ලක්දිව ගම්මාන සහ එක් එක් ප්‍රදේශයන් පිළිබඳව ජනශ්‍රැතිය විමසා බලන කල ඒවාට නම් සැදුණු ආකාරය පිළිබඳව ද සොයා බැලීම වැදගත් වේ. එහෙයින් මෙවර මා ඔබට, ලංකාවේ ගම් කිහිපයකට නම් බැඳුණු අයුරු පැහැදිලි කරදීමට බලාපොරොත්තු වෙමි.
සැබැවින්ම " ගම්මානයන්ට නම් බැඳි අයුරු" විමසා බැලීමේදී ඊට ආවේණික පුරාකතා, ජන කතා, ජන කවි යනාදිය ද සොයාගත හැකිවේ. එහෙයින් ඒ පිළිබඳව විමසා බැලිම මගින් ලාංකේය ජනශ්‍රැතියේ ඇතැම් සැඟවුණු ඉසව් පවා අවබෝධකොටගත හැකි වනු නියතය. එමෙන්ම එතරම්ම සුලබ නොවූත් වටිනා ජනශ්‍රැති කරුණු කාරණා සොයාබලනුවස් සවනතට එතරම්ම නුහුරු ගම්මාන කිහිපයක යටගියාවේ තතු සොයා පියනගමු.
-කොන්ඩදෙණිය-
එක්තරා රජ කෙනෙකුට පෞද්ගලික අසීරුතාවයකදී සාමාන්‍ය පුද්ගලයෙකු විසින් දක්වන ලද උපකාරයට ප්‍රතිඋපකාර ලෙස එම පුද්ගලයාට පවරා දුන් නින්දගම "කොඩදෙණිය” බව කියවේ. එම රජතුමා ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා බවද කියවේ.
එක්තරා සටනකදී පැරදුණු රජතුමා ලජ්ජාවෙන් පලායන මොහොතක තවදුරටත් යා ගත නොහැකිව තිබියදී තමන් කර තබාගෙන ගොස් නගරයේ අසවල් ස්ථානයට ඇරලවන ලෙස ගැමියෙකුගෙන් ඉල්ලා සිටියේලු. මේ තැනැත්තා කවුදැයි නොදත් ගැමියා ඔහු කරමත තබාගෙන ගොස් නගරයට ඇරලූ බවද, ඒ මොහොතේ රජතුමා තමන් කවුදැයි හදුන්වා දුන් බවද කියවේ.
පසුදා රාජසභාවට පැමිණ තමා බැහැ දකින ලෙස ඉල්ලා සිටි රජතුමා ඔහු කොණ්ඩය වවා සිටි පුද්ගලයෙකු බැවින් එකල භාවිතා කළ හිස පළදනාවක් හා නින්දගමක් පවරා දුන් බවද, ඒ ගම කොඩදෙණිය ලෙස හැඳින්වූ බවද ජනප්‍රවාද අනුව කියවේ.
-කප්පල්තුරේ-
කප්පල්තුරේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ගම්මානයකි. දෙමළ ජාතික යුවළක් තමන් අතර හටගත් ආරවුලක් හේතුවෙන් සිය දිවි හානි කරගත් බවද, ඔවුන් කපල් හා තුර් යන නම්වලින් හැඳින්වූ බවද, එයින් පසු එම ප්‍රදේශය කප්පල්තුරේ නමින් හදුන්වන්නට යෙදුණු බවද, ජනප්‍රවාදවලින් කියවේ.
-කලටුවාව-
මහදෙණිය නම් මහා කුඹුරුයායෙන් සීතාවක රාජසිංහ රජතුමාට ලැබුණු ආදායම ඉතා ඉහළ විය. එබැවින් ලැබෙන අස්වනු කොටස තැන්පත් කිරිමට කළ අටුව පසු කාලයේදී "කලටුවාව'' නමින් නම් කරන ලද බව ජනප්‍රවාදවලින් කියවේ. කොළඹ ප්‍රදේශයට ජලය ලබාගැනීම සිදු කරන්නේ වත්මන් කලටුවාව ප්‍රදේශයේ ජලාශයක් මගිනි.
-කපිරිග්ගම-
අනුරාධපුර රාජධානි සමයේ මෙම ප්‍රදේශයේ ඉදිකරන ලද වැවක් නිතර කැඩී ගිය අතර ප්‍රතිසංස්කරණය කරන වාරයක් පාසා නැවතත් කැඩී ගියේත්ය. මෙම වැව බැඳීමට නම් නර බිල්ලක් අවශ්‍ය බව සිහිනයකින් ගම් ප්‍රධානියෙකුට දැන්වූ බව කියවේ.
ගැමියන් නර බිල්ල සඳහා එක් කන්‍යාවක් තෝරා ගෙනවිත් ඇය බලෙන්ම තල්ලු කර දමා පස් වැසූ බව පැවසේ. ඉන්පසු වැව් කණ්ඩිය යලි බිදී ගියේ නැති බවද කියවේ. කපිරි නැමැති එම කාන්තාවට ගරු කිරීමක් ලෙස "කපිරිගම” ලෙස නම් ලද බවද පසුව එය "කපිරිග්ගම” ලෙස වෙනස් කරන්නට ඇතැයිද ජනප්‍රවාද අනුව කියවෙයි.
-උඩුගොණ්ඩ-
සිතාවක රාජධානි සමය පෘතුගීසින්ගේ ආක්‍රමණ, පහරදීම් පිළිබඳව නොඅඩුව අසන්නට ලැබේ. පෘතුගීසීන් හා සටන් වැද පැරදුණු සීතාවක රාජසිංහ රජතුමා පසුබැස පලා ගියේය. රහසිගතව පලායමින් සිටියදී ගැමි ගෙදරකින් නවාතැන් ගැනීමට රජුට සිදු විය.
එම ගෙදරින් කෑමට කිරිබත් ලැබුණු අතර කැට නොකැපූ කිරිබත් තැටියක් කෑමට ගොස් අත පුච්චා ගනු නිවැසියෝ දුටහ. මේ රජතුමා බව නොදත් ගැමියා මේක රාජසිංහ රජතුමා යුද්ධ කරනවා වගේ කරන්ට බැහැ” යි කියමින් කිරිබත් 'උඩ සිට පහළට” කඩාගෙන කන ලෙස උපදෙස් දී ඇත. ගැමියාගෙන් ලද උපදෙස් අනුව තම යුද්ධ උපක්‍රමය ද වෙනස් කළ රාජසිංහ රජතුමා පහසුවෙන් ජයග්‍රහණය අත් කරගත් බව ජනප්‍රවාදවලින් කියවේ.
ඒ අනුව එම ප්‍රදේශය පසුව උඩුගොඩ ලෙස නම් කළ අතර එය කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි ගම්මානයකි. මෙම ගම්මානය උඳුගොඩ නමින්ද හඳුන්වන අවස්ථා දක්නට ලැබේ. ඒ සඳහා තවත් ජනප්‍රවාද ද තිබිය හැකිය. කෑගල්ල නගරයේ සිට කිලෝමීටර 19 ක් පමණ ඈතින් පිහිටි මෙම ගමෙහි ශ්‍රී බිම්බාරාමය නම් වූ රජමහා විහාරයක් පිහිටා තිබේ.
එහි ඇති පුරාවස්තු අතර බෙහෙවින් වටිනාකමින් යුතු පළමුවැනි රාජසිංහ රාජ්‍ය සමය දක්වා ඉතිහාසයක් ඇති දේ දන්නට ලැබේ. මෙම ස්ථානයේ ඇති පැරණි පත්තිනි දේවාලයට ද අවුරුදු 600 ක පමණ ඉතිහාසයක් ඇති බව කියවේ.
ජනශ්‍රැතියේ සොඳුරු ඉසව් රැගෙන ළබන සතියේදීත් හමුවෙමු.