ලියවැල් මල් වැල් බීරළු විලසට - ගෙතුනයි කදිමට ගෙත්තම් වෑහෙන (631)

post-title

මහා කුණ්ඩවාඩ කෝඩයම, මදව් දමමින් විසිර යන ඉසව්වක, රූ රටා උළුප්පමින්, පංකාදුවට ගෙතී යන බීරළු රේන්දයක, වියා හමාර කළ නොහී, අන්තයක් නොමැති රටාවක් බඳුය "ජීවිතය"..

  • ••••••••••••••••••••••••••••••••••••••••

"සුද්දීයේ..., මෙහෙ වරෙං කෙල්ලෙ..

"මොකදෑ..?

"මෙහෙ වරෙං බං.. බොලෑලයි අප්පොච්චගෙ රඟේටම හැදිල නෙවැ ඔහෙත්. එක සැරයක් කිව්වම මෙහෙ වරෙං. ඕං ඔය මල්ලෙ ඇති හීනියට ගොතාපු බීරළු රේන්ද වගයක්. ආං ඒකෙන් කම්බායකට සෑහෙන්න රේන්ද ඇබින්දක් සුදා නැන්දලාගෙ ගෙදරට ගොහිං දීලා එනගමන් පල්ලමේ ගහේ පොල් වැටිල නම් ගෙඩි දෙකක් ඇන්න වරෙං මයෙ එකී."

අම්මා එහෙම කියන ගමන්ම බීරළු කොට්ටයෙ එල්ලා තිබුණු බීරළු දෙක තුන එහෙට මෙහෙට කරනගමන් ගොතන බීරළු රේන්ද වර්ගෙ හැඩ දැක්කම මට මතක් වුණේම සුදු නෝනලා රේන්ද අල්ලපු උසට උසේ සුදු පාට ගවුම් ඇඳ පැළඳගෙන ආඩම්බරෙන් වාගෙ එහෙට මෙහෙට යන විලාසයයි.ඒ විතරක්ද බිරළු දෙක තුන එකිනෙකට ගැටෙද්දි එන හඬ හරියට සුදු නෝනලගෙ සපත්තු අඩිවල සද්දෙ වාගෙමයි. සුදු පාට ලොකු රවුම් තොප්පියකුත් දාගෙන එහෙට මෙහෙට පැද්දෙද්දි අම්මේ උන්දැලගෙ හැඩ...

අප්පොච්ච මාලු අල්ලන්න දියඹෙ යන දාට අම්ම පිළ අද්දරට වෙලා මූද දිහා බලාන ඉන්න ගමන් "ටහ් ටහ්" යන හඬ නංවා බීරළු එහෙ මෙහෙ පෙරළමින් රේන්දයක් ගොතන්න නම් අමතක කළේම නැති තරම්.

ඔය අතරවාරයෙ මාලු අල්ලන්න දියඹෙ ගිය අප්පොච්ච එනකන් මග බලන වාරයක් වාරයක් පාසා අම්ම හූල්ලන හැටි මං දොහකට දහ දොළොස් වතාවක් නම් මම දකිනවමයි.ඒත් එක්කලාම පහුගිය දොහක බඩ සීයගෙ පොඩි පුතාගෙ මළකඳ මහ මූදෙ හැංගුණු කාරිය දැනගෙන අපේ පුංචම්ම විළාප දුන්නු හැටිත් මට යන්තමට වාගෙ සිහියට නැගෙන්නෙ කියාහන්න නොතේරෙන හැඟුම් පොදියක් එක්කලාමයි.

දියඹෙ යන අප්පොච්චිලගෙ ජීවිත වාගෙම වැල්ලෙ මග රකින අපේ ජීවිත ඒ තරමටම අස්තීරයි නොවැ.

ගැටගහගන්න ජීවිත හුරු පුරුදු ලෙසින්

සටනක යෙදෙන ධීවරයින් දියඹෙ ගොසින්

වටකර පහර දී සුළඟක් වියරු ලෙසින්

ගෙට දී කඳුළු ඇත නොපෙනෙන තැනක තොසින්

ඉතින්, මට යාන්තමට මතක ඇති කාලයක පටන්ම අම්ම දියඹ දිහා ඇහැ ගහගෙන ඉන්න ගමන්ම සුදු නෝනලාට සොච්චමකට විකුණන්න බීරළු රේන්ද ගෙතුවා. හ්ම්ම්.. කරුමෙක මහත... අම්මගෙ මහන්සියටවත් වටිනාකමක් උන්දැල දෙන්නෙ නැති හැටියක්..

  • ••••••••••••••••••••••••••••••••••••

හැබෑවටම බීරළු කියන නම අහල තිබුණත් ඒ මොනවද කියල බොහෝ දෙනා නොදන්නවා වෙන්න පිළිවන. ඔන්න ඉතින් මේ බීරළු රේන්ද සහ එහි ඉතිහාසය ගැන විමසා බලන්ට අවසරයි ඕං...

ගාළු ලේස්, බීරළු ලේස්, පෘතුගීසි ලේස් යන නම් වලින් ද ලොව ප්‍රසිද්ධ මෙම නිමැවුම ඈත ඉතිහාසයකට උරුමකම් කියයි. එය පෘතුගීසීන් විසින් මීට වසර 600 කට ගාල්ල අවට ප්‍රදේශයේ හදුන්වා දුන් බවත් ගාළු වරාය මූලික කරගෙන ලොව නන් දෙසට බීරළු රේන්ද සැපයූ ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස ලංකාව කීර්තියක් අත්පත් කරගෙන ඇත.

එදවස පරදෙස් රජයන ලක්දිව

ලැබුණයි බීරළු සියුමැලි දෑතට

ලියවැල් මල් වැල් බීරළු විලසට

ගෙතුනයි කදිමට ගෙත්තම් වෑහෙන

බීරළු රේන්ද ගෙතීමේ කලාව ලක්දිව කර්මාන්තයක් ලෙස ස්ථාපිත වූයේ පෘතුගීසි සමයේ දී ය. දකුණේ වෙරළබඩ ධීවර කර්මාන්තයේ යෙදුණු පවුල්වල කාන්තාවන්ගේ සිත්ගත් ඇඳුමක් වූයේ බීරළු රේන්ද අල්ලා අත් දිගට දමා කපු රෙද්දෙන් මැසූ කබාකුරුත්තුව නම් හැට්ටයයි.

රුහුණු සනුහරෙන් පැවතෙන

නන්වන් මුදු අත් සඟලින

ගෙතුණි බකිනි මල් මවමින

සුදුවන් සුදු ගෙත්තමකින

1580 වර්ෂයෙන් පසු පෘතුගීසීන් ගාල්ල වරාය අල්ලාගත් කල, "කබාකුරුත්තුව” සේම ඒවාට අල්ලන රේන්ද ගෙතීම ද මුහුදුබඩ පෙදෙස්වල ජනප්‍රිය විය. ඉතිහාසගත මූලාශ්‍ර වලට අනුව බීරළු රේන්ද ගෙතීමේ කලාව ලාංකික කාන්තාවන්ට පුරුදු කර ඇත්තේ පෘතුගීසි කාන්තාවන් විසින් ය. පසුව පැමිණි ලන්දේසි කාන්තාවන්ද රේන්ද අල්ලා මැසූ ඇඳුම් ඇඳීමට දැක්වූ කැමැත්ත නිසාම මෙම කලාව තවත් සංවර්ධනය වුණු අතර පසුකාලීනව ඒවා නිර්මාණය කරන ලාංකීය මුහුදුබඩ කාන්තාවන්ට අකැප විලාසිතාවක් බවට ලංදේසි ගැහැණුන් විසින් පත් කළ බවද අතීත මූලාශ්‍ර වල සඳහන් වේ.

රදල පැලැන්තියෙ උදවිය

ඉහළ පැළැස්තරෙ පෙළහර

මතුකර පෙන්වයි කදිමට

බීරළු මවමින් වතකට

‘බීරළු‘හා ‘රේන්ද‘ යන වචන දෙකම පෘතුගීසි භාෂාවෙන් එකතු වූ වචන වේ. රේන්ද ගෙතීම සඳහා භාවිතා කරන උපකරණය හඳුන්වන්නේ රේන්ද කොට්ටය යනුවෙනි. එහි කුඩා බැරලයක් වැනි කැරකැවිය හැකි කොටසක් සවිකර තිබේ. කලින් සැළසුම් කරගන්නා මෝස්තරය සහිත “ඉස්බීසලය” නමින් හැඳින්වෙන සටහන මේ බැරලයේ සවිකර අවශ්‍ය තැන්වලට අල්පෙනෙති සවිකරමින් ඒවායේ නූල් පටලවමින් කාන්තාවෝ අපූරු වියමන් සිදු කරති. අතේ හුරුවෙන් සිදු කරන මේ වියමනේ දී නූල් ගැටගැසූ බීරලු ඒ මේ අතට මාරු කරන අයුරු ද අපූරුය. මේ සඳහා කපු නූල් හෝ අමු නූල් භාවිතා කරයි.

හස්ත කර්මාන්තයක් ලෙස ප්‍රචලිතව පැවැති බීරළු රේන්ද කර්මාන්තයේ එන මෝස්තර රටා රාශියක්ම දැකගන්නට පිළිවන. බකිනි මල්, ලිය වැල්, මල් වැල් යනාදිය ඉන් ප්‍රමුඛස්ථානයක් ගනු ලබයි.

හැබෑවටම මාර්ටින් වික්‍රමසිංහ ගත්කරුවාගේ කළුවර ගෙදර, වැනි නවකතා වලද ගාල්ලේ පැවැති මෙම හස්ත කර්මාන්තය පිළිබඳව ඔබ මීට පෙරද අසා තිබෙන බව නිසැකය.

කෙසේ නමුත් සුන්දර දෝතෙන් නිමැවෙන අලංකාර බීරළු රේන්ද මෙන් සොඳුරු දිවියක් හීනයක්ම වූ මුහුදුබඩ පෙදෙස්වල කාන්තාවන්ගේ දහඩිය කඳුළු වල වටිනාකම බීරළු රේන්දයක්ව සුන්දරව එදා මෙන්ම අදටත් පවතින වග නම් කිව යුතුමය.

නීල නීල සැඩ රළ වැන්නා

දාර දාර වන් කැටයමිනා

තකට තකට හඬ නද දෙමිනා

දිවියම එහෙ මෙහෙ පෙරළෙමිනා


ගිණි ඇඳිරි යාමේ, නේක වර්ණ පැහැගත්, සුමක්කරේ ගෙතීයන ලියවැල්.. කදිමට ඒත්තු ගන්වාවි අපට, දිවියක ඇති කලහම්මාව, කටුකත්වය මෙන්ම; හරස්කඩෙහි සුන්දරත්වය..

Top