වැව් දියට නම් බැඳුණේ කොහොමද? (469)

post-title

ඒ, අඩැසි හිරු රැස් සුසුම් හෙළන,සකුණන්ගේ කූජන දසත විහිදී ගිය, නිහඬ මුත්, තවත් එක් සොඳුරු සැඳෑ යාමයකි. ඒත් එක්කම..., 

පේනවද......? 

ආං අර ඈතින් විහිදී ගිය මහා වනස්පතිඳුන් ඉදිරියේම ගාම්භීරත්වයක් උසුලන රූස්ස ගස මුදුනෙන් සොමිවත මෝදුවන අපූරුව....කාලාන්තරයක පටන්, බොහෝ සුන්දර සවස් යාම වලදි, මමත් පූනම්මත් වෑ කන්ද දිගේ ඇවිදිමින් හිනාමල් පොකුරු අතැඟිල්ලෙ දවටාන, මහා වැව් දිය දෙස ඇසිපිය නොහෙළා බලා හිටින්න පුරුදු වූයෙ නිරායාසයෙන්මයි. 

ඉතින්..,ඉරගල මිලින වේගන යන බොහෝ යාමයන්හි අත්තප්පාත් සමගම ඒ ඉසව්වට අප දෙදෙනාගේත් අඩිකැඩුනෙ ඉබේටමය. නමුත්,බොහෝ සලෙලුන් එහි සරන නිසාවෙන් අත්තම්මාගේ නම් ඒ හැටි කැමැත්තක් ඊට නොවූවද , එය ගණනකටවත් නොගෙන හිටීමට එකම හේතුව වූයේ අත්තප්පාගෙන් අපට ලැබුණු සහයෝගයයි.

අතොරක් නොමැතිව නිසල වැව්දිය මතින් හමාගෙන එන සිහින් පවන් රළට පූනම්මාගේ කෙහෙරැල්ලක් නිතරම පාහේ තාලෙට නැළැවෙන්නෙ , හරියට සීගිරි ළලනාවකගෙ සිරි අරගෙන වාගෙයි. හැබෑවටම රජ කාලෙ බිසෝවරුත් මේ වාගෙම ඉන්නැති මගෙ හිතේ...

***************

ජහ.....ජහ ජහ.....ජහ හරක...ජහ...

ඒ වෑ කන්ද ඉසව්වේ සිටන් ගම් තුලාන දෙසට හරක් බාන් යුගලය දක්කාන එන අත්තප්පාගේ හඬය. කොයියම්ම හෝ මොහොතක ඇසෙන ඒ හඬට පූනම්මා නම් උඩ ගිහින් බිම වැටෙන විත්තිය මං දැනන් උන්නේ උන්දෑ බොහෝ වේලාවක පටන් අහස පොළොව ගැටලන්න මෙන් සිටි කල්පනාවේ තරම දැනන් උන්නු නිසාය.

හැබෑවටම ඈතින් අඩිකඩන අත්තප්පා දෙස මං බලන් උන්නේ සෙනේ පිරි දෑසින් යුතුවය. මීළඟට ඔහු මදකට නැවතී ආකාහෙ දිහා දෑස් යොමා මොන මොනවදෝ සොයන්නේ සුපුරුදු වාක්‍ය කිහිපය දොඩන්නට මාන බලාගෙනය...

" අන්ද බීතයක් නම් පේන තෙක් මානෙකවත් නෑ හීං එකෝ...

මේං මෙහෙ වරෙං දුවේ කොලුවා එක්ක..ආං අරහෙ උඹලෑ අම්මා ඉස්පාසුවක් නැතිව මග රැකන් ඇති..ඒ කාලෙත් ඔය වාගෙමයි ඕං... මානෙල් මල් මිටක් කඩාගෙන මහ සෑ හාමුදුරුවෝ වැඳපුදාගන්ට උන්දැ පුදුම මනාපයි නොවැ.."

"අප්පොච්චි සුනංගු මොකදෑ කියලයි අපි බලං උන්නෙ, හෙනම් යමු පොඩ්ඩො.."

යැයි පැවසූ පූනම්මා සමගම මමත් පිටුපසින් පැමිණෙන අත්තප්පා සහ ගොං දෙබානත් නිවස දෙසට හනිකට අඩි කැඩුවෙමු. 

එතැන් සිට නිවසට හැතැප්ම එක හමාරක් පමණ දුරය. වෙනදාට නම් ඉස්පාසුවක් නැතිව නන් දොඩවන පූනම්මාගේ කටද අද ඉබි යතුරු දමා ඇති සේය. එනිසාම, නිහඬතාවම බිඳිමින් මා අත්තප්පාගෙන් ඇසුවේ කාලයක් පුරාවට අසන්නට සිටි පැනයකි.

" අත්තප්පේ, අපේ වැවට තිසා වැව කියල නම හැදුනෙ කොහොමද? හැබෑවටම අපේ රටේ වැව් වලට නම් හැදුනෙ කොහොමද?

***********

හැබෑවටම වැව් දියට නම් බැඳුණේ මෙහෙමයි. 

ලක්දිව පුරාවට වැව් රාශියක් ඇති බැව් නොරහසක් වග ඔබ දන්නා කරුණකි. එකී ඕනෑම වැවකට නමක් ඇත. එසේ නමක් සෑදෙන්නේ නිරායාසයෙන්ම නම් නොවේ. ඊට යටගියාවේ රසබර කතාපුවත් රැසක් ඇති අතර බොහෝ විට ජනශ්‍රැතියේ එන පරිදි ඊට හේතු වන්නේ වැව ඉදිකිරීමට හේතු වූ කාරණා මගින්ම වැවේ නම සෑදී ඇති බවයි.

අප රට අනාදිමත් කාලයක පටන් වාපි ශිෂ්ටාචාරයකින් පැවත එන්නකි. සැබැවින්ම සිහිල් පවනින් රැළි නගන වැවක සිහිලස සේම හද විකසිත කරවන මිහිරි වූ කතා පුවත් රැසක්ම මේ ඇසුරෙන් නිර්මාණය වී ඇත. එමගින් අරුත්බර ජීවන අත්දැකීම්

ගොන්නක්ද වැවට නම් සැදුණු ආකාරය විමසන විට ලබාගතහැකි වනවා නොඅනුමානය. 

ලක්දිව පුරාවට විහිදී පැතිරී පවතින විවිධ වර්ගයේ වැව් බොහෝ සංඛ්‍යාවක් පවතින්නේය. ඒ අතර , මහ වැව්, වාරි වැව්, ගම් වැව්, ගොඩ වැව්, කුලුවැව් සහ ඇළ වැව් යනු ඒ අතරින් වැව් වර්ග කිහිපයකි. 

වැවක් වනු මානව නිර්මාණයකි.වැව්, ස්වභාවිකව නිර්මාණය නොවන අතර එය වැවක් ලෙස පිළිගැනීමට අවැසි මූලික සාධක කිහිපයක්ද පවතින බව ඔබ දන්නා කරුණකි. 

* වැව් බැම්ම

* දිය සොරොව්ව 

* මඩ සොරොව්ව 

* ගිල්ම 

* දිය පැන්නුම

* වැව් ඉස්මත්ත

* වැව් තාවුල්ල

යනාදී අංගයන්ගෙන් සමන්විත වැව සොබාදහමට අනුකූලව නිමැවුණු අගනා මිනිස් නිර්මාණයකි.සැබැවින්ම මෙලෙස වැවක් නිර්මාණය වන විට ඊට ආවේණික වූ නමක්ද පටබැඳීම සුවිශේෂී කරුණකි. ඒ සඳහා විවිධ වූ කරුණු කාරණා බලපානු ලබන්නේය.

ඉන් කිහිපයක් ලෙස,

  1. වැව නිමකිරීමට මූලික වූ රජවරු, බිසෝවරු, මැති ඇමතිවරු, යෝධයින්, පළාත් පාලකයින්, හෝ ගැමියන්ගේ නම් හේතුකාරක වීම.
  2. පාරිසරික සාධක
  3. ඓතිහාසික සාධක
  4. ස්වභාවික පිහිටීමේ සාධක
  5. සත්ත්ව සාධක

යනාදිය පෙන්වාදිය හැකිය. 

මේ අතර ප්‍රධාන වශයෙන් පාරිසරික සාධක සහ පුද්ගල සාධක යන ද්විත්වය වැවට නමක් පටබැඳීමට මූලිකව ඉවහල් වී ඇති බැව් නොරහසකි. එමෙන්ම වැවට නමක් පටබැඳීමට ප්‍රධනතම හේතුව වී ඇත්තේ හඳුනාගැනීම පහසුව ඇති නිසාය. 

උදාහරණයක් ලෙස "ඔරුක්මාන් කුලම" වැව පෙන්වාදිය හැකිය.ඒ, නම පටබැදීමට බලපා ඇත්තේ එළාර රජතුමා ය.මෙම වැවට තනි අඟක් ඇති මුවෙකු සෑම දිනකම දිය පානය කිරීමට පැමිණ ඇත.ඒ අනුව එළාර රජු මෙම වැව හඳුන්වා ඇත්තේ ඔරුක්මන් කුලම ලෙසය. ඔරු යනු දමිළ බසින් එක යන්නයි. කුලම යනුද දමිළ බසින් වැව හඳුන්වන පදයයි. ඒ අනුව පසුකාලීනව මෙම වැවට එම නාමය භාවිත වී ඇත.කෙසේ

නමුත් මෙහි මුල් ග්‍රාම නාමය වූයේ, "කඩරොදගම" යන්න ය. ඒ නමින් වැවක් නොතිබිණ. අනෙක් අතට මෙය සැගවුණු ඉතිහාස මූලාශ්‍රයකි. එය මතුවන්නේ මුඛ පරම්පරාගත දැනුම හෙවත් ජනශ්‍රැති භාවිතයෙනි.

සොරබොර වැව ද එවැන්නකි. බුලතා යෝධයා එයට මුල් වුව ද බලපෑ අවසන් සාධකය වූයේ, දුටුගැමුණු කුමරාගේ යුද්ධ ඉලක්කයට අවශ්‍ය බත සැපයීමට කෙත් වැවීම ය. නමුත් දුටු ගැමුණු කුමාරයාගේ හරබර වැව' යන යෙදුම මුඛ පරම්පරාගතව යමින් සොරබොර වූ වග කියැවේ. ඒ අනුව මේ වැවට නම් පටබැද ඇත්තේ පුද්ගල සාධක මුල් කරගෙන ය. නමුත් එය ඓතිහාසික සිදුවීමකි.

වැව්වලට නම් හැදී තිබෙන ජනමූලාශ්‍ර විමසීම කාලෝචිත ජනශ්‍රැති විමර්ශනයකි. එමගින් සැගවී තිබෙන ඓතිහාසික මූලාශ්‍ර රැසක් යළි ජනගත කිරීමේ ඉඩ සැලසේ. ටිකිරි හැන්දෑව'වැවක් වූයේ, බ්‍රිතාන්‍ය පාලන යුගයේ රදළ ලියක් සැගවීමට ගත් ආයාසයක් වෙනුවෙනි. එසේ ම සාලිය කුමාරයා වැව් තැනුවාය කියා ඉතිහාසයේ කිසිදු සඳහනක් නොවේ. එය ගාලේ වැව ආශ්‍රිතව හඳුනා ගත හැකි සාධකයකි.

කලා වැවේ' පුවත අපූරු පුරාවෘත්තයකි. එය විශ්වාස කළ නොහැකි තරම් ය. එහෙත් ධාතුසේන මහරජතුමා සිය නාමය වෙනුවට ‘කලාසිටාගේ’ නම යොදන්නේ ද ජනමූල අවශ්‍යතාවක් ලෙසිනි.

ප්‍රබල පුද්ගල චරිත වාපී ශිෂ්ටාචාරයට දක්වා ඇති දායකත්වය "දිවියා උඩ බැන්ද වැව" මගින් හඳුනා ගත හැකියි.මෙයින් නූතන සමාජයට ද අගනා ආදර්ශ ලබාගතහැකිවන්නේය.

ඇතැම් වැව්වලට නම් පට බැලීමේ දී භාෂාව ද බලපෑ ඇත. "පානම වැව"ඊට කදිම නිදසුනකි. පාලි භාෂාවේදී කියැවෙන සොබාදහමේ මහිමයන් නිසා ‘පාෂාණ වාපී' යන්න පානම බවට පත් වී ඇත.

එමෙන්ම දික් වැව, කුඩා වැව, මහ වැව, ඇතිලි වැව ආදී වැවක පිහිටීමේ රටාව අනුවද වැව්වලට නම් පටබැඳි අවස්ථා හඳුනාගත හැකි ය. එලෙසම වැව වට පිහිටි අන්දරගස්, කෝන්ගස් මෙන්ම වීර, පළු ආදී ගස් අනුව ද වැව් නම්කර තිබේ. තව ද බොර වැව වූයේ වැවේ වතුර බොර වීම නිසා ය. උල්පත් වැව' වන්නේ ඒ වැවට උල්පත් මගින් ජලය ලැබෙන හෙයිනි.

මේ ආකාරයට අබකොළ වැව, අඹගස් වැව, ඇටඹ වැව මෙන්ම වැව වටා ඇති ගස් වර්ග අනුව ද නම් පටබැඳී ඇති බව හඳුනා ගත හැකියි.

අපේ වාපී ශිෂ්ටාචාරයට කුලම' යන දෙමළ යෙදුම භාවිතයට ආවේ දුරාතීතයේ සිට ය. ඒ, ආශ්‍රිත ජනප්‍රවාදයන් ද මෙයට ඇතුළත් වෙයි. බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ දී මිණුම් කටයුතු කළ සුද්දන්ගේ ආවතේවකරුවන් කී විලස සිතියම් ගත කරන විට වැව් රැසකට "කුලම්” යනුවෙන් යොදා තිබෙන සාධක ද දැකගත හැකි වේ.

එමෙන්ම මිනිස් සිතුවිලි සතු යහගුණ මෙන්ම දුර්ගුණ ද වැව් ආශ්‍රිත පුවත් කියවීමෙන් පැහැදිලි වෙයි. මේ අනුව බලන විට අපේ වැව් පදනම් කරන්ගෙන ගොඩ නැගී තිබෙන පුරාකතා හා ජනප්‍රවාද සරල ලෙසින් බැහැර කළ නොහැකි ය. මක්නිසාද යත් මෙරට ඉතිහාසයේ එක් ප්‍රබල ජනශ්‍රැති ගබඩාවක් ලෙස වැව් ආශ්‍රිත ජන සංස්කෘතිය මගින් හදුනාගත හැකියි.

Top