උල ලේනි අතොරක් නැතුව කෑ ගහවා. මොකක් හරිම අසුභ දෙයක් අහන්න වේවි. හූ කියනවා. මහතුන් මාමාගේ ගේ පැත්තෙන් වගේ. මොකක් හරි කලබගෑනියක්. නැන්දා කෑ ගහනවා. වටේටම හුලු අතු එලි බැද්ද පීරනවා. නිලමෙත් ගියා. තාම ආරංචියක් නෑ.
මහතුන් මාමාගෙ කකුලක් ගිනි බටේට තුවාල වුනාට පස්සෙ ඉදන් දඩයම් කරන එක නවත්තලා. ඒක හොදයි. නැත්නම් පැල් රකින හැමදාම ගිනිබටේ බදින එකත් දැන් උන්දැගෙ පුරුද්දක් වෙලා. මේ පාරත් කුඹුර හාන්න පටන්ගන්න ඕන කියලා නිලමෙ මහතුන් මාමාට කියනවා ඇහුනා. ඇඹුල හදන්න වෙන්නෙ මටනෙ ඉතිං. අත්තමට වැඩ කරද්දී මටත් ඉතිං එතකොට ගජරාමෙට වැඩ කරන්න වෙනවා.
පරම්පරාවෙන් එන උරුමයක් විදියට තමයි මේ කුඹුරු යායම නිලමෙට ලොකු අප්පච්චි තෑගි කරේ. ඒ නිලමෙ මාව සහේට ගත්ත දවසෙ. පරම්පරාවෙන් පරම්පරාවට ලැබුණු මේ ඉඩම් යල මහ දෙකටම වගා කරා. එදාට මහගෙදර තියෙන වී බිස්සයි අටුවයි පිරිලා ඉතිරිලා යනවා. නිලමේ සෝමෙටයි මහතුන් මාමටයි කුඹුර බලාගන්න දීලයි තියෙන්නේ. අලුයම අවදිවෙන නිලමේ පලමුවෙන්ම කරන්නේ මිදුලේ ටිකක් ඇවිදලා වතුර එකක් බොනවා. ටිකකින් මූණ සෝදාගෙන අපේ රත්තිගෙන් දොවාගත්ත එළකිරි කෝප්පයක් බොනවා .ටිකකින් නිලමෙ උදැල්ලත් අරන් ගිහින් එන්නම් හාමිනේ කියලා පිටත්වෙන්නේ ඉක්මනට එන්න නොකියා කීමෙන් පස්සේ.
නවම් මාසයේ යල කන්නය පටන් ගන්නේ. මේ කාලෙට චන්ද්‍ර මාස ක්‍රමය අනුව තමයි හැමෝම ගොවිතැන් කරන්නේ. සොබාදහමට මොවුන් ආදරය කලා. වැස්ස තමයි වගාවෙන් පස්සෙ එකම බලාපොරොත්තුව. උදැල්ලත් අරන් යන නිලමෙගෙ උජාරු ගමන ගස් අතරින් මහ මිදුලට පේනවා. ඒ යන ගමන ගොවියෙකුගේ තිබූ නියම රිද්මය පෙන්නුම් කිරීමක් වගේ. නියර බැන්දෙ කුඹුර හෑවේ උදැල්ලෙන්. අද වගේ යන්ත්‍ර තිබුන්නෑ. ඒකට ගමේ ඉන්න පිරිමි හැමෝම එකතු උනා. අපේ කුඹුර විතරක් නෙවෙයි හැම කුඹුරක් හාන්නම නියරවල් බදින්න පෝරු ගාන්නත් ඒ අය ගියා. මේකට කියන්නෙ "අත්තමට "යනවා කියලා. එදා ගැමියන් තුල තිබූ මේ අත්තම් ක්‍රමය මිනිසුන් අතර තිබුනු බැදියාව ශක්තිමත් කරා. තනියම ගොඩයන්න කා ගාවවත් අදහස් තිබුන්නෑ. එකතුවෙලා හැමෝම ගොඩයන්න කල්පනා කරා. මුලින්ම දෙවියන් බුදුන් වැදලා ආශිර්වාද අරන් තමයි මේ දේවල් කරන්නේ. ඒ හන්දා මොවුන්ට සාරවත් අස්වැන්නක් ලැබුණා. අටුකොටු පිරුණා.
මේ කාර්යයන් පහසු උනේ නෑ මොවුන්ට. ගොඩාක් මහන්සිවෙන්න සිද්ධ වුණා. මේ මහන්සිය මකාගන්න මොවුන් කවි කීවා. සන්නිවේදන කාරකයක් විදියටත් මේ දේවල් මොවුන් යොදාගත්තා. මී වස්සො දෙන්නට විය ගහ බැදලා හාන්න ගත්තම මුලු ගම්මානයටම ඇහෙන්න නිලමෙ අඩහැරයක් කියනවා
තිසරණ සරණයි නුඹලට මගේ වහු දරුවෝ..හෝ..හෝ..හෝ..
වලව්වේ කතා කරන විදියට නෙවෙයි ගොයමෙදි මී වස්සො දෙන්නට කතා කරන්නේ. ගොයමට වෙනම භාෂාවක් තියෙනවා. සතුන්ට පවා ගරු කරලයි කතා කරේ. ආදරෙන්.. සැරවැර කරේ නෑ.. වියගහ බැදලා නගුලෙන් ඇදගෙන යන මී වස්සො දෙන්නා ඇගෑලි කරන්නේ නාවා කන්න දීමෙන් පසුයි. නිලමෙ නා පිරිසිදු වන්නේ මේ වැඩ සියල්ල අහවර වුනායින් පසුයි.
මේ කාගේ ගොන් වස්සා
කලු ගොයාගේ ගොන් වස්සා
උගේ පිටේ ඇට මැස්සා
එළවා දක්කන් වස්සා
විදලා නගුලුත් ඇණ ගසමින්නේ
විදලා විය දඩු ලණු අදිමින්නේ
යොදලා නැකතක් ගෙන සලසන්නේ
බැදලා ගොන්ගෙයි හී මඩවන්නේ
මේ සියලුම කාර්යයන් එකිනෙකට සම්බන්ධ වුණා. මොවුන් තුල තිබුනු ඒ බැදීම සෑම කටයුත්තකම තිබුණා. මේ කමතේ සිදුවන කාර්යය හොද නැකතකට දෙවියන් බුදුන් සිහි කරල තමයි සිදු කරේ. නගුල විදින්න එතකොට විය ගහ විදලා ලණු දාන්න සුබ නැකතක් බැලුවා. මේ සියල්ලගෙන්ම මොවුන් බලාපොරොත්තු වුණේ සශ්‍රීකත්වය.
සැමට කියමි වදනක් සිතුසේම අසන්නට
සතුටු සිතින් පිළිගනු එය සමාවෙලා මට
කෙතට බසින්නට පළමුව බුදු ගුණ සිහිකොට
පිහිට පතා දෙවියන්ගේ බසිමු කුඹුරට
වී වැපිරීමෙන් පස්සේ නිලමෙ නිතරම කරේ කුඹුරට ගාට ගාට ගොයමේ තතු බලපු එක. සතියක් හමාරක් යනකොට ලස්සනට නිල්ල ගහලා ගොයම ඇදෙනකොට නිලමෙගේ මුහුණ පිපුණු මලක් වගේ ලස්සන වෙනවා. ඉක්මනින් සිරියාවතී නැන්දට එන්න කියලා නෙලුමට ලැහැස්තිවෙන නිලමෙගෙ උජාරුව බලන්නම වටිනවා.
ඇදුණි සතක් කොල පෙති අග තුඩු දී
පෙනුණි සුනිල් තණ පත් ලෙස නද දී
ඇදුණි යපුරුකක් ඒ නිසි කල දී
පිපුණි ගොයම් මල් නව පෙත්තේ දී
බොහොම ගන්ට නම් ගොයමෙන් අස්වනු
බොහොම හොදට නෙලුමෙන් ඕනද වෙනූ
කොහොම කලත් බෑ නොහෙලා දැනගනු
නෙලුම තමයි අපේ පුරුදුම කහවනූ
මේ සෑම ගොවිතැනක් එක්කම ගොවියෙකුට උරුම වුණ හැදිහිච්චකමක් වගේම ගෞරවයක් තිබුණා. මුලු යායම එකට වගා කරලා සියලු දෙනාම එකතු වෙලා අස්වැන්න නෙළා ගත්තා. මොවුන්ට වහින පායන කාලය ගැන හොද දැනුමක් තිබුණා. මිලමුදල්, ආහාරපාන, සියල්ලම සරි කරගැනීමට මේ ගොවිතැන ගොඩාක් මූලික සාධකයක් වුණා. යල මහ දෙකටම වගා කරපු මේ කුඹුරු ගොවිතැන හුවමාරු ක්‍රමය මතද සිදු වුණා. හුගාක් දුරට වලව්වට මහතුන් මාමා දඩයමක් ගෙනත් දුන්නොත් ඒකට හාල් පොට්ටනියක් දීම සිරිතක්. තුන් මස හාර මස පීදෙන ගොයම කපන්න තිබුණේ දෑකැති වලින්. සිරියාවතී නැන්දගේ ගොල්ලත් එක්ක කුඹුරට බැහැලා ගොයම් කපනකොට පුදූම එකමුතුකමක් වගේම ගෞරවයක් තිබුණේ. නැන්දා තාලෙට කවි කිවා.පිරිත් නාදමාලාවට තමයී මේ කවි ගායනා වුණේ..
උඩින් සිටින හිරු දෙවියෝ සෙවණ කරා
බිමින් සිටින මිහිකත් දෙවි කලස දරා
වටින් සිටින මිහිකත් දෙවියෝ අරක් කරා
ඉතින් කපමු අපි එකතුව ගොයම් පුරා
සාමූහිකව සිදුකරන මේ ගොයම් කැපීම තුල තිබූ ආස්වාදය ගැමියා තුල මුල්බැසගෙන තිබුණා. කලින් සදහන් කලා වගේ විනයක් තිබුණා. ආදරය සෙනෙහස ව්‍යංගාර්ථයෙන් කියපු අවස්ථාද නොතිබුණාම නෙවෙයී. ආදරේ කියන දේ හැමෝටම පොදු දෙයක්නෙ . මට මතක්වෙනව සිරියාවතී නැන්දගෙ සුදු එතනට කලු බංඩා කියපු කවියක්
තඹරු පිබුදු මල් සුවදයි හැමවිට
බමරු ඇවිත් රොන් ගෙන යති උදයට
බමරු කිදුරු නද වෙති තද වාතෙට
නැඹුරු වෙලා ඉකි ගෝමර තරමට
ආධ්‍යාත්මික බැදීමත් එක්ක ගතානුගතිකව එකට බැදුණු මොවුන් තුල තිබුණේ අව්‍යාජත්වය පිරුණු හැගීම් ගොන්නක්. සාමූහික බැදියාවක්. මේ හැගීම් ගොන්න එකට ගුලි කොට ආදරය සෙනෙහස කැටි කොට අපගේ ජනශ්‍රැතිය හා සමගව සානුකම්පිත හදවත් තුල ගොඩනැගුණු ජන ගීය තුල මේ ගොයම් කවිය කුමකටනම් උපමා කරම්ද. ජීවිතයේ එදිනෙදා කාර්යයන් සමග බැදුණු ආධ්‍යාත්මික සුවය තුල මොවුන් කොතරම් සැනසුමක් වින්දනයක් ලබන්නට ඇතිද. විනය සාරධර්ම හා සහජීවන තුලින් සෙවූ ජීවතය කොතරම් පුදුමාකාර ද. කොතරම් සුන්දර ද. කොතරම් සරල ද. මවකට පියෙකුට තිබුණු ගරුත්වය කොයිතරම් භක්තිමත් ද. මේ ගරුත්වය ගොයමෙදිත් තිබුණා. තම ගෙදරින් රැගෙන ආ ගුණධර්ම මොවුන් ගොයමෙදි වගේම නෙලුමෙදිත් රැක්කා. වැවයි දාගැබයි ගමයි පන්සලයි එක්ක බැදුණු ආත්මීය බැදීමක් මොවුන්ට තිබුණා. මේ නිසා මේ හදවත් තුල සුන්දර හැගීම් කවි සංකල්පනා ලෙස නිර්මාණය වුණා. ඉතිං ප්‍රාචීන අර්ථ සංග්‍රහයක් නොවූවත් සාම්ප්‍රදායික ජීවන අරගලයක නිරත වූ අව්‍යාජ ගැමියාගේ සිනහව තුල තිබූ කදුල සුසුම පැවසූ නිර්ව්‍යාජ කවිය ජන ගීතයම බව පසක් වන්නට තවත් කුමටද නම් උපමා.