වැව් දියට නම් බැඳුණේ මෙහෙමයි - මහකනදරා වැව (498)

post-title

එදා වැසිබර දවසක්. පාන්දර පිනි පිටම හංදියෙන් ගත් අනුරාධපුර බස් රථයට ගොඩ වුණු තැන් පටන්ම සෙනග අස්සේ තැලී පොඩිවී ගිය මා හට සැහැල්ලුවක් දැනුණේ ටවුමෙන් කරගන්නට තිබූ වැඩ කටයුතු අහවර වී නැවතත් පරණ බස් නැවතුම් පොළෙන් හොරොව්පතාන බසයට නැගගත් පසුවය. හරියටම 2.35ට පිටත්වුණු බස් රථය ගම්මාන, කඩමණ්ඩි පසුකරමින් ඇදෙන්නේ මහා කලබගෑනියකින් වාගේය. මේ අතරවාරයේ ගමන් විඩාව නිසාමදෝ හිටිහැටියේම අසුනට බරවී තද නින්දකට වැටුණු මාගේ හිසට පොල්ලකින් ගසන්නාක් වැනි හැඟීමකින් යුතුව යළිත් ඇහැරුණේ බසයේ රාක්කයේ, මාහට ඉහළින් තිබූ මගේම බෑගය මගේම හිස මත පතිත වීමත් සමගය. දරාගත නොහී වේදනාව මැඩගෙන දෑසින් කඳුළු පැන්නේද නිරායාසයෙනි. නමුත් වේදනාව මෙන්ම ලැජ්ජාවද ,බෑගයත් සමගම දෝත දරාගත් මා ජනෙල් කවුළුවෙන් එපිට බලා කිසිත් නොවූ සේ යළිත් ගමන්ගන්නට වූයේ කරකියාගන්නට දෙයක් නොවූ නිසාවෙනි. 

 මිහින්තලේ හන්දිය පසුකරගෙන ත්‍රිකුණාමලය පාරේ කෙත්වතු අතරින් කි. මී. 3ක් පමණ ගිය විට හමුවූයේ මහකනදරා ගම්මානයයි. මහා මාර්ගය දිව යන්නේ වැව දෙකට බෙදාය.එය බ්‍රිතාන්‍ය යටත්විජිත යුගයේ දී පස් ගොඩකර තැනූ කණ්ඩියක් වැනි මාර්ගයකි. වැව් බැම්මට පිවිසීමට නම් කනදරා හන්දියෙන් හැරී තවත් කි. මී. 3ක් ගම්මාන හරහා ගමන් කළ යුතු යි. මහා වැව් පෙදෙසකින් සමන්විත මෙම ඉසව්වේ වැව් බැම්මට මිහින්තලා කඳුවැටිය මනාවට දිස්වෙයි. එමෙන්ම මිහින්තලා කන්දට නැගි විටද පෙනෙන වනතුරු අතරින් පැතිර යන වැව් අතර විශාලම වැව මහකනදරාව යි.

ඔය අතරවාරයේම මා හට සිහි වූයේ මහකනදරාවට නම් බැඳි කතාව, අත්තප්පා මා හට පෙර දිනෙක කියා දුන් අයුරුය. 

"ඕං අහගනිං.. මේං මෙහෙමයි හීං එකෝ මහකනදරාවට නම් බැඳුණෙ..." ඒ අත්තප්පාගේ හඬය. 

වසර ගණනාවක් ගත වුවද අව්‍යාජ සිනහවද පාමින් මා හට දුන් ගුරුකරුකම් මට අද වාගේම මතකය.

******************

ඉතින් අහගන්ට...., මහකනදරාවට නම් බැඳුණේ මෙහෙමය.

කනදරා ඔය කියන්නෙ මල්වතු ඔයේ එක් අතු ගංගාවක් බව ඔබ දන්නවා ඇති. ඊට නම් සෑදී තිබෙන්නේ දිය කන්දරාවක් එක එල්ලේ ගලාගෙන එන නිසාය. ඉතින්, එකල ඕං ඔය කියන කනදරා ඔය හරස් කරලා වැව් බැම්මක් මගින් මහසෙන් රජතුමා වැවක් බැඳි බවද ඉතිහාස කතා වල බහුල වශයෙන් සඳහන් වෙනවා. ඒ වැවටත් හිටි හැටියේම මහා විශාල දිය කන්දරාවක් ගලාගෙනවිත් පිරෙන වග ගම්මු දැනගෙන හිටියේ කාලාන්තරයක පටන්‍ බව ජනශ්‍රැතියේ සඳහන් වෙනවා. ඕං ඔය හේතුව නිසාම අපේ ආදි මුතුන් මිත්තන් මේ වැව හැඳිවූන්වූයෙ "මහා දිය කන්දරා" වැව යනුවෙනි. ඉතින් කාලයක් තිස්සෙ ඕං ඔය නමින් හැඳින්වුව මේ වැව පසුකාලීනව කට වහරත් එක්කලාම "මහකනදරා" යනුවෙන් හැඳින්වූයේ නිරායාසයෙන්මයි. 

ඉතින් එහෙම තමයි මහකනදරාවට නම් බැඳුණෙ.

Top