නමින් පැවත ගල් පායට පළමුව ගලේ මලිගාවක් සැදුනේ
උනමායක් කර මුරුව කොටාලා පොකුණ මවා දුන් බිසවරුනේ
දියවර නෑමට පිරිසිදු වීමට පොකුණට බැස්සයි බිසවරුනේ
කපමින් උගුවැල වැටෙමින් ගලපිට බිසවරු ගිය අත දන්නෑනේ
අව් කාස්ටකේ වුවද, තුරු ගොමු මැද්දෙන් උජාරුවෙන් වැජඹෙන ගල්පාය ගම්මනයට ඉරගල මුදුන් වන්නට ඇත්තේ තව අඩ හෝරාවකට ආසන්න කාලයක් පමණි.
සැබැවින්ම ජනශ්‍රැති නම් විෂය පථයට මා ඉතා කුළුඳුල්ය. අත්දැකීම් ද ඉතා අවමය. නමුත් සී හෙලේ උරුමය රැකගනුවස් පිය නැගූවෙම් මා ගල්පාය නම් සොඳුරු ගම් පියසට. ඉදින් මෙවර වචන වෙබ් මාලාවේ සංස්කෘතික ලිපියෙන් මා ඔබ වෙත ගෙන එන්නේ බඹරගල ගම් පියස වටා ගෙතී ඇති ජනශ්‍රැතිය සහ පුරාවිද්‍යාත්මක සාධක පිළිබඳ මා විසින් සිදුකරන ලද විමර්ශනයක සොඳුරු මතකයන් පිළිබඳව ය.
සැබැවින්ම බඹරගල ජනශ්‍රැතිය සොයා යෑමේ ගමන පිළිබඳව මතක සේයා මා මෙසේ දිගහරින්නට සිතූවේ එය ජනශ්‍රැතිය නම් රත්‍රන් ගොන්නට මහඟු තෝතැන්නක් වේවියැයි මට සිතුණු නිසාය.
බුදු සිරිපා පහස ලද රුවන්පුරයෙහි සිට ඇඹිලිපිටිය දක්වා දිවෙන මහා මාර්ගයේ පල්ලෙබැද්ද නගරයෙන් වමට හැරී තුරු ලතා ගිරි ශිඛර මැද්දෙන් දිවෙන, මං පෙතේ මා ඉදිරියට ම ඇදුණෙමි. මෙහි පිහිටි උස්ව දිස්වන මහ ගිරි ශිඛර ඈතට දිස්වනුයේ ගල්පාය ගම්පියසේ ආරක්ෂාවට යොදවාලූ ප්‍රතාපවත් යෝධයන් මෙනි.
එහිදී මහ රහතන් වහන්සේලාගේ පාදස්පර්ශ ලත් පාරිශුද්ධ භූමියක් වන බඹරගල පර්වත රාජයා ශතවර්ෂ 23ක පමණ දුරකට නෑකම් කියන්නට සමත් වීම මාගේ පිය නැගුමට පාත්‍ර වූ ප්‍රධානතම කරුණ වේ. මෙම කඳු ශිඛරය පාමුල නටඹුන් වූ වෙහෙර, විහාර, ගල්ලෙන් මෙන්න ශිලා ලේඛන ඉතා ඈත ඉතිහාසයකට අපව රැගෙන යන්නේය. ආරණ්‍යයේ සිට පියගැටපෙළ ඉහළට ගමන් කළවිට හමුවන දහයියා ගල, කණ බිසෝ ලෙන, කණ බිසෝ ගල, කණ බිසෝ පොකුණ, ගල් වැට මෙන් ම කණ බිසෝ සොහොන යනාදී බොහෝ වූ ස්ථාන පිළිබඳව ජනශ්‍රැතිය, ගල්පාය නම් ගම්මානයේ පැරැණ්නන්ගෙන් අසා දැනගන්නට ලැබුණු අතර ඒවා තහවුරු කරන ලද පුරාවිද්‍යාත්මක සාධක ඔස්සේ ද විමසා බැලීමට මා අමතක නොකළෙමි.
ශ්‍රී ලංකාවේ ස්වභාවික ස්ථාන අතර ගල්ලෙන් සහිත කඳු ශිඛර සුවිශේෂි තැනක් ගනී. අතීත රාජධානි තුළ ගල් ශිඛර සඳහා සුවිශේෂී ස්ථානයක් හිමි වේ. අතීතයේ රජකම් කළ රජවරු තම ආරක්ෂාව සඳහා මෙවන් ස්ථාන වල තම රාජධානී ඉදිකොට ඇත. බොහෝ විට බෞද්ධ භික්ෂූ සංඝයාගේ විහාරය සඳහා ප්‍රයෝජනයට ගෙන ඇත. එවන් අතීත රාජධානියක් හා බෞද්ධාරාම බොහෝමයක් පැවති සුවිශේෂි පින්බිමක් ලෙස බඹරගල හඳුන්වාදිය හැකිවේ.
පැරණි සෙල්ලිපි සහිත ලෙන් 06 ක් සමඟ මෙම කන්දෙන් මෙතෙක් හමු වී ඇති ගල්ලෙන් ගණන 15 ක් වේ. බඹරගල ලෙන් තුල විශාල වශයෙන් බඹර වද බැද තිබීම මෙයට බඹරගල නම පටබැඳිමට හේතු වී යැයි ජනශ්‍රැතියේ පවතින්නකි.
එමෙන්ම මෙහි හමු වන ලෙන් වලට සාපේක්ෂව විශාල ලෙනක් වන කන බිසෝ ලෙන වැදගත් කමක් උසුලයි. දිගින් අඩි 100 ක්ද පළලින් අඩි 24 ක්ද වන මෙම ලෙන් පියස්සේ අඩි 24 දිගට කටාරම් කොටා ඇත. පසෙකින් මැටියෙන් බිත්ති බැඳ ඇති අතර එයට යාම උළුවස්සක් හා ජනේලයක් සකස්කොට ඇත.
එමෙන්ම වත්මන් බෝධීන් වහන්සේ අභියස ගල්තලාව මත දුන්නක ඊතලයක හා කඩුවක සටහනක්ද සටහන් වී ඇති අතර නාගර අක්ෂරයෙන් කොටා ඇති සෙල්ලිපයක්ද දැකගත හැකිය.
බඹරගල කන්දේ ඵෙතිහාසික පසුබිම ගැන කරුණු සෙවීමේදී එහි ඇති නටඹුන් ගල්කණු පිළිම ආදිය වැදගත් වේ. මෙහි ඇති විහාර ගොඩැල්ල පැරණි විහාරයක නටඹුන් සේම වෙහෙරගොඩැල්ල නම් ගල්ගොඩ විශාල චෛත්‍යයක නටඹුන් ය. මෙකී පුරාවිද්‍යාත්මක සාධක තුළින් නිරාවරණය වන කරුණු නම් රාශියකි. නමුත් ලබන සතියේ ඒ පිළිබඳ ලියාදක්වන බලාපොරොත්තුව ඇතිව මෙම ලිපිය මගින් මා බඹරගල ජනශ්‍රැතිය පිළිබඳ ඔබ වෙත ගෙනහැරපාන්නෙමි.
සැබැවින්ම බඹරගල හා බැඳුනු ජනශ්‍රැති නම් එමටය.
අතීතයේදී මෙය බලකොටුවක්ව පැවති ස්ථානයක් යැයි ඇතැම්හු පෙන්වා දෙති. කන්දේ ඉහළ නටඹුන්ව ඇති විශාල ගල් බැම්ම එහි කොටසකැයි අනුමාන කරන අතර එය ගරාවැටුණු ගොඩනැගිලි වල ගඩොල් සහ අවට පරිසරයෙන් සොයාගන්නා ලද ගල් වලින් සකසන ලද බැම්මකි. කෙසේ නමුත් මෙම බැම්මට ගඩොල් එකතු වන්නට ඇත්තේ පසුකාලීනව යැයි පුරාවිද්‍යාත්මක සාධක මගින් අනාවරණය වේ
මෙම කඳු මුදුනේ මංගර නම් රජකෙනෙකු විසූ බවත් ඔහු සතුව ඉතා වටිනා මානික්‍යයක් පැවති බවත් ජනප්‍රවාදයේ සඳහන් ය. මංගර රජු මාලිගයෙන් පිටතට යන විට මෙය දෙස බලා යාම සිරිතක්ව පැවති බවත් එය රහස් කුටියක තම දේවියටවත් නොපෙනෙන ලෙස තිබු බවත් පැවසේ.
එහිදී දේවියට මේ පිළිබඳව සැක සිතී හොර රහසේ දොර සිදුරෙන් බැලීමට ගිය විට එක් ඇසක් අන්ධ වූ බවත් අනෙක් ඇසත් තබා බැලු විට එයද අන්ධ වූ හෙයින් "කණ බිසව" ලෙස ඇයට නම පටබැදී ඇත. පසුව මංගර රජු විසින් ඇයට ආවතේව සඳහා පිරිසක් වෙන් කළ අතර ලෙනේ සිට ඉහළ පොකුණ වෙත යාමට ස්වභාවික වැල් වලින් සකසන ලද කණ වැලක්ද සකස්කර දී ඇත. එහෙත් ඇයට ආවතේව කිරීමට අකමැති මෙහෙකරුවන් පිරිසක් ලෙනේ බිමට දිවෙන කනවැල ප්‍රපාතයක් දෙසට දිවෙන පරිදි ඇද තබා ඇත. සුපුරුදු ලෙසින් කනවැල අල්ලාගෙන ඉහළ පොකුණට මුව දෝවනයට ගිය කන බිසව ප්‍රපාතයෙන් පහලට ඇද වැටී මිය ගිය බව ජනශ්‍රැති සාධක වලින් පැහැදිලි වේ. එහිදි මංගර රජු විසින් තමන් සතු වටිනා මැණික් ගලද රත්තරන් යෂ්ටි දෙකක්ද සමගින් කණබිසවගේ දේහය කණබිසෝ ලෙන අසල ගල්තලාවේ තැන්පත් කර ඇත. අදද එම ස්ථානය ගල් පියන් තුනකින් වසා ඇති අයුරු දැක ගත හැකි අතර මෙම නිධානය ගැනීමට ගල් බෝර දමා එම ප්‍රදේශය විනාශ කර ඇති අයුරු දැක ගත හැක. මේ අයුරින් කණබිසෝ ලෙනට නම පටබැදුනු අතර ඒ වටා බැඳුනු පුරාවෘතද අදටත් මුඛ පරම්පරාවෙන් ඉදිරියට ගෙන යනු ලබයි.
එමෙන්ම ඇය ස්නානය කරන ලද පොකුණ කණබිසෝ පොකුණ බවත් අදටත් එම පොකුණෙන් දිය නාන්නට කිසිවෙකුටත් නොහැකි බවත් අතීතයේ එසේ ස්නානය කරන ලද ඇත්තන් උමතුව මරණයට පත්වී ඇති බවත් ගම්මු පවසති.
මංගර රජු අභාවයෙන් පසු දේවත්වයක් ලැබූ බවත්, දැන් මංගර දෙවියන් යනුවෙන් හැදින්වෙන බවත් තතු දත්තෝ පවසති. මංගර දෙවියන් පිළිබඳව මෙම ප්‍රදේශයේ ගැමියන් අතර විවධ මත වාද ඇත. මංගර දෙවියන් හරකුන්ට අධිපති දෙවියෝ ගොපළු යකා ආදී විශ්වාස ඒ අතර ප්‍රධාන තැනක් ගනී. මංගර දෙවියන්ට පුද පූජා පැවැත්වීමෙන් තම ගවපට්ටි ලෙඩරෝග වලින් ආරක්ෂා වන බව ඔහු විශ්වාස කරති.
බඹරගල හා බැදුනු අපූරු ජනකථාවක් ඇත. අද ද මෙහි ගැමියෝ ගල්පාය කුඹුරු වපුරමින් ගොඩමඩ ගොවිතැන් කටයුතු කෘෂිකාර්මික දිවිපෙවතක් ගත කරයි. බඹරගල වන භූමිය ආසන්නයේ කුඩාව නම් ඔය ගලා බසී. එය හරස් කොට ගල් අමුණ හා තල් අමුණ ලෙස අමුණු 02 ක් පැවත ඇත. ඒ අනූව ගල්පාය වෙල නම් විශාල වෙල් යාය බිහි වූ අතර ගැමි පුද සිරිත අනූව එම කුඹුරු වැපිරීම ප්‍රදේශයේ ගොවියෝ සිදු කරයි.
අතීතයේදී මෙම කුඹුරු වපුරා අස්වනු නෙලීමේදී දෑකැති ලබා ගැනීම සඳහා බඹරගල ආරණ්‍ය මුල් කරගෙන අපූරු පුද සිරිතක් පවත්වා ඇත. අස්වනු නෙලීමට පෙර දින කුඩා ඔයෙන් නා පිරිසිදුවන ගොවීහු සුදු වතින් සැරසී සවස් යාමයේ දී පසු දින තමන්ට අවශ්‍ය දෑකැති ගණනට බුලත් කොළ තබති. පසු දින උදේ බඹරගල ලෙන් දොර අභියස ඇත්දත් මිටවල් ගැසූ රන් දෑකැති අවශ්‍යය පමණට තිබී ඇත. එම දෑකැති ගෙන තම කාරිය කරගත් ගොවීන් ඒවා පිරිසිදු කර සවස ලෙන් දොර අභියස තබා යති.
මෙහිදී අස්වනු නෙලූ දා රාත්‍රියේ අපූරු සිද්ධියක් වන්නේයයි මෙම ගැමි කථාවේ ම සඳහන් වේ. මංගර දෙවියන්ගේ කොටස හා ගොවීන්ගේ කොටස රාත්‍රී කාලයේ පැමිණෙන සුදු නයෙකු විසින් සම සමව බෙදා යන බවත් මංගර දෙවියන්ගේ තවලම් ගොනුන් පැමිණ එම වී අස්වනු බඹරගල භූමියට රැගෙන එන බවත් සඳහන් වේ.
එහෙත් පසුකලෙක ගොවීන් ලබාගන්නා රන් දෑකැති වෙනුවට එක් ගොවියෙක් වෙනත් දෑකැත්තක් තබා වංචා කිරීමත් සමග රන් දෑකැති දීම නතර වී ඇති අතර අස්වනු නෙලූ පසු ඒවා ගෙන යෑමට පැමිණෙන මංගර දෙවියන්ගේ තවලම් ගොනුන්ගේ නායක ගොනා පිට මත බොල් වී ගෝනියක් පැටවූ දින ගල්පාය අමුණ බිදී ගොස් මහ විනාශයක් වී ඇති බවත් අද දක්වාම මෙම අමුණ කිසිම ආකාරයකින් පිළියෙළ කිරීමට නොහැකි වි ඇති බවත් ගැමියෝ පවසති.
මෙම ජනකතාව දැඩි භක්තියකින් විශ්වාස කරන වැඩිහිටි ගැමි ගොවීහු වෙති. අද ද ගල්පාය ගම හා බඹරගල ආරණ්‍ය අතර පවතින්නේ යහපත් සම්බන්ධතාවයකි. මෙම ප්‍රදේශ වලට දැඩි ඉඩෝරකාලවලදී බඹරගල ආරණ්‍ය භූමියේ කන්ද උඩ ඇති 17 පමණ ගැඹුරු පොකුණ ඉසීම පෙර ලෙසින් ම අද ද ගැමියන් ප්‍රදේශයට වැස්ස බලාපොරොත්තුවෙන් කරන චාරිත්‍රයකි. මෙය සිදුකල විට අනිවාර්යයයෙන්ම මෙම ප්‍රදේශයට වැස්ස ලැබෙන බව මෙහි වෙසෙන හිමිවරු පවසති. එහෙත් 1992 පැවති නියඟයේදී පොකුණ ඉස්ස විට බඹරගල කන්ද සීමාවට පමණක් එම වේලේම වැසි ලැබුණු බව විහාරවාසී හිමිවරු පවසති. බඹරගල ආසන්නයෙන් කුඩාව ඔය නිසොල්මනේ ගලා බසී. මෙය වලවේ ගඟ පෝෂණය කරන අතුගංගාවකි. ඔයෙන් මෙපිට පුස්සතොට ප්‍රදේශයේ අතීත ජනාවාස තිබී ඇත. මේ හා සමානව ජනාවාස තිබු ප්‍රදේශයක් වනුයේ බඹරගලට ගිනිකොන දෙසින් පිහිටි වෙහෙරබින්ද යාය ප්‍රදේශයයි. පුස්සතොට හා වෙහෙර බින්ද යාය ප්‍රදේශ දෙකහිම පතල් කැනීමේදී වළංකොටු, ගල්කණු, මැණික් මාල, තඹ කාසි අදිය හමු වී ඇත.
පර්‍යේෂණ කටයුත්තට සහය දැක්වූ බඹරගල ආරණ්‍යය සේනාසනයේ ස්වාමීන්වහන්සේලාට සහ ගල්පාය සහ බඹරගල ගම්වාසී සියළුම දෙනාටත් මේ සඳහා නොමඳව සහය ලබාදුන් ප්‍රසන්න චන්ධික මහතාටත් බෙහෙවින්ම මා ස්තූතිවන්ත වෙමි. සැබැවින්ම මනරම් වූ පරිසරයකින් සමන්විත වන මෙම බඹරගල ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක වටිනාකම පුරාවස්තු සහ සෙල්ලිපි ඇසුරින් විමසා බලන කල හෙළිවන බොහෝ දෑ ඇති අතර ඒවා බොහෝ සෙයින් ගම්මුන් පවසන ජනශ්‍රැතික කාරණා හා සසඳමින් සවිස්තරාත්මක තොරතුරු ලියැවුණු වෙනත් ලිපියකින් ලබන සතියේදී හමුවෙමු.