කුමටද ගුණ කතා සැරසිලි වැඩක් නැතී
වැඩියම උනොත් පොඩි සුදු කොඩි දෙකක් ඇතී
මැරුණට පස්සෙ කිසි කෙනෙකුට බරක් නැතී
මිනිසා මලා කීවොත් ඒත් ඇතී
(සැමුවෙල් රොද්‍රගූ කියූ කවියක් )
මරණය ඇත්තටම සුන්දරද, මරණය වේදනාකාරී ද, මරණයෙන් මතු කුමක් සිදුවේවි ද, නුඹගෙන් ප්‍රශ්න කලහොත් නුඹ කියාවි මරණය සිත් තුල මවන්නේ බිය මුසු වේදනාකාරී බවක් බව. ඇයි එහෙම වෙලා තියෙන්නේ. නුඹෙත් මගෙත් සිතුවිලි තුල ඇති විවිධත්වය හේතුවෙනි. සාම්ප්‍රදායික සුන්දර ගැමියාගේ සිත් තුල මවන්නට ඇත්තේ මේ නුඹෙත් මගෙත් සිත් තුල නැගෙන්නා වූ චින්තනයන්ම ද. මරණය හා බැදුණු අව්‍යාජ මානව කලාවක් එදා අතීතයේ පැවතුණා. මෙය හැඳින්වූයේ අවමමංගල සබා කවි ලෙසයි.
හිමයේ ගොසින් මල් යහනක නිදනවද
අනගි කොමල සිරිපා දෙක රිදෙනවද
හිදේ ඇතිව දෙවියෝ මුර කරනවද
මගේ ඇත් රජුනි හිමි අද කොතැනකද
( යශෝධරාවත )
ප්‍රේමය සහ සෙනෙහෙවන්තකම කෙනෙකුගෙන් කෙනෙකුට, අවස්ථාවෙන් අවශ්‍යතාවට වෙනස් වන්නේ කෙනෙකුට සතුට හා දුක සමසේ ලබා දෙමිනි. ඒ ප්‍රේමයම මරණින් මතු නැඟෙනුයේ විප්පයෝගයකි. අතීත අනාගත හා වර්තමාන කාල ත්‍රිත්වය තුල මේ පවතින සහසම්බන්ධතාවය හුදෙක්ම මරණින් මතු ලබන්නේ සැනසීමක් යැයි නිර්වචන කරයි. ආගම හා සංස්කෘතිය සම්බන්ධ කරමින් ප්‍රශ්න කලහොත් විටෙක විවිධ නිර්වචන ඉදිරිපත් කරාවි. මානව ශිෂ්ටාචාරයේ මුල් භාගයේ පටන්ම මරණය ගැන විවිධ මත තිබුණා. සමහරු නිවන් දකිනවලු. තවත් සමහරු ස්වර්ගස්ත වෙනවලු. අපාගත වෙනවලු. මලවුන් අතරට යනවලු. නමුත් අපි දන්න එක සත්‍යක් නම් මේ ශරීරය නැමති කාබනික ද්‍රව්‍ය මහ පොළොවට ක්ෂය වන බවයි.
සුදු වැලි අතුල මහ සුදු පාවාඩ මත
පිරිවර නෑසියන් මැද මුල් තැනක සිට
සන්සුන් ගමන් යන මල බෙර පෙරටු කොට
මරණය ජයග්‍රහණයකැයි සිතෙයි මට
මරණය ජයග්‍රහණයක් ලෙස දැකපු විශිෂ්ඨයෙක් තමයි සොක්‍රටීස් කියන්නේ. සොක්‍රටීස් කියන්නේ ආචාර විද්‍යා ධර්මයේ ආරම්භකයානේ. ඔහු කිව්වේ "මරණය යනු සදාකාලික සුව නින්දයි" ලෙසයි. අපි දන්න වර්ණවත් නිවී යාමක් තමයි සම්බුද්ධ පරිනිර්වාණය කියන්නේ. මේ පරිනිර්වාණය තුලින් බුදුන් වහන්සේ පවා ආගමක් ලෙස කියා වදාලේ කෙනෙකු ඉපදීමෙන් පසු මරණය කාටත් පොදු ලෙසයි. එය නුඹට මට පොදු වන්නේ ඒ කියන කාරණාව මතයි. ඕනෑම සත්ත්වයෙක් මෙම සන්ධිස්ථානයට පැමිණෙන්නේ විවිධ සමාජීය හැගීම් හා ක්‍රියාකාරකම් මතිනි. එය සතුට දුක හා ප්‍රේමය විප්පයෝගය විය හැකිය.
අඬන හිමාලේ සිටියොත් සොයලා සැනෙන් එවාපන් අපෙ අම්මා
රන්කැටි දෙතනේ රස කිරි බීලා එකතැන ලොකු වූ දරු පෙම්මා
ඉරසඳ දෙවියන් එකතැන වැඩියොත් එහෙනම් දුටුවෙත් අපෙ අම්මා
තුසිත පුරෙන් වැඩි බුදුන් වදින්නට ගියාද නැත්තේ අපෙ අම්මා
පෙම්මා සුරතල් කියමින් දෙතනේ කිරි බොම්මා
වම්මා කඳුලැලි ඉස ඉස ඇවිදින්දැයි අම්මා
අම්මා අප නොදැන ඉතිං කෙලෙසක වෑවෙම්මා
සම්මා සම්බුදු වනදා නිවන් දකින් අම්මා
( වෙස්සන්තරය )
පුරාණයේ කෙනෙකු මියගිය පසු වනාන්තරයට ගෙන ගොස් දමනවා. එසේ නැතිනම් අමු සොහොනට දමනවා. පසු කාලීනව තමයි පොළවේ වල දාන්න පුලුස්සන්න පටන් ගත්තේ. දවසක් පමණ තියා ගන්න අවශ්‍ය වූ විට මුල් කාලීනව සිදු කරනු ලැබූයේ දේහයේ පෙකනිය කොටසින් පළලා ඒ තුලට ලුණු, ගොරකා, මුරුංගා පොතු දමාලා තියාගත්ත එක. පිරමීඩ යුගයේ නම් විවිධ ඖෂධීය වර්ග යොදා මමි ආරක්ෂා කර ගත් බව ද පැවසෙනවා. පසු කාලයේ වෙස්සන්තර ජාතකයේ කවි සහ යශෝධරාවතේ කවි ගායනාවන් සිදු කරා. ඒ තුල තිබුනේ ඒ ගැමිකම තුල තිබුණු ආගම හා බැඳි සංයමය යි. මෙසේ කවි ගායනා කරමින් දේහය සතියක් පමණ නිවස තුල තියාගනු ලැබුවා. අතීතයේ අපගේ බෞද්ධ සංස්කෘතියට අනුව මිනිය ඔතා දැමූ රෙදි කඩ පාංශකූලීක සිවුර ලෙස අද ද සංඝරත්නය කෙරෙහි පූජා කිරීමත් පැන් වැඩීමත් සිදු කරනු ලබනවා. අතීතයේ සිට අපගේ අව්‍යාජ සුන්දර ගැමියාගේ චාරිත්‍රයන් අතර කෙනෙකු පාවා දීමේ දීත් මරණයේ දීත් මෙම පැන් වැඩීම සිඳු කරනු ලබනවා.
කිසිවිටෙක තවත් කෙනෙකුගේ හිත තැලුවෙ නැත
හොද මිනිසෙකු වුණා ඔබ මේ පොළොව මත
උරුමය අනුව ජීවිතයට තැබුව තිත
නිවනින් නිවෙනු මැන සැනසුම එතන ඇත
( දඹදෙණියේ චන්ද්‍රසේන කවියා )
වර්තමානය වනවිට මරණයේ කාර්‍යන් විවිධ තරාතිරම් මත වෙනස් වූ වද අතීත සාම්ප්‍රදායික ගැමියා සිදු කරනු ලැබූයේ සරල චාරිත්‍රයන් හා සරල භූමදාන ක්‍රමයකි. ඒ තුල පවා ඔවුන් දැක්කේ ආගමික නිරාමිස බවකි. විප්පයෝගයන් කෙනෙකුගෙන් කෙනෙකුට වෙනස් වූ වද ඒ සෑම විප්පයෝගයකම තිබුණේ නුඹට මට දැනෙන්නා වූ හෘදයාංගම චිත්ත සන්තාපයකි. සැරසිලි, ගොක්කොල, රැලි පාලම්, ශෝක පුවරු, ගුණ කතා සහ විවිධ කලා නිර්මාණයන් බිහි වී ඇත්තේ වර්තමානයේ යි. ඒ තුල ඇත්තේ තරාතිරම් මත යැපෙන හා කුලවත් ධනවත් බව සමාජගත කරන සංකේතයන් ය. එදා අතීතයේ මරණ ගෙදරක තිබූ සංයමය අද වනවිට දැකගැනීමට පවා නොහැකිය. සාම්ප්‍රදායික ගැමි සමාජය තුල එදා ආහාරපාන තුල පවා තිබුණෙ සංයමයකි. මස් මාංශ පිලී දේවල් අවමගුලදී යොදා ගත්තේ නැත. මරණය යනු විප්පයෝගයකි. ඔවුන් ඒ බව හොදින්ම දැනසිටියා ය.
රිදී කලේ රන් කොතලේ බීපු මට
නිකන් කලේ දිය නැතිවිය පිපාසෙට
කොට්ට මෙට්ට ඇද ඇතිරිලි ඇති මෙමට
මෙහෙම කල් යාද පලු වීර ගස් යට
ඉහත කවිය අන්දරේ විසින් ඔහුගේ මරණය සිදුවෙන අවසාන අවස්ථාවේ කියන ලද කවියක් ලෙස ජනශ්‍රැතියේ සඳහන් වේ. අපගේ සාම්ප්‍රදායික කලා සංස්කෘතිය තුල පවතින විවිධ අවශ්‍යතාවන් අනුව මරණයේ දී සිදුකල සන්නිවේදන කාර්‍යයක් ලෙස මෙම කවි නිර්මාණයන් හැදින්වීමට පුලුවන. අද වනවිට ගුණ කතන තුල පවතින නිර්මාණයන් තුල ඇත්තේ මේ ඉහත කියන කාරණාවන් අතලොස්සක් පමණි. සිව්පද වගේම හිටිවන කවි ද ඒ අතර දැකීමට පුලුවන් වෙනවා.
මිනිසත්කමින් පෑ ලෙංගතු හිනාවේ
කරුණා ගුණය සැඟවී ඇත දයාවේ
මරණයේ දොරටුවෙන් වෙන් වුණාවේ
මේ කෙත් බිමට නුඹ යලි උවමනාවේ
මානව සංස්කෘතිය තුල දැකීමට තිබූ මෙම සුසංයෝගය නුඹට මට දැනෙන විප්පයෝගයන් මරණින් මතු ආත්ම භවයක සුබ සිද්ධියක් ලෙස සැලකීමට පුලුවන්. එම සන්සිද්ධීන් තුල දැකීමට ඇත්තේ මෙම කවි ගායනාවන් නිර්මාණය වූයේ සුන්දර ගැමියාගේ අව්‍යාජ දක්ෂතාවයන් හා නිරායාසයෙන් නැගුනු විප්පයෝග චින්තනයන් ය. සාම්ප්‍රදායික ගැමියාගේ එදිනෙදා කාර්‍යභාරයන් තුල තිබූ කටුක දුෂ්කරතා මැද තිබූ සංයමයන් සංස්කෘතික වශයෙන් නිර්මාණය වූ තවත් කලා මාධ්‍යක් ලෙස මෙම මංගල සභා කවි ගායනා හදුන්වන්න පුලුවන්. මිය ගිය පසු අවසාන මොහොතේ වලට පස් පිඩක් දාන්න කෙනෙක් නැතිනම් වැඩක් නෑ කියලා ගංකරේ කා අතරත් තිබෙන සිතුවිල්ලකි. සතුට දුක නුඹට මට ලැබෙන ප්‍රමාණය අඩු වැඩි වන්නේ කරන හොද හෝ නරක් ක්‍රියාකාරකම් මත බව කාගෙත් විශ්වාසය යී. මේ හේතුවෙන් නිර්මාණයක් කෙසේ සිදු කරන්නේ ද ඒ තුල පවතින්නේ නුඹෙත් මගෙත් පවතින්නාවූ මරණයේ විප්පයෝගයම ය. ඒ නිසාවෙන් මංගල සබා කවි එදා මෙදා තුල විවිධ වෙනස්කම් හා දෝලනය වෙමින් නුඹ මා අතරට පැමිණීම ම මෙසේ වටිනා බව පසක් කොට දක්වමි.