බඹර කපන අය නරකාදියේ යතී (542)

post-title

සිව් වසරක පමණ කාලයක පටන්ම මස්සිනයි මායි එකටම තමයි මේ බඹර කැපීම කළේ. යල මහ දෙකටම ගොවිතැන් කරලා අස්වැන්න ගෙට ගන්නයි දුකට සැපට හැමදේටම හිටියේ ඉතිං ඔය මස්සිනා පොඩ්ඩ තමයි. පුර පසළොස්වක පොහොය ගෙවුනායින් පස්සේ අපි දෙන්නා කතිකා කොර ගත්තේ බඹරයක් කඩාන මී පැණි ටිකක් එක්කාසු කරගන්නයි. ඔයා රාජකාරිය හිතන තරම් ලේසි පහසු කාරණාවක් නම් නෙවෙයි. ඕකට ඉතිං විශ්වාසය වගේම නියම ඇදහිල්ලත් ඕන කරනවා. දැන් මී පැණි පිරුණ කාලේ නොවැ. මල් පිපිලා සුවඳේ බෑ. කොහොමත් පොහොය පහු වෙනකන් ඉන්ට වෙනවා. මගේ මලී නගා නම් ඕවට එච්චර මනාපයක් තිබුණේ නෑ. ඒ මොකද කියනවනම් මී මැස්සා කියන්නේ කාටවත් කරදරයක් කරපු සතෙක් නෙවෙයිනේ. මේ නිසාම නිතරම නගා මූණ එල්ලා ගත්තා මේ කාරණාවෙදිත්.

" නඟා වතුර කෝප්පයක් අරං මෙහාට ආවනං. අද හරිම ග්‍රීස්මේ නොවැ. යහමට දිය තිබහයි ඔන්න."

"ඔහොම හිටිං අයියණ්ඩි"

ඉක්මන් ගමනින් නගා කුස්සියට දිව ගියා. අපේ කරුමෙට අම්මා නැති වුණායින් පස්සේ ඉදන් ම අම්මෙක් සහෝදරියක් විදියට මායි අප්පච්චියි බලා කියා ගත්තේ අපේ නංගී. සිව් අවුරුද්දකට කලියෙන් තම මස්සිනාත් එක්ක දීග ගියායින් පස්සෙන් පහු අප්පච්චි මායි පැලේ තනි වුණා. අප්පච්චි දැන් පස් මාසයකට කලියෙන් මිය යාමත් එක්ක තමයි මාත් මෙහාට ගෑටුවේ. ඒ නගණ්ඩිගෙන් ඉස්පාසුවක් නැති ඇවටිල්ල නිසාමයි. ඇය තුලින් මතු වුණ සුන්දරත්වය, කරුණාව හා සෙනෙහෙවන්තකම් මට නිතරම මතක් කලේ අපේ අම්මාය. 

" ම්ම්..නගා මස්සිනයි මායි මේ දොහේ කතිකා කොරගත්තේ මීයක් කඩන් එන්ට කියලා."

" මං නම් මනාප නැතුවා ඕං අයියණ්ඩි" 

" මස්සිනා නම් මනාපයි නගා "

" මං කැමති නැතුවා මයෙ අයියණ්ඩිලාට වින්නැහියක් වෙනවට. මට ඉන්නේ උඹලා දෙන්නා විතරයි නොවැ."

රූරා වැටුණු කඳුලු අතරින් අප දෙදෙනාට කියා පෑ නගණ්ඩි මුහුණ වසා පැල තුලට දිව ගියා ය. 

" මලී. මොකෑ බොල නෙළුම් කොලේ කොරවක්කා යනවා වගේ දුවන්නේ "

මලයගේ සරදමට සිනහ ගිය මගේ නගා යලි දිව ආවේ කඳුලු චීත්තේ කොනකින් පිස දමමින්. 

" පරිස්සමෙන් ගිහිං වරෙල්ලකො එහෙනම් අයියණ්ඩි. ‍යන දවසක් කීවනම් අඩුම කුඩුම අඩුක් කරලා දෙන්ට "

පවසා ඇය කුස්සියට ඇදුණා ය.

සොබාදහම හා බැඳුණු අව්‍යාජ ගැමියාගේ ජන ජීවිතය තුල දුක, සතුට, ලැබීම් නොලැබීම් නිරන්තරයෙන් ම හුරුපුරුදු දෙයක් වුණා. බඹරුන්ගේ මී වද, ඉටි එකතු කිරීම මොවුන්ගේ ජීවන කෘත්‍යන් අතර එකක් වුණා. මෙය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ සංස්කෘතික ලක්ෂණයක් පමණක් නොවීය. ඒ කෙසේ වෙතත් මිනිසා තුළ තිබෙන හැඟීම් හා ජීවන චර්යාවන් තුළින් මෙම මානව සහෘද ගතිපැවතුම් වෙනස්කම් වලට ලක් වී ඇත. 

මෙම බඹර කැපීම ඉතාම ආකර්ෂණීය වගේම ඉතා අන්තරාකාරී කාර්යයක් වුණා. අතීතයත් වර්තමානයත් අතර ආන්දෝලනය වෙමින් ගලාගෙන යන මේ ගැමි සංස්කෘතිය තුළ ඇති මෙම බඹර කවිය තුල බැඳී පැවතුනේ මොවුන්ගේ සිතුවිලි ය. මේ හේතුවෙන් මොන යම් කාරණාවක් සිදුකිරීමේ දී පවා තම ආගම මූලික කර ගැනීම ට මොවුන අමතක නොකලේ ය. ටීකා සී පද මෙයට කදිම නිදසුනකි.

නමෝ තෙද වරම්.. පස්වාන් දහසකට දිවැස් කරුණා කරන්න යහපති ආයුබෝ ගුරුන්දේට ගුරුන්දේට ගුරුමංගල හාමුදුරුවන් වහන්සේට පිරිවර එලවා බදින හාමීන්ට නලවා බඳින හාමීන්ට  අත්මදු ගත් සේනාවට, පා මදු ගත් සේනාවට, උර මදු ගත් සේනාවට, මදු පොලු ගත් සේනාවට, කෙටේරි ගත් සේනාවට උස්සන් ගොඩේ තිස් දෙන්නෙක් චතුරංගන්නා සිත්දත් ශ්‍රී ගුරුමංගල හාමුදුරුවෝ මේ කෝඩි ගහේ මුල් ඉහලේ පැණි අලුත් සහල් ඔප්පු ගන්ඩෝ..

තවද සත් මූදු සාගරයේ රන් රුවන් පුටුවේ වැඩ් හිදිනා වැදි රජ්ජුරුවන් වහන්සේට ජාතක වී වැදි බිසවුන්ගේ කුසේ උපන් මහා කිරි අම්මා, උකුන් කිරි අම්මා, බිළිඳු කිරිඅම්මා, කුකුලා පොළ කිරිඅම්මා, උනාපානේ කිරිඅම්මා, නාමල් නාච්චිරී මෙහෙම කිරිඅම්මාවරු දස දහසක් කැටුව පිරිවරා ගත් කන්දේ ගලහිට මොට්ටැක්කිලියේ මහා රුවල් කිරි අම්මාට මුල්ලි හෙලේ උරල් පැණි ඔප්පු කර දෙනවා බලා තොබා ගන් දෙය්යනේ.. ඔප්පු ගන්නෝ..

මෙම ටීකා සී පද ගායනා කරනු ලැබූයේ දෙදෙනෙකු විසිනි. සන්නිවේදනකාරකයක් ලෙස ගායනා කරනු ලැබීය. මේ කෙසේ වෙතත් මෙය ආදිතමයා විසින් විජයාවතරණයටත් පෙර සිට ම සිදු කරන ලද පරිභෝජන කර්මාන්තයක්. වැදි ජනතාවගෙන් පැවතගෙන එන සංස්කෘතියකය උරුමකම් කියන විජය රජුගෙන් පසු යුගයේ මේ දක්වා කාලයක් තුල මේ බඹර කැපීම ප්‍රාථමික වගේම විවිධ සමාජ ස්ථරයන්හි දී භාවිතාවට ගනු ලබනවා. මේ කවි කෙනෙකු විසින් රචනා කර ගායනා කරනු ලැබුවා යැයි කොතනකවත් සඳහන් නොවූව ද හුදෙක් ම මේ කවි ගායනා වූයේ නිරායාසයෙනි.

වේලි හෙලට මේ මහ හෙල උස වැඩියා

එක් දුනු පැල ඇදලා මගේ රිස්ස ගියා

ලොවේ සේනාව හෙලයට වැටී ගියා

ඉටි පැණි පෑර නැතිව උන් සේරම ගමට ගියා

මල්ට යන බඹරු මල් ඇදුමේ යන්නේ

ගහට යන බඹර රොන් අරගෙන යන්නේ

ගඟට යන බඹර දිය ඇදමේ යන්නේ

යන්ට යන බඹර පැණි අරගෙන යන්නේ

ජීවිතයේ අන්තරාකාරී තත්ත්වයකට මුහුණ දීමට කොයි වෙලේ සිදුවිය හැකිය. මෙය නිශ්චිත නැත. ගමන දුෂ්කරය. නමුත් සුන්දරය. නිවහල් සොබාදහමක මේ ගමන තුල තිබුණු කර්කශක බව නැති කලා. මේ ගමනේ දී මොවුන්ට ආවේණික ගමන් මාර්ගයක් තිබුණා. අවස්ථාවක් ආ විගස එයට මුහුණ දීමට කලින් ම සූදානමක් කලමනා අතර රැගෙන ගියා. ඒ වගේ ම මොවුන් දැනගෙන හිටියා වදේ කඩන්න කලින් කුමන හෝ අත්වැරද්දක් වූවහොත් බඹරුන් මී පැණි සියල්ල රැගෙන පියඹා යයි. මේ සියල්ල මොවුන් දැනගෙන සිටියා. මේ හේතුවෙන් ඉවසීමෙන් කටයුතු කරන්නට සිදු වුණා වගේ ම වාඩි ගහගෙන රෑ දවල් නෑර මේ ගමනේ යෙදී මහන්සි වීමට මොවුන්ට සිදු වුණා. ඒ අතර දුක සතුට ප්‍රේමය කියන කාරණා මොවුන්ට නොදැනුනා වෙන්නට බෑ. නමුත් ඒ කාරණාවන් තුල බඩ වියත රැක ගැනීම කියන දුෂ්කර කාරණාව ඉක්මන් වන්නට ඇත.

අහසේ ගොසින් තරු යට සැගවුණත් වරෙන්

පොළොවේ ගොසින් වැලි යට සැගවුණත් වරෙන් 

අහසේ ගොසින් තරු යට සැගවුණත් වරෙන් 

බඹරිදුනේ කොයි රටකට ගියත් වරෙන්

අව්‍යාජ ගැමියා මෙම බඹර කැපීම කර්මාන්තයක්, විනෝදාංශයක්, රුචිකත්වයක් හෝ ඖෂධයක් ලෙස කඩන්නට පුරුදු වූවත් මොවුන් මෙම සත්ත්වයන්ට ගරු කිරීමට පුරුදුව සිටියේ ය. හුදෙක් ම මේ ගැමි ජනයාගේ ගුණ ගරුක න්‍යායික දැණුම ප්‍රායෝගික විය. මේ තුලින් නියමිත කාර්යයක් කිරීමට මත්තෙන් අන්‍යෝනය සුහදත්වයට මූලිකත්වය ලබා දුනි. පන්සල ප්‍රමුඛ කොටගෙන සිදු කරනු ලැබූ සංස්කෘතිය මූලික අඩිතාලමක් වීම ම මෙයට හේතු වන්නට ඇත. මේ හේතුවෙන් බඹර කවි ටීකා සීප ද අතරට මොවුන්ගේ ආගමිකත්වය ද ආරෝපණය කරනු ලැබීය. මේ තුලින් වරදට ඇති බිය තුරන් වන්නට ඇත.

අම්මා පල්ලා බඹරුගෙ අත වරද නැතී

කැලේ තිබෙන මල් පැණි බී උන් රැකෙතී

ගොවියන් කරන ගොවිතැන් පාළු නොකෙරෙතී

බඹර කපන අය නරකාදියේ යතී

අව්ව, වැස්ස, පින්න මොවුන්ට මෙම ගමනේ දී බාධාවක් වූයේ නැත. විශේෂයෙන් මෙම බඹර වද බැන්දේ උස පර්වතයක්, තුරු අතු අග්ගිස්සක් හෝ ගස් බෙනයක් මතයි. අන්තරාකාරී බව වැඩි මිනිසෙකුට ලඟා විය නොහැකි තැනක තමයි මේ සියල්ල පුංචි කඩිසර නිර්මාණකරුවා මේ බඹර වදය නිර්මාණය කරනු ලැබුවේ. ඒ නිර්මාණය තුලට පිවිසීමට නම් ඒ මහා දුෂ්කරතා විදීමට ගැමියාට සිදු වුණා. උදෑසනක බඹර වදය සොයා ගත්ත ද මෙය කඩනු ලබනුයේ රාත්‍රිය ආරම්භ වීමත් සමගය. බඹරුන් සියලු දෙනා පැණි රැස්කොට වදේ තුලට පැමිණීමත් මේ හේතුවෙන් ගැමියාට විසීරී සිටින බඹරුන්ගේ අන්තරාවන්ගෙන් මිදීමට හැකියාව ලැබුණා. මේ හේතුවෙන් මොවුන් රාත්‍රියට මේ කාර්යය සිදු කිරීමට පෙලඹුණා. මේ සියල්ලට මොවුන් තුල තිබුණේ න්‍යායික දැනුම නොව ප්‍රායෝගික දැනුමයි. මේ හේතුවෙනුයි එදා මෙදා ගැමියා සහ ජනයා වෙනස් වන්නේ.

උඩ මාලේ මල් වැසි වැස්සත් යනවා

බිම් මාලේ මල් වැසි වැස්සත් යනවා

ලිප ලිග්ගල තැන වෙන වූ වත් යනවා

නා ගස බඹර කැපුමට දෙන්නම යනවා

මේ බඹර කැපීමට රැගෙන ගියේ දෙමස්සිනාලයි. මෙයට හේතුවක් තිබුණා. ඒ විශ්වාසය යි. මේ දෙමස්සිනාලගෙන් එකෙකු ගසට ගොඩ වූ වායින් පසුව හැර පොට අල්ලා ගැනීමට තව කෙනෙකු පහල සිටිය යුතු වුණා. ඔහු මෙය අත හැරියහොත් ගස උඩ සිටින කෙනාට බිමට බැසීමට හැකියාවක් නැති වෙනවා. බඹර වදේ මතට පොල් ලෙලි වලින් සාදා ගත් දුම් ගෙඩියෙන් ඖෂධ කොල යොදා දුම් අල්ලා බඹරුන් මත් කිරීමත් උන් යලි බඹර වදේට ඒමට මත්තෙන් වදය කඩා බිමට බැසීමත් යන කාරණාවේ දී මේ හැර පොට සහ විශ්වාසය ප්‍රබල සාධකයක් වුණා. ඒ වගේ ම කෙදිනකවත් තම මස්සිනා ඒ වගේ අන්තරාකාරී ක්‍රියාවක් නොකරනු ඇත යන විශ්වාසය මොවුන් තුල තිබුණා. මොවුන් එකිනෙකා කතාබහ කරා. එවිට බිය දැනුනේ නෑ. 

" මයෙ අප්පෝ සුවඳ බොල. හයියෙන් අල්ලන් හිටහං."

" හිටිං හිටිං බිමට බහිනකං කට පරිස්සං කොරං "

එන්නන් කියන්නන් කියු කොට අරවන්ඩ

ලී වැල් කොටන්නට හැරපොට බන්දන්ඩ

මලේ අඩන්නන් තව තව රොන් ගන්ඩ

පලයවු බඹරු තොපෙ දිවි ගලවා ගන්ඩ

නව නවා බඹර අතු අග යන කලට

නැමි නැමී කදින් බර වුණි අතු අගට

වඳේ කඩා බැරිවුණි එය බාන්නට

මුලෙන් කද බිදුනි දෙන්නගෙ කරුමෙට

ජීවිතයත් මරණයත් අතර ආන්දොලාත්මක ගමන තුල විශ්වාසය නැති වූ අවස්තා ද කවියා පවසා ඇත. අව්‍යාජ සිනහව තුල ද මෙවැනි නොමනාපකම් හිත් රිදුම් නොතිබෙන්නට බැරිය. මේ හේතූන් මුල් කර ගනිමින් මෙම කවි සියුම් තුල මේ වේදනාවන් ගැබ්වී තිබුණා විය හැකිය. උස් හඩින් ගායනා කරන මේ කවි නිර්මාණයන් එදා ගම්මැද්දට පවා ඇසෙන්නට ඇත. මෙ හේතුවෙන් මෙම අන්තරාවන්ගෙන් මිදීමට පවා සන්නිවේදනකාරකයක් වන්නට ඇත. 

කුසේ උපන් ලොකු අය්යා කල අයුතී

ගසේ ඉදිද්දී හැර පොට කපා බසී

බඹරු සිය දහස් ඇග ලේ උරා බොතී

පලයන් අයියණ්ඩි මා එන ගමන් නැතී

මෙම කාරණාවට ගැහැනියක්, ප්‍රේමයක් හෝ වෙන යම් කාරණාවක් මුල් වන්නට ඇති යැයි සිතිය හැක. එකගෙයි කෑමක නොමනා ප්‍රතිඵලයක ආන්තරාකරී පලිගැනීමක් ලෙස ද සිතිය හැකිය. ඒ කෙසේ වෙතත් මෙවැනි දුෂ්කර පටු නිර්ව්‍යාජ සිතුවිලි මිනිසා තුලම නිර්මාණය වී ඇත. මොවුන් ගසට නැගීමට පෙර බඩ වටේට හත් පොටකින් රෙදි ඔතා ගන්නා අතර තම සිරුරද හොදින් ආවරණය කර ගනී. මෙයට හේතුවක් ඇත. බඹරුන් ඇවිස්සුන හොත් උන් බඹරේ කඩන තැනැත්තාගේ බඩට ( පෙකනිය ) වටේට දෂ්ඨ කරොත් මිය යාමට සිදු වීමත් විෂ ඉක්මනින් ශරීර ගතවීමත් යන කාරණාවන් හේතුවෙන් මෙසේ සිදු කරනු ලබනවා.

වැල ඉද්දර සේනාවක් සිටපල්ලා

වැල පාමුල සේනාවක් සිටපල්ලා 

වැලේ යන දෙන්නා පේවී පලයල්ලා

වස් නැති ගලේ බඹරෙට දුම් දාපල්ලා

 මෙම බඹර වද කැඩීමෙන් පසුව ගැමියා මුලු ගමට පැණි බෙදීම අතීතයේ සිදු කරනු ලැබීය. සැප්තැම්බර්, ජනවාරි, මැයි, අප්‍රේල් මාස වල දී බඹර මී පැණි වලින් පිරෙන්න පටන් ගන්නවා. එතකොට තමයි මේ කාර්යයේ නිරතවෙන්නේ. සාමූහිකත්වය හා සාරවත් සාරධර්ම මොවුන්ගේ බැඳියාව ශක්තිමත් කලා. සරල බස් වහර සහ සිව්පද ආකෘතියෙන් මෙය නිර්මාණය වී ඇත. මට මතකයි මගෙ ආත්තම්මා කීව කතාවක්

"පුතේ කවදාවත් ගස් කපන්න එපා. එයාලටත් රිදෙනවා"

" කෝ ආත්තම්මා"

මං ඇහුවා

"ඔය බලන්න එයාලගෙ කිරි එනවා. ඒ කදුලු. එයාලා අඩනවා

බලන්න එයාලා කතා කරනවා. හොදට අහගෙන ඉන්න පුතා."

මං අහන් හිටියා. ඒත් එදා මට ඇහුන්නෑ

දැන් වසර ගාණක් ගෙවිලා ගිහිං. අත්තම්මා මං ලඟ නෑ.ජීවිතේ හැටි එහෙමයි. ඒත් අත්තම්මා හිටියානම්. මං කියනවා.

"ඔව් ආත්තම්මා මට ඇහෙනවා. සොබාදහම කතා කරනවා. මං ආදරෙයි."


ගැමියා තුල තිබූ සරල කවි තුල තිබුණේ ඔවුන්ගේ කටුක දිවි පෙවතයි. මේ බඹර කැපීමේ කෙරුවාව හිතන තරම් ලේසි කෙරුවාවක් නෙවෙයි. මෙය සොබාදහමත් එක්ක කරන ගනුදෙනුවක්. ඒත් සොබාදහම කියලා දෙනවා ජීවත් වෙන්න. සොබාදහම නිර්මාණය වුණේ කෙසේ ද, මේ නිර්මාණයේ අරමුණ කුමක් ද, තුරු ලතා මල් පළතුරු මිනිසා සොඳුරුවත් කරන්නේ කෙසේ ද, මේ සොබාදහමේ උරුමකරුවන් ඔබ සහ මා පමණද. කුඩා පැසක් තුල ගෙන එන ඒ මිහිරියාව අතීත ගත මනස පිරෙව්වා මෙන් ම පමණක් නොව අද ද ඒ මිහිරියාව ඔබ හා මා තුල පවතිනවා නොවේ ද. අදත් ඒ මහා නිර්මාණකරුවා කුඩා පැස තුල ඒ මිහිරියාව ගෙන එනවා ඇත. මේ මහා සොබාදහම හා බැදි පැවතුණු ඒ සොඳුරු මිනිසා ඒ මිහිරියාවන් මිහිපිට රැකගත්තා පමණක් නොව ගෞරවය දැක්වූවා. අතීතයත් වර්තමානයත් අතර වින්දනය වන මේ මහා සංස්කෘතික වතගොත තුල සොඳුරු ඉසව් කලා නිර්මාණ තුලින් ස්පර්ශ කිරීමට අදටත් ඉතුරුව ඇත්තේ මේ සුන්දර ජන ගීතය යි. අද වන විට මෙම සොබාදහමට ඇති ගෞරවය ඔබ හා මා සමඟ එකෙනෙකට විරුද්ධව හා අනුපාතික වශයෙන් සමාන අසමාන වෙමින් ගලා යනවා නොවේ ද. මේ ගෞරවනීය සොබාදහම එදා අද දක්වා අපගේ මහා සංස්කෘතිය රැක්කා නොවේද. ඔබ හා මා අද මේ දැනුවත් වන්නේ ඒ අව්‍යාජ ගැමි සුන්දර මිනිසා සහ සොබාදහමේ බැදියාව තුලින් නැගුණු අව්‍යාජ තම ජාතියේ අන්‍යතාව නොවේ ද. මේ සියලු ජන ගීයක් මතම මේ සුන්දර සොබාදහම ගැබ් වී නොතිබේ ද.

Top