මංගල පෝරුවක් මත නංවා යුවලක් විවාපත් කිරීමේ චාරිත්‍රය සිංහල බෞද්ධයාට විශේෂිත වූ අවස්ථාවකි. මෙම චාරිත්‍රය විවිධ කුල ගෝත්‍රයන් අතර විවිධ ජාතීන් අතර චාරිත්‍ර වශයෙන් වෙනස් වූ වද ඔවුන්ගේ සාම්ප්‍රදායික පැවැත්ම අනුව අපට ආගමික, සාමාජීය හා සංස්කෘතික වශයෙන් වැරදි නිවැරදි හා සුභ අසුභ ලෙස වර්ග කිරීමට නොහැක. එය එක් එක් ජාතීන්ට අනන්‍ය වූ චාරිත්‍ර වාරිත්‍ර විධි ක්‍රමයකි. මිනිසා ඉතිහාසය පුරාම සිය පැවැත්මේ දී මුහුණදුන් විවිධ ක්‍රියාකාරකම් හා සමාජානුයෝගීව බද්ධ වූ සාම්ප්‍රදායික චාරිත්‍ර ක්‍රම අද දක්වා හැලෙමින් පැවතෙමින් මෙසේ දිගහැරී පවතී. එවැනි මහා සිංහලයේ සාම්ප්‍රදායික සිරිත් ගොන්නේ එක් අවස්ථාවක් ලෙස මෙම පෝරු චාරිත්‍ර මෙසේ විස්තර කළ හැකි ය.
මංගල අවස්ථාවක ප්‍රධාන ම අවස්ථාවක් ලෙස මෙම පෝරු මස්තකය හැඳින්වීමට හැකිය. මෙම පෝරුව පිලිබඳ විවිධ මත සහ විවිධ චාරිත්‍ර වාරිත්‍ර රැසකි. මුලින් ම මංගල පෝරුවේ උපත පිළිබඳව කතා කල යුතු ය. ඒ අතරින් ප්‍රධාන ම මත තුනක් සඳහන් කළ හැකිය.
මහා සම්මත රජු කාලයේ සිට ම පෝරුව පැවත එන බවත් මහා සම්මත රජු සහ මැණික්ගල කුමරිය/මුතුකෙලි කුමරියගේ විවාහය සිදු කිරීම සඳහා චන්දගිරි පර්වතයේ වෙසෙන විස්කම් දිව්‍යරාජයා නරලොවට පැමිණ ප්‍රථම මංගල පෝරුව නිර්මාණය කළ බව,
පුරාතනයේ මහා සම්මත සපිරි සරණ පාවාදෙන
නරා භවනේ විස්කම් දෙවි වැඩලා රන් සඳුන් රැගෙන
සරාගියේ විස්කම් දෙව් මඟුල් පෝරු සිරිත ලෙසින
පුරාතනේ මුල එතැනයි මඟුල් පෝරු ලොව පැවතුන
නෙළුම් මලක ඕපපාතිකව උපන් පද්මාවතී කුමරිය බරණැස රජුට පාවා දුන් තැන සිට මංගල පෝරුව නිර්මාණය වූ බවත්,
යශෝදරා කුමරිය හා සිදුහත් කුමරුගේ විවාහයෙන් මෙය පැවති බවත් ද විශ්වාස කරනු ලබයි,
සරණ කරනා වරේ සුදුහත් කුමරු දේවිය යශෝදරා
දරන මල්දම් පුන්කළස් සව් සතර රුවනින් විසිතුරා
සුරනා විස්කම් මඟුල් මණ්ඩපයක් නිම කලේ සිරිසරා
දෙරණ පළවෙනි එදා සිට මේ මඟුල් පෝරුව මනහරා
යශෝදර නම් රූප රැජිණිය සකල දඹදිව බබලනා
බිසෝ කොටගත් දිනේ සිදුහත් කුමරු වසවතු පරදනා
යසෝ සිරි දැරු මඟුල් පෝරුව මැව්න විස්කම් රුවනිනා
දිසෝ දිසි ඉන් පතලවිනි මේ මඟුල් පෝරුව සෙත දෙනා
මෙම පෝරුව යන වචනය සිංහල සාම්ප්‍රදායික විවාහයේ දී නාමයක් ලෙස පැවතෙනුයේ ගොවි මෙවලම් හා එදිනෙදා ගොවිතැන සදහා භාවිතා කරන භාණ්ඩ වලිනි. කුමර කුමරි බඹසර හොදින් රැකගෙන පැමිණි යුවලකගේ මංගල අවස්ථාවෙහි මෙම පෝරුවේ චාරිත්‍ර පැවැත්වීම පුරාතන සම්ප්‍රදාය යි. මෙම මංගල පෝරුව සෑදීමේ දී පොළොවට මදක් ඉහළින් පිහිටන සේ සකස් කරන ලද අතර මෙය මල්කම් ලියකම් වලින් අලංකාර කරනු ලබයි. මෙයින් සංකේතවත් කරේ ඔවුන් දෙදෙනා අද විශේෂ දෙදෙනෙක්, කුමරියක් හා කුමරෙකු යන සංකල්පය යි. විශ්වකර්ම දිව්‍යපුත්‍රයා විසින් සාදන ලද පෝරුවේ දොරටු හතරක් තිබූ බවත්, මේ දොරටු සතර සතරවරම් දෙවිවරු වන ධෘතරාෂ්ඨ, විරූඩ, විරූපාක්ෂ හා වෛශවණ යන දෙවිවරු රැකවල් ලෑ බවත් සඳහන් වේ. මේ හේතුවෙන් දැනුදු සිංහල බෞද්ධයාගේ පෝරු සාදන විට සතරවරම් දෙවිවරු සඳහා පුන්කලස් සතරක් සාදා එහි පහන් සතරක් දල්වනු ලබයි.
සතර දොරටුව තොරණ සතර ද සිව්වරම් දෙවිවරු තනා
නොහැර නවග්‍රහ මඩල මුදුනේ එරන්කොත තබමින් මනා
කෙස ගජලතා සියපත් දිළෙන සඳකඩ පහනිනා
පවර දෙව් විමනක සිටිය දී උඩු වියන් බැදි විලසිනා
සිංහල කලා සම්ප්‍රදායට අනුව පෝරුව සෑදීමේ දී අව් අතු, මුර අතු, ලියවැල්, හංස ගිරා ඇත් සිංහ රූප, ඉරහද, පුන්කලස්, සඳකඩ පහන යොද ගනු ලබයි. පෝරු කවි වලට අනුව පෝරුව සෑදිය යුත්තේ රන් පැහැයෙනි. මේ සඳහා ගොක් කොළ යොදා ගන්නා අතර ගොක් කොළ කලාව සිංහලයාගේ කාටත් පොදු වූ කලාවක් විය. කලින් භාවිතා කළ පෝරුවක් අලුත් විවාහයක දී යොදා ගන්නේ නැත. එය තහංචි විය. විශේෂයෙන් රත් හඳුන්, සුදු හඳුන් ,ගොවි මෙවලමක් වන පෝරු ලෑල්ල සහ වර්තමානයේ කොස් ද යොදාගනු ඇත. මෙයින් අදහස් කරනුයේ සශ්‍රීකත්වය යි. මෙම කිරි ගස් තෝරාගැනීමේ දී මොවුන් අනුගමනය කළ විශේෂ චාරිත්‍ර විය. ඒ අතර,
සොහොන්පිටි අසල ගස්, අකුණු වැදුන ගස්, ප්‍රතික්ෂේප විය. ( අකුණු වැදුන ගස් ගුරුකම් සඳහා යොද ගන්නා බව පෙර පැවති විශ්වාසයකි.) මෙම ගස කැපීමට පෙර සතරවරම් දෙවිවරුන්ට ආරාධනා කර වැද නමස්කාර කොට අවසරගෙන ගස කැපීම සිදුකරනු ලබයි. ඉන්පසු පෝරුව සෑදීමට ප්‍රථමව හොදින් නා පිරිසිදු වී දෙවියන් බුදුන් වෙත වෙන වෙනම මල් පහන් පූජා කොට වැද නමස්කාර කර ආශිර්වාද ලබා ගන්නා අතර නියමිත සුබ හෝරාවක හා හා පුරා පෝරුවේ වැඩ ආරම්භ කරනු ලබයි.
මෙම පෝරුව නිර්මාණයේ දී විශේෂ මිනුම් ක්‍රමයක් යොදාගනු ලබයි. මේ මිනුම් ක්‍රමය විවාහ බදින දෙදෙනාට අනුව සිදු කරනු ලබයි. පෝරුවේ දිග වඩු රියන් 16 ද පළල වඩු රියන් 15 ( වඩු රියනක් දළ වශයෙන් අඟල් 31) දොරටු 8ක් හා මුලු 8ක් සෑදෙන ආකාරයට සැකසිය යුතු ය. පෝරුවේ කටයුතු සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය කිහිපයකි. ඒ අතර හාල්, ඊතණ, නිරුස්ස, අබ, පිච්ච මල්, බුලත් වගේම මනාලියගේ පාර්ශ්වයෙන් පෝරුව මතට සුදු රෙදි යාර 2, සුදු හාල් කිලෝ 1, පඬුරු, පිරිත් නූල් කැබැල්ලක්, කෙන්ඩිය හෝ සංඛය, පැන් වැඩීමට භාජනයක්, පොල් මල් 4, පොල් ගෙඩිය, මැටි පහන් 4, පහන් තිර, පොල්තෙක් 1/2, කැත්තක් සහ මනාල පාර්ශ්වයෙන් සඟල හුරුළු සඳහා බුලත්, කච්චි හේලය, මංගල මුදු, තැල්ල පෝරුව සඳහා ලබා දිය යුතු වේ.
මෙහි ඇති තවත් චාරිත්‍රයක් ලෙස නවග්‍රහයන් හා දෙවියන් බුදුන් වන්දනාමාන කිරීම දැක්විය හැකිය. එහි දී සංකේතයක් ලෙස පෝරුවේ ඉහළ මෙම දෝෂයන් තිබේනම් පලවා යන්නට වියනට යටින් නව කොළ අතු එල්ලීම සිදුකරනු ලැබේ. ඉඹුල්, දිවුල්, කරඳ, කොළොන්, නුග, බෝ, වැටකේ, රඹ සහ කොහොඹ කොල යොදා ගනු ලැබේ. පෝරුවේ අලංකාරය සඳහා පෝරු බිත්තියේ නිර්මාණය කරන කැටයම් වල ද රවුම් 6ක් සහිත කොටු 9ක් සිටින සේ නිර්මාණය කරන අතර එයින් ද නවග්‍රහයන් සංකේතවත් කෙරේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මංගල කරුණු සංකේතවත් කිරීම සඳහා හාල්, පරිප්පු, මුං, කොල්ලු, වැනි දෙපිලි නොවන ධාන්‍ය වර්ග 7ක් යොදාගෙන අටමඟල සාදනු ලැබේ. නැකැත් 27 සංකේතවත් කිරීම සඳහා ගොක්කොල 27ක් ගෙන කලාලයක් ගෙතීමත් එය පෝරුව මත තැම්පත් කිරීමත් සිදු කරනු ලැබේ. මේ තුලට විවාහ යුවලගේ සියලු දෝෂ උරා ගන්නා බවත් දෙපිලි නොවී විවාහය සාර්ථක වන බව පුරාණ හෙළ විශ්වාසය යි.
මෙම පෝරුවේ යොදා ගන්නා මංගල වස්තූන් අතර සහල්, බුලත් සහ ජලය ප්‍රධාන වේ. සහල් යනු ග්‍රැමිනේ තෘණ පවුලට අයත් සශ්‍රීකත්වයේ සංකේතයකි. මේ සඳහා පැරැන්නන් භාවිතා කරනු ලැබූයේ ඉතාම උසස් ගණයෙහි වී වර්ග වූ සුවඳැල් සහ රත්හැල් ය. මෙම රත්හැල් වැඩි වශයෙන් ව්‍යවහාර වූයේ රත් කරයැයි ලෙස ය. කෘෂිකාර්මික රටක් වීමත් ගැමියාගේ සුභ යැයි සම්මත සෑම කටයුත්තකට ම සහල් යොදා ගැනීමත් හේතුවෙන් පෝරුව සඳහා මෙය ගරුත්වයෙන් යුතුව භාවිතා විය. එ වැනි ගෞරවනීය සහල් පාගා පොරුන්දු දෙන එකම රට ලෙස ශ්‍රී ලංකාව හඳුන්වා දිය හැකි ය. එවැනි පවිත්‍ර ස්ථානයක් ලෙස මෙම පෝරු මස්තකය එදා හෙළ සිරිතෙහි භාවිතා විය.
අබ - ඇස්වහ කටවහ නැති කිරීම, විෂබීජ උරා ගැනීම හේතුවෙන් මෙය යොදා ගනී.( ගොක්කොල සදහා ද මෙම හැකියාව පවතී)
බුලත් - දෙවියන් පරිහරණය කළ උතුම් දෙයක් ලෙස මෙය සඳහන් වේ. පිරිසිදු වස්තුවක් සහ මෙහි කිලි නොමැති බව සඳහන් වේ. පෝරුව මත සඟල හුරුලු මාරුව හා භූමි දේව වන්දනය හතර පේරුව වැදීමේ දී මෙය යොදා ගනු ලැබේ.
අලුත් ලිඳකින් කාක්කෝ කෑ ගැසීමට පෙර ලබා ගන්නා ජලය සත් වතාවක් පෙරා නැවුම් මැටි භාජනේකට ගෙන පිරිත් කොට පෝරුවට රැගෙන ඒමත් මෙහි දී විශේෂ ලක්ෂණයකි. එහෙදී ජලයට පවා ගෞරව කරන අතර පෝරුවේ දී ජලය පැන් ලෙස ව්‍යවහාර කෙරේ.
උතුම් තෙරුවන් වඳින පන්සිල් රකින ගුණදම් රකින ඇත්තෝ
බැතින් ගුරුවරු දෙමව්පියනට නිතර බුහුමන් කරන ඇත්තෝ
බැතින් සතහට මෙත් ගුණෙන් යුත් සතර ශිල්පය දැන උගත්තෝ
උතුම් සුභ මංගලම් කීමට මෙකී අය රජ තෝර ගත්තෝ
පැරණි චාරිත්‍ර ක්‍රම වලට අනුකූලව අශ්ටක කීම සඳහා මනාලියගේ සහ මනාලයාගේ යන දෙපාර්ශ්වයෙන්ම කෙනෙකු යොදා ගනු ලැබේ. දෙදෙනාගෙම ගුණ ගායනා මෙන් ම අශ්ටක මොවුන් ගයනු ලැබේ. මෙහි දී අශ්ටක කියන තැනැත්තා සිංහල බෞද්ධයෙකු විය යුතු අතර මස් මාංශ වලින් වැළකී මෙය සිදු කළ යුතු ය. පැයක් පමණ අශ්ටක ගායනා කරන අතර පුරාණ චාරිත්‍ර වලට අනුව පෝරුමස්ථකාරූඪ කරනුයේ කන්‍යාවියන් පමණි. ඒ අනුව මනාලියගේ හා මනාලයාගේ පාරිශුද්ධත්වය පෙන්නුම් කිරීම මෙම පෝරුවේ අරමුණ වී තිබෙන්නට ඇත.
අපේ සිංහල සංස්කෘතිය තුළ ලිංගිකව එකතු වීමට අවසරය විවාහ වීමෙන් පසුව ලැබේ. එය චාරිත්‍ර මත සිදුවන එක් අවස්ථාවකි. මෙය තුලින් සමාජයට කීමට මොවුන් උත්සහා කරනු ලැබූයේ වගකීම් සහිත සමාජයක් තුළ ජීවත්වන ඇඹුසැමියන්ගේ වගකීම් හා යුතුකම් ය. පෝරුවට නැගීමේ දී පවා මනාලිය දකුණු පැත්තෙනුත් මනාලයා වම් පැත්තෙනුත් ගොඩවීම සංකේතවත් කරේ මේ ලිංගිකත්වය යි. පිරිමියාට වමත්ව හා ගැහැණියට දකුණත්ව ආකර්ශනය වැඩි වන බව විශ්වාසය යි. මේ සියලු පෝරු චාරිත්‍ර අප සමාජයට එකතු වන්නේ හින්දු ආගම හා සම්බන්ධ වූ බමුණු සමාජයෙනි. වර්තමානය වන විට මෙම සාම්ප්‍රදායික සිරිත් විරිත් අඩු වශයෙන් භාවිතා වීමත් සංස්කෘතිය තුළ පරිහානිකර තත්ත්වයකට මුල් වෙමින් පවතී. අතීතයේ පැවති මේ සෑම චාරිත්‍රයක් සඳහාම සමාජයට පණිවිඩයක් තිබිණ. ඒ තුලින් සම්මත විවාහයන් අද ද ගෞරවනීය හා පාරම්පරික ලෙස පෝෂණය වී ඇත. ඒ ගෞරවනීය විවාහයන් තුළ ඇත්තේ චාරිත්‍ර පමණක් ම නොව ආදරය තුලින් බැදුණු සෙනේහවන්තකමකි. පෝරුව කියන්නෙත් එවැනිම වූ විටෙක සතුට විටෙක සෙනෙහස උතුරන ගෞරවනීය හැගීම්බර කදුලක් වැටෙන සුන්දර අව්‍යාජත්වයේ හා ශ්‍රී ලාංකීය සංස්කෘතියේ විශිෂ්ට නිර්මාණයක් නොවේ ද.?