හෙළ කුල සිරිතට ගැයෙන මගුල් තහංචි කවි (462)

post-title

හෙළදිව විවාහ චාරිත්‍ර බොහෝවිට ගම්බද හදුන්වනු ලබනුයේ කසාදය වශයෙනි. නොයිදුල් කුමර කුමරි බඹසර රැකගෙන පැමිණි තරුණියක් මනාලියක් කොට තවත් තරුණයෙක් හට පාවා දීමේ දී ගම්බද සාම්ප්‍රදායික ගැමියා විසින් සිදුකරනු ලැබූ චාරිත්‍ර රැසක් තිබුණි. විවාහය යනු දෙවන උපත ලෙස ජනප්‍රවාදයේ හදුන්වනු ලැබීය. 

වි+වා+හ යන්නෙන්

වි - පිරිමි පාර්ශ්වයත්

වා - ස්ත්‍රී පාර්ශ්වයත් නියෝජනය කෙරේ. 

අතීතයේ විවාහ මංගල්‍යයක් සිදු වූ ආකාරය පිළිබඳ සලකා බලනවිට වර්තමාන මංගල උත්සව වල පැහැදිලි වෙනස්කම් තිබෙන බව දක්නට හැකි ය. පැරණි විවාහ උත්සව අවස්ථා හයක් තිබුණි. එනම්,

  1. පළමු ගමන
  2. නම් ප්‍රසිද්ධිය
  3. පෝරුවට නැංවීම
  4. මනමාලිය කැන්දාගෙන යාම
  5. හිස දියට යෑම
  6. නෑදෑ මිත්‍රයන් බලන්න යාම

මේ අතර තිබුණු පැරණිම හා වැදගත් චාරිත්‍රයන් අතර මගුල් තහංචි කවි සදහා ප්‍රධාන තැනක් ලබා දී තිබුණි. අද ලිපියෙන් කියන්නේ ඒ ගැනයි.

විවාහ මංගල උත්සව වල දී ගායනා කරනු ලැබූ මගුල් තහංචිය දැනට අභාවයට ගොස් ඇති චාරිත්‍රයන් අතරට එක් වේ. තහංචියෙන් හැගවෙන්නේ වැළැක්වීමක් හෝ තහනම් කිරීමකි. සිය විවාහ දිනයෙහි මනාලියගේ නිවසට පැමිණෙන මනාලයාගේ ගමන කඩුල්ලේ සිට පෝරුව දක්වා අනුක්‍රමයෙන් මනාලියගේ නෑ පිරිවර විසින් තහංචි කවි කීමෙන් තහනම් කරනු ලැබේ. එවිට මනාලයාගේ නෑ පිරිස විසින් ප්‍රති තහංචි කවි කීමෙන් තහංචිය මගහරවා ගනී. මනාලයා මගුල් ගෙදර කඩුල්ලට ළගා වන විට ද, මගුල් පාවඩය මත මොහොතේ දී ද, මගුල් මඩුවට පිවිසෙන අවස්ථාවේ දී ද, මගුල් බුලත් ලබන මොහොතේදී ද , මංගල පහන දල්වන අවස්ථාව හා පෝරු මණ්ඩපයට පිවිසෙන මොහොතේදී ද තහංචි කවි කියනු ලබයි. මගුල් ගෙදර තිබෙන ඇද පුටු, උඩු වියන්, ඇතිරිලි, සෙම්බු, කොතල, පඩික්කම් ආදී භාණ්ඩ පවා තහංචි කරනු ලැබේ. මෙම තහංචි වලට ප්‍රති තහංචි කවි කීමෙන් ජයග්‍රහණය ලත් මනාලයා පෝරු මස්තකයේ සිට එම මගුල් ගෙදර සියලුම මංගල භාණ්ඩ සහිත මනාලිය ද ඔහු දිනාගත් බව සභා මැද ප්‍රකාශ කරයි.

විවාහ මංගල දිනයන්හි මෙසේ මනාලයා තහනම් කිරීමේ සිරිත ආදී කාලීන මිනිසුන් අතර ද ප්‍රචලිත වූ චාරිත්‍රයක් වී ඇත.

බලහත්කාරයෙන් ස්ත්‍රීන් පැහැරගෙන, භාර්යාවන් කර ගැනීම ආදී අප්‍රිකානු ගෝත්‍රිකයන් තුළ පැවති සිරිතකි. ස්ත්‍රියක් පැහැර ගැනීමට ආ අවස්ථාවේ එම ස්ත්‍රියගේ ගෝත්‍රික ජනයා පැහැර ගන්නට ආ මිනිසුන් සමග සටන් කරති. මෙහි දී වැඩි වශයෙන් ජයග්‍රහණය කරන්නේ ස්ත්‍රීය පැහැර ගැනීමට පැමිණි ගෝත්‍රික කණ්ඩායමකි.

උදා :- නිව්ගිනියාවේ ද " දොරහ" නම් වූ ගෝත්‍රික ජනයා අතර මනාලයා වැළැක්වීමේ සිරිතක් පැවතිණි. සරණපාවා ගැනීමට එන මොහොතේ දී මනාලියගේ නිවසේ දොර වසනු ලැබේ. මනාලයා සහ ඔහුගේ පිරිස දොරට ගසන විට මනාලියගේ පියා විසින් නිවසේ දොර අරියි. ඉන්පසු ඇතිවන සටනේ දී මනාලයාගේ පාර්ශ්වය ජයග්‍රහණය කළහොත් පමණක් මනාලිය සරණපාවා දෙනු ලබයි.

උදා :- මලයාසියාවේ මනාලයා මංගල නිවසට ඇතුළු වනවිට ඔහු එන මාර්ගය අවුරා ලණුවක් හෝ රතු රෙදි පොටක් අදිනු ලැබීම එහි සිරිතකි. එම අවස්ථාවේ දී ව්‍යාජ අරගලයක් ද හටගනී. මනාලයාගේ සිරුරට සහල් විසි කිරීමෙන් පහරදෙනු ලබන අතර මෙම ගැහැට විදිමින් මනාලයා මංගල නිවසට ඇතුළු වන්නේ දඩ මුදලකුත් ගෙවීමෙන් පසුවය.

තහංචි කවි කීමේ සිංහල චාරිත්‍රය ද මෙම වැළැක්වීමේ ගණයෙහි ලා සැලකිය හැක. තරුණයෙකුට තරුණියක් ඉල්ලූ පමණින් සරණ පාවා නොදෙන බව හැගවීම සදහා මෙම චාරිත්‍ර ආරම්භ වූ බව පෙනේ. තහංචි කවි කීමෙන් මනාලියගේ අගය හා ඇගේ නෑදෑ පිරිසගේ තරාතිරම මනාලයාට අවබෝධ කිරීමත් සමගම මගුල් ගෙදරට පැමිණෙන පිරිසට විනෝදයක් ගෙනදීම ද මෙයින් සිදු වේ.

මෙම මගුල් ගමනේදී විශේෂයෙන් දැනමුතු අප්පා හා දැනමුතු අම්මා ප්‍රමුඛත්වය ලබා දෙයි. ඔවුන් ගේ දැනුම් දීම් මත මේ ගමන සදහා ආහාර අඩුම කුඩුම පිරිවරාගෙන ගාම්භීර ලෙසින් මනාලිය රැගෙන ඒමට බක්කි කරත්ත වලින් පිටත් වේ. සමහර ප්‍රදේශ වල තුවක්කුවක් ද රැගෙන යන අතර මනාලියගේ මංගල නිවසේ කඩුල්ල වෙත පැමිණ වෙඩිල්ලක් තබා මනාලයා පැමිණ ඇති බව කාටත් සන්නිවේදනය කරනු ලබයි.

මගුල් ගෙදර කඩුල්ලට ළගා වනවාත් සමග ම මනාලයාට මනාලියගේ පාර්ශ්වයෙන් තහංචි කවි කියන අතර මනාලයාගේ පාර්ශ්වය ප්‍රති තහංචි කවි කියා කඩුල්ල පැනිය යුතු විය. මෙය සිංහල ක්‍රමයට අනුව මනාලයා පැමිණි විට මනාලියගේ මස්සිනා විසින් මෙහි දී කඩුලු බුලත් දීම සිදු කරනු ලබයි. මෙම කඩුලු බුලත් දීම යනු නෑනා අයිති මස්සිනාට යන්න එකල පැවති මතය යි. එම හේතුවෙන් මස්සිනාට අයිති දෙය වෙනත් මනාල තරුණයෙකු විසින් ලබා ගැනීමේ දී ඔහුගෙන් ප්‍රථම අවසර ගත යුතු විය. ඒ කෙසේ වෙතත් කඩුලු බුලත් දීම යනු ඔවුන් පැමිණි ප්‍රමාණය හැගවීමේ සංකේතයකි. මෙහි දී වැඩිහිටියන් සිටි ගණනට බුලත් කොලය බැගිනුත් කුඩා දරුවන් ප්‍රමාණයට බුලත් කොලෙන් භාගයක් ලබා දෙයි. මෙය මස්සිනා විසින් මනාලියගේ මවට ගෙන ගොස් දෙන අතර ඉන් පසු ඇය විසින් නෑදෑ පිරිසට ආහාර පිළියෙල කිරීම සිදු කරයි. ඒ අතර මනාලයා හා මනාලියගේ පාර්ශ්වය අතර තහංචි කවි කියනු ලබයි. මේ අතර මස්සිනා අතේ බුලත් හුරුල්ලක් එවන මනාලියගේ මව මනාලයා සාදරෙන් පිළිගන්නා බවට සංකේතවත් කරයි.

බුද්ධං සරණේ සිරස තහංචී

ධම්මං සරණේ දෙවුර තහංචී

සංඝං සරණේ දෙපය තහංචී

මේ තුන් සරණේ කඩුලු තහංචී

බුද්ධං සරණේ සිරස දරන්නෙමු

ධම්මං සරණේ දෙවුර දරන්නෙමු

සංඝං සරණේ සිවුරු දරන්නෙමු

මේ තුන් සරණේ කඩුලු පනින්නෙමු

වත්තේ සිව්කොණ සහිත කඩුලු මනමාලයාට තහංචි බව මනාලියගේ පාර්ශ්වය පැවසුවද එය තහංචි නැති බව කියා මනාලයා මිදුලට පැමිණේ. 

වත්තේ සිව්කොණ කඩුලු තහංචී

මඩුවත් ඇද පුටු වියන් තහංචී

සබයත් කොතලේ කෙණ්ඩි තහංචී

මෙමගුල් ගෙදරට එන්ට තහංචි 

සිටිනා වත්තේ කඩුල්ල ගාවා

වෙසෙනා දේවතාවෝ මුර පාවා

ලොව්තුරු මුණි ගුණයෙන් බල පාවා

සරණ බලෙන් මම මිදුලට ආවා

සියලුම දෙවි දේවතාවන්ගේ බලයෙන් මගුල් පාවඩය තහංචි කරද්දී මනාලයා ලොව්තුරු මුණි ගුණ අයදිමින් තහංචි හැර ගමන් කරයි.

පහන් දිලෙයි මුදුන් කරු දෙක ගාවා

මිහිපිට උඩු වියනේ දේවතාවා

සැම දෙවි අණයෙන් බල අඩ පෑවා

පියවිලි පිට අද තහංචි වේවා

පහන් දිලෙයි මුදුන් කරු දෙක සොමී

මිහිපිට උඩු වියනේ දේවතා හිමී

අපෙ මුණි ගුණ බලයෙන් මග අරිමී

පියවිලි පිට මං මඩුවට යන්නෙමි

මගුල් මඩුවේ තිබෙන භාණ්ඩ තහනම් කිරීමේ දී කියන තහංචි කවි අතර 

කොන් යට ලී දෙක දෙන්නා ගෙනෙන්නේ

මුදුන් යටේ තුන් දෙනෙක් ගෙනෙන්නේ

මේ ගේ ලී දඩු සැමට ගෙනෙන්නේ 

තහංචි නැත මම මඩුවට එන්නේ

වියන් බැදපු මඩුවේ මම ඉන්නේ

සමන් දෙවියො වට රැස් කර ගන්නේ

අට කොණ දෙවියෝ අට කොණ ඉන්නේ

තහංචි නැත මම මඩුවට එන්නේ

මගුල් ගෙදර පැන් කොතලේ, බුලත් හෙප්පුව, කෑම මේ සියල්ල තහංචි කරනු ලබයි. මගුලේ බත පිලියෙල කිරීමේ දී වෙලා යන හේතුවෙන් " මගුල් පරක්කුව " සදහා යොදාගත් උපායක් ලෙස ද මේ තහංචි කවිය සදහන් කල හැකි ය. මෙම බතට මගුල් පත, ආදර බත, සංග්‍රහ බත වැනි වචන යොදාගනු ලබයි. ඒ වගේම මනමාලයා පැමිණ මගුල් මේසයේ වාඩි වූ පසු රෙදි නැන්දා පැමිණේ. උඩින් වියන් බැද තිබෙන මේ මේසයේ මොවුන් වාඩි වූ පසු ඔවුන්ගේ කකුල් උඩින් සුදු රෙද්දක් ඇය එලනු ලබයි. සේරක්කාදි තබා ඒ උඩ කෑම තබා ඔවුන්ට කෑම ලබා දෙයි. මෙහිදී විහිළු තහලු කිරීමෙදී මේවා නොකිරීමෙන් "දඩ බත් ඔට්ටුයි" යැයි පවසා මනමාලයාට වැඩිපුර බත් කෑමට හෝ වතුර වීදුරුවක් ජලය පුරවා ජලය නොහැලෙන සේ හැරවීම වැනි ක්‍රීඩාවන් ලබා දෙයි. මේ කෑම මේසේ විවිධාකාර කෑම ජාති තියනු ලබන අතර එම කෑම වලින් දෙකක් තුනක්වත් මනමාලයා හදුනාගත යුතු විය. මේ ව්‍යංජන හැදින්වූයේ " තේරුම් මාළු" ලෙසය. එසේ නොමැති වීමෙන් මනමාලයා ලැජ්ජාවට පත් කරනු ලැබීමද මනමාලිගෙ පාර්ශ්වය විසින් සිදුකරනු ලබයි. කුඩා දරුවන්ගේ සිට මාමා, නැන්දා, ආච්චී සීයා එකට එකතු වී කුඩා දරුවාද කෑම ගෙන අවසන් වීමෙන් පසු සියලු දෙනාම රෙදි නැන්දාගේ නැම්ම ( සුදු රෙද්ද ) ඉවත් කිරීමෙන් පසු නැගිටියි. මේකට පැරැන්නන් සදහන් කරනු ලැබූයේ " නැම්මෙ කනවා " කියලා. මනාලයාගේ කෑම මේස පුටුව කෙසෙල් බොඩ යොදා සෑදීමද තවත් කරුණකි. එහිදී මනාලයා සොයාබැලීමකින් තොරව වාඩිවුවහොත් ඔහු පුටුව කඩාන වැටී කාගෙත් උපහාසයට ලක් කරයි. මේ සියලු ක්‍රියාකාරකම් තුලින්ම එදා ගැමියා විශ්වාස කරනු ලැබූයේ හා සමාජයට දැන්වූයේ විවාහයක දී දෙදෙනා අතර තිබිය යුතු සාමූහිකත්වය, තැනට සුදුසු නුවණ, සොයා බලා තීරණ ගැනීම වැනි විශේෂ ලක්ෂණයන් ය. මේ පිලිබද කියැවුන සී පදයක් සදහන් කල හැකි ය. මෙය පියෙකු විසින් තම පුතුට කියූ කවියකි.

සැරසිලි යට වතුර පොදිය ඉහට වැටෙන විට

පියවිලි පිට බටු කටු උඹෙ පතුලෙ ඇනෙන විට

සැගවීලා කළ මනමාලිය සොයා බලන විට

ඉවසිලි හරි හැටි නැත්නම් බෑ හිර ගන්නට

මනාල යුවල පෝරුමස්තකයට නැගීමට පෙරද පෝරුව මනාලයාට තහංචි කරනු ලබයි. 

උඩට බැදපු උඩු වියන් තහංචි

පයට බැදපු පාවඩ ද තහංචි

වටට ඇදපු වට තිරය තහංචි

මගුල් පෝරුවට එන්ට තහංචි

උඩු වියනේ ඉරු දෙවියෝ වෙසෙතී

පාවඩේ මිහිකත් දෙවියෝ වෙසෙතී

වට තිරයේ සද දෙවියෝ වෙසෙතී

පෝරු මස්තකය මට දැන් අයිතී

අනතුරුව සියලු තහංචි හැරීමෙන් පසු ජයග්‍රහණය ලත් මනාලයා මංගල සභාවේ සිය අයිතිවාසිකම් ඉදිරිපත් කර මනාලිය සමග මංගල භෝජනය අනුභව කරයි. අවසානයේ මනාලයාගේ පාර්ශ්වය පිටත් වීමට පෙර මනාලයා විසින් මනාලියගේ මස්සිනාට බුලත් හුරුල්ලක් දී පිටත්ව යෑමට අවසර ලබා ගනී. අවසානයේ ද මනාලිය රැගෙන නොයන ලෙසට ඉල්ලා තහංචි කවි ගායනා කරනු ලබයි. අතීතයේ කසාද සදහා තමන්ගේ ඇවැස්ස මස්සිනා හා නෑනා විවාහ තීන්දු කරනු ලැබූයේ තම දේපල පිටස්තර කෙනෙක්ට අයිතිවීම යන කාරණාව හේතුකොට ගෙනය. මේ බව සදහන් සී පද ද සදහන් වේ.

වැසි දිය අයිති ගං හෝ ඇළ සමුදුරටයි 

මල් පැණි අයිති වට ගුමු දෙන බඹරාටයි 

මී රා අයිති කිතුලේ කල වැද්දාටයි 

නෑනා අයිති කාට ද මස්සිනාටයි 

විශේෂයෙන් තම කුල පරම්පාරාවට ගැලපෙන කුල කුමරියක් හෝ කුල කුමරෙක් විවාහ කරදීම මහත් බැරෑරුම් කාර්යයක් විය.

පල්ලව පඩත්තරු මුක්වරුද පරවරු

ඊව රුදුරා පදු කෙවිලන් හා හකුරු

බෙරවා රදා ඔලිකි නිනරු ද පුරවරු

මින් මිස තොපේ ලිය අරගන්නේ කවුරු


කසාදයක් නිවැරදිව සිදු වීමට නම් මේ සියලු කරුණු අත්‍යාවශ්‍ය විය. මේ හේතුවෙන් මේ සියල්ල කවි තුලින් සමාජයට ගෙනහැර දැක්වීය. මේ කවි සදහා යොදා ගනු ලැබූයේ කටවහරයි. පෙරලා උත්තර බදින කවි සංවාදයක ස්වරූපයක් ගත් අතර ලංකාවේ සෑම පළාතකටම මෙය ආවේණික විය. බෞද්ධ ආගමිකත්වයක් මෙයට පාදක වී ඇත. අතීතයේ සිට මේ දක්වා සාම්ප්‍රදායික ලෙස පැවති චාරිත්‍ර බොහෝමයක් සිංහල ජන සංගීතය හා සමාජය සමග බද්ධ වී ඇති බව පෙනේ. ගැමි ජනයාගේ ඇවතුම් පැවතුම් හා සම්බන්ධව නිර්මාණය වී ඇති මෙම තහංචි කවිය තුලින් එදා සමාජයේ පැවති විවාහ ක්‍රමය සමාජයට බද්ධ වී ඇති බව පෙනේ. ගැමි වහර, සරල බව හා සිව්පද ආකෘතිය තුලින් මෙම කවි නිර්මාණය වී ඇත. මේ අනුව පැරණි ක්‍රමයන් ජනශ්‍රැතිය සමග බද්ධ වන තවත් එක් ප්‍රබල අවස්ථාවක් ලෙස මෙම මගුල් තහංචි කවි හදුන්වා දිය හැකි ය.

Top