පොල් රුප්පාව මැදින් පුරහද දවසට පොල් අතු වල සෙවණැල්ල වැටිලා මහ මිදුලේ වැලි අතරේ ලස්සන චිත්‍ර අදිනවා. ඈතට වහිනවා වගේ. අපිටත් පින්න බානවා. බුදු ගේ ඉස්සරහා තියෙන සමන්පිච්ච වැලේ මල් පිරිලා. ඒ මල් සුවද සුළගට මුසුවෙලා. මං නම් ආසයි වහිනවට. ඒත් සුදු සීය නම් කීවේ පුර පෝයට වැස්සොත් දිගටම වහිනවා කියලා. දොල පාර සැරවෙලා වගෙයි. සද්දේ මුදුලට ඇහෙනවා. ගෙම්බොන්ගෙ වාදෙනම් ඉතිං අඩුවක් නෑ. ලස්සන කදු ගැට්ටක් උඩ තිබුණු උලු වහපු ලස්සන ගෙදරක තමයි අපි ජීවත්වුනේ. අම්මයි, අප්පච්චි, සුදු සීයයි, ආච්ච් අම්මයි, නංගියි, මායි තමයි අපේ පුංචි පවුල. අමතක උනා අපේ ගුණවතී අම්මා එයත් හිටියා. පාන්දරට ගුණවතී අම්මා අපේ වැලි මිදුල අතුගාන්නේ හරීම ලතාවකට. පොල් අත්තක හැඩ මවමින් භාවනාවක් වගේ තමයි මේ දේ කරන්නේ. ඉදලෙන් අදින ඒ පොල් අතු රටාව ජීවිතයේ පවතින යතාර්ථය අවබෝධ කර ගැනීමට හොද භාවනාවක් කියලා මං දැනුම් තේරුම් ගිය අවදියේ ආච්ච් අම්මා මට කියලා දුන්නා.
පිනි ජම්බු, අඹ, රඹුටන්, ලොවි වලින් පිරුණු ලස්සන ලොකූ වත්තක් සීයට තිබුණා. පළතුරු කාලෙට කුරුල්ලෝ ගොඩාක් එනවා. කජු ගහේ ගිරවු පිරිලා කෑ ගහනවා. අපේ ගේ ලග තිබුණු දොළ පාරට අයිනට වෙන්න උණ පදුරු යායක් තිබුණා. මකුලුවෙක් හෝ ගලා දෙහි අත්තක දැලක් වියනවා. ඒ දැලෙත් තිබුණේ සුන්දර කලාවක්. ඒ පදුරු යායේ චූටි කුරුලන්ගෙ කූඩු ගොඩක් තිබුණා. කොණ්ඩ කුරුල්ලෝ බට්ටිච්චෝ පිරිලා. දොළ පාර ගල් තලාව අතරින්, මුල් උඩින් ගලාගෙන පැද්දෙමින්, හැප්පෙමින් හෙමීට මහා සයුර තෙක් පල්ලම් බහිනවා. තිත්ත පැටවු ගොඩාක් ඉන්නවා. නංගි ගල් අහුරක් අරන් එකින් එක දොළට විසික් කරනවා. ඒවා ජබුං ගාලා වැටිලා අපි දෙන්නවම තෙමනවා. ඒ සුන්දර අතීතයට මට යන්න තිබුණා නම් කියා දැනෙන වාර අනන්තයි.
අප්‍රේල් මාසෙට තමයි සීයට වැඩ වැඩිවෙන්නේ. මේ කාලෙට තමයි රන් පාටට තියන කුඹුර සීය කපන්නේ. මාමලා ගොඩක් එක්ක තමයි සීයා ඔය වැඩේ කරන්නේ. මහ ගෙදර නම් අම්මයි, නැන්දලයි, ආච්ච් අම්මයි එකතුවෙලා කැවුම් කොකිස්, අලුවා, පැණි වළලු හදනවා. සුවදේ ඉන්න බෑ. අපිට තියෙන්නෙ ඒ කාලෙට සෙල්ලම් කරන්න. සීයා කමතට බැත ගෙනාවම නම් ඉතිං මාත් ගෙදර රජෙක් වගේ තමයි. ඒ මොකද කමතට සුදු සීයත් එක්ක මටත් යන්න පුලුවන්නෙ. මට මතක් වෙනවා...
අතීතයේ පොහොය දින උදාවක් ඉදිරියට තියලා ගොයම් කැපීමට අත නොගැසීම ගොවියන් කාගෙත් සිරිතක්. ගොයම් කපා ලියැදි වල ඉතිරිවන උප්පුඩි එකතු කර වටමළු ගැසීම සමහර ගොවියන් සිදු කරන තවත් සිරිතක්. අවසානයට ඉතුරුවන ඉපනැල්ල අතරින් බෝල් තැබීම සිදු කරනු ලබනවා. එසේ සිදු කරනුයේ කමතේ වැටී තිබෙන වැලිකැට, දූවිලි ආදිය අතුගා පිරිසිදු කිරීමටයි. මේ බෝල් අත්ත සීයා හදා ගන්නේ අපේ කුස්සිය ලග තිබුණ බෝල් ගහේ අත්තකින්. ඉදලක් විදියට තමයි පාවිච්චියට ගත්තෙ කමතෙදි.මේකෙන් කමත ලතාවකට සුද්ධ පවිත්‍ර වුණා.
බුදු දහමට අනුව සංකල්පයන්ට, ඇදහිලි හා විශ්වාසයන්ට මුල්තැන දෙමින් ජීවත්වුණ ගොවියා තුලම හොද සාරධර්ම වගේ ම හැදියාවක් තිබුණා. අධ්‍යාත්මිකව බැදී තිබුණා. එකිනෙකාට ගරු කලා. එම ගරුත්වය, එකමුතුකම පෙන්නූ තවත් තැනක් තමයි මේ කමත කියන්නේ. මේ කමතට කලවිට, පාවරපොළ යන නම් පටබැදී තියෙනවා. වියළි ස්වභාවයකින් යුතු ස්ථානයක් තෝරාගන්නා අතර වැසි වැටුනොත් ඉක්මනින් වතුර බැහැලා යන්න නිමල් මාමා පොඩි කාණුවක් කපනවා. මේ විදියට සිව්කොණ බලලා කමත කපනු ලබනවා. මේ සිව්කොණ දෙවියන් වැඩහිදිනවා කියලා ගැමියො විශ්වාස කරා.
මේ කගේදෝ කමතා
ඉර දෙවියන්ගේ කමතා
ඉර දෙවියෝ දුන්නු බැතා
අද පුරවන් මේ කමතා
සීයගෙ කමතෙ තිබුණ තවත් චාරිත්‍රයක් තමයි "අළුවං වැඩීම" කියන්නේ. මෙහි දී කමත මැද "මුත්තා වල"නමින් වලක් හාරා එහි පොල් ගෙඩියක්, යකඩ කැබැල්ලක්, කොහොඹ පොත්තක්, තබා මෙම අළුවං වැඩීම ආරම්භ කරනවා. මුලින්ම වට තුනක් අදිනවා.ඊට පස්සේ අට දිශාවකට මුහුණලා රේඛා ඇදලා එහි ත්‍රිශූලය, පාරා වළල්ල, හක්ගෙඩිය, හෝමරය, දුන්න, කඩුව, උදැල්ල හා දැතිගොයියා අදිනවා. මේ රූපෙට අටමගල කියලත් ප්‍රාදේශීය බස් වහරෙ කියනවා.අනුරාධපුරය වැනි ප්‍රදේශය වල මේ අටමගල කොටහළු අවස්වලදිත් වෙනත් ප්‍රදේශවල මංගල පෝරුවෙත් අදිනු ලබනවා. මෙයින් සශ්‍රීකත්වය පිළිඹිබු කරනවා. පළමුව උප්පිඩි දෙකක් කපා දෑකැත්තත් හිසේ තබාගෙන සීයා මුත්තා වල වටේට ගිහිල්ලා වල උඩින් තියනවා. කමතෙදි කටකැඩිච්ච කතා කීම තහංචි වෙනවා. එයින් වස්දොස් සිදුවෙනවා කියලයි සීයා කීවේ. ඒ හන්දා හැමෝම කමතට ගියාම වචන ගැන පරිස්සම් වුණා.කමතෙ ගොයම් පාගන්න ගත්තේ අපේ මී වස්සො දෙන්නා කළුවයි, රත්තයි. කොළේ වටේට උන් දෙන්නව නිමල් මාමා දක්කගෙන ගියේ කෙවිටකුත් අතේ තියාගෙන.
මේ කොතනින් ගෙනා ගොනා
දෙවුන්දරින් ගෙනා ගොනා
මේ මොනවට ගෙනා ගොනා
කොළ මඩනට ගෙනා ගොනා
කළුවටයි රත්තටයි බඩගිනි ආවොත් උන්ට කමතට පිටින් කන්න දෙන්න තහංචි වෙනවා. කොලේ යන වස්සො කොලෙන්ම කන්න ඕන කියලා සීයලා විශ්වාස කරා.
මේ කොතනින් ගෙනා ගොනා
කතරගමින් ගෙනා ගොනා
කොළ මඩිනට ගෙනා ගොනා
කොළ මඩනට හොදයි ගොනා
ගොයම් පෑගීමෙන් පස්සේ වෙහෙස නිවාගන්නත් කවි කීවා.
සගුන් වඩිති මේ කමත ට
සදුන් සුවද විසිරෙයි ව ට
යොදුන් උසට තෙබෙනා බැ ත
සගුන් අතින් එයි කමත ට
ගොනු යන්නේ කදු උඩ ලූ
අපි යන්නේ පාබොඩ ලූ
ගලතන්නේ වෙල වළ ලූ
පළදින්නේ කිරි පබ ලූ
දැතිගොයියා ආධාරයෙන් පිදුරු ඉවතට විසි කිරීම සිරිතකි. මේ සෑම යොදා ගන්නා භාණ්ඩයක් සදහාම මොවුන් ගරුත්වයෙන් යුක්තව කතා කලා. අගට ගොයියා යන නාමය මොවුන් භාවිතා කරනු ලැබුවා. උදලු ගොයියා (උදැල්ල) දැතිගොයියා (දෑ කැත්ත)
මුදුනේ යන ගොන් රජු නේ
ඊ ලග යන කිරි පුසි නේ
අවට දුවන නාම්බ නේ
කොළ මඩවා දෙන් සොදි නේ
කොල හොල්ලා අවසන් වූ පසු කමතේ ඇති වී ඇට බෝල් තැබීම සිදු කරනු ලබනවා.
අටුකොටු වල තියෙන බැතා
ඉහළ පහළ තියෙන බැතා
ලබු ගෙඩිවල තියන බැතා
ගෙන පුරවන් මේ කමතා
බෝල් තැබීමෙන් පස්සේ බැත ඈතට පේන්නේ හරියට ලස්සන කදු ගැටයක් වගේ. මේ බැත සුද්ද කරන්න මොවුන් සුළං හමන පැත්තට හැරී සිදු කරනු ලබනවා. සුදු සීයයි ඩිංගිරි මාමයි දෙන්නා ලහි ලහියේ බැත කුල්ලට(යතුර) දාලා සුද්ධ කරනවා. ආසාවේ බෑ බලන් ඉන්න..වලාකුළු වගේ..
ගොනා නිකම් බකිරි බ තා
උගෙ කන්වැල් වෙහෙර ව තා
වෙහෙර සතක උස මහ තා
එපමණක් උස බැත දෙව තා
කමතට ගේන "ඇඹුල" (අත්තමට වැඩ කලොත් "කයිය" ලෙස හැදින්වූවා) සප්පායම් වීමෙන් පස්සේ තමයි බැත එකතු කිරීම සිද්ද කරේ.
ගොන් රජු පා එරන් විල්ල
දෑල බාන රිදී විල්ල
පෙර රජිදුගෙ බැදි එ විල්ල
පෙර කිවිදුන් වැනු එ විල්ල
රකිමු රකිමු මේ සියල්ල
බැතක් වෙලා තබා බෙල්ල
මේ කමතටම ආවේණික කමත් තහංච් සහ පිළිවෙත් ක්‍රමයක් තිබුණා.
- ශබ්ධ නගා කතා කිරීම තහංචි වෙනවා. කමත් භාෂාවෙන් ම තමයි කතා කරන්න පුළුවන් වුනේ
- අම්මලාට විශේෂයෙන් ගැහැණු අයට කමතට ඒම තහංචි වුණා. පාවහන්, හිස්වැසුම් දාගෙන ආවොත් සීයගෙන් කෙවිට පාර තමයි ඉතිං
- රංඩු දබර වීම, ණය තුරහ, වී ඉල්ලා ගැනීම, මගුල් තුලා කතා කිරීම, දීග තීන්දු කිරීම තහංචි වුණා
- කෙළ ගැසීමත් තහංචියි. ඉරිදා, අගහරුවාදා, සෙනසුරාදා, කොළ පාගන්නෑ. කිල්ලට අසුවෙච්ච ( උපන් කිල්ල, මරණ කිල්ල, වැදුම් කිල්ල, මාස් කිල්ල ) අයටත් කමත තහංචි වෙනවා
- කමතේ ඉදන් කරවල, මස් ජාති කෑම තහංචි වෙනවා. බැත පවා කකුලෙන් එකතු කිරීමත් බුලත් විට හැපීමත් තහංචි වුණා.
සුදු සීයා දවසක් මට හොද කෙවිටි පාරක් දුන්නා ඈණුමක් අරිනවා දැකලා කමතෙදි. අදත් මතක්වෙද්දී රිදෙනවා වගේ. මට මතකයි සුදු අප්පුලාගේ ගෙදර අයට දෙයියගේ ලෙඩ ( වසූරිය, පැපොල, සරම්ප ) හැදිලා තිබුණු දවසක තමයි වෙල් කමතෙදි ඔය ගුටි කෑම ලැබුණේ. කමත් වර්ග 03 ක් තියෙනවා
- බිම් කමත ( බිත්තර වී වෙන් කිරීම සදහා )
- ගල් කමත ( ගල් තලාවක් උඩ තිබුණු කමත )
- වෙල් කමත ( වෙලේ හදපු කමත- මේක ඉස්සර හැදුවේ හදිසි බෝ වෙන ලෙඩ රෝග ගමේ තිබුණොත් විතරයි )
ඉතින් අතීතයේ තිබුණු තවත් එක් අවස්ථාවක් තමයි අද මේ විදියට ඔයාලට විග්‍රහ කරේ. මේ ගැමියා තුල තිබුණු සාමූහික බැදියාව ඔවුන්ගේ හැදියාව ශක්තිමත් කරා. ඒ වගේම ගුනගරුක සමාජයක් ගොඩනැගී තිබුණා. අද නාගරීකරණය වීමත් සමග මේ සාම්ප්‍රදායික ජීවන චාරිත්‍රයන් වියැකෙමින් යනවා. මේ දේවල් අපි සුරක්ෂිත කිරීම එකතු වී කල යුත්තක් නොවේද. මේ සෑම ඉසව්වකම තියෙන්නේ ඒ සුන්දර අතීතයේ සැගවුණු ඇත්ත කතාව නොවේද..?