අවුරුද්ද ලියැවුන සාහිත්‍ය රසවිත(298 වන ලිපිය)

post-title

මේ වසන්තය යි. වසන්තය එලිපත්තට පැමිණි කල කොවුල් නාදයේ මිහිරියාවෙන් සකල පරිසරය ම ප්‍රබෝධමත් ව ඇත. බක් මහේ මල් පිපුණු ගම් වතු අස්සෙන් පමණක් ම නොව කොවුල් කූජනයේ මිහිරියාව නගරයේ තැන් තැන්හි ද ඇසෙන තරමට මේ දිනවල කොවුලෝ කළඑලියේ ය. මේ සියල් සිරි අසිරි අපට කියන සුන්දර පෙරනිමිත්ත අවුරුද්දයි. සිංහල හින්දු අලුත් අවුරුද්දේ සොබා සිරි අසිරි විඳින බෝ දන මේ සියල් සංසිද්ධින් හි විසිතුර සුමියුර එකසේ අත් විඳ ඇති වග නම් සහතිකයි. සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟින් උදාවෙන මේ අවුරුද්ද කොයිතරම් නම් නිර්මාණකරුවන්ගේ නිර්මාණාක්ෂියට යොමුවී ඇත් ද?

“බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි අද 

ඉද්ද පනා මල් කැන් පිපිලා

සද්දෙ මොකෝ අවුරුද්ද ඇවිල්ලද

නැද්ද කනෙයියනෙ රොන් ඉසිලා”

(පද- හෙන්රි තෙන්නකෝන්)

ඒ අවුරුද්දේ උදාවයි. මැදින් මහ ගෙවී යන කාලයේ වසන්තය උදාවෙන්නේ පාරිසරික වෙනස්කම් රැසක් සමගින් ය. ඉද්ද පනා මල් පිපෙන දසතින් කෝකිල කූජන නැගෙන සොබා දහම බක්මහ අසිරිය සමගින් එකම මංගල්‍යයකි. කජු ගස් වල මල් පිපී දසතම සුගන්ධයේ ය. එරබදු මල් ගස් අලුත් ඇඳුම් ඇඟලා ගත් සේ මලින් බර ය. කජු වාරයේ කජු පුහුලන් රස බලන්නට නන් විද සියොතුන් ගස් අතු මත්තේ ය. කජු පමණක් නොව පේර දිවුල් පලු වීර ඉදී ඇත. මෙකල්හි ඒ රස විඳින්නෝ පක්ෂීන් පමණක් නොවන්නෝ ය. ලාංකේය ගේය පද රචකයාගේ නිර්මාණාවේශයට අනුභූතීන් සපයන ඒ සොබා සොඳුරු ආනන්දය අපූර්වය. රසාලිප්තය. වින්දනීයය. 

බක් මහේ ගෙට වඩින මිතුරු පක්ෂියා කොවුලා ය. කොවුල් හඬ තරම් බක් මහේ ආගමනය හඟවන සංකේතයක් වෙන කොහිද? ඒ නිසාවෙන් ම බක් මහත් සමඟින් අවුරුදු නෑ ගම් එන කොවුල් කූජනය ගැන කොතෙක් නම් ගීත නිමැවී ඇත්ද? දං චූටි සිහිකරමින් තවමත් මතකයේ ඈත කෙළවරක බලා හිඳින චංචල රේඛා චිත්‍රපටයේ මිල්ටන් ගේ හඬ කොහෝ නාදය ගැන කියන සුන්දරම ගීතයක් සිහිපත් කරන්නේ විගසිනි. ගාමිණී පොන්සේකාත් නදීකා ගුණසේකරත් අයියා නංගී ලෙසින් රැඟූ ඒ සුන්දර ජවනිකාව ද මොහොතකට සිතුවිලි තුළින් පැමිණ නෙතු අස්සේ රූ රටා අඳියි. 

“මී අඹ අත්තේ කොහෝ කොහෝ

දොළොස් මහේ මඟුල් දොහේ

රබාන රත් වෙන නැකැත් වෙලාවට

නළාව පිබපන් කොහෝ කොහෝ”

(පද- අජන්තා රණසිංහ)

කොවුල් නාදය ගැන ලියැවුණු ගීත අපමණය. ඒ අතර අමතක නොවෙන තවත් මියුරු ගීත ඇත. 

“කුසුම් පිපී තුරුමතේ

සුවඳ හමයි දස අතේ

කෝකිල කූජනය නැගේ

ලියගොමු අතරේ

මධුර වසන්තේ”

(පද- ජෝර්ජ් පල්ලියවත්තගේ)

“කොහෝ කොහෝ 

කොහේ ඉඳන් කොහෝ කියනවදෝ

අපේ ගමේ රබන් පදේ 

උඹට ඇහෙනවදෝ

රබන් හඬට බඹරු නටන ලස්සන ගම් මැද්දේ

කොහෝ උඹත් ගී කියපන් සිංහල අවුරුද්දේ”

(පද- අජන්තා රණසිංහ)

කොවුල් නාදයේ මිහිරියාවෙන් මත්වෙමින් ද නේක වන මලින් සුපුෂ්පිත පරිසරයේ සොඳුරු බව විඳිමින් ද අවුරුද්දට සැරසෙන මේ කාලයේ ඇසෙන එවැනි ගේය පද රචනා පෙළින් පෙළ ලියා දක්වන්නේ නම් ඒ ලියා කෙළවර කළ යුතු තැන පිළිබඳ නිනව්වක් නොමැති තරමට ම නිර්මාණයෝ බාහුල්‍යය ය. කොවුලා ගේ මියුරු නාදයේ ආගමන සේ ම අවුරුද්දේ සූර්ය නමස්කාරය ද ජනගතව ඇති තවත් සුන්දර කරුණකි. සූර්ය සංක්‍රමනය අලුත් අවුරුද්ද ලෙසින් සැමරෙද්දී සූර්ය නමස්කාරය ද එතරම්ම වැදගත් ව ඇත. මෙලෙසින් සූර්ය නමස්කාර කරමින් සැමරුම් පවත්වා ඇති අතීතයේ ආ ගිය මග තොට සොයා යන කල්හී එය බොහෝ ඈත අතීතයක් දක්වා ම ඇදීගොස් ඇති වග හඳුනාගත හැක. බෝධිසත්ව කතා පෙළ තුළ ද සූර්ය වන්දනය පිළිබඳ සාදක සාක්ෂි හඳුනාගත හැකි ය. චෝර පරිත්තයේ තැනෙක බෝධිසත්වයෝ පෙර කළෙක මොනර කුලයෙක ඉපිද සූර්ය නමස්කාරය කළ බැව් සඳහන්ව තිබීමෙන් මේ සූර්ය නමස්කාරය බුද්ධෝත්පත්තියට පෙර යුගයේ දී ද පැවැත ඇති බැව් හඳුනා ගත හැකිය. එපමණකුදු නොව සූර්ය නමස්කාරය පිළිබඳ සාහිත්‍ය පතපොතේ ද සඳහන් තැන් බහුල ය. 

“සංවත්සරය ගතවීමෙන් වසන්තය එළඹි කල්හි යඥ භූමියෙහි යාග කර්මයට වුවමණා කළ ගොඩනැගිලි සියල්ල නිම විය...”

(උපුටා ගැනීම- රාමායනය)

ඉන් ඇඟවුම් කරන්නේ වසන්තය එළඹුන කල යාග පුද පූජා පවත්වමින් සූර්යා නමස්කාරය කළ වග නොවන්නේ ද? අනෙක් අතට සූර්ය වන්දනය එළඹෙන්නේ හින්දු ආගමෙන් ද යම් බලපෑමක් ලැබීමෙන් ය. හින්දු ආගමිකයන්ට සූර්යා සහ ගවයා උතුම් පාරිශුද්ධ වස්තූන් වී ඇත. අස්වැන්න නෙළා ගෙට ගත් පසු තෘප්තියෙන් සංතෘෂ්ටිය ලත් ගොවියෝ හිරු සහ ගවයා වන්දනාමාන කළ අතීතය බොහෝ ඈත යුගයක් දක්වාම ඇදී යයි. සූර්ය වන්දනය කෙළවර වන්නේ මධුපානෝත්සවයේ අනන්ත වූ සුඛාස්වාදයක් ද විඳීමෙන් අනතුරුව. මී අඹ ඵල බරව කොහෝ නාදයෙන් මත් ව මත් බිඟුන් රොන් රස සොයා යන මෙකල්හි මදන මහෝත්සව වල කොයින් ද? අඩුවක්. හර්ෂදේවයන් රචිත රත්නාවලියේ ද වසන්ත සමයේ එළඹුන එවන් මධු පානෝත්සව ගැන සුන්දර කවි පදවැල් රචනාව ඇත. අවුරුදු සිරි අසිරි පිළිබඳ ලියැවුණු සාහිත්‍යය ගැන කතා කරන කල්හි රත්නාවලිය මගහැර යන්නට නොහැකි තරම්ම ඒවා සුන්දරය. 

“විහිදුනු පබලු පැහැබර සුරත ලපලු ය

මී බී මත් ව ගුමු නද නගන බමරු ය

උතුරු සිහිල් පවනේ නැළැවෙන අතු ය

බක් මහ තුරු ද මත් කරවයි නෑ සැක ය”

(උපුටා ගැනීම- හර්ෂ දේවයන්ගේ රත්නාවලිය)

අවුරුද්ද හා බැඳුනු තවත් සංකල්පයක් ලෙසින් නැකැත හඳුනා ගත හැකිය. අලුත් අවුරද්දේ නව සඳ බැලීමේ පටන් විවිධ අවුරුදු නැකැත් සඳහා ශුභ මුහුර්ති අනුව යමින් වැඩ කටයුතුවල නියුත්තෝ බහුලය. අවුරුද්ද සමඟින් බැඳි නැකැත් අතර ලිප ගිනි මෙළවීමේ නැකැත, අහර අනුභව කිරීමේ නැකැත, වැඩ ඇල්ලීමේ නැකැත, ගනුදෙනු කිරීමේ නැකැත ආදී නැකැත් වඩාත් වැදගත්කමක ලා සැලකිය හැකිය. නැකත යනු ශුභ කටයුත්තක් සිදුකිරීමේ වෙලාවයි. මේ නැකැත් මිනිසාට වැදගත් වූයේ අද ඊයේක පටන් නොවෙයි. එය ඈත අතීතයේ පටන් ම මිනිස් දිවිය සමගින් බැඳී තිබුණි. ඒ පිළිබඳ බෝධි වංශයේ නගර ප්‍රවේශ කථාවල දක්නට ඇත.

“ රජ්ජුරුවෝ සියලු ලංකාද්වීපවාසී සත්වයන් උත්සව කෙළි කෙළනා පරිද්දෙන් නක්ෂත්‍ර ඝෝෂණය කරවා පුරවාසී වූ සත්වයන් නකත් කෙළනට පටන් ගත් කල්හි...”

(උපුටා ගැනීම- බෝධි වංශය)

මෙයින් ඇඟවෙන්නේ නැකැත් කෙළිය රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුවූ කරුණක් බවයි. මෙනයින් හඳුනා ගන්නා කල නූතනයේ පවා අවුරුදු නැකැත් සැමරීමට රටේ ප්‍රධානියා පවා සම්බන්ධව ඒවා උත්සවශ්‍රීයෙන් සැමරෙන අයුර අප නිරන්තරව අත්දැක අත්විඳ ඇත්තෙමු. සාහිත්‍යය තුළ අවුරුදු නැකැත් පිළිබඳ ලියැවුණ ගීත සාහිත්‍යක් ද දැකගත හැකිය. 

“ඇවිල්ල ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා

වරෙල්ල වරෙල්ලා වැල්ලෙ බඳිමු රං ඔංචිල්ලා

හබුන් කටයි සුබ නැකැතයි

දෙගුරුන් හට බුලත් අතයි

ලැබූ අලුත් අවුරුද්දේ

කිරි ඉතිරෙයි අපට සෙතයි”

(පද- කරුණාරත්න අබේසේකර)

නමුත් එදා ග්‍රාමීය සමාජයේ දී වඩාත් සුන්දර ලෙසින් මෙලෙස සැමරුණ අවුරුද්ද පසුව ක්‍රමයෙන් නාගරික කරණයත් සමඟින් වෙනස් වන්නට පටන් ගැණුනි. විශේෂයෙන් ම ලාංකේය සමාජයේ අවුරුදු සැමරුම් සූර්යය වන්දනාවෝ විජාතීය බලවේගයන් හමුවේ වෙනස් වන අයුරක් ද දැක ගත හැකිය. එදා එකමුතුව සොඳුරුව කෙළිදෙළෙන් සැමරූ අවුරුදු අසිරිය ක්‍රමයෙන් වෙනස් වන්නේ මේ කාලයේ දී ය. 1891 දී පමණ ටී.බස්තියන් ද සිල්වා රචනා කරන ලද අවුරුදු මාලයේ ඒ පිළිබඳ ලියැවුණු කවි 79ක් පමණ දැක ගත හැකිය. එදා බතබුලතින් සශ්‍රීක ව සමගි සම්පන්නව සැමරූ අවුරුද්ද මෙන් නොව බටහිරකරණයට නතු වූ පසු අවුරුද්දේ ඇත්තේ සංකර භාවයකි. 

“සාදුකාර දෙති සුදනෝ කුසල්කර

සූදු කෙළිති පමණක් තරුණෝ අතර

වාදු වෙලා උනුනුන් අඩ දබර කර

සූදු කෙළිති තව තැන්වල දනෝ මැර”

(උපුටා ගැනීම- අවුරුදු මාලය)

අවුරුද්ද තුළට නේක විද මත්පැන් ආගමනය වීම පිළිබඳව ද සාහිත්‍ය කරුවා වඩාත් අපූර්වත්වයෙන් ලියා ඇත. 

“පොටර් බීර විස්කිද රොන් අරක්කු ද

වාකර බීම බ්‍රැන්ඩි ද මත් වෙනා තද

කෑදර වෙලා බීමට තරුණයන් සොඳ

ආදරයෙන් අරන් යති වරුසේ ගැනද”

(උපුටා ගැනීම- අවුරුදු මාලය)

නමුත් එදා අවුරුද්ද එසේ නොවීය. එදා අවුරුද්ද ගෙවුණේ සමගියෙන් සාමදානයෙන් කෙළි සෙල්ලමින් හැඩවී ය. පුරාණ ජනකවිවල ඒ පිළිබඳ ලියැවුණු ඔංචිලිවාරම් ඔලිඳ කෙළි එළුවන් කන්නයි කවි වැනි දෑ අපමණව දැක ගත හැකිය. 

“උඩු පිලායි යටි පිලායි- උඩු පිලායි යටි පිලායි

පොල් කෙළි මල් කෙළි සැනකෙලි ආසි ද මුතු කෙළි...”

(උපුටා ගැනීම- පොල් කෙළි කවි)

“උඩට උඩින් සුදු වියන් බඳින්නා

පයට යටින් පාවාඩ එලන්නා

අවුරුදු කුමරා ගමට වඩින්නා

උන්චිලි වාරම් රසට ගැයෙන්නා”

(උපුටා ගැනීම- ඔංචිලි වාරම් කවි)

නූතනය වන විට ධනේෂ්වර සමාජ ක්‍රමය තුළ සෑම දෙයට ම මිලක් නියමව ඇත. අවුරුද්දේ යම් යම් දෑ සඳහා ද මේ කොන්දේසිය අනිවාර්ය සාධකයක් බවට පත්ව ඇත. වත්මන වන කල ඇත්තෝ කා බී සුවසේ අවුරුදු සමරති. නැත්තෝ දුකසේ අවුරුදු සමරති. මේ කරුණ පිළිබඳ ද සුන්දර නිර්මාණ රාශියක් සාහිත්‍යයේ දැක ගත හැකිය. රත්න ශ්‍රී විජේසිංහයන් මේ ලියන්නේ එවන් අවුරුදු fඛිදවාචකයක් පිළිබඳව ය. 

රණවරා ගහේ මල් පිපෙන කාලෙට

සඳසරා කුමරිය ඇවිත් කන්දට

අතවනා කියයි මට ගමට එන්නට

සකිසඳේ ඇඬුම් මිස බැරිය සීපද

වැඩපළේ වහළ උඩ හඬන කොවුලනී

මොකද මේ තොපට නැතුවාද බඩගිනී

නම කියා විහිලු කළ කුරුලු දරුවෙණි

මැලවුණාම එරබඳු මලෙත් නෑ පැණී

එනතුරා පැළට අවුරුද්ද දුක නැතී

මග බලාන දොරකඩ පුංචි දුව ඇතී

පඩි අරන් හෙට උදේ ගමට යන සකී

නුඹ අතේම මට මගේ කඳුළු යැවුවැකි

(පද- රත්න ශ්‍රී විජේසිංහ)

ඉදින් අවුරුදු සමයේ නා නා විද දෑ පිළිබඳ මෙවන් දහස් ගණන් නිර්මාණ බොහෝ සේ කළ එළි බැස ඇත. අප වින්දේ එවන් නිර්මාණ අතරින් අතළොස්සක් පමණි. ඒ සෑම නිර්මාණයක් ම අද ද නැවත නැවතත් විඳින කල අවුරුද්ද තරම්ම මිහිරියාවක් සිතට කැන්දන බව නම් නොරහසක් ම ය. 

Top