සමකාලීනවත් තත්කාලීනවත් උපදෙස් සැපයූ ජනකවිය (585)

post-title

හෙළ ජනශ්‍රැතියෙහි කැපී පෙනෙන අංගයක් ලෙස ජන කවිය පෙන්වාදිය හැකිය. එහි ආරම්භය කවදා කෙසේ ඇති වූවක් දැයි කිව නොහැකි වුවද ලේඛනගතව ආ ශාස්ත්‍රීය කවියට වඩා බොහෝ ඈත කාලයකට දිව යන්නක් බව පිළිගත හැකි මතයකි. ජනකවිය ගැමියන්ගේ ආධ්‍යාත්මය තුළ උපන් අව්‍යාජ අත්දැකීම් පිළිබිඹු කරන කලා අංගයකි. ගැමියා එදිනෙදා දිවියේ මුහුණ දෙන අත්දැකීම් පාදක කරගත් ජන කවියෙන් පිළිබිඹු වන්නේ හෙළ ජන සංස්කෘතියයි. පාරු කවි, ගොයම් කවි, නෙළුම් කවි, ගැල් කවි ආදිය අපේ අතීත මුතුන් මිත්තන්ගේ නිර්මාණ කුසලතාවය ලොවට කියාපාන මාධ්‍යයක් විය. දහම්ගැට කවි, වෙදගැට කවි, තේරවිලි කවි වලින් පවා පැහැදිලි වන්නේ මුතුන් මිත්තන්ගේ ජන්ම හපන්කම්ය.

 අතීත ජනයා තම අත්දැකීම් කොතනින් කෙලෙස උකහා ගත්තද අනාගත පරපුරට එම අත්දැකීම් දායාද කිරීමේදී කවිය මනා පිටුබලයක් සැපයූ බව පැහැදිලි කරුණකි. එනිසාම ගැමි ජන දිවිය හා බැඳි කවි අතරින් උපමා සහ උපදේශ කවි විශේෂත්වයක් ගනියි. පැරණි කාලයක සිට පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන උපමා කවි වලින් බොහෝමයක් ම අදටත් අපේ ගැමි ප්‍රදේශ වල ඉඳහිට හෝ අසන්නට ලැබේ. ඒවාට නිසි සැලකිල්ලක් නොලැබුණද මුඛ පරම්පරාගතව හෝ පැවතෙන ඒ පැරණි උපදෙස් කවි තවත් පරපුරකට දායාද කිරීම අපගේ මහඟු යුතුකමකි. මන්ද ඒවා සර්වකාලයට ම වලංගු වන නිසාවෙනි.

 පීල්ලේ දියට බඳුනක් නැමූවත්

 නොපිරෙයි බඳුන හැට පැයකින් බැලූවත්

 පින් මද එකා ගුණ දහමින් වෙලූවත්

 උගේ ගතිය ඌ නාරී මැරූවත්

 

 සමාජයෙන් ලද පොදු අත්දැකීමක් කවියට පසුබිම් වී ඇති බව පැහැදිලි ය. මිනිසාට උපතින් යමක් වැරදි ලෙස පුරුදු පුහුණු වූ විට එය නැවත කිසි ලෙසකින් අත් නොහරින බව නොපිටට හරවා ඇති දිය බඳුනකට දිය පිරවීම උපමා කොට දක්වමින් ජනකවියා සිව් පදයට නගා ඇති ආකාරය අපූරුය. ඒ වගේම බොහෝ මිනිස් ගුණයන් ඇගයීමට සේම දුර්ගුණයන් අවඥාවට ලක් කිරීමට ද කවිය යොදාගෙන ඇති ආකාරය අපූරුය.

 කන්නට රස අහර තද බඩගින්න වෙති

 නින්දට යහනාව තද නිදිමතම ඇති

 නැන්දට ලේලි කොතැනත් පැවතුණේ නැති

 අම්මට ආලේ නැති දරු රටට වැඩ නැති

 මේ මවකගේ අප්‍රමාණ මව් ගුණයත් ඒ උතුම් ගුණය නොසිතන දරුවනුත් කවියාගේ අවඥාවට ලක්වන ආකාරයයි. එලොවටත් මෙලොවටත් දෙකටම පලක් නැති එවන් දරුවන්ගේ ක්‍රියා කලාපය කවියට නැගීමට යොදාගෙන ඇත්තේ සරල වදන් කිහිපයකි. සරල වුවද එයින් ලබාදෙන උපදේශය කවරදාටත් වලංගුය.

 ඒ වගේම මිනිස් සිතෙහි පවතින ගුණමකුකම, රාගය, ලෝභය, ව්‍යාජත්වය, අවස්ථාවාදී බව, ආත්මාර්ථකාමී බව, අහංකාර බව වැනි දුර්ගුණාංගයන් සිහිපත් කිරීමටත් ඒවා කෙතරම් පුද්ගල ජීවිතයට හානිකර ද සමාජයට හානිකර ද යන්න යන්න පෙන්වා දීමටත් ඒවායින් ඈත් වීමටත් කවියෙන් උපදෙස් දෙන ආකාරයත් මනාය.

 පැණ රසත් තිත්ත වෙයි පිත් කෝපයට

 බලවතත් දුබල වෙයි පත් රෝගයට

 ඇස් ඇතත් දෝස නොපෙනෙයි රාගයට

 හිතවතත් නොහොඳ වෙයි සිත් උඩගුවට

 අධික ධන ඇතත් දැහැමින් සෙවිය යුතුයි

 මලක රොන් ගන්න බඹරා මල නොතලයි

 වැඩක කුලිය හරිහැටි බේරීම අගෙයි

 අධික තණ්හාව හොඳ නැති නිගා දෙවයි

මේ අයුරින් පුද්ගලයාගේ දුර්ගුණයන් මනා ලෙස ගෙනහැර දක්වමින් ඒ සඳහා සපයන උපදේශකයන් අගනේය. ඒ වගේම උපදේශාත්මක කාව්‍ය යනු එක් අයුරකින් සමාජ ශෝධකයෙකු ද වේ. එහිදී තමා ජීවත්වන සමාජයේ හෝ පරිසරයේ ඇති වැරදි වැටහීම්, අසාධාරණකම්, යුතු අයිතිකම්, නොමිනිසත්කම් ආදී නුගුණ සමාජයට කියා දීමට උපදේශයන් උපයෝගී කරගන්නා ආකාරය බොහෝ විට දැකගත හැකි ය.

 ඉලක්කම දහය දාහක් කර ගනිති 

 මලක්කම වැරදි පොළොවේ ඇද කියති

 පලක් නොම සිතති උතුමෝ නැත අගති

 පඩික්කම අලුත් යැයි එහි කැද නොබොති

 වංචා ඇති අයගේ වචනය වේය ගොත

 සිංහයා වෙති සිතින් නරියට නාද නැත

 අම්මා නැති දරුවො හැම තැන දුක විඳිත

 තණ්හාපතියන්ට විලි බිය දෙකම නැත

 ඒ කවි කියවීමෙන් මිනිසා සතුව කෙතරම් නිවට ගතගුණ ඇත්දැයි පෙන්වා දීමටත් එවන් දුර්ගුණ නැති කර ගැනීමට උපදේශයන් සැපයීමටත් උපදේශාත්මක කවියෝ සමත් වෙති. එනිසාම කවියේ රසය හා ගුණය රැක ගනිමින් සමකාලීන අවශ්‍යතාවක් උපදෙස් කවි වලින් ඉටු වන බව පිළිගැනීමට නිතැතින්ම සිදුවේ.

 තව ද සිංහල ගද්‍ය සාහිත්‍ය එන බොහෝ යෙදුම් එපරිද්දෙන්ම කවියට යොදාගෙන ඇති අවස්ථා බොහෝමයක් උපදේශ කාව්‍යයන්හි හඳුනාගත හැකිය. ඒවා යොදාගෙන ඇත්තේ කවියේ අර්ථයට කිසිදු ලෙසකින් බාධාවක් නොවන පරිදිය. ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය, දත් නැති දා උක් දඬු ගිනි තපින්නද, පැණි වරකා ගහටත් හෙණ නොවදිද්ද, කලෙකදි වහලු කලෙකදි රස වෙනවාලු, හැමදා නියං එකදා වැහි වළාවේ, හපා නොකයි වැඩියෙන් බුරන බල්ලා, පැන යන මුවන් දැක නොදමන් නෙලූ පලා, උල් කරනට කමක් නැත කටු ගසේ කටු ආදී වශයෙන් බොහෝ යෙදුම් එලෙසින්ම කවියට යොදාගෙන ඇති අවස්ථා හඳුනාගත හැකිය.

මෙලෙසින් අදටත් වඩා සමාජයේ සෑම අංශයක් කෙරෙහිම මනාව අවධානය යොමු කරමින් මනා උපදේශයන් කැටිකොට අතීත ජනයා කවි නිර්මාණය කර ඇති ආකාරය අපූරුය. හුදෙක් ම ඒවා අතීත ගැමි සංස්කෘතියට අයත් අංගයක් ලෙස පමණක් සැලකිය නොහැක්කේ ඒ උපදේශයන් කවර කාලයකට වුවද මනාව ගැළපෙන නිසාය.

Top