ජනශ්‍රැතියේ හමුවෙන උලලේනා යනු කවුරුන් ද? (382)

post-title

වටින් ගොඩින් කලුවර වැටීගෙන එනවා. අද චුට්ටි නැන්දා කලබලෙන් වැට පාරෙන්ම ගියා. වෙනදටනම් අම්මට කතා කරලා යන්නේ. මට ඇහුණා අම්මා ආච්ච් අම්මා එක්ක කතා වෙනවා චුට්ටි නැන්දගෙ දුවට සරම්ප හැදිලා කිලි අහුවෙලා අමාරුවෙලා කියලා. වෙද මහත්තයා මාමාත් ගියා. එහෙම දෙවියොන්ගෙ ලෙඩ හැදුනම කිලි අහුවෙන්න හොද නෑලු. .අමාරු වෙනවලු.. මට මතකයි අපේ බාප්පටත් අමාරුවෙලා හිටියා..

සේපාලිකා මල් පිරිලා. සුවදේ බෑ. අද මල් වට්ටියක්ම කඩන්න ඕනි පූජා කරන්න.

සාදු සාදූ සාදූ..!

ජීවිතේ හරියට නවාතැනක් වගේ. අපි එනවා යනවා. නවතින තැනක් නෑ. නිවන තමයි එකම තැන. සංසාර ගමන ඒ තරම් දිගයි. අද ටිකක් වට පිටාවත් පාලු ගතියයි. තණකොලපෙත්තො කෑ ගහන්නෙත් නෑ. බල්ලෝ උඩුබුරනවා ඈතින් ඇහෙනවා. හුළගත් මොනවදෝ කියන්න වගේ ඇගේම දැවටෙනවා. මොකක්දෝ ලතෝනියක් ඇහෙනවා. අම්මා මාව ඉක්මනට ගෙට අරන් ගියා.

"ඒ මොකද්ද අම්මේ"

"ඒ උල ලේනි කෑ ගහනවා. මගෙ පුතා මිදුලට එහෙම යන්න එපා "

අම්මා ආදරෙන් කියනවා.

"මොකක්ම හරි නස්පැත්තියක ලකුණක්"

අම්මා තනියම මුමුණනවා

අප්පච්චි ඇවිදින් අම්මට කතා කරනවා

"අනේ දෙවියනේ.. මට ඒත් හිතුණා.. උල ලේනිත් ඇඩුවා.."අම්මා රහසින් කියනවා..

 

ජනශ්‍රැතියේ එක් සංකල්පයක් ලෙස සත්වශ්‍රැතිය පෙන්වාදිය හැකි ය. ශ්‍රී ලාංකික ජන සමාජය තුල ද එවැනිම ආවේණික වූ සත්වශ්‍රැති රැසක් දක්නට ඇත. මෙම ජනශ්‍රැතිය ආගම, විශ්වාසය, ඇදහිලි වගේ ම මිනිසුන්ගේ සිතුවිලි මත විවිධාකාරීව ගලාගෙන යනු ලබයි. අතීතයේ සිට වර්තමානයේ මේ දක්වා මෙම සංකල්ප මුඛ පරම්පරාගතව එයටම ආවේණික වූ හැඩයක් රැගෙන අප වටා ගෙතී පවතී. මෙම ජනශ්‍රැතිය පුරාවෘත, ප්‍රස්ථාපිරුළු, ජන ගී, ජන කතා, ජන නැටුම්, වැනි අංගයන්ගෙන් පිරී පවතී. අතීතයේ සිට ම මිනිසා හා සතුන් අතර තිබූ ලෙන්ගතුකම හා සෙනෙහස විශ්වාසයන් තුලින් විවිධ සංකල්ප එයට ම ආවේණික සත්වශ්‍රැතියක් ලෙස සමාජයට නිරූපණය විය. මෙම සුභ හා අසුභ, වාසනාවන්ත හා අවාසනාවන්ත, අත්භූත හා මනඃකල්පිත ලෙස මෙම සංකල්ප අපට වර්ගීකරණය කර ගත හැකිය. 

අතීතයේ සිට ම ගැමියාගේ ජීවන චර්යාවන් අතර සත්වයන් තුළ තිබූ මෙම සන්නිවේදනය කිරීමේ හැකියාව ගැමියාගේ විශ්වාසයන් ස්ථිර කිරීමට සමත් වන්නට ඇත. මේ හේතුවෙන් මෙම විශ්වාසයන් බිහිවන්නට ඇත. මෙහි දී මා අද මේ ලිපිය තුලින් සදහන් කිරීමට අදහස් කරනුයේ උලමා, උල ලේනි, උල කුරුල්ලා යන නමින් හදුන්වන ගැමි සමාජයේ අදටත් අසුභ යැයි සදහන් වන සත්වශ්‍රැතියක් පිලිබදවය.

මන්දාරමට උඩ ඉගිලෙන වැහි ලේනි

ගොනුගේ පිටට දැම්මා වැඩිය බර ගෝනි

වෙල මැද අම්බලම කාටත් පරවේණී

මට තනි නැත නුඹ නාඩන් උල ලේනි

ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වල දක්නට ලැබෙන අතිශය දුර්ලභ වූ පක්ෂියෙකු ලෙස උල කුරුල්ලා හැදින්විය හැකිය. ඉංග්‍රීසි භාෂාවෙන් Bird egal ලෙස මොහු හදුන්වයි. ශ්‍රී ලංකාවේ කදුකර හා අදුරු තුරුගොමු අතර මේ සත්ත්වයා ජීවත් වේ. උලමාගේ හඩ ඇසීම ඉතාම භයානකය. අතීත ගැමියා උලමා හැදින්වූයේ යක්ෂයෙකු ලෙසය. කාන්තාවකගේ ගෙල මිරිකන විට ඇගේ ලතෝනියකට සමාන වූ හඩක් මෙම සත්ත්වයාගේ කටහඩින් පිටවේ. ඇග කිලිපොලා යන හඩකින් කෑ ගහන මෙම සත්වයා රාත්‍රියේ තිබෙන බියකරු බව වැඩිකිරීමට සමත්වන් සතෙක් ලෙසද හදුන්වන්න පුළුවන්.

උලලේනියේ හැඩුවට රෑ මරු ඒද

හිමිදිරියේ හඩින් වැහිඵල කීවාද

තුන්යාමයේ තුන් දින වහලේ හඩද

නගන්ඩියේ ගැබ මරුවට කැපවේද

උලමා ගසක එක තැනක සිට කෑගැසීම ආරම්භ කොට එම ගසේම කැරකෙමින් වෙනත් අතු වලට ගොස් කෑ ගසා නැවත හඩ නැගීම ආරම්භ කල අත්තටම පැමිණ කෑ ගැසීම අවසන් කිරීම සිරිතයි. උලමා රාත්‍රියේ හැඩලූ තැන පසුදා උදෑසන ගස යට "ලේ පැල්ලම් දැකගත හැකි වේ" යැයි එක්තරා මතයකි. කෑ ගැසූ දින සිට සත් දවසකින් මරණයක් සිදුවන බව ගැමියන්ගේ විශ්වාසයකි. (මෙය අද ද සිදුවන විශ්වාසයන් අතර ප්‍රබල කාරණාවකි.)

උලමාගේ උපත පිළිබද ඇත්තේ විවිධ ජන කතාය. මෙම ජන කතා ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වේ. මෙහි පහතින් දක්වා ඇත්තේ එවන් කතාවන් ය

පළමු කතාව

අතීතයේ අඹුසැමි යුවලක් හා පොඩි දරුවෙකු පුංචි පැලක ජීවත් විය. දිනපතාම රා බී වෙරි වී නිවසට පැමිණෙන මේ සැමියා නිතරම තම බිරිදට ගුටිබැට දී රණ්ඩු සරුවල් ඇති කර ගත්තේය. සැමියා රාත්‍රි මැදියම වනතෙක් නොපැමිණීම නිසාවෙන් කුප්පු ලාම්පු එලියෙන් පිල්කඩ උඩට වී සිටීම ඇයට පුරුද්දක් වී තිබුණි. රා බී වෙරි වී මැදියමේ පැමිණෙන සැමියා දුටු ඇය සිටි තැනින් නැගිට යාමට සැරසීමත් සමග කෝපාවිෂ්ඨ වූ ඔහු ලාම්පුව උදුරා එයින් බිරිදට දමා ගැසීය. මෙයින් ඇය දරුණු පිලිස්සුම් ලැබ වේදනාවෙන් හා තරහින් මිය ගියාය. ඇගේ ලතෝනියක සමාන හඩක් උලමාගෙන් නැගෙන නිසාවෙන් ඒ ඇගේ ආත්මය ලද පක්ෂියෙකු ලෙස උල ලේනි සලකනු ලබයි.

 දෙවන කතාව

අඹුසැමි යුවලක් පොඩි පුතෙකු සමග පැලක ජීවත් විය. හේතුවක් නොමැතිව බිරිදට සහ දරුවාට රණ්ඩු කිරීම පුරුෂයාගේ පුරුද්දකි. එක් දිනක් බිරිද සමග තිබූ තරහට මොහු තම පුතු අල්වාගෙන අතින් පහර දෙන්නට විය. එහිදි දරුවාට මේ වේදනාව දරා ගැනීමට නොහැකිව මරණයට පත් විය. මේ බව බිරිදට නොපෙන්වා දරුවාගෙ මස් කපා සුද්ද කොට ඇතිලියකට දමා බිරිද ලවාම උයවා ගත් පුරුෂයා නිවසින් නික්ම ගියේය. තම දරුවාට බත් කැවීම සදහා බත් පතක් බෙදාගත් ඇය දරුවා නොමැති ඇයිදැයි සෙවීමට පටන් ගත්තාය. එහිදී පිගානේ තිබූ තම දරුවාගේ ඇගිල්ල දැකීමෙන් සියලු දේ වටහා ගත් ඇය හැන්දෙන්ම හිසට ගසා ගනිමිත් තරහෙන් මිය ගියාය. ඇය මියගිය වේදනාව හා තරහ නිසාවෙන් උල ලේනි නමින් වූ ආත්මයක් ලැබූ බව තවත් විශ්වාසයකි.

මෙම ජනප්‍රවාද දෙකම එකම ආකාරකින් නොවූවද ප්‍රදේශයෙන් ප්‍රදේශයන්ට ජන විශ්වාසයන් රැසක් මේ අනුව බිහිවී ඇත. ඒ කෙසේ නමුත් තම බිරිද සැමියා පිළිබඳ තරහින් මිය ගිය හේතුවෙන් ඇය මෙසේ ඉපදෙන්නට ඇති බව මෙම කතා පුවත් දෙකෙන්ම අපිට මතුවන ප්‍රබල කාරණාවකි. 

උල ලේනයි උලලේනයි තෝද බොල

නාඩා ඉන්ඩ තොට වරමක් දුනිද බොල

අනද මහ තෙරිදු පටියෙන් බැන්ද බොල

මෙතේ බුදුන් බුදු වෙනකං නාඩ බොල

උල ලේනි යනු ගැහැණු ආත්මයක් ලෙස බොහෝවිට සදහන් කරන කරුණකි. තම ප්‍රේමවන්‍තයා තම සැමියා වෙනුවෙන් පතිවත රැකූ නියම බිරිදකට වූ ප්‍රබල අසාධාරණයක් වටා මෙම සත්වශ්‍රැතිය බිහිවී පවතී. එකල පවුල් කුටුම්භය තුල පැවතියා වූ විවිධ හැලහැපීම් ජනශ්‍රැතිය තුලට බද්ධ වී ඇති තවත් අවස්ථාවක් ලෙස මෙය හදුන්වාදීමට පුළුවන. මෙම කාරණාව යටතේ අපගේ සංස්කෘතිය තුල විවිධ ජන ආකල්ප බිහි වි පැවතුණි. ඒ අතර විවිධ චාරිත්‍ර, ඇදහීම් හදුන්වාදීමට හැකිය.මේ සත්වශ්‍රැතිය සදහාද මෙම කරුණු බලපැවැත්වුණි.

උලමාගේ හඩට බිය වැදුණු ගැමියන් මේ සදහා විවිධ කෙම් වර්ග භාවිතා කරනු ලැබීය.

  1. උලමාගේ කෑ ගැසීම අසුභ බව දන්නා ගැමියන් විසින් සබ්බ පාපස්ස අකරණං යන බුදු දහමේ ඇති ගාථාව තෙවරක් කියා රෙදි කැබැල්ලක් ගෙන ගැටයක් ගසනු ලබයි.
  1. ක්‍රමයක් ලෙස තොපටත් එපා අපිටත් එපා යැයි පවසමින් ඉලපතක් හෝ යකඩ කෑල්ලක් මිදුලට විසික් කිරීමද සිදු කරනු ලබයි. විශේෂයෙන් නිවසේ පිරිමි පා‍ර්ශ්වයට මේ උල ලේනි හඩලන මොහොතේ මිදුලට ඒම තහංචි වේ. ගැහැනුන් විසින් මේ කාර්යය සිදු කරනු ලබයි. (උලමාගේ මෙම ලතෝනිය ඇතිවන අවස්ථාව වන විට නිවසේ මිදුලේ අදුරු තැනකට වන්නට පොල්තෙල් පහනක් දැල්වීම පුරාණ සිරිතකි. එහි දී උල ලේනි පැමිණ එම තෙල් ඇගේ ගාගන්නා බවත් එයින් ඇගේ පිලිස්සුම් වේදනාව සමනය වන බව විශ්වාසයකි.)
  1. ළග ඇති ගසක පොත්තක් උඩට ගලවා යකඩ ඇණයක් ගසා කුඩා මුට්ටියක දමා කටහඩ හිර කර තැබීමෙන් යක්ෂ ප්‍රේත භූතයින්ගෙන් කරදර නොවන බව 
  1. උලමා හඩලන විට වැලි අහුරක් ගෙන යන්ත්‍ර මන්ත්‍ර මතුරා එම වැලි අහුරෙන් උලමා වසා ඇති අත්ත දෙසට විසි කිරීමෙන් පක්ෂියා නැවත පියාඹා යනු ලබන බව.

මෙම සත්වශ්‍රැතියන් අතරින් උලමා පිළිබඳ දරන විවිධාකාර මත අතර ජන සංස්කෘතිය මගින් පෙන්වාදිමට හැකියාව ඇත්තේ මේ විශ්වාසයන් තුල තිබූ නිහඩ බැදියාවයි. අද වන විටද සමාජය තුල ඇති විශ්වාසයන් අතර ප්‍රබල තැනෙක මෙම සත්වශ්‍රැතිය ජීවමානව පවති.අතීතයේ ජන ජීවිතයන් තුල තිබූ චර්යාවන් මත බද්ධ වූ මෙම උලමා පිළිබඳ වගතුග සෞන්දර්යාත්මක වටිනා ගොන්න අතර තවත් පරිච්ඡේදයක් ලෙස මෙසේ දිගහැරුණි.

Top