අපේ මුතුන්මිත්තන් පරිසරය ඇසුරේම දිවි ගෙවූ නිසා ඔවුන් පරිසරයට මහත් ඇල්මක්, ආදරයක් දැක්වීය. ඔවුන්ගේ ජීවන රටාව ද පරිසරය හා දැඩිව බැඳී පැවතුණේ එහෙයිනි. සොබාදහමට උචිත ලෙස තම දිවිය පවත්වාගෙන යාමට පැරැන්නෝ ජනසම්මත පිළිවෙත් රාශියක් අනුගමනය කළහ. ඒ සෑම පිළිවෙතක් ම පරිසර හිතකාමී වූයේ පැරැන්නන් පරිසරයට දක්වන ලද මහත් වූ ලැදියාව නිසාමය. මේ පැරණියන් අනුගමනය කළ එවන් පරිසර හිතකාමී පිළිවෙත් කිහිපයකි.
අද්දර ගස් සිටුවීම
පැරැන්නෝ ගස්වැල්වලට දක්වන ලද්දේ ඉමහත් සෙනෙහසකි. එනිසාම අද්දර ගස් සිටුවීම එකල සිරිතක්ව පැවතුනි. අද්දර ගස් සිටුවීම ලෙසින් හැඳින්වූයේ පාර අද්දර සිට වූ ගස්ය. පාරේ ගමන් කරන්නන්ට සෙවණ සලසාදීම සඳහා පාර දෙපස ගස් සිටුවීම හා ඒවා රැකබලාගැනීම මහඟු පිනක් ලෙස පැරැන්නෝ සැලකූහ. මිල්ල, බුරුත, නුග ආදී විශාල ගස් මෙලෙස මග දෙපස සිටුවීමට යොදා ගනු ලැබීය. ඒ වගේම ජලාශ්‍රිත ප්‍රදේශවල කුඹුක්, හොර ආදී ගස් ද පලතුරු හටගන්නා කජු, මොර ආදී ගස් ද පාරවල් දෙපස අතරින් පතර රෝපණය කළහ.
දිය පෙරීම
දිය පෙරීම අපේ පැරණියන් අනුගමනය කළ සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙතක් විය. දිය පෙරා ගැනීමට අතීතයේ දී යොදා ගනු ලැබුයේ පොල් මටුල්ලකි. එසේත් නැතිනම් කපු රෙදි කැබැල්ලකි. අමු පොල් මටුල්ලක් ගෙන හොඳින් අව්වේ වියළා ගැනීමෙන් එය පෙරීමට සුදුසු වන පරිදි සකසා ගැනුණි. පොල් මටුල්ලක් හෝ රෙදි කඩක් හෝ කලයේ කට මත තබා කළයට දිය වත් කිරීම නිසා කොළ රොඩු, රොන් මඩ කළයට ඇතුළු වූයේ නැත. ඒ වගේම කළය මැස්සේ තැබීමට පෙර වෙනත් කළයකට නැවත දිය පෙරා ගැනීමට ද පැරැන්නෝ අමතක නොකළහ. වසංගත රෝග පැතිරෙන සමයන්හිදී දිය පානය කළේ දෙතුන් වතාවක් බේරා ගැනීමෙන් අනතුරුවය.
කළ නැවුම් කිරීම
පැරැන්නන් විසින් ජලය අනුගමනය කරන ලද ජලය හා බැඳි තවත් පිළිවෙතක් වූයේ කළ නැවුම් කිරීමයි. පැරණියන් පානීය ජලය රැස් කළේ කළයකටය. එහි නිතර දිය රැඳී ඇති හෙයින් ඒ තුළ විෂබීජ තිබිය හැකි බව ගෘහණියන් දැන සිටියහ. එහෙයින් ඔවුහු සතියකට වරක් හෝ කළ නැවුම් කළහ. කළ නැවුම් කෙරුණේ බොහෝ විට රාත්‍රී කාලයේදී ය. රාත්‍රී ආහාර වේල උයාගත් පසු ලිපට දහයියා දමා කළය මුනින් අතට නවා ලිප මත තබයි. දහයියා ඇවිලෙන විට එහි දුම කළයට ඇතුළු වෙයි. ඒ අනුව රාත්‍රිය පුරා දහයියා දුම වැදී කළය ඇතුළත හොඳින් රත් වේ. එවිට කළය තුළ ඇති විෂබීජ සියල්ල විනාශ වී යයි. කළය නැවුම් කළ විට එහි වතුර ද නැවුම් රසයක් ගනී. පැරැන්නෝ එම නැවුම් රසයට බෙහෙවින් ප්‍රිය කළහ.
ගොක් අතු කැපීම
ගොත් අත්ත නමින් හැඳින්වූයේ පොල් ගසේ දල්ලය. බොහෝවිට උත්සව මාසයන් වලදී සැරසිලි සඳහා ගොක අතු යොදා ගත්හ. බොහෝවිට පන්සල් වලට ඇතුළු වන වාහල්කඩ සැරසීම, පන්සල වටා ගොක් කොළ රැහැන් ඇදීම ආදිය සිදු වුණේ එම ගොක්කොළ ආධාරයෙනි. කොළ කැපූ විට පොල් ගසේ වැඩීමත් ඵලදාවත් අඩු වන බව පැරැණි ගැමියෝ දැන සිටියහ. උත්සව සමයන්හි සැරසිලි සහ වෙනස් අවශ්‍යතා සඳහා නෑඹුල් පොල් ගස්වලින් එසේත් නැතිනම් පල නොදැරූ පොල් ගස්වලින් ගොක් අතු කැපීම ජන සම්මතය තුළ තහංචියක් විය. ඒ වගේම එක ගසකින් ගොක් අතු කපා ගත හැකි වූයේ වසරකට වරක් පමණිල්. මේ අයුරින් පොල් ගස් වලට හානියක් නොවන පරිදි අතු කැපීමට පැරැන්නනෝ වගබලා ගත්හ.
තව් ගැසීම
වත්මන් ජන වහර තුළ නම් මේ පදය නුහුරු නුපුරුදු පදයකි. බෝග වර්ග අව්වේ වියළා කල් තබා ගැනීම අපේ මුත්තන් විසින් මුතුන්මිත්තන් හඳුන්වන ලද්දේ තව් ගැසීම යනුවෙනි. ගොඩ ගොවිතැනත් මඩ ගොවිතැනත් යන දෙකටම හුරුව සිටි මෙරට ජනයා තමන් ලබා ගන්නා අස්වැන්න කල් තබා ගැනීමට ද විවිධ උපක්‍රම අනුගමනය කළහ. බෝග අස්වැන්න නෙළා ගත් විට ඒ සියල්ල එකවර ආහාරයට ගත නොහැකිය. ඒ වගේම එළවළු, අල ආදී බෝග වර්ග කල් තබා ගත නොහැකි වූ නිසා ඒවා ඉක්මනින් ආහාරයට ගත යුතුය. එනිසා එයට පිළියමක් වශයෙන් පැරණියෝ තව් ගැසීම කළහ. තව් ගැසීමෙන් බෝග වර්ග සෑම එකක්ම පාහේ කල් තබා ගත නොහැකි වුවද කොස්, දෙල්, කරවිල, දඹ, ඇඹරැල්ලා ආදී බෝග වර්ග කල් තබා ගැනීමට හැකි වි. තව් ගසා ගැනීමේ දී බෝග වර්ග දැඩි අව් රශ්මියේ නැත්නම් ගිනි අව්වේ වියළා ගත යුතු විය. ගිනි අව්වේ බෝග වර්ග නිසි පදමට වියළා ගත් පසු ඒවා මැටි මුට්ටි වල අසුරා තබනු ලැබේ. මාස තුන හතරක් පමණ කාලයක් ගත වූ පසු තව් ගසා ගත් බෝග වර්ග කල් තබා ගැනීමට හැකි විය. බොහෝවිට සාගත වතාවලදී, නියං සමයන්හි දී පැරණියන් භාවිතයට ගනු ලැබූයේ මෙලෙස තව් ගසා ගැනීමෙන් කල් තබන ලද ධාන්‍ය වර්ගයන් ය.
කුරුලු ආධාරක සිටුවීම
කෙත සමඟ අවියෝජනීය සම්බන්ධතාවක් ගොඩනගාගෙන සිටි ගැමියන් තම ගොවිතැන ආරක්ෂා කර ගැනීම සඳහා විවිධ ක්‍රමෝපායන් අනුගමනය කරනු ලැබීය. ඒ වගේම අපේ පැරණියන් ගොවිතැන් කළේ සොබාදහමට අනුකූලව ය. එබැවින් කෙතට ඇතිවන උවදුරු දුරු කර ගැනීමට ඔවුන් අනුගමනය කළේ පරිසර හිතකාමී පිළිවෙත්ය.ඒ අනුව කෙතේ තැනින් තැන ඉපල් සිටුවීමෙන් කුරුල්ලෝ එම අතු මත ලැගුම් ගනිති. එලෙස ඉපල් මත කුරුල්ලන් ලැගුම් ගැනීමෙන් ඔවුන් කෘමීන් හා පණුවන් ආහාරයට ගන්නා නිසා කෘමි හා පණු උවඳුර පහව යන බව ගැමියන් හොඳින්ම දැන සිටියහ.
කක්කුට්ටන් පලවා හැරීම
තම ගොයමේ ආරක්ෂාවට අපේ පැරණි මුතුන් මිත්තන් විසින් අනුගමනය කරන ලද තවත් කෙමක් විය. කක්කුට්ටන් බහුලව වෙසෙන්නේ කුඹුරු ආශ්‍රිතව ය. ඔවුන්ගෙන් ගොයමට කිසිදු හානියක් සිදු නොවේ. එහෙත් නියරවල් සිදුරුකිරීම කක්‍කුට්ටන්ගේ සිරිතකි. කක්කුටු ගහනය වැඩිවෙන විට නියරවල් සිදුරු කිරීම ද වැඩි වේ. නියරවල් සිදුකිරීම වැඩි වූ විට නියරෙන් පහළට වතුර ගලා යයි. එය ගොයමට අහිතකර තත්ත්වයකි. එහෙයින් කක්කුට්ටන් පලවා හැරීමට අපේ පැරැණියෝ අපූරු කෙමක් යොදාගත්හ. හිමිදිරි උදෑසන කිසිවකු සමඟ කතා නොකර කොහිල අල, ගස්ලබු ගෙඩි, කිරි හබරල අල හෝ ගසලබු කඳක් ගෙන පෙති වශයෙන් කපා කක්කුට්ටන් බහුලව ගැවසෙන නියරවල් අසල දැමීම සිදු කරයි. දින කිහිපයක් ගතවන විට ඒවා කුණු වී දුගඳ හමන විට කක්කුට්ටන් පලා යයි.
අතු කඩා දැමීම
ගැමියන් සොබාදහම ආශ්‍රිතව තම දිවි පෙවෙත ගෙන ගිය නිසා සතුන්ගෙන් අනතුරු සිදු වීමට තිබූ හැකියාව බහුල විය. එහෙත් සතුන්ට හිංසා පීඩා කිරීමට අපේ පැරැන්නෝ අකමැති වූහ. එනිසා සතුන්ගෙන් ආරක්ෂා වීම සඳහා විවිධ උපායන් යොදා ගැනීමට යොමු විය. ඖෂධ සෙවීම, දර කඩා ගැනීම වැනි අවශ්‍යතාවලට කැලේට යන ගැමියන්ට වන සතුන්ගෙන් බොහෝ කරදරවලට මුහුණ පෑමට සිදු වූ අවස්ථා දක්නට ලැබෙයි. එනිසා සෑම අවස්ථාවකදීම පාහේ සතුන්ගෙන් ආරක්ෂා වීමට ඔවුන් කල්පනාකාරී විය. කැලේ ගමන් කරන විට සතුන්ගෙන් අනතුරක් එල්ල විය හැකි ස්ථාන හඳුනාගත් විට එම ස්ථානයන්හි කොළ අතු තුනක් ළං ළංව කඩා දැමීම සිරිතකි. එලෙස අතු කඩා දැමීමෙන් එම ස්ථානයේදී සතුන්ගෙන් අනතුරක් ඇති විය හැකි බවට සංඥා කෙරුණි. ඒ වගේම වේ තුඹස් අසල ද එලෙස කුඩා අතු කඩා දමා ඇත්නම් එය විෂ සර්පයෙකු සිටින බවට කරන ලද අනතුරු ඇඟවීමකි.
වසංගත වැටි දැමීම
වසංගත වැටි යෙදීම වර්තමානයේ දී ද ඇතැම් අවස්ථාවල දැකගත හැකිය. පැපොල, සරම්ප, කම්මුල්ගාය ආදී වසංගත රෝග පැතිරී යන විට තම ගමට පිවිසෙන සියලු ස්ථානවල වසංගත වැටි දැමීමට පැරණියෝ පුරුදුව සිටියහ. වසංගත වැටි දැමීම ජනසම්මත අවාචික සන්නිවේදන ක්‍රමයක් ද විය. ගමේ වසංගත රෝග පැතිර යන බවත් ගමට ඇතුළු වීමෙන් වළකින ලෙසටත් එයින් දන්වනු ලැබීය. වසංගත වැටි සකස් කර ගැනුණේ බොහෝ අවස්ථාවලදී කොහොඹ අතු කඩා දැමීමෙනි. ඇතැම්විට අඹ, පිහිඹියා වැනි ශාකවල අතු ද වසංගත වැටි සඳහා යොදා ගැනුණි. වසංගත වැටිවල කොළ අතු වියළී යන විට ඒ වෙනුවට අලුත් කොළ වැටි දමා නැවත වැටිය සකස් කරනු ලැබීය. වසංගත වැටි දැමීමෙන් අපේ පැරැන්නන් අපේක්ෂා කළේ වසංගත රෝග අනෙක් ගම්වලට පැතිරීයාම වළක්වා ගැනීමයි. මේ සඳහා කොහොඹ අතු යොදා ගැනීම තුළින් විෂබීජ පැතිරීම අවම කර ගැනීමටද උත්සාහ ගත්හ.
පිදුරු පන්දලම සැකසීම
කෘෂිකාර්මික දිවි පෙවෙතකට හුරු ව සිටි අපේ පැරැන්නො අරපිරිමැස්මෙන් යුතු ජීවන රටාවකට ද හුරුව සිටි. කෙතෙහි ඉවත ලන පිදුරුවලින් ද ඔවුහු උපරිම ප්‍රයෝජන ලබා ගත්හ. පිදුරු දිරාපත් වූ විට ඒවා කෙතට දැමීමෙන් ද කෙත පෝෂණය කරනු ලැබීය. එසේම ගෙවල්වල වහල සෙවිලි කර ගැනීමට වී බිස්සෙහි වහලය සෙවිලි කර ගැනීම වැනි අවස්ථාවලදී ද පිදුරු ප්‍රයෝජනයට ගනු ලැබීය. එකල සෑම නිවසකම පාහේ පැවැති අංගයක් වූයේ පිදුරු පන්දලමයි. ගෙදර පිළිකන්නට වන්නට ලී සතරක් සිටුවා ඒ මත දැව තට්ටුවක් අතුරා පිදුරු පන්දලම තනා ගනු ලැබීය. පිදුරු මිටි වශයෙන් බැඳ පිදුරු පන්දලමේ තැන්පත් කෙරුණේ රටාවකටය. එම පිදුරු මිටි තැන්පත් කළ රටාව හේතුවෙන් එයට වැසිදිය ද නොවැටුණි. එහෙයින් පන්දලම තුළ වන පිදුරු වසර තුන හතරක් පමණ කල් තබා ගැනීමේ හැකියාව ද පැවතුණි.
උණ බට පදම් කිරීම
අතීතයේ දී මෙන්ම අදටත් විවිධ අවශ්‍යතාවලදී උණ බට ප්‍රයෝජනයට ගනු ලබයි. අතීතයේදී නිවාස තැනීමේදී උණබට බහුලව යොදා ගැනුණි. මැටියෙන් බිත්ති සෑදීමේ දී එහි මැදට උණ පතුරු තබා බැඳීමෙන් බිත්තියේ සවි ශක්තිය වැඩි කර ගැනීමට අපේක්ෂා කෙරුණි. උණබටවලට ඉතා ඉක්මනින් ගුල්ලන්ගෙන් හානි පැමිණෙයි. එලෙස හානි වීම අවම කර ගැනීමට අපේ පැරණියන් යෙදූ උපක්‍රමයක් වූයේ උණබට පදම් කිරීමයි. මෝරා වැඩුණු පසු උණ බට කපා ගැනීම සිදු කළ අතර එම උණ ගත් දින දෙක තුනක් අව්වේ වියළා ගැනීම සිදුකරයි. ඉන්පසුව එම උණගස් මද ගින්දරේ තබා නැවත දින තුනක් පමණ වියළා ගත් පසු උණ බට හොඳින් පදම් වේ. එවිට ගුල්ලන්ගෙන් හානි සිදුවීම ද අවම වේ.
මේ අයුරින් පරිසරය ඇසුරේම තම දිවිය ගෙන ගිය පැරැන්නෝ තම දිවියටත් පරිසරයටත් හිතකර පිළිවෙත් අනුගමනය කළහ.