ලාංකික සමාජයෙන් මැකී යන පුරාණ තුන්සරණය (674)

post-title

කවිය යනු වියත් නොවියත් පොදු ජනයාගේ සේවනයට පාත්‍ර වූ ප්‍රබල මාධ්‍යයකි.සිංහල කාව්‍ය නිර්මාණය වීම පිළිබඳ ව අධ්‍යයනය කිරීමේ දී එය ප්‍රධාන වශයෙන් පාර්ශවකරුවන් දෙකොටසකගේ නිර්මාණකරණය මත බිහි වී ඇති බව හඳුනාගත හැකි ය.විධිමත් අධ්‍යාපනයක් නො ලද ස්වකීය ජීවන අද්දැකීම් තුළින් ජීවන පරිඥානය ලබා කාව්‍යකරණයේ යෙදුණු සාමාන්‍ය ජනයා එක් පාර්ශවයක් වූ අතර ශාස්ත්‍රාලීය අධ්‍යාපනය ලබා කාව්‍යකරණයේ පෘථුල දැනුමක් ලබා නිර්මාණකරණයේ යෙදුණු විදග්ධයින් සෙසු පාර්ශ්වය විය.මහනුවර යුගයේ කාව්‍යකරණයට මෙම දෙපාර්ශවයේ ම නිර්මාණකරණය නො අඩුව ලැබිණි.

සිංහල සාහිත්‍යයේ පුරාතන යුගය ලෙස සලකන්නේ අනුරාධපුර යුගයයි.පොළොන්නරු යුගයේ සිට මහනුවර පූර්ව භාගය වන සෙංකඩගල දක්වා යුගය මධ්‍යතන යුගය වේ.නූතන යුගයේ ආරම්භය මහනුවර යුගය ලෙස සලකන අතර නූතන යුගයේ ආරම්භය පිළිබඳ ව විවිධ මතවාදයන් ද පවතියි.මහනුවර යුගයේ දී ජාතකකථා කාව්‍ය,උපදේශ කාව්‍ය,විරහ කාව්‍ය,ශතක කාව්‍ය,සිලෝ කාව්‍ය,හටන් කාව්‍ය,සංදේශ කාව්‍ය,ප්‍රශස්ති කාව්‍ය වැනි විවිධ කාව්‍ය නිර්මාණයන් සිදු වූ අතර ඒ සඳහා විවිධ සමාජ ගැටුම්,සිද්ධීන්,අවස්ථාවන්,පුද්ගල මනෝභාවයන් වස්තු විෂය විය.මේ අතරින් වෙස්සන්තර ජාතක කාව්‍ය,වදන්කවිපොත,යසෝදරාවත,තුන්සරණය,පත්තිනි හෑල්ල,ගණදෙවි හෑල්ල බහුභාවිතයට සහ ජන ප්‍රසාදයට පත් වූ නිර්මාණ ලෙස සැලකේ. තුන්සරණය එලෙස මහනුවර යුගයේ නිර්මාණය චූල ජනකාව්‍ය සම්ප්‍රදායට අයත් කාව්‍යයක් වේ.

“සිංහල පාඨකයන්ගේ අවධානය යොමු වූ ප්‍රධාන ජනකාව්‍ය දෙකක් ඇත.එනම් වෙස්සන්තර ජාතක කාව්‍ය සහ යසෝදරාවතයි.ජනකවි යනුවෙන් අදහස් කෙරෙන්නේ වෙන වෙන ම ඒකක වශයෙන් හඳුනාගත හැකි පැල් කවි,ගැල් කවි,පාරු කවි,ගොයම් කවි,නෙළුම් කවි,බඹර කවි ආදී වශයෙන් හැඳින්වෙන කවි විශේෂය යි.එහෙත් ජනකාව්‍ය යනු කිසියම් පුවතක් එකදිගට ම ප්‍රකාශ වන ලෙස රචිත කාව්‍ය විශේෂයක් වේ.”

(මහාචාර්ය අනුර වික්‍රමසිංහ)

තුන්සරණය කාව්‍ය කෘතියේ කතුවරයා කොත්මලේ තාඹුගල ලෝකුරු නයිදේ නම් කවියා බව 1964 වර්ෂයේ ජාතික කෞතුකාගාර ආයතනයේ ප්‍රකාශනයක් වන ''සාහිත්‍ය'' ග්‍රන්ථයේ ආචාර්ය නි.බ.මා.සෙනෙවිරත්ත මහතා සඳහන් කර ඇත.දෙවන රාජසිංහ රජුගේ කවිකාර මඬුවේ ලෝකුරු නයිනේ නම් කවියෙකු වූ බවට පතපොතේ සඳහන් වන අතර එතුමා විසින් රචිත සෙසු පද්‍ය කෘති අතරට සිරිමා බෝ කවි,කුරුදර්මෙ,සමනල විස්තරය,කැලණි හෑල්ල අයත් වේ.

“උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ”

කැලණි හෑල්ලේ දහහත්වන පද්‍යයේ සිව්වන පදය වන උක්ත කාව්‍ය කොටස උගත් නූගත් භේදයකින් තොර ව තවමත් සිංහලයාගේ මුවග රැඳෙන්නකි.

“සියසක තාඹුගල වැඩිවිය පැමිණ නිකසල” (10 පද්‍යය)

තුන්සරණය කාව්‍ය කෘතියේ ආරම්භයේ දී කතුවරයා විසින් තමා පිළිබඳ තොරතුරු දක්වා ඇත.ලෝකුරු නයිදේ නම් මෙම කවියාගේ වාසය තාඹුගල බව දක්වන අතර ඔහුගේ පවතින ශාරීරික දුර්වලතාවයක් පිළිබඳව ද කවියා දක්වා ඇත. 

“අඳුරෙක ඉඳ දුබල” (10 පද්‍යය)

“ඉරහඳ නොදැක ඉඳ” (12 පද්‍යය)

“ඉරහඳ නොදැක ඉඳගෙන දෙසන මුනි ගුණ” (82 පද්‍යය)

“දෙනෙත් දෙකට කිසි දුකක් නොවේවා” (87 පද්‍යය)

උක්ත දැක්වෙන කවි පද තුළින් තාඹුගල කවියා අන්ධ පුද්ගලයෙකු වග වටහාගත හැකි ය.සෙංකඩගල ඉතිහාසය පිළිබඳ තොරතුරු දක්වන සිංහල “සාහිත්‍යයේ යුග පෙරළිය” කෘතියේ කලාකීර්ති පුංචි බණ්ඩාර රත්නායක මහතා දක්වා ඇති පරිදි තාඹුගල කවියා අන්ධයෙකු ව සිටිය දී තුන්සරණය කාව්‍ය කෘතිය රචනා කර ඇත.මෙම කෘතියේ දැක්වෙන පරිදි තාඹුගල කවියා ජීවත් වී ඇත්තේ ක්‍රි.ව.1656-1684 අතර කාලය එනම් දෙවන රාජසිංහ රාජ්‍ය සමයේ ය.

තුන්සරණය කෘතිය පැදි එකසිය තිහකින් සමන්විත වේ.කතුවරයා කාව්‍ය කෘතිය නිමවීමේ මුඛ්‍යාර්ථය වන්නේ තුන්සරණය ගුණය සහ වටිනාකම් දැක්වීමයි.ඔහු එම අරමුණ ඉටු කරගැනීම සඳහා පැදි හැටහතක් යොදාගෙන ඇත.මහින්දාගමනයත් සමඟ ගොඩනැඟුණු බෞද්ධාගමික පරිසරය තුළින් ලාංකිකයා තුළ ආගමික නැඹුරුවක් ඇති වූ අතර එහි පසුකාලීන ප්‍රතිඵල ලෙස දුරබැහැර පැවති වෙහෙරවිහාර වන්දනාමාන කිරීමට වන්දනා ගමන් යාම ප්‍රචලිත විය.මෙසේ යන වන්දනා ගමන් වර්තමානයේ මෙන් සුවපහසුවෙන් තොරවූයේ ඒ වනවිට ලාංකික සමාජයේ පැවති අවම යටිතල පහසුකම් හේතුවෙනි.දුෂ්කර මංමාවත්වල සත්ත්ව උවදුරු මඟහරිමින් යන මෙම ගමන් අන්තරාවන්ගෙන් සුලබ වූ අතර එකී අන්තරාවලින් මිඳීමට මුලකාලීනව ඝෝෂා කරමින් ගමන් කළ මිනිසුන් පසුකාලීන ව උස්හඬින් කවි ගායන කරමින් වන්දනාවන්හි යෙදුණි.ජන කවියෙන් ඇරඹුණු මෙකී කවි ගායනා පසුව වන්දනා කවි නිර්මාණය වීමට හේතු විය.

මෙලෙස තාඹුගල කවියාගේ කවි ද මහජනයාගේ ප්‍රසාදයට ලක් වී සිරිපා වන්දනාවේ අත්පොත බවට පත්විය.ශ්‍රීපාද වන්දනාව සඳහා නිර්මාණය වූ තවත් කෘති කිහිපයක් වූවත්(සමනල වර්ණනාව,සමනල විස්තරය,සමනල හෑල්ල) එකී කෘති පරයමින් ජනමන බැඳගත්තේ තුන්සරණයයි.ඒ අනුව වන්දනා සාහිත්‍යයේ මුඳුන් මල්කඩ ලෙස තාඹුගල කවියාගේ තුන්සරණය හැඳින්වේ. 

“පියුම් පිට සිරිපා - සතුන් ගොඩලම් බලපා 

විකුම් ජය තෙදපා - වඳිමි අදරින් මුනිඳු සිරිපා” (1 පද්‍යය)

අතීත කාව්‍ය සම්ප්‍රදායයන් සිහි කරමින් කතුවරයා තම කාව්‍ය කෘතිය ආරම්භ කරන්නේ නමස්කාරයෙනි.දෙවනුවට ධර්ම රත්නයත්,තෙවනුව සංඝ රත්නයත් වන්දනා කරන කතුවරයා තම නැණ පමනින් මෙකී කෘතිය රචනා කරන වග පාඨකයන්හට හඟවයි. 

“ඇතත් කිසි වරදක් - ඉවසන් නොවී වෙනසක්” (4 පද්‍යය)

සෙංකඩගල නුවර යුගයේ පැවති හින්දු ආගමික භක්තිය තුන්සරණ කවිවලින් විද්‍යමාන වේ.එහි දී නිර්මාණකරුවා දෙවියන්ගේ පිහිට ප්‍රාර්ථනා කරන අතර වෙන් වෙන් වශයෙන් ද දෙවිවරු දක්වමින් ඔවුන්ගෙන් අවසර යැදීම දැකගත හැකි ය.තමාගේ කාව්‍යකරණයෙන් යම් වරදක් වී නම් අමනාප නොවන ලෙසට ද කවියා දෙවියන්ගෙන් යදියි.

“සිව්වරන් දෙවි යෝ

සව් සත රකින දෙවි යෝ

 පද වරද අවි යෝ

සමා කරවා රකින් දෙවි යෝ” ( 15 පද්‍යය)

“සමන් පතිනි ගණ දෙවිඳුනි ඉසිවර

දමන් ඉවත ඇති වරදක් දුරු කර” (18 පද්‍යය)

“සමන් පතිනි ගණ දෙවිඳුන් නුවණේ

ගිමන් කලට සැතපෙනු වැනි පවනේ

දමන් වරද දුටුවන් දෙවි රජුනේ

කියම් මඳක් කවි බණ තුන් සරණේ” (19 පද්‍යය)

“කවි බැන්දට රොසින - නොවී සැම දෙවි පිහිට වනු මැන” (14 පද්‍යය)

තුන්සරණයේ මූලික අරමුණ වන තෙරුවන් පිළිබඳ දැක්වීමේ දී කතුවරයා තිසරණය ඉතා උතුම් කොට දක්වා ඇත.වැඩි ම පැදි සංඛ්‍යාවක් මේ සඳහා වෙන් කරන කතුවරයා තෙරුවනේ ගුණ කියා නිමකළ නොහැකි වග දක්වයි. 

“සිතින් සිතාගෙන බුද්ධං සරණේ 

ගතින් දෙවනුවම ධම්මං සරණේ 

පැතුම් පතමි මම සංඝං සරණේ 

උතුම් කරම කීවෙමි තුන් සරණේ” (70 පද්‍යය)

මහනුවර යුගය වනවිට ඇති වූ සමාජ,ආර්ථික,දේශපාලනික සහ සංස්කෘතික විපර්යාසවල ප්‍රතිඵල වශයෙන් බෞද්ධයා තුළින් ආධ්‍යාත්මික සැපය පිළිබඳ වූයේ දුරස්ථ හැඟීමකි.ලෞකික සැපත කෙරෙහි වැඩි නැඹුරුවක් දැක්වූ බෞද්ධයා සැපසම්පත් පරිභෝජනය පළමුවත් නිර්වාණය ඉන්පසුවත් අරමුණු කරගත්බව තුන්සරණය අධ්‍යනයේ හඳුනාගත හැකි ය.පින් රැස් කර තුසිත දිව්‍යලෝකයේ සම්පත් අනුභව කොට පසුව මනුසත්බව ලබා එහිද සම්පත්තීන් ලබා ඉන්පසුව නිර්වාණය පිළිබඳ අවධානය යොමු කරන්නේ එබැවිනි.

“පව් දුර හැරලා පිං පල දෙන්ටයි - දෙව් ලොව යස සිරි සැප විඳ ගන්ටයි 

මව් පිය දෙව් කුලයක උපදින්ටයි - පද්‍යයසිරි දෙන තුසිතේ උපදින්ටයි” (102 පද්‍යය)

“සව් රුවත් කුලත් ගුණ නැණ ඇති වන්ටයි - යසත් තෙදත් පිරිවර බෝ වන්ටයි 

ගමුත් බිමුත් කෙත්වත් ලැබ ගන්ටයි - මහත් සැපක් විඳ නිවන් දකින්ටයි” (115 පද්‍යය)

ඉතා සරල මෙන් ම උචිත උපමාදිය යොදාගන්නා කවියා කාව්‍යකරණය සඳහා යොදාගනු ලබන්නේ ගායනයට සුදුසු සරල විරිත් කිහිපයක් පමණි.කාව්‍යකරණයේ නීතිරීති පිළිබඳ දැනුමින් තාම ආඪ්‍ය නොව බව දක්වමින් කතුවරයා තම නිහතමානී බව පෙන්නුම් කරයි.තමා ස්පර්ශ කළ,ආභාසය ලබාගත් පෙර කෘතිවලින් දැනුම උකහාගත් බව දක්වන කවියා කාව්‍යකරණයේ එන යවහන් දෝෂය පිළිබඳ ව තමා නොදන්නා බව ද දක්වා ඇත.

“පදයට යවහන් නොදැනේ ගුණ පණ - යුධයට ආයුධයක් ගත්තා මෙන” (20 පද්‍යය)

“යවහන් පද අග මුල මට නොදැනේ - ඉවසන් වියතුනි වරදක් නොගෙනේ” (23 පද්‍යය)

තාඹුගල කවියා තම නැණ පමණින් රචනා කළ තුණ්සරණය කෘතිය තුළ බොහෝ ධර්ම කරුණු ද පංචශීලය පිළිබඳව ද පින්පව් පිළිබඳව ද ඉතා සරල සුගම බසින් ශ්‍රාවක පාඨක ප්‍රජාවට උචිත පරිදි නිර්මාණය කර ඇති අතර ඒ හේතුවෙන් ම මෙම කවි ජන සමාජය තුළ බහුභාවිතයට මෙන් ම ජන ප්‍රසාදයට ලක්වී ඇත.

මූලාශ්‍රය:- ගුණරත්න,විමලසේන.තාඹුගල කවියා විසින් රචිත පුරාණ තුන්සරණය,යක්කල:සන්ථව,2021

Top