අසලින් ගලා ගෙන යන ගගට ඉනි කපමින් දැමුවේලු. එහෙත් ඒ ඉනි සියල්ල ගගේ ගසාගෙන ගියා මිස ඵලක් වූයේ නැත. මෙම පිරුළ ගොඩනැගෙන්නේ එක් කතාවත් සමඟ ය.

එසේම එක් එක් ප්‍රදේශ ආශ්‍රිතව පවත්නා විශේෂතා පදනම් කරගෙන ද ප්‍රස්තා පිරුළු නිපද වී ඇත. "බඹර කැලේ දි නෑකම් නැ" යනුවෙන් කොත්මලේ ප්‍රදේශයේ ප්‍රචලිත පිරුළකි. නුවර එළිය ආශ්‍රිත බඹර කැලේ නෙළුම් මල් පිපෙන කාලයට ඒ ආසන්න ප්‍රදේශයේ බඹර මී බහුල වේ. බඹර වද පැණිවලින් පිරීයයි. කොත්මලේ ගම්මු නෑදෑයොත් හිතවත්තු ලෙස බඹර කැඩීමට යති. එහෙත් පැණි කෙරෙහි ඇති දැඩි ලොල් බව නිසා නෑදැකම් අමතක කර තනි තනිව බඹර කපා පැණි රැස් කරගෙන යන බව කියැවේ.අද එම සිරිත වියැකී ගොස් ඇතත් ඒ ආශ්‍රිත පිරුළ ව්‍යවහාර වේ.

රජවරු, පැවිදි, ගිහි යතිවරු, මැති, ඇමති, කෝරළේ, විදානේ වැනි ප්‍රභූවරු ආදී සමාජයේ කැපී පෙනෙන සුවිශේෂ චරිත වටා ද පිරුළු බිහි වී ඇත. 

* පල නොකියා පලා බෙදනවා වගේ 

* සඟ රජ වුණත් ගම තුම්පනේද?

* සංඝ රාජ හාමුදුරුවන්ගෙ බලු කපුටු දානෙ වගේ

* තොටගමුවේ වෙලත් බණ බැරුවා වගේ 

ආගමික මති මතාන්තර, ආගමික චර්යා හා පිළිගැනීම වටා ද පිරුළු නිර්මාණය වී ඇත. බෞද්ධ සමාජ පරිසරයෙහි එසේ ව්‍යවහාර වන පිරුළු රාශියකි.

* සේරි වාණිජ වාගේ 

* ආටානාටිය කියනවා වගේ 

* සාසනෙත් ඉවරයි පඩුරුලියත් ඉවරයි

* කරුමෙට බේත් නැතුවා වගේ 

සැබැවින්ද මෙවැනි පිරුළු ආශ්‍රිතව ද යම් යම් කතා - අවස්ථා පාදක වන්නට ඇත.

බල්ලට ඇති වැඩකුත් නෑ - හෙමින් ගමනකුත් නෑ

ලූලා නැති වලට කණයා පණ්ඩිතයා

ආඳා යවා තබාලා වල්පත ගත්තා සේ

කොකාට වාරයක් නම් තිත්තයටත් වාරයක් එනවා

බීරි අලින්ට වීණා වාදනය කරනවා වගේ 

පනින රිලවුන්ට ඉනිමං බඳිනවා වගේ 

වඳුරට දැලිපිහිය අහු වුණා වගේ

කම්මැලි බල්ලා නාන්ඩ ගෙනියනවා වගේ 

එළ හරකයි මී හරකයි වගේ

මෙම පිරුළු සතුනගේ චරියා ලක්‍ෂණ පදනම් කරගෙන බිහි වූ ඒවා ය. එහෙත් ඒවයෙන් ආමන්ත්‍රණය කරනු ලබන්නේ මිනිසා ය. මිනිසුන්ගේ දුර්වලතා පෙන්වාදීමට සත්ත්වයින් උපයෝගී කර ගැනීමකි. එසේම "නොදන්න දෙමළට ගිහින් වරිගෙ නහගත්තා වගේ’ "පව්කාරයට ගල් ගසනවා වගේ” "පරංගියා කෝට්ටේ ගියා වගේ” ජාතිකත්ව හා ආගමිකව අනන්‍යතා විදහා දක්වන පිරුළු ද අසන්නට ලැබේ.

සැබැවින්ම මෙම ප්‍රස්තාව පිරුළු ජනශ්‍රැති විශේෂයකි. නිර්මාණශීලීව ගොඩනගන ලද ජන කියමන් ය. ජන විඥානය සියුම් ලෙස නිරූපණය කරන ප්‍රකාශනයක් අවස්ථාවෝචිත සන්නිවේදනය සඳහා ප්‍රායෝගිකව යොදාගනු ලබයි. ජන සම්මුතීන්, පිළිගැනීම් මෙන්ම සාරධර්ම ආදිය සිටින ප්‍රකාශනයන් ය.ඓතිහාසික හෝ නූතන කවි - කතන්දර හා ජීවන අත්දැකීම් වල සාරාර්ථයන් සංක්‍ෂිප්තව ද නිර්මාණශීලීව : ගොඩනැඟුණු මාධ්‍යයකි.එමෙන්ම එය විවිධ ප්‍රායෝගික සන්නිවේදනාත්මක අවස්ථා අර්ථයෙන් පෝෂණය කිරීමට ද, කලාත්මකව හැඩ ගැන්වීමට ද භාවිත කරනු ලබන අපූරු ක්‍රමවේදයකි.

එබැවින් අපූරු නිර්මාණාත්මක ප්‍රකාශන ක්‍රමවේදයක් ලෙස මානව භාෂාව පෝෂණය කිරීමට ද සාරධර්ම, ගුණධර්ම සමාජ නීති/රීති ආදිය සංක්‍ෂිප්ත ලෙස ඉදිරිපත් කරමින් සමස්ත සමාජය පෝෂණය කිරීමට ද ඉවහල්වන්නා වූ ජනශ්‍රැති සන්නිත්වේදන ක්‍රමයක් ලෙස ප්‍රස්තා පිරුළු පෙන්වාදියහැකිවේ.

Top