සිංහල සාහිත්‍ය තුළ එක් වැදගත් අංශයක් ලෙසින් උපදේශාත්මක කාව්‍ය නිර්මාණයන්ගේ බිහිවීම දැක්විය හැකිය. සමාජයේ ගුණ වගාවට සහ ශික්ෂණයට මහෝපකාරී වූ උපදේශයන් කැටි කොට ගත් සාහිත්‍ය ග්‍රන්ථ සිංහල සාහිත්‍යයට එක් වූයේ මෙරට සාහිත්‍යයේ ස්වර්ණමය යුගය වශයෙන් සලකනු ලබන කෝට්ටේ යුගයේ දී ලෝවැඩ සඟරාව රචනා වීමත් සමඟිනි. ඉන් අනතුරු ව සීතාවක යුගයේ දී රචිත සුභාෂිතය උපදේශාත්මක කාව්‍ය රචනයේ වැදගත් අවස්ථාවක් විය. සීතාවක රාජසිංහ අවධියෙහි සිටි මෙරට ශ්‍රේෂ්ඨ කිවිදෙකු වූ අලගියවන්න මුකවේටි විසින් සුභාෂිතය රචනා කරනු ලැබීය.
පොදු ජන ජීවිතයෙහි සෑම අංශයක් කෙරෙහි ම බලපාන දෘෂ්ටාන්ත සහ උපමා සුභාෂිතය පුරා විහිදී ඇත. එහිදී රාජ්‍ය පාලනය, සිරිත් විරිත් , සාරධර්ම, ආචාර ධර්ම ආදී පොදුජන සුභසිද්ධිය සඳහා අදාළ වන කරුණු රාශියක් ගැබ් ව පවතී.
මිනිස් හට සොඳුරු ගුණ සහ නුගුණ ඇත
නොදොස් කෙනෙකු මෙදියත උපදනේ නැත
වෙසෙස් සිනිඳු මුවරද බර සහස් පත
කොරොස් නළින් යුතු වෙයි කටු පෙළිති යුත
සුභාෂිතයෙහි දැක්වෙන ආකාරයට මිනිසා හට යහපත් ගුණ මෙන්ම අයහපත් ගුණයන් ද ඇත. දොස් නැති තැනැත්තකු මෙලොව උපදින්නේ නැත. මෘදු වූ මල් පැණියෙන් බර වූ නෙළුම් මල පවා කටු ඇති රළු දණ්ඩකින් යුක්ත වන්නා සේ මිනිසුන් තුළ ද යහපත් මෙන්ම අයහපත් ලක්ෂණ ද දක්නට ලැබෙන බව සුභාෂිතයෙහි මනාව ගෙනහැර දක්වයි.
අලගියවන්න මුකවේටි තුමන් සුභාෂිතය නම් අගනා ග්‍රන්ථය රචනයට තමන් අත්විඳි අත්දැකීම් පාදක කර ගත්තා ද නොගත්තා ද යන්න නිසි ආකාරයෙන් කිව නොහැකිය. එය කෙසේ වුවද එහි උපදේශයන් සපයන්නේ මුළු මහත් සමාජයටම ය.
කුලුණු ගුණෙන් යුතු උතුමන් සිත මහරු
දුදන බසින් නොයෙදෙයි කරනට නපුරු
නව රුවනින් පිරි මහ සමුදුරු ගැඹුරු
තණ සුලෙකින් හුණු කල හැකි වෙති කවුරු
මිහිපිට වෙසෙන සෑම මිනිසෙකුගේ ම ගති පැවතම් එක සමාන නොවේ. ඒ වගේම සෑම අයෙක් ම යහපත් ගති පැවතුම් ඇති අය ද නොවේ. සිත් රිදවීම් මෙන්ම සිත් රිදවන්නන්ගේ ක්‍රියාවලිය ද දිගින් දිගට ම සදාකාලිකව ම සිදු වන්නකි. ඒ පිළිබඳව ගැඹුරින් සිතා සිත සනසා ගත හැකි අයුරින් සුභාෂිතයෙහි බොහෝ පද්‍යයන් නිර්මාණය වී ඇති බව පැහැදිලි ය.
උපදේශ කාව්‍යක් වුවද අලගියවන්න මුකවේටිතුමා සුභාෂිතයේ පද්‍යන් සෑම එකකදී ම පාහේ කිසියම් උපමාවක් ද ගෙනහැර දක්වයි.
කරදර දුදන පිරිසිඳ දතුවද සතර
ගොරතර සඳුන් විලසින් කළ මිණි ලකර
නරවර සඳුන් තුර වළඳමිනි හැම වර
පරහට බියම මිස අම දෙති කවර වර
සුභාෂිතයෙහි මේ අයුරින් බොහෝ අවස්ථාවලදී අසත්පුරුෂ ගුණ හුවා දක්වමින් සත්පුරුෂ බවෙහි ඇති වටිනාකම පෙන්වා දෙයි.
විපුල ගුණැති මහතුන් හට පත් විපත
නිසල නැණින් යුතු උතුමෝ ම දුරලත
කලල ගිලුණු මත වරණිදු ගොඩ ගනිත
තුමුල බලැති ගිජිදෙකු මිස අන් කෙවත
ඒ වගේම මහත් ගුණ ඇති මහත්මයන්ගේ ගුණ නුවණෙහි ස්වභාවය ද මෙම පද්‍යන් ඔස්සේ ගෙනහැර දක්වයි.
පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරු
ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු
එක පුන් සදින් දුරු වෙයි ලොව ගණ අඳුරු
නෙක තරු රැසින් එලෙසට නොම වේය දුරු
සුභාෂිතය පුරා බොහෝ අවස්ථාව වලදී දැකිය හැක්කේ මේ අයුරින් පුද්ගල යහගුණ වයමින් දුර්ගුණයන් විවේචනයට ලක් කිරීමයි. මිනිසා තම ජීවිත කාලය තුළ නොයෙක් අවස්ථාවන්හී දී සුදනන් මෙන්ම දුදනන් ඇසුරින් ලබා ගන්නා අත්දැකීම් බොහෝ ය. එකිනෙක මිනිස් ජීවිතයට එඹී නොබැලුව ද සුභාෂිතයෙන් එවන් ලක්ෂණ උපදේශයන් ඔස්සේ ගෙනහැර දක්වන නිසා ම සුභාෂිතය මිනිස් දිවියට බෙහෙවින් සමීප වන සහ සමීප කර ගත හැකි සාහිත්‍ය ග්‍රන්ථයකි.