ලාංකේය ශාන්ති කර්ම සමග බැඳුණු අතීත සමාජය සහ වර්තමානය (436)

post-title

ලාංකේය ශාන්තිකර්ම සාහිත්‍ය වූ කලී බොහෝ ඈත ඉතිහාසයක් දක්වා විහිදී යන්නකි. ඒ අනුව දේශීය ඕනෑම ශාන්තිකර්මයක් බිහිවීමට මූල බීජ වී ඇත්තේ පොදු වශයෙන් හෝ කේවල වශයෙන් ඇති වන්නා වූ කිසියම් සමාජ අවශ්‍යතාවයකි. 

එබැවින් ශාන්තිකර්මයක් වූ කලී සියළු සත්වයා කෙරෙහි පැමිණිය හැකි රෝග උපද්‍රව, අතුරු ආන්තරා දෝෂාන්ධකාර දුරුකොට ඔවුන් බලාපොරොත්තු වන ආකාරයේ සෙතක්, ශාන්තියක්, සෞභාග්‍යත්වයක් සැලසීමේ අරමුණින් කරනු ලබන යහපත් ක්‍රියාවක් ලෙස සෞන්දර්ය අධ්‍යාපනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වන ඥානසිරි පීරිස් මහතා එතුමන්ගේ කෘතියකින් පෙන්වා දෙයි. 

ඒ අනුව ශාන්තිකර්ම ලාංකේය සමාජය තුළ පවතින විවිධ ප්‍රාදේශීය ව්‍යවහාරයන්ට අනුව තොවිලය, යාගය, කංකාරිය, මඩුව, බලිය යන නම් වලින් හඳුන්වන අවස්ථා එම එක් එක් ප්‍රාදේශීය භාෂාවන් තුළදී අපට අසන්නට ලැබෙන අයුරු මුණ ගැසේ.

කෙසේ වෙතත් විද්‍යාව සහ යථාර්තය පිළිබඳව නිසියාකාරයෙන් තෝරා බේරා ගෙන වටහා ගැනීමට තරම් දැනුම් සම්භාරයකින් ආඪ්‍යව නොපැවතුන අවධියක අතීත වැසියා තමා වටා සිදු වන දෑ බොහොමයකට දේවත්වයක් සහ වන්දනාමානීය බවක් ආරෝපණය කරන්නට පෙළඹිණි. එහිදී තමාට අවබෝධ කොට ගත නොහැකි ස්වභාවධර්මයේ යම් යම් ක්‍රියාවලීන් වෙත මොවුන් මහඟු බලයක්, ඒවාට යම්කිසි යටහත් පහත් බවක් සහ අවනතභාවයක් දැක්වූ අතර ඔවුන්ට තේරුම්ගත නොහැකි වූ මෙම ස්වභාවික සංසිද්ධීන් වෙතට මහඟු ගෞරවයක්ද දක්වන්නට විය. ඒ අනුව ස්වභාවික පාරිසරික සංසිද්ධීන් වන අව්ව - වැස්ස ඇතිවීම, සුළං හැමීම යන දේ වෙත නිරායාසයෙන්ම වැඳුම් පිඳුම් කිරීමට එකළ ජනයා යොමු වූ අතර ඉඳ හිටක යම් යම් පාරිසරික වෙනස්කම් හේතුවෙන් හට ගන්නා නියං තත්වයන්, ගංවතුර, සුළි කුණාටු ඇති වූ අවස්ථාවන්හිදී ඔවුන් විශ්වාස කරනු ලැබුවේ එකී තත්වයන් එම බලවේග ක්‍රියාත්මක කරනු ලැබූ අදෘශ්‍යමාන කොට්ඨාසයන්ගේ කෝපවීමක් හේතුවෙන් එම තත්වයන් හට ගන්නා බවයි. එමෙන්ම ඊට අමතරව තමා කෙරෙහි බලපාන අත්භූත නපුරු අත්මභාවයන්ද තම ජීවිතය කෙරෙහි ඝෘජුවම බලපෑම් කරනු ලබන බව ආදි වැසියන්ගේ ප්‍රබලතම මතයක්ව පැවතුනි.

එබැවින් මෙකී කරුණු කාරණා හේතු කොටගෙන ශාන්තිකර්මයන් බිහිවීමේ අවශ්‍යතාවය මතු වන්නට වූ බව මානව හා සමාජ විද්‍යාඥයින්ගේ පිළිගැනීමයි.

මූලික වශයෙන්ම මෙම ශාන්තිකර්මයන් පැවැත්වීමේ අරමුණු කිහිපයක්ම අපට දැක ගත හැකි වේ. ඒ අතුරින් 

■ භව බෝග අස්වනු සරුසාර කර ගව මහීෂාදී සම්පත්වලින් සශ්‍රීක වී සමෘද්ධිමත් ජීවිතයක් ගත කිරීමට.

■ සියළු සත්වයන් කෙරෙහි පැමිණෙන්නා වූ අට අනූවක් රෝග, නව අනූවක් ව්‍යාධි, දෙසිය සොළසක් අතුරු 

ආන්තරා වලින් අත්මිදී නීරෝගිමත් ජීවිතයක් ගත කිරීම.

■ ස්වභාවික විපත් මගින් ඇති වන්නා වූ නියං තත්වයන්, සුළි කුණාටු, ගංවතුර, ලැව් ගිනි වැනි ආපදාවලින් 

ආරක්ෂාවීමට.

■ අපවිත්‍ර ආත්මයන්ගෙන් වන බැල්ම, සහ ඒ තුළින් ඇති වන්නා වූ දෝෂාන්ධකාරයන් දුරු කර ගැනීමට.

■ නව ග්‍රහයින්ගෙන් වන අපල උපද්‍රව වලින් ආරක්ෂා වීමට.

■ තමාගේ ජීවිතයට බලපෑම් කරන්නේ යැයි විශ්වාස කරන දුෂ්ට දුර්ජනයන් විසින් කරනු ලබන අණවිණ - 

කොඩිවිණ, කැවිලි - පෙවිලි, ඇස්වහ - හෝ වහ වලින් ආරක්ෂා වී සුගතිමත් ජීවිතයක් ගත කිරීමට. 

■ තමන්ව ආරක්ෂා කරන්නේ යැයි සලකනු ලබන පුද ලබන දෙවි දේවතාවන් කොට්ඨාසයන් වගේම ඇතැම්

යක්ෂ කොට්ඨාසයන් වෙතටද පුද සත්කාර පැමිණවීමේ අරමුණින්ද ශාන්තිකර්ම පවත්වනු ලැබේ.

එබැවින් අතීතයේ මිනිසුන් තම ගමෙහි, ප්‍රදේශයෙහි සාමූහික වශයෙන් යම් ක්‍රියාවක් සිදු කරන්නේ නම් ඒ සඳහා තම පවුලේ සියළු දෙනාගේම නොමද සහය ලබා දෙන්නටත් පුරුදුව සිටි අතර එය මෙම ශාන්තිකර්මයන් පැවැත්වීමේදීත් ඒ ආකාරයෙන්ම දැක ගන්නට ලැබිණි. ඕනෑම ශාන්තික්ර්මයක් පැවැත්වීමට ප්‍රථම කරනු ලබන කප් සිටවීම, එම යාතු කර්මයට අවැසි වන බඩු භාණ්ඩාහිරාදිය එක්කාසු කිරීම සඳහා ගෙයින් ගෙට ගොස්(බත බුලතේ යාම) ඒවා පිළියම් කර ගැනීම ශාන්තිකර්මය සඳහා අවශ්‍ය යහන තැනීමට සහ අවශේෂ සියළුම සැරසිලි අලංකරණය සඳහා අවශ්‍ය දෑ සෙවීමට කටයුතු කිරීම යනාදී සියළුම කර්තව්‍යයන් සඳහා ගමේ, ප්‍රදේශයේ සියළුම දෙනාගේ ඒකරාශීභාවයද සහිතව මෙහිදී කටයුතු කරන්නට මොවුන් අමතක නොකරයි. එහිදී එදිනෙදා නිතරදෙවේලේ මුණ නොගැසෙන ගම් වැසියන් පවා එකට එක්කාසු වීම හැඳුනුම්කම් පවත්වා ගැනීම ද සිදු වීය. එමෙන්ම මෙම ශාන්තිකර්ම අතීතයේදී පවත්වනු ලැබූයේ විනෝදාස්වාදයද එක් අරමුණක්ව කොට ගෙනයි. එහිදී වර්තමානයේ මෙන් එකළ මිනිසුන්ට රූපවාහිනී, ගුවන් විදුලි සහ ජංගම දුරකථන වැනි නවීන පහසුකම් නොමැති ව තිබූ අවධියක දවස් ගානක්, අවුරුද්දක් තිස්සේ හේන් ගොවිතැන් කරමින් හරක බාන බලා ගෙන සිටින ගම්වැසියන් හට ඔවුන්ගේ පාළුව වෙහෙස නිවා ගැනීමට එක් දිනක් දෙදිනක් හෝ මේමගින්ද හැකියාවක් ලබා ගන්නට විය.

එසේම තමන් තුළ වැඩි ගෞරවාදරයක් මෙන්ම භක්තියක්ද තමාට නොපෙනෙන කොට්ඨාසයක් වන දෙවියන් වෙතද තවත් දැඩි බියක් සහ තමා අවට ඇතැයි යනුවෙන් විශ්වාසයක් පැවති යකුන් වෙතද පවතින්නට විය.

උදාහරණයක් වශයෙන් උඩරට සම්ප්‍රදායේ ප්‍රධානතම ශාන්තිකර්මය වන උඩරට කොහොඹායක් කංකාරී ශාන්තිකර්මය පවත්වනු ලැබන්නේ ගොයම් කපා පාගා ගෙට ගැනීමෙන් අනතුරුවය. එනම් බොහෝවිට මැදින් මස සහ බක් මස අතර කාලය වේ. එහිදී එම කාලය කොලදින් කාලය යනුවෙන්ද හඳුන්වනු ලැබේ. එහිදී මාස ගණනක් පුරාවට ගොවිතැන් කොට මහන්සි වී එළැඹෙන විවේක කාලය තුළ තම අස්වැන්නෙන් ලබා ගත් මුල්ම කොටස දෙවියන් වෙත වූ භාරහාර පරිදි පූජා කිරීම සහ එමගින් ඊළඟ කන්නයේදී මීට වඩා වැඩි අස්වැන්නක් ලබා ගැනීමට හැකි වේවා යැයි ඔවුන් ප්‍රාර්ථනා කරයි.

එමෙන්ම පහතරට සම්ප්‍රදායට අයත් ප්‍රධානතම ශාන්තිකර්මය වන පහතරට දෙවොල් මඩු සහ සබරගමු සම්ප්‍රදායට අයත් ප්‍රධානතම ශාන්තිකර්මය වන සබරගමු පහන් මඩු ශාන්තිකර්මය ගත්තද එම ශාන්තිකර්මයන් ද්විත්මයම පවත්වනු ලැබීමේ මූලිකම අරමුණ වනුයේ හුදෙක්ම ලෙඩරෝග නිවාරණය උදෙසායි. එහිදී යම් හේතුවකින් රෝගාතුරව සිටින ආතුරයා ශාන්තිකර්ම භූමියට ගෙන්වා යකැදුරා විසින් ශාන්තිකර්මය අවසානයේදී අවශ්‍ය සෙත් ශාන්තිය කොට එම රෝගය නිවාරණයට දෙවියන්ගෙන් පිහිට අපේක්ෂා කිරීමක් සිදු කරනු ලබයි.

එසේම පහතරට සන්නියකුන් ශාන්තිකර්මය(දහඅට සන්නිය) ගත් කල එය යකුන් යක්ෂණියන් මුල්කොට ගෙන කරනු ලබන ශාන්තිකර්මයක් වශයෙන් පෙන්වා දිය හැකි වේ. සන්නි රෝග ඇතිවීම යකුන් යක්ෂණියන්ගේ ඇල්ම බැල්ම හේතුවෙන් ඇති වන බව එකළ ගැමියාගේ දැඩි විශ්වාසයයි. ඒ අනුව ඒ ඒ සන්නි රෝගය එම අදාළ සන්නි යක්ෂයා මගින් නිරූපණය කොට ඒ පිළිබඳව ඇතුළත් කවි ගායනාද ඔවුන් විසින් ගායනා කොට අදාළ රඟ දැක්වීම අවසානයේදී ඔවුන්ට අදාළ පුද පූජා ලබා පිටව යාමෙන් එම සන්නි රෝගය නිවාරණය වේ යැයි ගම්වැසියන් වෙත විශ්වාසයක් පවතී.

එබැවින් අතීත සමාජයේ ජන වැසියා ශාන්තිකර්ම හා බැඳී පැවතුනේ මෙවන් ආකාරයටයි. දැඩි විශ්වාසයන් මතයන් බොහෝ සෙයින් ලුහුබැඳි ඔවුන් කිසියම් හෝ පොරොන්දුවක් භාරහාරයක් වේ නම් එය බොහා්සෙයින්ම ඉෂ්ට සිද්ධ කිරීමට තම ජීවිතය හා සමාන කොටම බැඳී පවතින්නට විය.

ඒ අනුව අතීත සමාජය එසේ වුවද වර්තමානය ගත් කළ එය මීට වඩා බොහෝ සෙයින් වෙනස් වේ. 

වර්තමානයේදී ශාන්තිකර්මයක් දැක ගැනීමට හැකි අවස්ථාවක් උදා වනුයේ බොහොමත්ම කලාතුරකිනි. එය එසේ කලාතුරකින් සිදු වුවත් එය පවත්වනු ලබන්නේ අතීතයේදී මෙන් පූජාර්ථය විනොදාස්වාදයම මුල් කොටගෙනද යන්නත් ගැටළුවක් ව පවතිනුයේ වාණිජ පරමාර්ථය හේතුවෙන් මුදල් ඉපැයීම ප්‍රධානතම අරමුණ කොටගෙන මෙම ශාන්තිකර්ම පවත්වනු ලබන අවස්ථාද නැතුවාම නොවන නිසාවෙනි. එසේම වත්මන් සමාජයේ එකිනෙකා අතර පවතින අන්‍යෝන්‍ය බැඳීම සහයෝගය තුරන්ව පවතින අවධියක මෙවන් ආකාරයේ ශාන්තිකර්මයක් පවත්වනු ලබන බවට ජනයාට දැන ගන්නට ලැබුණද ඔවුන්ට ඒ කෙරෙහි සහභාගී වීමට හෝ ඒ කෙරෙහි සහයෝගයක් දැක්වීමට අතීත ජනයාට මෙන් ඉඩහසරක් සහ කාලවේලාවක් නොමැති වී ඇත්තේ වත්මන් මිනිසා ස්වකීය රැකියාව සහ නූතන තාක්ෂණයත් සමග හරි හරියට තරඟ වදින අතිශය කාර්යබහුල තැනැත්නත් වී ඇති බැවින් යැයිද කිව හැකි වේ. එසේම වර්තමානයේදී අතිතයේ මිනිසුන් තුළ පැවති විශ්වාසයන්ද ක්‍රම ක්‍රමයෙන් හීන වී යන අයුරු ද ඒ අතර ප්‍රධානතවම පවතින්නකි. එබැවින් වත්මනයෙහි ශාන්තිකර්මයක් පවත්වනු ලැබුවද එය හුදෙක්ම මිනිසුන්ගේම අවශ්‍යතාවයක් මත නොව මෙය අනාගත පරම්පරාවට ශේෂව ඉදිරියට පවත්වා ගෙන යාම සහ දිනෙන් දින ක්ෂය වී යන සංස්කෘතිකාංගයක් වර්තමානයට පසක් කර දීමට යන හේතු සාධකයන් කරණ කොට ගෙන පැවැත්වීමට සිදු වීම සැබවින්ම අතිශය ඛේදජනක තත්වයකි.

කෙසේ වුවද කිව යුතුම කාරණයක් වනුයේ නූතනත්වය සමග බටහිරකරණයට නතු වෙමින් පවතින වත්මන් සමාජය තුළ ලෝක වසංගතයක්ව පවතින කොඩිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හමුවේ ඉඳ හිටක ශාන්තිකර්මයක් පවත්වනු ලබන අවස්ථා ඇතැම් රූපවාහිනී නාලිකා තුළින් ද අපට දැක ගත හැකිවීය. එමගින් අපට අතිශය වැදගත් දෙයක් පසක් කරනු ලබයි. එනම් සිතුවිලි වලින්, ආකල්ප වලින්, ගති පැවතුම් කෙරෙන් සමාජය කෙතරම් නූතනත්වයකට හැඩ ගැසුණද මේ ලොව කිසිදු බලවේගයකට මෙල්ල කළ නොහැකි ලෙස යම් රෝගාබාධයක් හේතුවෙන් මිනිසා කායිකව මෙන්ම මානසිකවද වැටෙන අවස්ථාවක් වේද එහිදී කෙතරම් නූතන තාක්ෂණයක් පැවතුනද එයට පවා පාලනය කළ නොහැකි මෙවන් තත්වයන් හමුවේ වත්මන් මිනිසුන් යළි දෙවියන්ගේ සහ අනෙකුත් පුද පූජා ලබන්නන්ගේ පිහිට, සරණ තවමත් අපේක්ෂා කරමින් යදිමින් සිටින බවයි.

එසේ නම් වත්මන් සමාජය නූතනත්වයට නතු විය යුතුයි. එසේ වුවද අපගේ සංස්කෘතිකාංග නොනසා නූතනත්වය වැළඳ ගත යුතු බව පසක් කර ගැනීමට මෙය හොඳම අවස්ථාවකි.

Top