පොසොන් මහේ සඳ සෙවණැ යට , ස්නේහයෙන් හද ගැහෙන රාවයේ මිහිරියාවත් එක්කලාම , නුරා මල් සෙමෙන් නැළැවෙන වග.., ආලවන්ත නුඹට, මං කෝම නම් නොකියා ඉන්නද? ගැටවර වියේ පටන්ම නුඹ මට පෑ ආලවන්තකම් නිසා, එකල පොඩොස්සියක ව සිටි අවධියේ පටන් ම මගේ ළමැදෙ පිපුණු සෙනේහය ගැන ඔබ සමීපයට විත් පවසාලන්නට තරම් වචන අතින් අදටත් මම දිළින්දියක්මි.
එකල, පල්ලෙවරළ වෙලේ ගොයම් කැපූ දා හැන්දෑ යාමේ, කාටත් හොරා නුඹ මගෙ නළලතේ තැබූ කුළුඳුල් හාදුවෙ මිහිරියාව මට අද වාගේම මතකය.
ඉතින් කප්පරක් සෙනේදම් පුරා බලාපොරොත්තු පොදි බැඳගනිමින් හුන් අප දෙදෙන, හත්දා මගුල් කා අද එක වහළක් යටට වී සුමාන එක හමාරක්ම ගෙවී ගොස් ය. නමුදු තවමත් නුරාමල් විල සුවඳක මිහිරියාවක් නොවිඳි අප දෙදෙන, අද රාත්තිරියේ පටන් එකම සයනයක සැතපෙන්නට නේද මේ ලක ලෑස්තිය..
මෙතුවක් දිනක් නැන්දම්මාගේ නිදි පැදුරේම පසෙකට වී නුඹ නිදනා ඉසව්වට සිතින් පමණක් මා පියමැන ආ වාර අපමණය. නුඹ නමින් උතුරා ගලා යන සෙනේ ගඟ, මහද සන්තානයේ ලැගුම් ගන්නේම නුඹේ සෙවණේ පිපී සුවඳවත් වන එකම මල් කැකුළ මා වන වග සිතීමේ සියුම් ආඩම්බරයද හද පත්ලේ සඟවාලමිනි. ගැටවර වියේ පටන්ම හැඩි දැඩි පෞරුෂයකින් හෙබි නුඹේ කඩවසම් පෙනුමට වහ වැටී ආ කෙල්ලන් අතරේ නුඹ හදට පෙම් බැඳි එකම සිතැත්තිය මම වන්නට ඇතැයි මා හට බොහෝ විටෙක සිතී ඇත.
"මොකදෑ මැණිකේ ඔය බර කල්පනාවක"
ඒ කරුණාබර හඬ රිදී නැන්දාගේය. හැබෑවටම, ඈ ඇසූ පැනයට පිළිතුරු නොදී මම මද සිනහවක් පමණක් පා නිහඬ වුණෙමි. එය ගණනකට නොගෙන රිදී නැන්දා නැවතත් ඇඟේ හඬ අවධි කරන්නට විය.
"මයෙ මැණිකේ උඹ අද බඹසර යහනට ගොඩවදින්ට කළියෙන් දැන් කීප දොහක හිටං මං කියාපෑව කරුණු කාරණා වාගෙම මේං මේ ටිකත් අහගන්ට ඕනෑ ඕං මයෙ මැණිකේ. මේවා හොඳට හිතට ගන්ට ඕනෑ ඔන්න"
- •••••••••••••••••••••••••••••••••••
"බඹසර යහන"
හැබෑවටම මොකක්ද මේ බඹසර යහන කියන්නෙ?
පුරාණ ගම්මානවල නව විවාහපත් මනාල යුවළක්, ‘බඹසර යහන රැකීම‘ කුල සිරිතක් ලෙස අනුගමනය කරන්නකි. බඹසර යහන රැකීමෙන් තොරව කුමර බඹසර හෝ කුමරි බඹසර ඔප්පු දීම කළ නොහැකි වග පැරැණ්නන්ගේ මතයයි.
පුරාණ සිරිතට අනුව පොඩොස්සියක් මල්වර වීමෙන් පසුව දීගෙක යන තෙක් ආරක්ෂා කළ යුතු ප්‍රධාන පිළිවෙත ලෙස කුමරි බඹසරය පිළිගැනෙයි. එලෙස ම ගැටවරයන් නාම්බන් වී තාරුණ්‍යයට පත්වන විට ද කුමර බඹසර රැකීමට සිදුවීම නිත්‍ය අංගයකි. එහෙයින් හත්දා මඟුලක් කා දීගෙක ආ පසුව අඹු සැමියන් ලෙස හැසිරීමට නම් බඹසර යහනට ගොඩ වී කුමර - කුමරි බඹසර ඔප්පු දිය යුතුය.
බඹසර යහනට පැමිණි මනමාලයා සහ මනමාලිය බඹසර යහනේ සිටිය යුත්තේ බ්‍රහ්ම චරියාවෙනි. කුමර - කුමරි බඹසර රැකීමේ අවසන් රාත්‍රිය මෙය වෙයි. විවාහ දිවියේ ඉවසීම හෙවත් ලිංගික කාර්යයට වඩා සිතේ සංවරය ගොඩනැඟීම මෙහි අරමුණ වෙයි.
මනමාලිය මනමාලයාගේ ගංගෙදරට කැන්දාගෙන යන්නේ අඹු සැමියන් ලෙස හැසිරීමේ හිමිකම හතර පෝරුවේ ඥාතීන් ඉදිරිපිටදී ලබාගෙන ය. එහෙත් මනමාලිය - මනමාලයාගේ ගංගෙදෙට්ට කැටුව ආ දිනයේ සිට අඹු සැමි සබඳතා පැවැත්වීම සිරිත් සම්මත තහංචියකි. පළමු ව නැන්දම්මා කිසියම් විමසුමක නියැළීම සිරිත් සම්මත කාර්‍යයකි. එමඟින් මනමාලියගේ මාසික ශුද්ධිය පිළිබඳව අසා බලා දැනගත යුතුය.එකී කටයුතු නිසිලෙස සිදුවන තුරු මනමාලිය රාත්‍රී කාලයේ නිදාගනු ලබන්නේ නැන්දම්මා සමඟ පැදුරක ය. මේ කටයුතු විමසීමට නැන්දම්මා නොමැති නම් එය සොයා බැලීම පැවැරී තිබෙන්නේ, රෙදි නැන්දාට ය.
මෙලෙසින් මනාලියගේ ශාරිරික හා මානසික යෝග්‍යතාව නිසිලෙස දැන හඳුනාගත් පසුව බඹසර යහන වෙත පිවිසීමේ දිනය උදා වෙයි. බඹසර යහන පිළියෙල කරනුයේ රාත්‍රී කාලය උදා වනවිට ය. ඊට සුවපහසුව ගත කිරීමට හැකි ගෙයක එක් කාමරයක් මේ වෙනුවෙන් පිළියෙල කර ගැනීම සිරිත ය. එසේම ආදි පුරාණයේ පැදුරු එළා ඇති අතර නුදුරු අතීතයේදී ඇඳක් සකසා ගැනේ.
මෙලෙසින් රාත්‍රී කාලයේ නිස්කලංකව ගත කළ හැකි ස්ථානයක් තෝරාගෙන එහි බඹසර යහන පිළියෙල කිරීම සම්මත සම්ප්‍රදාය ලෙස සලකනු ලබයි. එයට අනුව බඹසර යහනට පැමිණෙන මනමාලයා සහ මනමාලිය එදින සන්ධ්‍යා කාලයේදී බෙහෙත් වතුර හෙවත් ඖෂධ කොළ තැම්බූ වතුරෙන් ස්නානය කර පේවිය යුතුය. සිරුරේ කහ ගැල්වීම සහ ශාකසාර ගැල්වීම ද ඒ සමඟ සිදු වෙයි.
ඊට අවශ්‍ය ඔවදන් වැඩිහිටි ඇත්තන් නැත්නම් රෙදි නැන්දා හෝ හේනේ මාමා කෙනෙකුන් අතින් සිදු වෙයි. බඹසර යහන තැනීම රෙදි නැන්දාට හෝ හේනේ මාමාට පැවරෙන්නෙකි. මෙහිදි යහන මත සුදු පිරුවට එළන අතර වෙන් කළ කාමරයේ ද පිරුවට එතීමක් සිදු කරයි.
මෙලෙසින් බඹසර යහන පිළියෙල කළ කුටිය අලුතින් සරසා ගත්විට එහි නැවුම් ස්වාභාවයක් ඉස්මතු වෙයි. එසේ ම බඹසර යහනට සුදු පිරුවට එලා ඒ මත සුදෝ සුදු මල් අතුරනු ලැබේ.
තවද බඹසර කුටියේ සුවඳ වහනය වන සේ නා නා ප්‍රකාරයේ මල්වර්ගවලින් මල් වැල් එල්ලීම, මල් පොකුරු ගැවසීම ද සිදුවේ.
ගොම්මන වසාලූ දෙහෝරාවකට පමණ පසුව බඹසර යහන සහිත කුටියට මනමාලයාට සහ මනමාලියට පිවිසීමේ අවස්ථාව ලැබේ. ඊට පෙර මනමාලිය සැරැසීම රෙදි නැන්දාට අයත් රාජකාරියකි.
මේ අතර මනලයා හෝ මනමාලිය බඹසර යහනට පිවිසීමට පෙර කුමර හා කුමරි බඹසර දිවියේ ඇති සරුභාවය පිළිබඳ ව අවබෝධ කරවීම රෙදි නැන්දා අතින් සිදුවන්නකි. නැත්නම් මේ පිළිබඳ තොරතුරු දන්නා වූ බවලතෙකු අතින් ඒ කාර්යය සිදුවෙයි.
මනාලයා සහ මනමාලිය බඹසර කුටියට ඇතුළු වූවාට පසුව එයින් පිටතට යෑම සපුරා තහංචි වෙයි. ඒ රාත්‍රිය එළිවෙනතුරු බඹසර කුටිය දොරකඩ රෙදි නැන්දා රැකවල් ලා සිටීම අත්‍යවශ්‍ය පිළිවෙතකි. වෙනත් ඇත්තියන්ට ඒ සමීපයේ සිටීම තහංචි ය.
බඹසර යහන කුටියේ පහන් දල්වා තබයි. එය කැකුණ තෙල් පහන් ය.ඒ පහන් රාත්‍රිය නිමවනතුරු දැල්වී තිබිය යුතුය. ඊට අමතරව පසෙකින් ස්ත්‍රී ලාලිත්‍යයෙන් හෙබි විවිධ ඉරියව් වලින් සමන්විත රූකම් බිත්තිය පුරාවට මවනා "අනංග පහන" දල්වා තැබීම අනිවාර්‍ය අංගයකි. මනමාල යුවළ බඹසර යහනට ගොඩ වූ පසුව රෑ පහන් කළ යුත්තේ කුමර කුමරි බඹසර නොබිඳෙන ලෙසිනි. කිසිදු විටෙක සිරුරට අත තැබීම, වැලඳ ගැනීම හෝ අඹුසැමියන් ලෙස ගත කිරීම තබා ස්වේත වස්ත්‍ර සළුපිළි ලෙහීම ජන සම්මත තහංචියකි.
රැය ගෙවනතුරු එක ම යහනක දෙදෙනා සමීප ව සිටිය හැකි වුව ද අඹුසැමියන් සේ ලිංගික සම්බන්ධතා පැවැත්වීම තහංචි වෙයි. මේ සියල් ඉඟි මාත්‍රා වලට හොඳින් ඇහුම්කන් දෙන රෙදි නැන්දා තරමක් උස් හඬින් උගුර පාදා ඇය මේ සියල්ල අවදි සිහියෙන් බලා සිටින බව දන්වා සිටින්නීය.
විවාහ දිවියේ ඉවසීම හෙවත් ලිංගික කාර්යයට වඩා සිතේ සංවරය ගොඩනැඟීම මෙහි අරමුණ වෙයි. මනාලයා අනිසි ලෙස කුමර බඹසර බිඳ තිබේදැයි කියා පසුදින උදෑසන රෙදි නැන්දා විත් පරික්ෂා කරනු ලබයි. ස්වේත වස්ත්‍ර දෙදෙනාට ම පලඳනුයේ . ඒ නිසාවෙනි.එය පරික්ෂාකොට බැලීමෙන් පසු බඹසර යහන් කුටියෙන් පිටවීමේ අවසරය ලබාදෙන්නේ ද රෙදි නැන්දා විසිනි.
යුවතියක මල්වර වූ දා සිට මංගල්ලය තෙක් බඹසර ව හැසිරීම පුරාණ ගම්මාන සම්ප්‍රදාය මඟින් කියාදෙනු ලබන අතර එසේ සිදුකිරීමේ හරය පිළිබඳව විමසා බැලීමද වැදගත් වේ. සැබෑවටම ඉන් කියැවෙන්නේ යුවළ අතර ඇති නැවුම් බව සහ කුළුඳුල් බව තුළින් විවාපත් වූවායින් පසුව වුවද ඔවුන් අතර ඇති වටිනාකම, සෙනේහය , අනෙයෝන්‍ය සබඳතාවය වඩ වඩාත් තීව්‍ර කරවීමට මෙම බඹසර රැකීම ඉවහල් වන බවයි.