නැන්දත් නුඹ නලවන්නේ - නින්දක් නිදියා ගන්නේ (581)

post-title

"මුලු ගෙදරම කිරි සුවඳේ බැරුවා නංගියේ. කෝ කිරි පැටියා. නිදිද "

රහසින්ම නැන්දා අහනවා.

"ඔව්. ඔන්න දැන් තමයි නින්ද ගියේ "

"අනේ නංගියේ ඇස්වහක් කට්වහක් නෑ ඕං පැටියා වාසනාවන්"

හිනාවකින් හිස වැනූ අම්මා ගේ තුලට ගියේ නැන්දට තේ ඩිංගක් හදන්ඩ වෙන්න ඕන. 

වටේටම මීදුම වැටිලා. සමන්පිච්ච මල් වැලේ මල් පිරිලා. මල් කඩන්න වට්ටියත් අරන් මිදුලට බැස්සට මොකද සීතල ඉවසන්න බැරි තරම්. විඩෙන් විඩේට චූටි පුතා ඇහැරිනවා. අක්කට නින්දක් නෑ. පුතා හම්බුණායින් පස්සේ අක්කගෙත් ලොකු වෙනසක් වුණා. ඉස්සර තිබුණ කඩිසර ගමන වුණත් එහි කලාවක් තිබුණා කීවනම් හරි. නිතරම දරුවා ගාවම ඉන්න තමයි අක්කා උත්සාහ කරේ. පැටියා හම්බෙන්නත් කලියෙන්ම අක්කා මේ දේවල් වලට ලක ලෑස්ති වුණා. මට මතකයි ඒ ලක ලෑස්තිය අතරේ නිතරම පන්සල් යෑමටත් අක්කා පුරුදු වුනා. අක්කා කීවේ දරුවෙකු ලැබෙන්න කලින් ඉදන් ම එයා ආගමට ලැදි දරුවෙක් කරන්න ඕන කියලා. ඔව් එයා ඒ දේවල් බලාන ඉන්නේ

දොයි දොයි දොයි දොයිය පුතා - බයි බයි බයි බයිය පුතා

බුදු සරණයි පුතුට මගේ

දම් සරණයි පුතුට මගේ

සඝ සරණයි පුතුට මගේ

තුන් සරණයි පුතුට මගේ

අප සාම්ප්‍රදායික සමාජය තුල පවතින මේ දරු නැලවිල්ල ආදී මානවයාගේ සිට ම මේ දක්වා භාෂාව, කලාව හා සංස්කෘතිය මත පදනම් වෙමින් අප අතරට පැමිණ ඇත. මේ කවි ගී අතර පදනම ඔබ මා අතරට හැගීම් සමුදායක ආත්මීය බන්ධනයක් ලෙස ජීවන චර්යාවට එකතු වී ඇත. නැලවිලි ගීයක් නිර්මාණය වූයේ මවකගේ හැඟීම් තුලින් නැගුණු දාරක ප්‍රේමය හා සෙනෙහස මූලික කොටගෙනය. මේ කිසිදු කවියකවත් අනර්ථ යෙදුම් ගැබ්වී නොතිබුණ අතර සාරවත් සාරධර්ම වගේ ම ගෞරවනීය ගනුදෙනු තිබුණා. අතීතයේ ඉස්පිරිතාල, වෙද නලා තිබුණේ නෑ. නමුත් දීර්ඝකාලීන මහා සංස්කෘතිය තුලින් ලැබුණ නාඩි ශාස්ත්‍රයන් වගේ ම හෙල වෙදකම තිබුණා. චාරිත්‍ර වාරිත්‍ර රැසක් පවිත්‍ර සංස්කෘතියක් ලෙස බද්ධ වී පැවතුණා. එකෙනෙකාට උදව් පදව් කරගැනීමේ සාමූහික බවක් ඔවුන්ගේ හදවත් තුල මුල් බැසගෙන තිබුණා. මේ සියලු කාරණා පන්සල සමඟ බැඳී පැවතුණා. මේ හේතුවෙන් දරුවෙකු ලැබීමට සිටින මොහෙතේ පටන් දරුවා හැදී වැඩී පරිණත වීම තෙක් අම්මා අප්පච්චි යන මානව බැදීම මේ තුලින් ශක්තිමත් කලා. මෙයට හේතු වූ ප්‍රබල සාධකයන් අතරට දරු නැලවිල්ලට ද මූලිකත්වය හිමි වෙනවා.

ජාතිය රන් විමනක් වේ

ආගම මිණි පහනක් වේ

එය රැක ගැනුමට මෙලොවේ

සමත් වෙතොත් පුත නුඹ වේ

මුණි සිරිපා සිඹිමින්නේ

සමනොල ගිරි පෙදෙසින්නේ

මද සුළඟයි මේ එන්නේ

මගේ පුතා නැලවෙන්නේ

ජාතික තොටිල්ලේ එන මෙම කවි පෙලෙන් කියවෙන කරුනු කාරණා කිහිපයකි. ජාතිය යනු රත්තරං විමානයකි. මෙය ආලෝකමත් වන්නේ ආගමෙනි. ආගම ජාතිය තම සංස්කෘතියේ අභිමානය යී. මේ අභිමානවත් බව රැකගැනීමට නම් දරුවෙකු ලෙස නිර්මාණය වූ මානව උත්පත්තිය යසසින් ගොඩනැගීම කල යුතු යි. සොඳුරු මිනිසෙකු දායාද කිරීමට නම් මේ සංකල්පයන් මූලික දරු උපතේ සිට ලබා දිය යුතු යි. බුදුන් වහන්සේගේ පාදස්පර්ෂයෙන් වන්දනීය වූ මාතෘ භූමිය තුල බිහි විය යුත්තේ සාරවත් ජීවිතයන් ය. මේ හේතුවෙනුයි අම්මා කියන්නේ මේ මද සුළඟ පවා ගෞරවනීය බව. එම අභිමානවත් බව හා සෞන්දර්යවාදී ආකල්ප තුලින් මිනිසාට, සමාජයට නිරූපණය කරේ නිර්මල වූ ආගමිකත්වය යි.

කන්දක් ගිනි ඇවිලෙන්නේ 

හැන්දක් කිරි බීපන්නේ

නැන්දත් නුඹ නලවන්නේ

නින්දක් නිදියා ගන්නේ

දෑතේ වළලුන් නැතිකෝ

දෙපයේ ගිගිරිත් නැතිකෝ

අම්මා එයි දැන් හනිකෝ 

නාඩන් සුරතල් මැණිකෝ

සාම්ප්‍රදායික ගොවිතැන උරුමකරගත් නිර්ව්‍යාජ ගැමියා තුල තිබුණු කටුක කර්කශක බව මේ සෑම ජන කවියක් තුලම තිබුණා. මේ කවි තුලින් කියැවුණේ ඔවුන්ගේ හැඟීම්. ඒ තුල විටෙක දුක, සතුට, ප්‍රේමය, සෙනෙහස, ගැබ්වී තිබුණා. ඔවුන්ට එදිනෙදා ජීවන කුටුම්භයන් පෝෂණය කිරීමට පමණක් ජීවන ඇවතුම් පැවතුම් නිර්මාණය කරගෙන තිබුණා. වර්තමානය මෙන් මහා මිල මුදල් විශාල ගෙවල් දොරවල් මෙන් ම තරාතිරම් උවමනා කර තිබුණේ නැත. දරුවාට පවා ඔවුන් ඉගැන්වූයේ එකෙනෙකාට ගරු කරමින් යහපත් පුරවැසියෙකු ලෙස ජීවත් වීම පමණයි. මේ හේතුවෙන් මවක් හෝ පියෙක් දරුවෙකු වැඩීමට විදින් දුක් කම්කටොලු කවි නිර්මාණ තුලින් පැවසුවා. මේ බව දරුවාගේ මනස තුල නිර්මාණය වූයේ නැති බැරිකම තිබුණ ද ලද දෙයින් සතුටු වීමේ ගුණය යි. මවක් පියෙක් කොපමණ අඟ හිඟකම් තිබුණද දරුවෙකුට අවශ්‍ය සියලු අවශ්‍යතාවන් සපුරාලීමට උත්සාහා දරනවා. ඒ තමයි දාරක සෙනේහවන්තකම. එදා ගොවිතැන් කරන කොට සතුන්ගෙන් අන්තරා වෙන්නට ඇත. දෙමාපියන් නොකා නොබී දරුවාට කවන්න පොවන්න ඇත. මේ කවීන් තුල ඇත්තේ ඒ චිත්තාකර්ෂණීය හැඟීම් ගොන්නයි.

උඹෙ අම්මා කිරට ගියා

කිරි එරවා එන්ට ගියා

කිරි මුට්ටිය ගඟේ ගියා

ගඟ දෙගොඩින් කොක්කු ගියා

කොක්කු ගගේ කිරි බීවා

ඇත්තු විලේ බොර කෙරුවා

කූඩැල්ලෝ පය කෑවා

එන්ඩ බැරුව කෑ ගෑවා

ජීවිතය යහපත් ලෙස ජීවත් කරගැනීම හරිම අමාරු කාරණාවක්. මෙය තවත් බරපතල වෙන්නේ පියෙකු නොමැතිව දරුවෙකු සමඟ කනවැන්දුම් වීමට සිදු වීමයි. ස්ත්‍රියක් ප්‍රේමය පතා පුරුෂයෙකු සමඟ විවාහා වීමත් පුරුෂයෙකු ප්‍රේමය පතා ස්ත්‍රියක් සමඟ විවාහා වීමත් ජීවිතයේ පැවැත්ම තීරණය කිරීමක්. ඒ පැවැත්ම තුල කෙනෙකුගේ අපවිත්‍ර හා පවිත්‍ර සිතුවිලි මත ස්ත්‍රියක් විනාශ හෝ ආරක්ෂා විය හැකිය. මෙහි ඇත්තේ ද එවැන්නකි. දරුවෙකු ලැබුණු මවක් දරුවා පැලේ දමා පලා නෙලන්න ගිය අවස්ථාවකි. අශිෂ්ඨසම්පන්න පිරිමියෙකුගේ රති සැප වෙනුවෙන් ඇය බිලිගන්නා මොහොතක ඇගේ තන පුඩු තුලින් නැගුණු ඒ කිරි සුවඳ නොදැනෙන්නට ඇති. දරුවා පිළිබඳ සොවෙන් ඇය පොර බදන්නට ඇති. කූඩැල්ලෝ පය කන වේදනාව ඇය දරාගන්න ඇති. අඩන්න ඇති. සොබාදහම මේ සියල්ල නිහඩව බලා සිටින්නට ඇත. මෙවැනි කාරණාවන් මෙම දරු නැලවිල්ල තුලින් මතු කිරීමට ගැමියා උත්සාහා දරා තිබීම පුදුමයට කරුණක් නොවේ ද. මෙම කාරණාව එදා සමාජයට පමණක් නොව අද සමාජයටත් ගැලපෙනවා නොවේ ද. මේ කදිම දරු නැලවිලි ගීය තුල ඇත්තේ එදා සමාජයේ සිදු වූ අකටයුත්තකි.

අඹර කුරක්කන් කළුවෝ

ගලකට පිටි කොයි කළුවෝ

රොටී එකක් උය කළුවෝ

අම්මට දීපන් කළුවෝ

ඔන්න බබෝ ඇතින්නියා

ගල් අරඹේ සිටින්නියා

ගලින් ගලට පනින්නියා

බබුට බයේ දුවන්නියා

දරුවෙකු මව් කුස තුල සිටම මේ කවි ගායනාවන් නිහඩව අසා සිටිනවා. දැහැමි සංකල්පයන් වගේම අශිෂ්ඨසම්පන්න කාරණාවන් ද ඔවුන් නිහඩව අසා සිටිනවා. ඒ දෑස් මෙන් ම හදවත් මේ කාරණාවන් මත නිර්මාණය වෙනවා. මේ හේතුවෙන් මව පියා සහෝදරයින් වැඩිහිටියන් මෙන් ම මිනිසුන් දෙස යොමන ඇස ආන්දෝලනයකට ලක් වෙනවා. විටෙක ඔහු සංවේදී වීමට පුළුවන. විටෙක රළු වීමට පුළුවන. මේ කාරණාවන් දෙක ම සිදුවන්නේ අපි දරුවෙකුගේ මනස නිර්මාණය කරන ආකාරයටයි. අනාදිමත් කාලයක පටන් ම ගැමියා දරුවන් නිර්මාණය කරේ පන්සල හා දහම් පාසල මූලික කරගෙන. මවක දරුවෙකු ලැබීමට පලමුව හා දෙවනුව මෙම ගායනා සිදු කිරීම වැදගත් වුණා. දරුවෙකු මවක් හා සම්බන්ධ වනුයේ පෙකනි වැල මූලික කරගෙන බව අපි කවුරුත් දන්නවා. ඒ දරුවා කෑම බීම පමණක් නොවෙයි ලෝකය දිහා බැලීමට පටන් ගන්නෙත් මවගේ ඇසින්. ඒ දීප්තිමත් නෙත් තුලින් මවක සතු උතුම් පැතුමන් ගෞරවනීය ලෙස වැළදගන්නවා. කවිය නිර්මාණය වූයේ නිර්ව්‍යාජවයි. එහි රචනයට පොතක් අවශ්‍ය වුණේ නෑ. මේ හේතුවෙන් දරුවා තුල මනසට දැරීමට හැකි ආකල්ප සංස්කෘතිය තුලින් මවක සතු ගෞරවනීය ප්‍රේමය තුලින් ගනුදෙනු කලා. 

ලොවේ පුතුන් බොහොම ඇතා

වඩා නැලෙව්වත් අඩතා

මගේ පුතා එහෙම නැතා

නාඩා නැලවියන් පුතා

ඉර මුහුදේ බැස යනවා

ඕලු නෙලුම් පරවෙනවා

සඳ අහසේ නැග එනවා

මගේ පුතා නිදියනවා

මෙම දරු නැලවිල්ල ජාතියක් ලෙස අපිට පමණක් උරුම වූ ලක්ෂණයක් නොවෙයි. මෙය විවිධ සමාජීයන් ඔස්සේ විවිධාකාරී මුහුණුවර ගනිමින් වර්ධනය වෙනවා. ආගම කුලය සංස්කෘතිය කුමක් වූ වත් දරුවා යනු දරුවෙක්ම පමණි. ඔහුට ජාති භේද අදාල නැත. ජාති භේදය ආගම් භේදය ඇති වන්නේ ඒ දරුවා හැදෙන පරිසරය හා සම්බන්ධ කොටගෙනයි. මිනිසා යනු උසස් මනසක් ඇති පුද්ගලයෙක්. ඒ මනස උසස් වන්නේ ඔහු සිදු කරන ක්‍රියාකාරකම් හේතු කොටගෙනයි. අපි ලමා මනසක් ගොඩනැගිය යුත්තේ සාරධර්ම මතින් ඇවිදිමිනුයි. ඒ සදහා විශේෂයෙන් මෙම කවි ගායනාවන් සිදු කල යුතු වනවා. අද වර්තමානයේ දරුවෙකු නැලවීමට තියා ලග ඉන්නවත් බැරි කාර්යබහුල බවක්නෙ තියෙන්නෙ. නමුත් දරුවෙකුට දෙමාපියන් හා සමඟ වැඩීම තුලිනුයි අනාගතය සුන්දරව දකින්න පුළුවන් වන්නේ. මේ කවි වලින් අපිට එදා කීවේ එය යි. 

ආරාරෝ ආරාරෝ ආරිවරෝ ආරාරෝ

ආරාරෝ ආරාරෝ ආරිවරෝ ආරාරෝ

මාමන් අඩිත්තානේ මාගල් මුට්ටූ කයියාරේ

ආතේ අඩිත්තානේ ඉමදූට්ටුම් කයියාරේ

අඩිරිප්පෝදී ඕඩුම් වන්දීරෝ තම්බී

අඩිරී මාලෙයි නාඩම් තන්දීරෝ තම්බී

අඩිරිප්පෝදී ඕඩුම් වන්දීරෝ තම්බී 

නෙල්ලූ මාලෙයි නාඩම් තන්දීරෝ තම්බී

පුලරප්පෝදී ඕඩුම් වන්දීරෝ තංගම්..//

විලරප්පෝදී ඕඩුම් වන්දීරෝ තම්බී

විලරෝ මාලෙයි නාඩම් තන්දීරෝ තංගම් 

මන්චල් පෝදී ඕඩුම් වන්දීරෝ තංගම් 

නෙන්ජල් නාලෙයි නාඩම් තන්දීරෝ තංගම් 

( මෙය දෙමළ දරු නැලවිල්ලකි )

හේ.. ඇයිද පැටී අඩාන්නේ - ඇයි ද පැටී අඩාන්නේ 

හේ..බොල පෙරුමල කුරට අඩාන්නේ

ඇයි ද පැටී අඩාන්නේ බොල

මොන්දි කුරේටයි අඩාන්නේ

හේ බොල.. එකක් දීපන් පමූට - ඇයි ද පැටී අඩාන්නේ

හේ බොල..කටු අල බොක්කිට අඩන පැටී..//

එකක් දීපන් පැටීට බොල - ඇයි ද පැටී අඩාන්නේ බොල

ඌයෙල මලෙට අඩාන්නේ..//

( වැදි දරු නැලවිල්ලකි )

අතීතයේ ගැමි ජීවන චර්යාවන් අතර බහුලව පැවති මෙම දරු නැලවිල්ල හුදෙක් ම සාම්ප්‍රදායික ගති සිරිත් පිලිබිඹු කලා. මේ ගති සිරිත් දරුවා දෙමාපියන් වෙත අප්‍රමාණ සෙනේහවන්තව හැදී වැඩුණා. කුස තුල සිටින නූපන් දරුවා මෙන් ම උපන් දරුවා ද මවගේ නිමක් නැති අප්‍රමාණ සෙනෙහස දැනවීමට අපූරු හැකියාවක් මෙම දරු නැලවිල්ලට හැකියාව ඇත. මෙය මිහිරි වගේ ම දරුවාට දැනෙන ආරක්ෂාකාරී බව මෙන් ම සුව නින්දක් ලැබීමටද සමත් වුණා. මේ තුලින් දරුවාගේ මනස තුල නිවැරදි බුද්ධි වර්ධනයක් සිදු වුණා. දරුවෙකු මව් කුස තුල සිටම සමාජය සමඟ බද්ධ වීම සිදු වෙනවා. ශබ්ධ වලට අනුකරණය වෙමින් සොබාදහමට කමක්‍රමයෙන් අනුකරණය වෙනවා. මේ අනුකරණය වීම සිදුවන විට දරුවා පිලිබද දැඩි උනන්දුවකින් දෙමාපියන් කටයුතු කල යුතු වුණා. මෙසේ නිවැරදිව හැදී වැඩුණු දරුවෙකු කෙදිනකවත් අශිෂ්ඨසම්පන්න පිරිමියෙකු ගැහැණියකු නොවේ වි. වැඩිහිටි නිවාස ඉදි නොවේ වි. ප්‍රේමය සෙනෙහස නිහතමානීකම එකමුතුකම විනයානුකූල බව ලෝකය පුරා පැතිරේවි. එද නිර්ව්‍යාජ සුන්දර ගැමියාගෙ සෙනෙහෙබර වූ මෙම දරු නැලවිල්ල තුලින් ඔබට මට ඉගැන්වූයේ මේ කාරණාවන්. මෙවැනි අභිමානවත් සංස්කෘතිය අද වන විට කුමන තත්ත්වයේ පවතීද. එය ඔබට මට සිතා ගැනීමට හැකිවේ ද. 

Top