මිනිරන් තේරුවොත් ළඳේ නුඹ කලු වෙනවා (335)

post-title

ඉහළ ඉස්මත්තට වැහැලා වගේ. බඩ වැටිය පේන්නෙත් හරියට කලුපාට පර්වතයක් වගේ. ගඟේ වතුර පාර "හෝ" ගානවා. වතුර පාර සැරයි වගේ. ගඟ පිරුණොත් මුලු හේනම යටවෙනවා. මේ පාරත් හේන යට උනොත් අපිට කන්න වෙන්නේ පොතට තමයි. දුප්පත් කමත් වලිගය නැති ගොනා වැනියි කීවෙ නිකමටයැ ඉතිං.

කලු ගඟ ට මායිමේ තියෙන අපේ පුංචි පැල හැදුවේ මං සුමනෙත් එක්ක එක වහලක් උන දවසෙ. දැං මාස තුනකුත් ගෙවිලා. වටේටම ගෙඩි වලින් පිරුණු අඹ ගසුයි පොල් ගසුයි සුමනෙගෙයි මගෙයි මේ පැලයි ඇරෙන්න ළග පාතක තිබුණේ සිරියාවතී නැන්දගෙ පැල විතරයි. කඩමංඩියට යන්න හැතැම්මක් විතර පයින් යන්න ඕන. සුමනේ ඉද්දිනම් මහන්සියක් නෑ. බයිසිකලේම යන්න පුලුවන්. සුමනෙ රස්සාවකට කරේ පතල් කපන එක. හැම පාන්දරම සුමනෙ ගෙදරින් පිටත්වෙලා යද්දි දණගහලා වදින එක මගෙ පුරුද්දක්. පරිස්සමෙන් මගෙ මැණික කියද්දි මට දැනෙන්නේ ආදරය. සෙනෙහසත් එක්ක බැදුණු සිහින් වේදනාවක්. සුමනෙ ගියාට පස්සෙ එන්නේ රෑ වෙලා. නැතිනම් පහුවදා පාන්දර. එතකං මගෙ පාලුවට තනිරකින්නේ සුද්දි. කොයිවෙලෙත් කකුල් දෙකේ දැවටි දැවටි පුරු පුරු ගන්නේ මොනවා හරි ඕනි උනාම කියලා දැන් මට තේරෙනවා. වටින්ගොඩින් කලුවර වේගෙන එනවා. සුමනෙ තාමත් නෑ. අද කලු ගඟේ වතුරත් වැඩියි. පාර යටවෙලාවත්ද..? මට බයයි. මේ බයත් එක්ක අප්පච්චි මතක්වෙනවා මට.

මීට වසර පහකට කලින් රැකියාවක් විදියට මගෙ අප්පච්චි කරෙත් පතල් කපපු එක. අප්පච්චිගේ හොදම යාලුවා සෝමේ මාමාගේ පුතා තමයි සුමනෙ කියන්නෙ. නිතර අප්පච්චිගේ යාලුකමට ගෙදර එන්න ගත්ත දවසෙ ඉදන් තිබුණු ඇගෑලුම්කම පෙලවහක් දක්වා දුරදිග යන්න හේතුවුණා.

පොඩිකාලේ ඉදං මගෙ අම්මා අප්පච්චි එනකල් පිල උඩට වෙලා කනාමැදිරි එළි අස්සෙන් පිල්ලෑව පැත්ත බලාන කල්පනා කරනවා. තනකොළපෙත්තො.. රැහැයියොන්ගෙ සද්දෙ.. ගෙම්බොන්ගෙ වාදවිවාද අස්සේ උනත් අම්මට දුර ඉදන්ම අප්පච්චි එන ඉසව්ව හොයාගන්න පුලුවන්. ඒ සෙනෙහස නිසාම තිබුනු මහා ලෙන්ගතුකම හන්දා කියල දැන් තමයි මට තේරෙන්නේ. ඈතින් ලොකු එලියක් පේනවා. ඒ අප්පච්චිගෙ වාඩිය..දෝණාව වෙලාවකට පහළට යද්දී පස් කඩාගෙන වැටෙනවලූ... අප්පච්චි සෝමෙ මාමයි රත්නෙ මාමයි කතාවෙනවා පතල් රස්සාව කියන්නේ මරණයත් එක්ක පොරබදිනවා වගේලූ..

දබරය කරකවා අත්දෙක වෙව්ලනවා

නිතර ඇවිත් ලෝඩර් ගොල්ල දත් කනවා

වතුර ඇදලා අත්වල කරගැට එනවා

මිතුර පතල් වැඩ ගැන මගෙ බඩදනවා

තවත් වෙලාවකට අප්පච්චි කියන කවියක් මට මතක්වෙනවා

මිනිරන් පතල හරියට අපෙ ගෙදර වගේ

කෝකි අයියා හරියට මැණියෝ වගේ

ලියන අප්පු පවුලට ලොකු අයියා වගේ

ලෝඩර් ගොල්ල හරියට යමපල්ලො වගේ

ඕවා කියලා හිනාවෙනකොට අම්මා අප්පච්චිගෙන් කුස්සියේ ඉදන් එක එක කතා අහනවා. කොච්චර වැඩ කරත් මහන්සියයි බැනුමෙනුයි අඩුවක් නෑ කියලා අප්පච්චි කියනවා. අම්මගෙ අතින් හදලා දෙන බත් මුල තරම් ඒ කෑම කිසිම පිරියක් නෑ කියල අප්පච්චි කියනවා. අම්මත් ආදරෙන් හිනාවෙනවා කුප්පිලාම්පු එලියෙන් අපිට පේනවා. අප්පච්චි ගෙදර නැති දවස්වලට විදපු දුක් අම්මා අප්පච්චිට කියනවා. නිතරම අප්පච්චියි සුමනෙයි කීවේ එකම කතාවක්..

ආවා තමයි පතලේ වැඩ කරන්නට

බැරුවා තමා ඉනිමං වල බැස යන්ට

මැරුවා වගේ ලග ඉදගෙන කියනකොට 

බැරුවා දෙවියනේ කලුගල් බිදින්නට

අප්පච්චිගෙයි සෝමෙ මාමගෙයි රත්නෙ මාමගෙයි තිබුණේ වෙන්කරන්න බැරි යාලුකමකට වඩා සහෝදර බැදීමක්. එකතු උනාම රා පොල්කට්ටක් බීලා කදයක් දාගෙන පතලේ තියෙන දුක කටුකබව සතුට හැමදේම කියවන එක එයාලගෙ පුරුද්දක්. අපිත් අහගෙන ඉන්නවා..

සතර වරම් දෙවියෝ මගෙ දුක බැලුවා

මිනිරන් පතල ඇතුලත මම වැඩ කෙරුවා

දවස් ගණන් නොකා නොබී දිවි ගෙව්වා

මිතුර ඔබත් මම සමග ම කල් ගෙව්වා

රාත්‍රී මැදියමත් පහුවෙලා. සුමනෙ තාම නෑ. ඈතින් හද එළිය මුදුන්වේගෙන එනවා. හද එළිය වැටිලා සුදු පාටට ලස්සනට ගගේ වතුර තාලෙට පැද්දෙනවා. බලන් ඉන්න ආසයි. ගෙදර ඉස්සරහ කොස් ගහේ වවුලො වහලා වරකා ගෙඩිය බෙදාගන්න බැරුවද කොහෙද ලොකු කලබලයක්.

මී වදේ ලෙසට ඉල්ලම සොයාගෙන

එම වදේ ලෙසට කටු පණ තියාගෙන

ආයුදේ ලෙසට ඉල්ලම් කටු රැගෙන

මේ සදේ පතල් වල ඉල්ලම් කපන

කලුවන් කලු රුවයි මන්ගෝ දිලිසෙනවා

මිනිරන් තෝරන්න දින ගණනින් යනවා

මිනිරන් තේරුවොත් ළදේ නුඹ කලු වෙනවා

ළග නම් ගෙදර මුර ඇරුනම මං එනවා

ආදරය සෙනෙහස කියන දේ මිනිසුන්ට පමණක් නෙවෙයි සත්තුන්ටත් පොදු වූ කාරණාවක්. මේ දේවල් නිසයි ජීවය මේ ලෝකයේ පවතින්නේ. පතල් කැණීම ඉතාම දුෂ්කර කාර්යයක්. වාඩි ගහගෙන මාස ගාණක් ඉල්ලමක් ලැබෙනකන් හාරන්න ඕන. සමහර අවස්ථා වල දී අලුත බැදපු තම බිරිද, දරුවො දාලා මාස ගණන් ඉන්න වෙනවා. අප්පච්චි හෝ තම සහෝදරයා පතල හාරන්න ගියාම එයිද නැද්ද කියන චකිතය ඔවුන්ගේ හදවත් තුල නොතිබුණාම නෙවෙයි..

එලිවෙලා කුකුලො හඩලන වෙලාවේ

ඇහැරිලා බිලිදු කිරිබොන වෙලාවේ

කෑරලා හැඩුවේ දොරකඩ මාරාවේ

මංමුලා වේද දෙවියනේ දෝණාවේ

කිරිමදු කොල කිරිමදු කොල කිරිඅම්මේ

කිරට අඩන අත දරුවෙකි මම අම්මේ

අනුන් දෙන බතට වග බොහොමයි අම්මේ

ඈත හිටන් මට හඩ පානුය අම්මේ

මොවුන්ට දැනුණ ඒ පාලුව, තනිකම, ආදරය,සෙනෙහස පරිසරයේ වෙනස්වීම් සමග බැදී පැවතුණා. මේ සියල්ල ව්‍යංගාර්තයෙන් කීමට ජන කවිය යොදාගත්තා. දිනෙක මවක් වෙන දියණියක් බිරිඳක් වෙලා තම සැමියා දරුවන් රැකබලා ගන්නවා. පුතෙකු දිනෙක සැමියෙකු වෙලා තම බිරිද දරුවන් ආරක්ෂා කරමින් රැකබලා ගන්නවා. මේ බැදීම ආදරය කදුල සෙනෙහස මැදින් ගලාගෙන යන ආත්මීය බැදීමක්..මගෙ අම්මගෙයි අප්පච්චිගෙයි තිබුණේ එහෙම බැදීමක්.

සුමනෙ එනවා වගේ. ගැරුම් වට්ටි දෙකකුත් අතේ තියෙනවා. තාම අත් දෙකේ මාලාව තට්ටු පිරිලා. ජීවත්වෙනවා කියන්නේ මේ හැමදේම තමයි කියලයි අප්පච්චි මට කියලා දුන්නා..

දඩිබිඩ් ගගා කරනා වැඩ රට වටියේ

රට වෙඩි දමා කඩනා කලු ගල් කැටියේ

මඩ යට තියෙන මිනිරන් ගන්නා සැටියේ

උඩ වැඩ කරන අයට දෙන්නේ අඩු පඩියේ

අද වන විට පතල් කැණීම සිදු කෙරෙනුයේ මැණික් සෙවීම සහ මිනිරන් කැණීම මූලික කොටගෙනය. අද කෙසේ වෙතත් අතීතයේ ගැමියා විසින් මෙය සිදු කරනු ලැබූයේ ඔවුන්ගේ මූලික අවශ්‍යතා මතම පමණි. අතීතයේ සිට මේ දක්වා පැරණි මේ පතල් කැණීම් ක්‍රමය මේ වනවිට මහා පරිමාණයේ කර්මාන්තයක් ලෙස පුලුල් වී පවතිනවා. මැණික් පතලකට සාපේක්ෂව මිනිරන් පතල ගැඹුරින් වැඩියි. මේ හේතුවෙන් අනතුරු බහුලව පවතින්නට ඇත. ගැමියන්ගේ දරුවන්ගේ කුසගින්න නිවාගන්න ඔවුන් මෙම අන්තරාවන් නොසලකා මෙහි යෙදුණා. මේ දුෂ්කර කටුක බව පතල් කවිය තුලින් මොවුන් දනවන්න උත්සාහා කල බව පැහැදිලි කරුණක්. මේ හේතුවෙන් මොවුන් නිරායාසයෙන් පද පේලි යොදා ගායනා කරා. විවිධ නාදමාලාවන්,එලිවැට රැකීම,උපමා යොදා ගැනීම්,සරල බස්වහර මෙහි ගැබ්වෙලා තියෙනවා. මෙම ජන ගී ගායනයෙදී කෙනෙකුට කෙනෙක් වෙනස් විදියට ගායනා කරනු දක්නට ලැබෙනවා. එකම හඩකට එකම ස්වරයකට මෙම ජන ගී ගායනය කිරීම අපහසුය. නමුත් නාදමාලාවට අනුව ගායනා කරනු ලබයි. ඒ මන්ද යත් මෙම ජන ගීය වියත් වහරට වඩා කට වහරට නිර්මාණය වී ඇති හේතුවෙන්. අර්ථ රසයට වඩා ශබ්ධ රසයට මුල්තැනක් ලබා දී තිබීම නිසා කවියේ රිද්මය ආරක්ෂා කර ගැනීම සදහා තමාට අවශ්‍ය පරිදි බස්වහර හසුරුවා තියෙනවා. මේ අනුව පතල් කවිය නැතහොත් පොදුවේ ගත්කල ජන කවිය තම ජාතියෙත් පිටස්තර වෙනත් සංස්කෘතීන් හා සංකලනය නොවී පැවති අනන්‍යතාවය පිළිඹිබු කරන සාහිත්‍යයේ වරප්‍රසාදයක් ලෙස හදුන්වාදීමට පුලුවන.

Top