ගංකරයේ සී සෑමේ කතන්දරේ (722)

post-title

කඩින් කඩ වැස්සත් මන්දාරම් ගතියත් නිසාවෙන් ගතට දැනුනේ කියාගන්න බැරි කේඩෑරි ගතියකි. උණුසුම් තේ කහට කෝප්පයක් තොල ගාන්ට තිබ්බනම් යෙහෙකැයි සිතුනු මා හෙමින් සීරුවට දෑස් ඇරගත්තේ කුස්සිය පැත්තට යන අදහසිනි.

"පුංචි බණ්ඩා. මා පුතා. මෙහෙ ආවනං. අප්පොච්චි අඩගහනවා"

විගහින් එහෙ මෙහෙ වී තිබු සරම ඉනට වන්නට ගැටගහගත් මා ඉස්තෝප්පුව දෙසට අඩි කැඩුවේ කුතුහලයෙනි.

"මෙහෙං ඈදි ගත්තනං"

මා අප්පොච්චි ලගින්ම හරිබරි ගැහුනේ කුමක්දැයි යන්න විගහින් දැන ගැනීමේ අදහසිනි.

"හෙට මුදියන්සේ සීයගේ කුඹුරු යායේ හාන්ට පටන් ගන්නවා. දැන් කාලයක් තිස්සේම පලමු හීය මං හෑව නෙව. දැන් ඉදිරියට මේක පවරන්ට කාලෙ හරි කියලා මගෙ හිත කියනව "

අප්පොච්චි ඈත බලානම දොඩනවා.

"මගෙ පුතා දැන් දැඩිමේනි වෙලා. මේ ශිල්ප ශාස්ත්‍රයත් හොදින්ම කුඩා කාලෙ ඉදන්ම පුරුදු පුහුණු වෙච්ච නිසා ලොකු අප්පොච්චියි මායි කතිකාකොරගත්තේ මේ වගකීම පුතාට පවරන්ට කියලා. මා පුතා මොකෑ කියන්නේ. මනාපයි නොවැ."

අප්පොච්චි විමසනවා. මගෙ ඉහේ මලක් පිපුණා වගේ. 

"මං මනාපයි අප්පොච්චි"

දන නමා දෙපා නැමද අප්පොච්චිගෙන් අවසර ගත් මා නැගී සිටින්නවාත් සමගම පුංචි මාමයි මුලාදෑනි මාමයි මුදියන්සේ සීයයි ගෙට ගොඩවුණේ බුලත් හුරුල්ලකුත් රැගෙනය. ඒ මාගේ මුල් හීයේ මංගල බුලත් හුරුල්ලයි.

"කරමුලට මුල්හීකාරයෙක් නැතිව හීයක් යා දෙනවා යැයි"

කියා අතීත පුරාතන සාම්ප්‍රදායික ගොයියා සතු කියමනක් ගංකරේ තියෙනවා. මේ කියමන ආවට ගියාට කියපු කියමනක් නම් නෙවෙයි. ඔවුන් එදා කතා කල වචන හසුරවපු හා ක්‍රියා කල සෑම දේකම වටිනාකමක් මෙන් ම අර්ථයක් ගැබ්වී තිබුණා. ඒ වගේම සංස්කෘතියත් එක්ක වෙන් නොවූ බැදීමක් තිබුණා. ඒ එක් අව්‍යාජ බැදීමක් තමයි මේ "මුල් හීයේ අඩහැරය" කියන්නෙත්.

හීයක් හෑමේදී කරමුල කියන්නේ මුල් බානේ හී කාරයාට. මුල් බාන යනු හීය හෑම සඳහා යොදා ගන්නා මුල් ම ගොන් බානටයි. මේ මුල් හී කරුට අවනත වෙමින් පසුපසින් එන ගොන් ගෙවල් දැක්වීම සිදු කල යුතු වුණා. මෙම දැන්වීම "අඩහැරය" නම් වුණා. ඒ හින්දම හීකාරයන්ගේ හී පාර ඔස්සේ ලබාදෙන අඩහැරයට නිසි පරිදි මුල් හීයට අනුවම වැදුණා. ගංකරේ "මුල්හීකාරයා" යන නම පටබැදෙනුයේ හීයට මනා පලපුරුද්දක් තිබෙන ඇත්තෙකුට ම පමණි. කඩිසරකම, අනෙක් අඩහැරපෑමට ඇති දක්ෂතාවය සහ විධි විධාන ලබා දීමට ඇති හැකියාවත් ඒ සමඟම ඔහු සතු වූ මනා පලපුරුද්දත් මේ සඳහා බලපෑවා. මේ මුල් හී කරුට අනෙක් හී කරුවන් අරියාදුවට කතා කරන්න, ඔහුට ඉහලින් වචන කතා කරන්නට කිසි දිනෙක ඉදිරිපත් වූයේ නැත. උද්දැලා සියලු දෙනාගේම හදවත් තුල තිබුණේ බය ගෞරවය මුසු වු වටිනකමකි. කළහුරෙත් - පෙරහුරෙත් දැනගෙන සිටින මුල් හී කරුට ගරු කිරීම එදා ගොවි ජන සමාජයේ සම්මත චාරිත්‍රයක් වුණා.

හීයකට අත තිබූ පමණින් ඔහු මුල් හීකරුවෙක් බවට පත් නොවන බව සම්මතයකි. මේ සඳහා හීයේ වත්පිලිවෙත් වගේම ඔහුගේ ද ඇවතුම් පැවතුම් පිරිසිදු විය යුතු වුණා. කුඩා කාලයේ පටන් ම මේ සඳහා ඉගෙනීම සහ වැඩිහිටියන්ගේ අනුදැනුම මත ක්‍රියා කිරීමට සිදු වුණා. දැඩිමේනි වීමෙන් පසුව ඔහුගේ දක්ෂතාවයන් හා ක්‍රියාවන් මේ සඳහා අවශ්‍ය පරිදි සකස් වී ඇති බව ගංකරේ වැඩිහිටියන්ට පෙන්විය යුතු වුණා. මේ හේතුවෙන් ගංකරේ තරුණ ගැටවරයින් මුල් හීකරුවෙකු වීමට පෙරුම් පිරුවා කීවානම් ඉතා නිවැරදියි.

ගංකරේ තවත් සම්මතයක් මේ හා බැදී පැවතුණා. එනම් මුල් හීකරුවෙකු වීම සඳහා අවම වශයෙන් තුන් බානක් වත් හී හාන පොලක් විය යුතු වුණා. එසේ හී හෑමෙන් පෙනී ගියේ ඔහුගේ පලපුරුදු හැසිරීමයි. ඒ කෙසේ වෙතත් ගංකරේ ගොයියාගේ පුරුද්දක් මෙන් ම වඩාත් රුචිකත්වයක් හිමි වුණේ හත්බානෙන් හී හෑම. මේ සඳහා විශේෂයෙන් ම මුල් හීකරුවෙක් අවශ්‍ය වුණා. ඒ මුලින් ම දක්කන ගොන් බානට අනුව අනෙක් ගොන් බාන් දක්වා හීය නියම පරිදි යොදා ගැනීමට හැකිවීම නිසාවෙන්.

හත්බානෙන් හී හානවා කියන්නේමත් මංගල කරුණක් තමයි. හත් බානක් කුඹුර හාන කොට එකවර බාන් හතකුත් හී කරුවන් සත් දෙනෙකුත් එකවර හී විටකට වැටෙන නිසා ලියැද්දේ බිම නිසි පරිදි පෙරලුමට ලක් වුණා. මේ නිසා කුඹුර සරුසාරව නිසි පරිදි වගාවට අවශ්‍ය අනුව සකස් වීම සිදු වුණා. මෙයට මූලික වන්නේ මුල් හී කරු. ඔහුගේ දක්ෂතාවය හා කැපවීම මත මෙම හත් බානම ඔහුට අවනත වී ක්‍රියා කිරීමේ ප්‍රතිඵලයක් ලෙසයි. මේ කරුණ ගංකරේ කොයි කවුරුත් නොවලහා පිලිගත් මතයක් වුණා. මේ හේතුවෙන් කාලය විතරක් නෙවෙයි ශ්‍රමයත් ඉතුරු වුණා. ඒ නිසා අඩු කාලෙකින් වැඩි පංගුවක් හා ඉවර කරන්නටත් පුලුවන් වුණා.

පළපුරුදු මුල් හී කරුවෙකු තෝරා ගැනීමෙන් මේ චාරිත්‍ර, කාලය හා යන සියලු දේ මනාව හසුරුවා ගැනීමට හැකි වුණා. ඒ වගේ ම මුල් හීය හාගෙන යන අතර ඒ හීයෙන් ලියැද්දේ බිම් පෙරලුම අහවර නම් අලුත් අතුරක් පටන් ගැනීමට ඔහුට පලපුරුද්ද තිබුණා. ඒ ඔහුගේ හිතේ හෝදිසියෙන්. මෙහි දී මුල් හීකරු බිම් පෙරලුම අහවර නම් දෙවෙනි හී කරුට මේ බව දනවනවා. 

"මුල් අතුර අහවරයි. මැද අතුරේ වරෝ...ඕ..ඕ..ඕ..හෝයි.." කියලා අඩහැර පානවා. එහි දී දෙවෙනි හී කරු මේ බව දෙවෙනි හී කරුට පවසනවා. මෙය සන්නිවේදන මාධ්‍යකි. මේ සන්නිවේදන ක්‍රමය මත පදනම් වූ සාම්ප්‍රදායික ගැමියාගේ අව්‍යාජ සමාජීය ලක්ෂණක්. මුල් හී කරුවෙකු වීමෙන් ගමේ කොයි කාගෙත් හිත් දිනා ගැනීමට පමණක් නොවෙයි. වැඩිහිටියන්ගේ ද පවා ගෞරවයට අභිමානයට පත් වුණා කීවනම් නිවැරදියි. ගං කරේ ඇත්තන් තමන්ගේ මුල් හීය හා ගැනීම පිණිස මුල් හී කරුගේ නිවසට පැමිණ බුලත් දී ආරාධනා කිරීමත් හී පොලේ බත් බුලත් බෙදන විට පවා මුල් ම පංගුව කොයි වැඩිහිටියා සිටියත් මුල් හී කරුට ලබා දීමත් ඒ අතර වුණා. මේ තරම් වූ ගෞරවයක් ලැබීම හේතුවෙන් තරුණයින් පවා මෙම මුල් හී කරු වෙත දැක් වූ ආදරය සෙනෙහස පරිපූර්ණ වුණා.

සමාජීය සංස්කෘතික හා ආගමික පරපුරකින් පැවතගෙන සාම්ප්‍රදායික යුතුකම් හා වගකීම් අතර පැවති චාරිත්‍ර වාරිත්‍ර වෙනස් වූයේ ඒ එදිනෙදා සිදු කරනු ලැබූ විවිධ ක්‍රියාකාරකම් මතය. සොබාදහමට රුචිකත්වයක් හා ඇල්මක් දැක්වීමට පුරුදුව පැවති අතීත ගැමියා තුල පැවති සෞන්දර්යාත්මක සෙනෙහෙවන්තකම් හේතුවෙන් ඔවුන් අතර පැවති ගෞරවය හා අභිමානය ක්‍රියාවන් මත පදනම් වුණා. ඒ සාම්ප්‍රදායික හෙල ගොවිතැන් ක්‍රම මත ද බද්ධ වී පැවතුණා. මේ හේතුවෙන් ඒ සඳහා නායකයින් හා අත්තම් ක්‍රම හා ජන කවි ජනශ්‍රැතිය මතින් බිහි වුණා. එසේ බිහි වූ මානව මානවීය ජනශ්‍රැතිය හා චාරිත්‍රයන් ඒ මත පදනම් වෙමින් අතීතයේ සිට මේ දක්වා එකිනෙකා පරයමින් බිදෙමින් නැඟෙමින් ඔබ මා අතරට ගෙන පැමිණෙනවා. ඒ සියල්ල තුල ඇත්තේ හුදෙක් ඔවුන්ගේ දාඩිය සුවඳ මුසු වූ නිර්ව්‍යාජ හා සරල වූ අපේ ඇත්තන්ගේ ගැමීත්වයම පමණි.

Top