මං එනවා රං එතනෝ - "කුල්ල පේ කර තබන්ට" (317)

post-title

බිනර මහේ පුර පෝයට, සියොත් මගෙහි උදුල තරු කැටත් පිරිවරන් හිඳිනා පුන් සඳ, හරියට පැල් කොටය එළිය කරනා නුඹ වාගේය. මුලු හේන් යායම එකළු කරනා සඳ අද්දර ගැටවර අවධියේ හිත්ලෑව නුඹව කෝඩුකාර හිත් පොඩියේ මතකයට නැගෙන්නේම නිල් වන් මල් වැටුණූ චීත්තය හා සැට්ටය හැඳ, කියඹුලතාවන්ගෙන් පිරි පුන් සඳ වන් මුහුණින් යුතුව නීල පෑ නෙත් යුග්ම හීං කොට සිනාසෙන අයුරුය.

ඉදින් කුළුඳුලේ පීදෙන නවදැලි හේනේ, සියඹලා ගස මත ඇටවූ පැල් කොටයේ, කෝටු මැස්සේ ඇල වී තනි අලියා අදත් කඩා පනීවිදෝයි කියා කුහුලෙන් යුතුව දඹු වැට දෙස බලා හුන් මා එකෙනෙහිම ටක පෝරුව හැඬවූයේ ඌරු තඩියෙකුගේ හඬලෑමත් සමගය. හේන් යායේ තැනින් තැන ගස් මත ඇටවූ පැල් කොටං වල ගිණි මැහි වල පුපුරු ගසනා ගිණි පළිඟු අතරින් දඟ පාන මැස්සෙකු දෙන්නෙකු "චරස්" ගා ඇවිලී යනනේය. එ අයුරින්ම මාගේ පපු ගැබද එකෙහෙනිම ඇවිලෙනා වැනි හැඟීමක් ගං ගෙදර තනිව හිඳිනා නුඹව මතකයට නැගෙන වාරයක් පාසා හැඟෙන්නේය. 

 

කටුසර බෝග පීදීගෙන එන කලට අක්වැහි ඇද හැලෙනා හේන්‍ යාය අද්දර , පැල් කොටේ තනි රකින මගේ හිත අද්දර නුඹව මතකයට නැගෙනා වාරයක් පාසා කව් සිතුවිලි පහළ වන්නේ ඉබේටමය.

පින්න බෑවෙන

ගොම්මන් වෙලාවක් අග්ගිස්සෙ,

දොම්නසින් නිදිවරිත 

රැයක් පාමුල...,

කීලැයියාටත් තිබුණාලු

කියන්නට

දුක්බරම කතාවක්..

මේ දොහේ අස්වැන්න 

පින්බරයි- ඵලබරයි..

මා හදේ අස්වැන්න

දුක්බරයි - තෙහෙට්ටුයි 

සුවඳ දෙන රෑ දේවි

මලිති අග්ගිස්සෙ රඟදෙන

බඹර මීමැසි රළට

රජ මගුල් වාගෙමයි...

සුවඳ මුසු වෙලාවක

ඒ මලෙහි රොන් ගන්ට

බටිති තුඩු රෑනකට

අනේ එය නොහැකිමයි.

යටාවත හිනාවෙන

හේන් වට්ටක්කා පලුවක් දැක

උඩාවත පැල්කොටේ

තනිව සුසුමන් සලන

අඩ සඳටත් කඳුළු එක් කළ

දුප්පත් හිත ගාවට

සෙනෙහසින් කැන්දන්නට 

හීං හිමිදිරි පානෙ 

කුකුළත් අතින් අරගෙනම

මං එනවා රං එතනො

"කුල්ල පේ කර තබන්ට"

"කුල්ල පේ කිරීම"

මොකක්ද මේ කුල්ල පේ කිරීම කියන්නෙ?

ඉරු සඳු පෑයීම, අක් වැහි සමය, අස්වනු පීදීම වනාහි සොබා දහමේ අපූරු නිමැවීම් ය. හේනේ කුඹුරේ කෙරෙන දවසේ වැඩ කටයුතු නිමා කළ අපේ පුරාණ ගම් දනව් වල උදවිය ඇළෙන් හෝ දොළෙන් දිය නාගෙන ගව රැලද දක්කා ගෙන ගංගෙදර බලා අඩිකඩන්නේ "අම්බන් දොන්බන්” වේලාවේ ය. කළුවර වැටෙන මෙම වේලාව වැව්බැඳි රාජ්‍යයේ අම්බන් දොන්බන් වේලාව යනුවෙන් ද තවත් තැනෙක ගොම්මන් වේලාව යනුවෙන් ද හැඳින්වෙයි. මේ සැඳෑ සමය ගෙන එන්නේ අපූරු මිහිරියාවකි. එය කෝඩුකාර විවාහක යුග්මයන්ට සෙනේ බර ඉසව්වකි.

එසේ වුව ද විදානෙ රාළගේ ක්‍රමයට අනුව පැල්මුරය බාර වූ ගැමියාට මෙන් ම තම හේන වන සතුන්ගෙන් රැක ගැනීමට අවැසි ගැමියාට ද සැදෑ මිහිර විඳ ගැනීමෙන් පසු එළඹෙන රාත්‍රිය තම අඹුදරුවන් සමඟ ගෙදරදොරේ සිතුසේ ගත කිරීමට ඉඩක් නොලැබේ.

දිවා කල වැඩපළේ යෙදී ඇළදියෙන් හෝ දොළදියෙන් නාගෙන ගෙට ගොඩ වන ස්වාමියාට හකුරු රසය සමඟ කහට රසය ද එකවර විඳ ගැනීමට ඉඩ සලසන ඇඹනිය පැලට ගෙනියන බත්මුල මෙන් ම ආම්පන්න ද හුළු අතුකොටය ද පිල්කඩ මත තබයි. තම ප්‍රියාවගේ මුහුණේ මන බඳනා තීව්‍ර වූ හැඟීමක් පුරුෂ සිත වසඟයට පත් කරයි. පැල් පේ කිරීමේ අවස්ථාව එළඹෙන්නේ මේ වනවිට ය. නුවර කලාවියේ - වැව්බැඳි රාජ්ජේ පැල් පේ කිරීමේ සිරිත හඳුන්වන්නේ මනුස්සකම අපූරුවට හඳුනාගත් වැදගත් සිරිතක් ලෙස ය. පැල් පේ කිරීමේ සිරිත තවදුරටත් විග්‍රහ කරන්නේ අලුත ජෝඩු වු අයට පමණක් නොව කාටත් වර්ගයා බෝකර ගැනීමට අවශ්‍ය වන පොදු ඕනෑකමක් ලෙස ය.

තම සැමියාට පැලට යන්නට අවශ්‍ය හුලු අතුකොටය පිලට හේත්තු කරන ඇඹනිය ඉන්පසු කරන්නේ ගෙට ගොඩවන (මුල්දොර) හේලන්කඩ දොර අහුරා ගෙයි ඇති කුල්ල ගෙනවිත් තැබීම ය. එය කුලු පේ කිරීම නමින් හැඳින්වේ. කුල්ල අහුරා තබා ඇතුල් කාමරයට ඇය පියනඟන්නේ කියා ගත නොහැකි කරුණක් කුල්ලේ සංඥාවෙන් කියා පාමිණි. අවශ්‍යතාව ඉඟියෙන් දැන ගන්නා පුරුෂයා ද - අභිලාෂිත කාය සංසර්ග රාගය වැළඳ ගැනීමට පසුබට නොවෙයි. ගං අඩවියේ අහළ පහළ අයෙක් මේ ගෙට ගොඩ වූ සැණින් හරස් කළ කුල්ල දකියි. ඔහු හෝ ඇය එය තේරුම් ගත් සැණින් ආපසු හැරී යන්නේ ඇතුළු ගැබ සම්බෝග සුවයට බාධා නොවන අයුරිනි. ගංගොඩේ ඇත්තන්ට කුඩා කාලයේ සිට නොකළ යුතු තංහචියක් ලෙස මෙය ද උගන්වා ඇත. කළුවර කවුළු දොරින් එබී බැලීම ද ගංගොඩ තහංචියකි.

Top