පරපුරෙන් පරපුරට උරුමව එන හණ කලාල කර්මාන්තයේ කතන්දරය (621)

post-title

ඉර මුදුන්වෙන්න කලියෙන් හණ ටික කපාගන්නට යන්න ඕන. ඉක්මන් කොරහං දුවේ ඩිංගිත්තක්."

"ඩිංගිරි නැන්දත් එනවා කීවද මයෙ අම්මා"

"ඔව්. එනවා කීවා"

"ඔහොම හිටිං අම්ම. නගන්ඩිත් එක්කං ගියානං. විජහිං එන්ට තිබ්බා හණ ටිකත් එක්කසු කරං. "

"ඒකනං හැබෑව. පොඩි කෙලී සුනංගු වෙනවා. ඉක්මං කොරහං මයෙ දූ."

අප්පොච්චිගෙ පරම්පරාවෙන් උරුම වෙච්ච රස්සාවක් තමයි මේ හණ කලාල විවීම. දැන් අවුරුදු ගානක තිස්සෙම අප්පොච්චි ලෙඩ ඇදට වැටුනායින් පස්සේ ඉදන්ම අම්මයි මායි නගණ්ඩියි තමයි මේ කෙරුවාව කරේ. උදෑසනින්ම ගෙදරින් පිටත් වෙලා ගිනි මද්දහනට කලියෙන් මේ හණ ටික පැලට ගේනවා කියන්නේ ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. ඊටත් එහා කලාලෙට නූල් ටික හදාගෙන වේලාගෙන වියන්න ගියාම. මේ මොක කරන්නත් කලියෙන් අප්පොච්චිගෙ බේත් හේත් ටික වෙලාවට කරන්න වුණා. මගෙ අප්පොච්චි හැමදාම කීවේ ඔය වැඩේ අපිට කරන්න බැරියි කියලා. මොනා කරත් උන්දැගේ හිතේ තිබුණ ආදරය අපි කෙරෙන් නැති වුණේ නෑ. ඒකට හේතු වුනේ අම්මා අප්පොච්චි එක්ක තිබුණ සෙනෙහෙවන්තකම. ඒ සෙනෙහෙවන්තකම කවදාවත් පෑල දොරින් දුවන්න අම්මා තිබ්බේ නෑ. නගයි මායි කරදඩු උස් මහත්වෙලා දැඩිමේනි වෙනකන් හොදින් බලා කියා ගන්න අප්පොච්චි දිවා රෑ දෙකේම මහන්සි වුණා. ඒ මහන්සියේ ප්‍රතිඵල හින්දා තමයි කොහොමෙන් කොහොම හරි ජීවිකාව රැකගත්තේ. එදයින් පස්සේ වෙච්ච මේ අකරතැබ්බයත් එක්ක අපේ පවුල කඩාන වැටුනත් අපි කෙදිනකවත් ඒ බව අප්පොච්චිට දැනෙන්ට දුන්නෑ. උන්දෑගෙන් ඉගෙනගත් මේ හලාල විවීමෙ කලාව ඉස්සරහට ගෙනියන්ට තමයි මගෙත් බලාපොරොත්තුව වුණේ. මේ අපේ කතාව.

ලාංකික සාම්ප්‍රදායික කලා කර්මාන්තයට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. විජය කුමරු ලංකාවට එද්දිත් කුවේණිය කපු කටින බව අපේ ඉතිහාසයේ සඳහන් වෙනවා. විවීම, මෝස්තර නිර්මාණය, සායම් පෙවීම වැනි රෙදි විවීම සම්බන්ධ මූලික දැනුමක් උරුම කරගත් සාම්ප්‍රදායික කලාකාමීත්වයක් අපිට තිබුණා. මෙම විවීමේ කර්මාන්තය ශිෂ්ටාචාර වෙනස් කල කුල ක්‍රමයන් ඇති කල ප්‍රධාන කඩයිමක්. මෙය ලංකාවට පමණක් නොව වෙනත් ප්‍රාථමික ශිෂ්ටාචාරයන් සඳහා ද මූලික හේතු කරුණක් වෙනවා. අපගේ අතීත ගැමි සමාජයන් තුල ගැමියා ගොවිතැන් බතක් කරගෙන තමන්ගේ පවුල රැකගෙන ගුණධර්ම මූලික කොටගත් සමාජ ස්ථරයක් ගොඩනගා ගනිමින් තම ජීවන කාර්‍යයන් ඉටුකරගනිමින් ජීවත් වුණා. ඒ බොහෝම සරල විදියට. ඒ වගේම මොවුන් තමන්ගේ විවේකය පවා ඉතාම ඵලදායී ලෙස යොදාගන්න පුදුම විදිහේ දක්ෂතාවයක් තිබුණා. සාම්ප්‍රදායික කලා කර්මාන්ත රැසක් බිහි වන්නේ මේ කියන පදනම තුලිනුයි. පරිසරයේ අමුද්‍රව්‍ය, ප්‍රවේණිගත උරුමය, සරල යන්ත්‍ර හා තාක්ෂණය යොදාගනිමින් ගැමියා තමන්ගේ එදිනෙදා අවශ්‍ය සෑම භාණ්ඩයක්ම අපූරු සුන්දරත්වයෙන් හා ආකර්ශනීයත්වයක් ඇතුලු කරමින් නිර්මාණය කරන්නට ඔවුන් වෙහෙසුනා. ඒ නිසාම බොහෝමයක් නිමි භාණ්ඩ කලා කෘති වශයෙන් ඇගයීමට ලක් වුණා. මේ කතාවේ ඇත්ත නැත්ත දැන ගැනීමට හොදම උදාහරණයක් තමයි මේ හණ කලාල කර්මාන්තය හා ඒ හා බැඳුනු ජන ගීය.

විසි වස සපිරි ගුණ නැන්දේ අසන්නේ

නිදිමත නෙත් දෙකට කදුලැලි ගලන්නේ

සිරිකත ලේලි සුරතල් බස් කියන්නේ

නිදිමත බෝය පැදුරක් මට දියන්නේ

උඩරට රාජධානි සමයේ මෙම කර්මාන්තයන් පාරම්පරික උරුමයන්ටයි හිමිව තිබුණේ. ඒ අනුව තමයි අදටත් මේ කර්මාන්තය හේනාවල ගමේ පැතිරිලා තියෙන්නේ. මෙය පිහිටලා තියෙන්නේ පාත දුම්බර මැණික්හින්න නගරය ආසන්නයේ. අද මේ ගම හඳුන්වන්නේ කලාසිරිගම කියලා. මේ හණ කැපීමේ දී කියනු ලබන කවි වල පවා තිබුණෙ මොවුන්ගේ ජීවන චර්‍යාවන්. එදිනෙදා සමාජය මූලික කරගත් හැඟීම් සමුදායක්. මේ හේතුවෙන් අපේ ජන සාහිත්‍යය තුල මේ කලාල විවීමේ කලාව තුල මෙම සාම්ප්‍රදායික ගායනා අහඹුවෙන් හෝ දැකීමට තිබීම වටිනවා. 

අලුයම ඇඹනිය බත පිසදුන් විට

යමන් හනික අපි නියර නෙලන්නට

සූරා සෝදා ගෙන නිති විලසට

නියද අහුරු ඉන් තුනක් රැගෙන සිට

කර්මාන්තයේ මූලික අමුද්‍රව්‍ය ලෙස භාවිතා කරනුයේ හණ ශාක පත්‍ර යි. අගාවේ ඇමරිකානා යන උද්භිත නාමයෙන් හදුන්වන හණ උෂ්ණ හා ශුෂ්ක පලාත් වල වැවෙන පඳුරු විශේෂයක්. පැරැන්නන් නියදහන භාවිතා කරත් අද භාවිතා කරනුයේ මේ පතු හණ වර්ගය යි. 

සාම්ප්‍රදායික ගැමියාගේ මෙම අද්විතීය කලා කුසලතාවයන් ලැබී තිබුණේ නිතැතින්. ඒ නිසාවෙන් මොවුන්ට සිතු සේ අලංකාර රටා යොදා ගනිමින් මෙම හලාල නිර්මාණය කරා. එසේ කරන නිර්මාණයන්හිදී පාලුව කාන්සිය විඩාව මගහරවා ගැනීම සඳහා කවි නිතැතින්ම එනම් ආයාසයෙන් බිහි වුණා. පොතක පතක ලියා කටපාඩමින් නොගැයුවත් එම ජන කවිය තුල මොවුන්ගේ සුන්දර හැගීම් ගැබ්වී තිබුණා. මෙම හලාල විවීමේ දී ගැයූ ගායනාවන් තුල ද මේ බව දැකීමට තියෙනවා. 

 

හණ පත්ත කපාගෙන පැමිණ හොදින් සූරා එහි ඇති කෙඳි ලබා ගැනීම සිදුකල යුතු වුණා. මේ සඳහා කලා ශිල්පියාගේ මනා දැනුමත් නිර්මාණය කෙරෙහි තිබූ මනා නිපුණත්වයත් සහ මනා සංයමයත් උපකාරී වුණා. මේ නිර්මාණයන් කිරීමේ දී මොවුන්ගේ සිත කැලඹුනේ නැත. සිත එකාකාරීව පිහිටුවා ගනිමින් මෙය සිදුකල යුතු වුණා. එසේ සිදු කිරීමේ දී එයට අවශ්‍ය වු කාරණාවන් ඔවුන්ගේ සිතුවිලි තුලින් කවියක් බවට පරිවර්තනය වුණා. 

නූල් කැටීමට ඉද්ද සොයාලා

පීරු නියද ගෙන තිස්දෙ ඔතාලා

කෝන් කදන් එහි සවි කරවාලා

ඇදලන්නට හැකි වෙයි මෙම ලීලා

පත ඉද සීරක්කාරම් සමඟින

නියද කරන් රතු පොර කහ කොල ගෙන

කහ පැහැ වන්නේ වෙනි ගත් තැන

අරලු ද බුලු ගත කලු පැහැ පැමිණෙන 

මේ හණ කෙදි කැකුණ ලීයක් මතුපිටින් හණ පත්ත තියලා කිතුල් ලීයක ආධාරයෙන් තමයි හණ පිත්තෙ තියෙන මාංශල කොටස ඉවත් කරගන්නේ. හණ කෙඳි සුදු පාටය. මාංශලේ ඉවත් කරලා හදාගත්ත කෙඳි ඇල් වතුරෙන් හෝදලා වේලෙන්න දානවා. සාම්ප්‍රදායික පැරැන්නන් හණ කෙඳි සායම් කරේ ස්වභාවික වර්ණ භාවිතා කරලා. ඒත් අද වනවිට මේ තත්ත්වය වෙනස්. අද කෘතිම වර්ණකාරක වර්ග දිය කරලා කෙඳි ඒ තුලට දමා මිරිකා වේලා ගන්නවා. විවීම සඳහා කෙඳි සකස් කර ගැනීමේ දී තෙල් ගා කෙඳි පීරනු ලබනවා. දික් නූල් සහ හරස් නූල් මේ කෙඳි මිටියෙන් මොවුන් සකස් කරගන්නවා. ඒ වගේ මිටියකට "වැල් අඬුව" කියනවා. මේ වැල් අඬුව එක දිගට මිටිය පිටින් අරං මැදින් මැදින් ලනු වලින් බඳිනු ලබනවා. 

ඇද ලීයේ සිදුරුත් කපමින්නේ

මේ අතරේ තවකෙක් දැල්වේ

පැවතෙයි උත්තර පතනව දුල්ලෙ

තුන් පා කොල්ලෙන් වලුවඩු එල්ලේ

පලමුව හදාගත් දික් නූල් කෙඳි කිහිපයක් අඹරමින් අනෙක් අතින් කරකවන විශේෂ උපකරණයක ඔතා ගනු ලබනවා. මේ උපකරණය හඳුන්වන්නේ "ඉද්ද" කියලා. ගම පුරා නිදහසේ කතා කරමින් මෙවැනි දික් නූල් සකස් කිරීම ගැමියන්ගේ ජනප්‍රිය විනෝදාංශයක්. ඉන් පසු කලල් කලල් කණුවට කඩුප්පේ දමා අදින කණු සකස්කර මනාව හිර කර ගන්නවා. ඉන් අනතුරුව මෙයට නූල් යොදා හිර කර ගන්නවා. ඊට මැද්දට වන්නට ලී කෝටු තුනක් ත්‍රිකෝණාකාරව සවි කරනු ලබනවා. එය "තුම්පෙ" නමින් හඳුන්වනු ලබනවා. මෙය හදාගනු ලැබූ නූල් එල්ලා ගැනීම සඳහා යොදාගනු ලබනවා. මෙම නූල් "වල්ලඩු" ලෙස හඳුන්වනු ලබනවා. ඉන් පසුව මේ යොදාගත් හරස් නූල් උත්තරපත්තට යොදනු ලබනවා. එහිදී උත්තරපත්තට ලීයක් යොදා (මෙම ලීය හඳුන්වන්නේ " වඩකාදුව" ලෙස) පහලට තෙරපීම සිදු කිරීමේ දී එක් එක් නූල රටාවකට අනුව "වෙම" දක්වා පැමිණෙනවා. ( වෙම යනු කලාලේ විවීම ආරම්භ කරන කොටස) අවසානෙට ඇත්තේ "ඇදගහ" කියන කොටසයි. මේ සඳහා යොදාගනු ලබන්නේ කොට්ට ලීයක්. මෙය පැදුර හිර කර ගැනීම සඳහා යොදාගනු ලබනවා. 

ඉං ගං නොදැන ඇයි මැසිවිලි කියන්නේ

වින්නන් බැරි ගෑණු කොහොම රැකෙන්නේ

ගං ගං වල ඇවිද රැකුණ බොලන්නේ

දෙන්නට පැදුර මට වාහිද කියන්නේ

විසිවස සපිරි ගුණ නැන්දගෙ අසන්නේ

නිදිමත නෙත් දෙකට කදුලැලි ගලන්නේ

සුවහස් ලේලිද පසුව දැනගන්නේ

විමසන් මතු රැකෙන්නේ මට කියන්නේ

මෙම කලාල කර්මාන්තය පරම්පරාවෙන් පරම්පරාවට උරුම වූ කර්මාන්තයකි. මේ හේතුවෙන් ජන ගැමියා තුල විශ්වාසයන් පැවතුණා. ඒ විශ්වාසයක් තමයි මේ ගෑනුන් අනිවාරයෙන් කලාලයක් විවීම කල යුතු වීම. මෙයට මනා දැනුමක් තිබිය යුතුය. නමුත් එසේ නොහැකි තරුණියන්ට අනාගතයේ රැකීමට නොහැකි බව කියවුණා. මේ හේතුවෙන් තරුණියන් පවා මේ කර්මාන්තයට කුඩා කල සිටම අත්පොත් තබන්න සිඳු වුණා. 

වැඩ කලාලයක් වඩාත් අලංකාර සැරසිලි රටා සත්ත්ව රූප, යොදලා වියනු ලබනවා. වර්ණ කෙඳි තීරු වශයෙන් යොදා ගෙන සරල වියමනක් ලෙස වියන කලාලයට කියන්නේ "පන්නම් කලාල" කියලා. මීට අමතරව කුරුලු කලාල ද වියනු ලබනවා. සාම්ප්‍රදායික කලාලයක බහුල වශයෙන් දැකිය හැකි සැරසිලි කිහිපයක් තමයි පන්නම් පෙති, තනිපට ලනුව, දෙපට ලනුව, තොරන් පෙති, මොණරා, අලියා, මුවා, මල් ගහ ජනප්‍රිය සැරසිලි ඒකක වෙනවා. කලාල ඇසුරින් ව්‍යවහාරික අවශ්‍යතාවයන්ට වෙනස් නිමි භාණ්ඩ අද නිර්මාණ කලාවේ දක්නට ඇති ප්‍රවණතාවකි. බිත්ති සැරසිලි, අත් බෑග්, සෙරෙප්පු, දූවිලි පිස්න ප්‍රධාන වෙනවා. 

සාම්ප්‍රදායික අතීත ගැමියා උඩරට නිජ භූමිය කරගනිමින් රාජකීය සංකල්පයන්ට අනුව නිර්මාණය කරනු ලැබූ කලාල නිර්මාණ අද වන්විට තුරන් වෙමින් පැවතීම ඉතාම කරගාටුදායක කරුණක්. වත්මන් සමාජය නූතනකරණයට නතු වීමත් කාර්මීකරණය වීමත් සමඟ එදිනෙදා අවශ්‍යතාවන් විවිධාංගීකරණය වී පවතිනවා. මේ හේතුවෙන් සාම්ප්‍රදායික ගැමියාගේ මෙම රීතින් හා බැඳුනු නිර්මාණයන් කෙරෙහි වටිනාකම් බැහැර වෙමින් පවතිනවා. සමාජීය කාරණා මත පමණක් මෙසේ සිදු වූව ද සාම්ප්‍රදායික ගැමියාගේ මෙම කලා සංකල්පයන්ට මුහුණ දීමට අද කලාකරුවන් පවා උත්සාහා දැරීම කලයුතු වෙනවා. මොවුන් තුලින් නැගුනු එම අව්‍යාජ දක්ෂතාවයන් හේතුවෙන් කලා නිර්මාණ පමණක් නොව ජන කවි හා ජනශ්‍රැතියන් නිර්මාණය වී පැවතුනා. මේ සියල්ල කෙනෙකු විසින් සොයාගත් හෝ අසා දැනගත් විස්තරයන්. මේ සියලු කරුණු සොය ගොනු කිරිම වඩාත් උචිත වන්නේ ඔබෙත් මගෙත් ඔවුන්ගෙන් අනාගත හා වර්තමාන දැනුම හා ආකල්ප සංවර්ධනය උදෙසායි. මේ හේතුවෙන් හුදෙක් නිර්මාණයක් කිරීම තුලින් මූල්‍යකරණයට නතු වීමත් මෙවැනි වටිනා ශිල්ප ක්‍රම හා ඒ අතර ඇති වටිනා ජන සාහිත්‍යය විනාශ වෙමින් පවතිනව නොවේද? මේ සාම්ප්‍රදායික ගැමි කලා නිර්මාණයන් හා ජන කවිය කොයිතරම් නම් සුන්දරත්වයෙන් අනූනද? මේ තුල තිබුනේත් ඔබෙත් මගෙත් සොදුරු ඉසව්වන් නොවේදැයි සොයා බැලීම වටිනවා නොවේද?

Top