ක්‍රිස්තු වර්ෂ 1603 එනම් ජපානයේ එදො යුගයේ ගිම්හාන සමයේ සැඳෑවක ක්යෝතෝවේ 'කමොගව' නම් ගංගා ඉවුරෙහි ඉසුමෝ දෙවොල අසල ‘ඉසුමො නො ඔකුනි’ නම් කාන්තාව සමඟ කාන්තාවන් පිරිසක් විසින් මනහර රංගනයක් රඟ දැක් වූ අතර එය පොදු ජපන් ජන සමාජය තුළ ක්ෂණයකින් ප්‍රචලිත විය. ගීත(හයරි උත) සහ බෞද්ධ නර්තනයන්ගෙන් (නෙත්බුත්සු ඔදොරි) සම්මිශ්‍රිත ව නිර්මාණය වී තිබූ මෙම ගායන, නර්තනයන්ගෙන් සපිරි රංගනය ජපන් කබුකි නාට්‍යය සම්ප්‍රදායේ මූලාරම්භය විය. ජපන් සංස්කෘතිය තුළ කාන්තා චරිත සඳහා ප්‍රසිද්ධ ස්ථානවල රංගනයේ යෙදුණේ පිරිමි පාර්ශ්වය විසිනි. කාන්තාවන් ප්‍රසිද්ධ ස්ථානවල රංගනයේ යෙදීම සිදු නොවූ අතර ඔකුනි විසින් සිදු කළ මෙම ක්‍රියාව හේතුවෙන් ජපන් සංස්කෘතිය තුළ ස්ත්‍රිය කළ එළි බැසීම සිදුවිය. ඔකුනිගේ නර්තනයන්ට පැරණි ජපන් ගැමි නැටුම් ආභාසය වී තිබුණි. කාන්තාවගේ ලාලිත්‍යයෙන් පරිපූර්ණ මෙම රංගනයන් ජන මන බැඳගැනීමට පසුබට නොවුණි. මෙය ‘ඔකුනි කබුකි’ලෙස හැඳින්වූ අතර 1613 ඉසුමො නො ඔකුනි මියයාමත් සමඟ මෙම රංගනයන් පිරිහිණි.
ඔකුනි කබුකි අභාවයට යත් ම ‘ඔන්න කබුකි’ නිර්මාණය විය. ඒ සඳහා තරුණ කාන්තාවන් දායක වූ අතර ඉන් බහුතරය ගණිකාවන් වීම හේතුවෙන් රංගනයේ භාවාත්මක බව සහ ශෘංගාරාත්මක බව ඉතා ඉහළින් පැවතුණි. එබැවින් මෙ’ යුජෝ කබුකි’ ලෙස ද හැඳින්වුණි. එහෙත් වර්ෂ 1629 වනවිට මේ තුළින් ඇති වූ සමාජ ගැටලු හේතුවෙන් ජපානය තුළ මෙම කබුකි සම්ප්‍රදාය තහනම් වුණි. අනතුරුව ඇරඹුණේ ‘වකෂු කබුකි’ සම්ප්‍රදායයි. මේ සඳහා වයස අවුරුදු 13-15 අතර සියුමැලි තරුණයන් සම්බන්ධ වූ අතර ඔවුන්ගේ සියුමැලි ස්වරූපයට පුරුෂයන් සහ සමුරායිවරුන් ආකර්ෂණය වීම හේතුවෙන් මෙම කබුකි සම්ප්‍රදාය ද වර්ෂ 1652 දී ජපානය තුළ තහනමට ලක්විය.
මේ සියලු බාධක හමුවේ නො නැවතුණු ජපන් කබුකි සම්ප්‍රදාය සඳහා ඊළඟට අවතීර්ණ වන්නේ වැඩිහිටි පිරිමි පාර්ශ්වයයි. වකෂු කබුකි සඳහා සම්බන්ධ වූ තරුණයන් නළලට වැටෙන සේ කෙස් සකසා සිටි අතර එය ‘මළුගමි’ ලෙස හැඳින්වුණි. වැඩිහිටි පුරුෂයන් සම්ප්‍රාප්ත වූ කබුකිහි දී මෙම හිසකෙස් කපා දැමූ අතර එය ‘යරෝ අතම’ ලෙස හැඳින්වුණි. ඒ හේතුවෙන් ම මෙම කබුකි සම්ප්‍රදාය ‘යරෝ කබුකි’ ලෙස නම් විය. මෙහිදී නළුවන්ට මූලික වශයෙන් කාන්තාවන් මෙන් හිසකෙස් විලාසිතාකරණය සහ මෝස්තර භාවිතය තහනම් වුණි.
‘කබුකි’ යන වචනය සම්බන්ධයෙන් විවිධ නිර්වචන පවතින අතර ඒ තුළින් මෙම රංග සම්ප්‍රදාය නිරූපණය වේ.’කබු’ යනු චීන වචනයක් බවත් එහි ‘ක’ තුළින් ගායනයත් ‘බු’ තුළින් නර්තනයක් හැඳින්වෙන අතර චීන ජාතිකයන් එයට ‘සු’ එකතු කර ‘කබුසු’ ලෙස නිර්මාණය කළ ද පොදු ජන උච්චරණයේ පහසුව උදෙසා ‘කබුකි’ ලෙස පසුව වෙනස් වී ඇත. තවත් අදහසක් වන්නේ කබුකු(නම්‍යතාවය)කබුකි ලෙස බිඳී ආ බවයි. කෙසේවෙතත් කබුකි යන්නෙහි අර්ථය සමස්තයක් වශයෙන් ගත්කළ ගායනයේ සහ නර්තනයේ නිපුණතාවයේ ඒකීයත්වය වේ.
කබුකි නාට්‍ය රඟදැක්වීමේ මූලික පරමාර්ථය නළුවන්ගේ රංගන හැකියාවන් ප්‍රදර්ශනය කිරීමයි. එසේ ම ජනයා පිනවීමත්, සමාජයට උපදේශාත්මක පණිවිඩ ලබාදීමත් මෙහි සෙසු අරමුණු වේ. කබුකි නාට්‍යය සියල්ල සෙමෙන් ආරම්භ කර වේගවත් වී ක්ෂණයකින් අවසන් වන රිද්මයකට අනුව නිර්මාණය කර ඇති අතර කලින් කල වෙනස් වෙමින් ජපන් කබුකි නාට්‍යය වර්තමානය දක්වා විකාශනය වී ඇත. කබුකි නාට්‍යය ප්‍රධාන වශයෙන් වර්ග හතරක් ලෙස පවතියි.
1.වංශවතුන්ගේ සහ සමුරායිවරුන්ගේ ඓතිහාසික කතා පුවත්
2.වෙළඳුන්ගෙ ජීවිත තේමා කොට ගත් එදො යුගයේ කතා පුවත්
3.නර්තනය මූලික කොටගත් නාට්‍යය
4.මෙයිජි යුගයෙන් පසුව නිර්මාණය වූ නාට්‍යය
ආරම්භයේ දී කබුකි නාට්‍යය දිනයක් පුරාවට රඟ දැක්වූ අතර එහිදී නාට්‍යය කොටස් වශයෙන් හෝ සම්පූර්ණයෙන් ම දිනයක් තුළ රඟ දක්වා අවසන් කෙරුණි. ජපන් කබුකි නාට්‍යය ප්‍රධාන වශයෙන් කොටස් පහකට බෙදා දැක්විය හැක. එහිදී පළමු කොටස තුළදී චරිත සහ කතා වස්තුව පිළිබඳ හඳුන්වාදෙමින් සුභ සහ මන්දගාමී ආරම්භයක් ලබාදෙන අතර දෙවන සහ හතරවන කොටස්වල සටනක් වැනි දේ දැකගත හැක. තෙවන කොටස තුළ ඛේදවාචකයක් හෝ අතිශයෝක්තිගත සිඳුවීමක් දැකගත හැකි අතර ම අවසාන කොටස වන පස්වන අංගය ක්ෂණික සහ තෘප්තිමත් අවසානයක් ලබාදෙන සංක්ෂිප්ත අංගයකි.
කුමන කබුකි වර්ගයට අයත් නාට්‍යයකට වුව යොදාගනු ලබන්නේ එදො යුගයට අයත් වස්ත්‍රාභරණ වීම මෙහි දක්නටලැබෙන සුවිශේෂී ලක්ෂණයකි. එහිදී මෙම වස්ත්‍රාභරණ ඉතා වර්ණවත් ලෙසත් විචිත්‍රවත් ලෙසත් නිර්මාණය කරනු ලැබේ. කබුකි නාට්‍යය තුළ වන වර්ණ භාවිතය නාට්‍යයයේ චරිතයන්හි මනෝභාවයන් ඉස්මතු කරන සහ ප්‍රේක්ෂකයාට චරිතය නිරූපණය කරන කැඩපතක් වැනි ය. කබුකි නළුවන්ගේ රංග වස්ත්‍රාභරණ පමණක් නොව ඔවුනගේ භාෂා විලාසය, හැසිරීම ද දුටුවන් මන බඳින සුලු ය. වස්ත්‍ර තුළින් මනෝභාවයන් නිරූපණය කරන්නාක් සේ ම නළුවන්ගේ සිරුරේ ගල්වන ආලේපයන් තුළින් ද විවිධ අර්ථයන් නිරූපණය කෙරුණි. කබුකි රංගන ශිල්පීන්ගේ ආලේපන ගැල්වීම හඳුන්වන්නේ කුමදෝරි කිරීම වශයෙනි.එය ඉතා සියුම් ලෙසත් චරිතයට ආවේණික මනෝභාවයන් නිරූපණය වන ලෙසත් සිදු කරනු ලබන සුවිශේෂි කාර්යයකි. මෙහිදී කළු පැහැය ඇතුළු අඳුරු වර්ණ තුළින් අයහපත් පුද්ගලයින් නිරූපණය කරන අතර ඉතා දීප්තිමත් වර්ණයන් තුළින් යහපත් පුද්ගලයින් නිරූපණය කරනු ලැබේ. එක් එක් චරිතයේ චරිත ලක්ෂණ නිරූපණය සඳහා යොදාගන්නා සම්මත වර්ණයන් ජපන් කබුකි තුළ දැකගත හැකි ය.රතු පැහැය යුක්තිය, බලය, යහපත නිරූපණය කිරීමටත්, නිල් පැහැය භූතාත්ම, දුෂ්ටයින් නිරූපණයටත්, දුඹුරු පැහැය රාක්ෂයින්, යක්ෂයින් නිරූපණයටත් යොදාගනු ලැබේ.
කබුකි වේදිකාවේ අවස්ථානුකූල ව තිර(මකු) යොදාගැනීම දැකගත හැකි ය. කබුකි රංග වේදිකාවේ පවතින වැදගත් ම තිරය වන්නේ 'ජොෂිකි මකු' වේ. මෙම තිරය වර්ණ තුනකින් සමන්විත වේ. දුඹුරු, ලා කහ, කළු වර්ණයෙන් යුතු මෙම තිරය විවෘත කිරීමෙන් නාට්‍යය ආරම්භ සිදු කෙරෙයි. නාට්‍යයේ ජවනිකාව සහ වේදිකා උපකරණ මාරු කරන අවස්ථාවේදී ලා කහ පැහැ තිරයක් යොදාගනු ලැබේ.තිර යෙදීමේ දී නළුවා මිය යන අවස්ථාවෙන් පසු ප්‍රේක්ෂකයාට ඔහුව නොපෙනෙන ලෙස වේදිකාවෙන් ඉවත් කිරීමට ද තිර යොදාගන්නා අතර එය 'කෙෂි මකු' ලෙස හඳුන්වයි.එසේ ම වේදිකාවේ පිටුපස කළු පැහැ තිර යෙදීම තුළින් විද්‍යමාන කරනුයේ එය මධ්‍යම රාත්‍රිය බවයි.වේදිකාව කෙතරම් ආලෝකකරණය කර තිබුණ ද කළු තිර යනු රාත්‍රිය නිරූපණය කිරීමක් බව ඔවුහු වටහාගෙන සිටියි.කබුකි ප්‍රේක්ෂකයන් විසින් එම සම්ප්‍රදායේ විවිධ අවස්ථා නිරූපණයට යොදාගන්නා සංකේත පිළිබඳ අවබෝධයකින් යුතු ව නිර්මාණයන් රසවිඳ ඇති බව මෙයින් හඳුනාගත හැක.
කබුකි නාට්‍යය රඟ දක්වන්නේ පිරිමි නළුවන් විසින් බැවින් ඔවුන් හඳුන්වනු ලබන්නේ 'ඔන්නගත' යනුවෙනි.මෙම රඟ දැක්වීම්වලදී ජපන් කාන්තාව ඉක්මවා යමින් යම් යම් රඟ දැක්වීම් සිදු වූ අවස්ථා පැවතිය ද ජපන් විචාරකයින් දක්වන්නේ ජපන් පුරුෂයන් ස්ත්‍රී චරිත රඟ දැක්වීම තුළින් ජපන් පුරුෂයන් අපේක්ෂා කරන ජපන් ස්ත්‍රිය නිරූපණය වන බවයි.එසේමකබුකි නාට්‍යය තුළ සටන් ජවනිකා දැකගත හැකි අතර එම කඩු සටන් හඳුන්වන්නේ 'තතෙ' යනුවෙනි.මෙහිදී නළුවන් එම සටන් ජවනිකා ඉතා තාත්වික අයුරින් නිරූපණය කිරීම සඳහා විවිධරංග ශෛලීන් භාවිත කරනු ලැබේ.කබුකි නාට්‍යයන්හි වාදනය සඳහා යොදාගන්නා 'ෂමිසෙන්' සහ 'ෂකුහචි' ප්‍රධාන වාද්‍ය භාණ්ඩ දෙක වන අතර මෙම නාට්‍යයන් සඳහා යොදාගන්නා සංගීතය සුවිශේෂි වේ.ඔවූහු නාට්‍යය සඳහා විවිධ ශෛලින්ගෙන් යුතු සංගීතය යොදාගන්නා අතර 'කියොමොතො' 'ජෝරුරි' 'තොකිවසු' ඉන් කිහිපයක් වේ.
කබුකි නළුවා බොහෝවිට වේදිකාවට ප්‍රවිශ්ට වන්නේත් පිටත් වන්නේත් 'හනමිචි' නම් පටු වේදිකා තීරය ඔස්සෙ ය.මේ නිසා ප්‍රේක්ෂකයාට නාට්‍යයේ නළුවන් සමීප ව දැකගත හැකි ය. මෙය මල් පටු මඟ නම් වේ.එය බුමුතුරුණු එළන ලද අලංකාර මාර්ගයකි.1730දී පමණ ප්‍රථම වරට යොදාගත් කැරකෙන වේදිකාව(මචරි බුතයි) තුළින් වේදිකාවේ රංග ජවනිකා ඉක්මනින් වෙනස් කිරීම සිදු කරනු ලැබේ.එසේ ම 'සෙරි' යනුවෙන් හඳුන්වන කබුකි වේදිකාවේ පොළොව මත සෑදු විවරයක් වේ.මේ මඟින් නාට්‍යයේ අවශ්‍ය අවස්ථාවන්හිදී නළුවන් සහ නාට්‍ය උපකරණ ඉහළට එසවීම සහ පහළට දැමීම සිදු කරනු ලැබේ.
කබුකි නාට්‍යය තුළ විවිධ සුවිශේෂි ලක්ෂණ දැකගත හැකි අතර නාට්‍යයේ උච්චතම හෝ සුන්දර අවස්ථාවන්හිදී ප්‍රේක්ෂකයාට තිගැස්මක් ඇතිවන පරිදි ලී පුවරු මඟින් ශබ්දයක් නිකුත් කිරීම දැකගත හැක.මෙය 'ඔතො' ලෙස හැඳින් වේ. කබුකි නාට්‍ය රංගධරයන් විසින් ඉතා විශිෂ්ට රංගනයක් ඉදිරිපත් කළ අවස්ථාවන්ගේදී රංගන ශිල්පියාට අයත් පෙළපත් නාමය හඬනගා කියනු දැකිය හැකි විශේෂ ලක්ෂණයකි.මෙය 'කකෙගොළු' ලෙස හැඳින්වේ.එබැවින් බොහෝවිට රංගන ශිල්පීන්ගේ ජනප්‍රියතාවය තීරණය වන්නේ ඔවුන් තම චරිතයේ රංගනයට සිදු කරන සාධාරණත්වය මත ය.
ජපන් සංස්කෘතිය තුළ පවතින විවිධ නාට්‍ය සම්ප්‍රදායන් අතරින් ඉතා දිගු කාලයක් පුරාවට නොනැසී පවතින නාට්‍යය සම්ප්‍රදායක් වන කබුකි නාට්‍යය සම්ප්‍රදාය ජපානයට ආවේණික වූවකි.එය ජපන් සංස්කෘතියේ අනන්‍යතාවය පෙන්නුම් කරන සුවිශේෂි අංශයක් වන අතර විසිවන සියවසේ ජපානය තුළ ඇති වූ තාක්ෂණික විපර්යාස හමුවේ පවා නොනැසී පවතින කබුකි නාට්‍ය සම්ප්‍රදාය පොදු ජනයාට රසවින්දනය උදෙසා ශේෂ වූ තවත් එක අංශයක් පමණක් ම නොවේ.