ගම් පියසට ඉරගල මෝදුවනවාත් එක්කලාම හීං නැන්දා කඩිමුඩියේම බුලත් මණ්ඩිය ළඟට විත් බුලත් කඩන්නේ කොහේ හෝ යන්නට සූදානමින් වාගේය. ටිකිරි නගා මෙන්ම මද්දු අක්කා ද පෙනෙන්නට නැත. සුදා අක්කා නම් පිළිකන්නේ වතුසුද්ද ගහේ මල් නෙළනවා වාගේ යාන්තමට පෙනෙයි.
වෙනදාට නම් මේ වේලාව වන විට මද්දු අක්කා " පොඩ්ඩෝ" යැයි මා අමතන්නේ උදෑහනක්කේම වතුර ගෙන ඒමට කලගෙඩි දෙකක්ද අතැතිවය. මාත් ඈ සමග ආඬි ලිඳ දෙසට අඩි කඩන්නේ දත කට මැද ඇඟ පත සෝදාගන්නටය. ඒත් අද නම් ඈ පැමිණෙන සේයාවක් නැතිවා වාගේය.
" අම්මා... මං මද්දු අක්ක ඇන්නගෙනම වතුර ඩිංගිත්තක් ඇඟට දාගෙන එන්නම් හෙනම්..."
එසේ කියූ මා පිළිකන්නෙන් එළියට පය තැබූයේ මද්දු අක්කා අද නම් එන බවක් පෙනෙන්නට නැති නිසාය..
"මේං මෙහෙ හිටු පොඩ්ඩො. හීං නැන්දම්මලා නැකැත් රාළලාගේ ගෙදර යන්ඩ ලක ලෑස්ති වෙනවා මයෙ හිතේ. උඹ අද තනියම ගොහින් ඇඟ පත හෝදාගෙන වරෙං මයෙ පුතේ..."
එසේ කියූ අම්මා අක්කාට ඇහෙන්නට පමණක් හොර රහසේ මොන මොනවාදෝ කුටු කුටු ගාන්නට වූ හෙයින් මා සිත තුළ ඇති වූයේ දැඩි කුහුලකි.
"හැබෑවද අම්මා? ටිකිරි නගා ගෙට වෙන ලකුණු පෙනෙන විත්තිය අත්තම්මා ඊයෙ පෙරේදත් කියනව මං අහගෙන"
යැයි පොඩි අක්කා ඊට දුන් පිළිතුර නම් මදක් අඩු සරයකින් වුවද මගේ සවණතට වැටුණේ මා කුස්සි යාලත්තේ සිට හොර රහසේම ඊට කන් දුන් නිසාවෙනි.
මල්වර වූ පොඩිස්සියක් හිස දිය නාවා අහවර වන තෙක්ම පිරිමියෙකු ඇස ගැටීම තහංචි යැයි මා මීට පෙරද අසා ඇත්තෙමි.
මා හැම නිතරම පාහේ මද්දු අක්කාගෙන් ජන ගායනා ඉගෙනුමට එහි යාමට පුරුදුව සිටියෙමි. කෙසේනමුත් සැවොම මා අමතන්නේ "පොඩ්ඩෝ" යන නමින් වුවද නාඹර වියේ පසුවන කොලු ගැටයෙක් වන නිසාවෙන් ටිකිරි නගා හිස දිය නාවන තෙක් යළිත් ඒ ඉසව්වටවත් නොයා සිටීමට මම එවෙලෙහිම සිතා ගත්තෙමි.
හැබෑවටම දැරියක මල්වර වීම නොහොත් "පිළිහොඳ වීමෙන්" පසු ජනයා අතර සම්මත වූ තහංචි අනුව තම ඇවතුම් පැවතුම් පවත්වාගෙන යාම ගොංගොඩේ කොයිකාගේත් සිරිතකි.
මල්වර සමය ගෙවා හිසදිය නාවන තෙක් කිසිදු පිරිමියකු ඇහැවැටීම ජනසම්මත තහංචියකි. මේ නිසා. මල්වර වූ දැරියන් සිටිනුයේ වැදුම්ගෙහිය. නැති නම් කිලි පැදුරක ය. ඇය තනි කිරීම ද තහංචි බැවින් හැම නිතර ම ස්ත්‍රී පරාණයක් ඒ අසල රැදී සිටීම අනිවාර්යයෙන් සිදුවියයුත්තකි. බොහෝ විට මල්වර දැරියගේ තනි රකින්නේ හේනේ නැන්දා ය. ඒ කාලය තුළ දැරිය වැඩිහිටි ඇන්තන් හා පයුරුපාසාන පැවැත්විය යුත්තේ කෙසේ දැ යි පහදා දීම හේනේ නැන්දාගේ සේම අවැස්ස නැන්දම්මලාගේ ද වගකීමකි.මල්වර වී හිසදිය නාවන තෙක් කිලි ආහාර ගැනීම ද තහංචි ය.
මෙම කාල සීමාවේදී ආහාර ගත යුත්තේ ගංකරයේ වෙදාණන් ලබා දෙන වට්ටෝරුවට අනුව ය. සැබැවින්ම මෙම සමය අවසන් වන්නේ හිසදිය නැවීමෙනි. ඒ චාරිත්‍ර වලින් පසුවද දැරියට තවත් බොහෝ තහංචි පවරා තිබේ. ඒ සියලු තහංචි මගින් බලාපොරොත්තු වන්නේ දැරියගේ රැකවරණයයි.
තනිපංගලමේ ගංගෙදර සිටීම, තනිපංගලමේ ඉර මුදුන් යාමයේ හා ගොම්මන් වෙලාවේ පාරවල් වල වන බැද්දේ ඇවිදීම තහංචියකි. දැරිය මල්වර වූ පසු ව තනිපංගලමේ දමා යෑම තනිපංගලමේ සිටීමට ඉඩ අවසර දීම ද තහංචි ය. රැකවරණය සඳහා තවත් කිසිවකු ඇය අසල සිටිය යුතු ය.
තව ද, හිසදිය නෑමට තනිපංගලමේ යෑම ද තහංචියකි.
වැවට ගඟකට ගොස් දිය නාන විට ඇඳුම් කැඩුම් ගැලවිය යුත්තේ ඒවා පිරිමි ඇත්තගේ ඇහැ මග හැරවීමෙනි. පිරිමි ඇත්තන් බලා සිටින විට ඒ ඉදිරිපිට මල්වර වූ දැරිය ඇගලුම් ගැලවීම යළි ඇඳීම තහංචි ය. එමෙන් ම පිරිමි ඇත්තන් ඉදිරිපිට ඇඳුම් කැඩුම් සෝදා දැමීම පවා තහංචියකි.
වැවේදී නාන මංකඩේ දී පමණක් නො ව, ගංගෙදර දී ද නැති නම් වෙනත් තැනක වුව නාඳුනන පිට පිරිමි ඉදිරිපිට රෙදි පෙරෙදි ගැලවීම, යළි ඇඳීම, ස්ත්‍රී වස්ත්‍ර අපුල්ලා ගැනීම සපුරා තහංචි වේ. මේ තහංචි එකින් එක කියා හදා දෙන්නේ අත්තම්මාවරු ය. නැති නම් නැන්දම්මලා හෝ අම්මාවරු ය. මල්වර වූ දැරිය මල්වර සමය ගෙවන තෙක් හේනට හෝ කෙතට හෝ කැඳවා නො ගනී. ඇය හිසදිය නාවා සතියක් හමාරක් ගත වන තෙක් බිම් මෝලේ වී කෙටීම, කුරහං ඇඹරීම, ගොයම් බැත හුළං කිරිම, ගාලට ගොස් කිරි දෙවීම මල්වර සමයේ තහංචිය.
මේ කටයුතු යළි කළ හැක්කේ මල්වර දැරිවිය දිය නාවා සතියක් හමාරක් ගත වූ තැන දී ය. එහෙත්, ඇයට දර කැඩීමට, දිය ගෙන ඒමට හෝ වෙනත් වුවමනා සඳහා තනිපංගලමේ වන බැද්දට වැවට හෝ යෑම තහංචි වේ.
ඈට වෙන දා මෙන් කෙළිදෙළෙන් දුව පැනීම සපුරා ම තහංචි වන අතර ගේ මිදුලේ අට පැනීම, බට්ටා පැනීම ද ඒ අනුව සීමා වේ. මේ නිසා ම මල්වර පොඩොස්සියන් ගංකරයේ ගැටවර නඩය සමග මොර කැඩීමට, කෝට හෝ පලු හෝ කැඩීමට වන මැද්දට යෑම තහංචි ය. ඒ කටයුතු කළ හැක්කේ දැඩි වූ ඇත්තියන් සමග පමණි. එමෙන් ම මල්වර වූ පොඩොස්සියන්ට ජනසම්මත කිලි බලපවත්වයි. ගංකරයේ සංහිඳ, දේවාල භූමිය, තිස් බඹය වැනි ඉසක් මතින් ගමන් කරන විට කිල්ලට ගොදුරු වී සිටී දැ යි පහදා දේ. මන්ද, මාස් කිල්ලට ගොදුරු වූ ඇත්තියන් මෙම ස්ථානවලින් ඈත් වී සිටීම ගංගොඩේ සිරිතකි.
මල්වර පොඩොස්සිය, ගෙදර දොර ඇත්තන්ගේ පයුරු පාසානයෙන් ද තරමක් දුරට ඈත් වේ. ඒ අනුව, අයියලා අප්පච්චිලා නිදා ගත් පැදුරු පිට නිදා ගැනීම තහංචියකි. ඇය දීගෙක යනතෙක්ම වැඩුණු එනම් උගුරු ඇටය පෑදුණු කිසි ම පිරිමියකුගේ ඇඳුම්-කැඩුම් සේදීම හා ඒවා පෙරවීම, ඇඳ ගැනීම තහංචි ය. මෙලෙස වැඩුණු පිරිමින්ගේ රෙදි පෙරෙදි පෙරවීම පමණක් නො ව, ඔවුන්ගේ නිදි පැදුරුවල නිදා ගැනීම පවා තහංචි බැවින් ඒ පිළිබඳ ව අම්මා හා අත්තම්මාවරු හැම නිතර ම සෝදිසියෙන් සිටිති. මේ නිසා ම බහ දී සිටින මස්සිනාගේ වුව ද ඇගලුම් තහංචි එලෙස ම පවතී.
මල්වර දැරියන් හරි අතීත ගම්මාන වල ඇවැතුම්-පැවැතුම් තහංචි රැසක් ද අනුගමනය කිරීමට සිදු වේ. ඒ අනුව, මහ හයියෙන් බෙරිහන්දීම, කොක් හඬලා සිනා පෑම තහංචි ය. ඒ ගැන හොයා බලන්නේ අත්තම්මාවරු ය. ඒවා මායිම් නො කරන දැරියන් හට වරිග සහා දක්වා කරුණු පෙළ ගැසේ. එවිට දීග තහංචි වැටීමට පවා හැකි ය. මේ හේතුවෙන් මල්වර දැරියන් කොක්හඬ දී හිනැහෙන විට ඒ ගැන විමසිලිමත් වීම වැදගත් බව අපේ පුරාණ ගම්මන වල පැවැති සිරිතය.
මල්වර දැරියන් තෙල් බැදුම් කෑම ද තහංචි වැටෙන්නකි. විශේෂයෙන් බැදුම් වර්ග තනිපලංගලමේ කෑම හා එබඳු තෙල් බැදුම් ජාති උයා පිහාගෙන ඒවා දහවල් ඉර මුදුන් සමයේ දී හෝ ගොම්මන් වෙලාවක දී හෝ තනිපංගලමේ රැගෙන යෑම ද සිරිත් සම්මත තහංචියකි. යම් විටෙක එලෙස තෙල් බැදුම් ජාති එක් නිවසකින් තවත් නිවසකට රැගෙන යෑමට සිදු වේ නම්, එය තනිපංගලමේ සිදු නො කිරීමට වගබලා ගනී. එහෙත්, මල්වර පොඩොස්සියගේ අතින් එබඳු තෙල් බැදුම් රැගෙන යයි නම් ඇය ආරක්ෂාවට යකඩ කැබැල්ලක් ද අතේ තියාගෙන යයි. බොහෝ විට ඒ සඳහා යොදා ගනු ලබන්නේ බුලත් විට තට්ටුවේ ගිරාකැත්ත ය. එවිට මල්වර පොඩොස්සියට තනිකම් දොස් වලින් ගැලවීමට හැකි වේ යැයි යන විශ්වාසයක් අතීත ගැමියන් අතරේ පැවති බව පෙන්වාදිය යුතුය.
ගංගෙදරට පිටතින් පැමිණෙන අමුත්තන්ට ආරාධනා කර, පිළපිට අලුත් පැදුරක් එලීම දිය කෝප්පයක් පිළිගන්වා බුලත් තට්ටුව පිරිනැමීම අතීත ගම්මාන වල සාමාන්‍ය සම්ප්‍රදායකි. එහෙත්, ඒ කටයුතු මල්වර දැරියන් අතින් සිදුවීම තහංචිය. බොහෝ විට මල්වර වූ පොඩොස්සිය තනිපංගලමේ ගංගෙදර සිටියි නම්, එවිට එළිපිට පැදුරු එළීම තහංචියකි.ඊට හේතුව නම්, පිටතින් පැමිණි තැනැත්තා හරියාකාර ව නාඳුනන බැවිනි.
සැබැවින්ම පුරාණ ගම්මනවල දැරියක් මල්වර වූ පසු පැනවෙන තහංචි මගින් අතීත ගැමි ජනතාව බලාපොරොත්තු වූයේ ඇයගේ රැකවරණයයි. එහෙයින් මල්වර වූ පොඩිස්සියන් රැකගැනීමේ අරමුණු ඇතිව සිදුවන මෙම තහංචි පැනවීම අතීත ගම්මාන වල බහුල වශයෙන් සිදුවූවක් බව පෙන්වාදියහැකිය.