ගැමි දිවියෙහි කටුක බව හෙළි කළ පතල් කවිය (597)

post-title

 හෙළ ජනශ්‍රැතියෙහි එන ජනකවි පෝෂණයෙහිලා නිතැතින්ම උපකාර වන්නේ අතීත ගැමි ජනයාගේ අත්දැකීම්ය. වෙහෙස නිවා ගන්නටත්, තනි නොතනියටත්, සොබාදහමේ සුන්දරත්වය කියාපෑමටත් මහඟු පිටුබලයක් ජනකවියෙන් ලැබෙයි. මෙලෙස තම ජීවන අත්දැකීම් ප්‍රකාශනයෙහි ලා ගැමියාට ලැබුණු එක් මගක් වූයේ ඔවුන්ගේ ජීවන වෘත්තියයි. ඒ අතර ගොයම් කවි, පාරු කවි, පැල් කවි, කරත්ත කවි, පතල් කවි ආදිය අතීත ගැමි ජනයාගේ ජීවන වෘත්තීන් හා බැඳි ජනකවිය. මේ ඒ අතරින් මිනිරන් පතල් කර්මාන්තයේ යෙදුණු ගැමියන්ගේ ජීවන අත්දැකීම්වලින් බිඳකි.

 ලක්දිව මිනිරන් කර්මාන්තයේ ඉතිහාසය පිළිබඳව පිරික්සා බැලීමේදී බ්‍රිතාන්‍ය යටත් විජිත සමය වැදගත් වේ. විශේෂයෙන් ම යුරෝපයේ කාර්මික විප්ලවයත් සමග ඇති වූ තාක්ෂණික දියුණුව හේතු කොටගෙන විවිධ කාර්මික යෙදවුම් සඳහා මිනිරන් ප්‍රධාන අමුද්‍රව්‍යක් ලෙසින් භාවිතයට ගැනීම සිදුවි. ඒත් සමඟ බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ ශ්‍රී ලංකාවේ ද මිනිරන් සඳහා පෙර නොපැවැති ඉල්ලුමක් ලැබෙන්නට විය. 1870-1920 දක්වා වූ කාලය මෙරට මිනිරන් කර්මාන්තයේ වඩාත් සමෘද්ධිමත් යුගය ලෙසින් හඳුනාගත හැකිය. මේ අවධිය තුළ මිනිරන් පතල් හා වලවල් තුන්දහසකට අධික ප්‍රමාණයක් දිවයිනේ නිරිතදිග ප්‍රදේශයට වන්නට තැනින් තැන පිහිටා තිබී ඇත. එහෙත් කලින් කලට ආර්ථිකයේ සිදුවන අවපාතයන් හේතු කොටගෙන 1930 පමණ වන විට මිනිරන් පතල් වැසී ගිය ද නැවත 1940 පමණ වන විට එහි වැඩිදියුණු වීමක් දක්නට විය. ඒ අතර බෝගල, කහටගහ, කොලොන්ගහ ආදී පතල් වැදගත් විය. එහෙත් වර්තමානය වන විට මිනිරන් සඳහා ස්ථාවර වෙළෙඳ පොළක් පවත්වාගෙන යාමට දායක වන්නේ බෝගල පතල පමණි.

එසේම අතීත ගැමියාගේ ජීවන වෘත්තීන් අතරින් එකක් ලෙස මිනිරන් පතල් හෑරීම සැලකුවද එය ඉතාමත් වෙහෙසකර කටයුත්තකි. පතල් කර්මාන්තය එකල මෙරට ජනයා අතර වැඩි වශයෙන් ව්‍යාප්ත වීම හේතුකොටගෙන ජන සංස්කෘතියට තවත් එක් ජනකවි විශේෂයක් ලෙසින් පතල් කවි එක් විය. පතල් වෘත්තියෙහි නිරත වන්නෙකුට තම ජීවිතය ගෙවීමට සිදුවන්නේ බාහිර සමාජය හා එක්ව නොවේ. පිපිරුම් හඬ මැද අඳුරු උමං හා දෝනා තුළ ඔවුන්ගේ ජීවිතය ගලා යයි. පතල්කරුවා පතලෙන් පිටතට පැමිණෙන තුරු ඔවුන්ගේ ජීවිතය පිළිබඳ විශ්වාසයක් තැබීමට පවා නොහැකිය. එහෙත් ජීවිතය පවත්වාගෙන යාමට නම් අවදානම නොතකා රැකියාවේ නිරත වීමට අසරණ ගැමියාට සිදුවේ.

 මංමුලා වෙලා මේ රට පසු වෙනවා 

 අයියලා ඉඳන් මට තව දුක් දෙනවා 

 අම්මලා දීපු රන් කිරි සිහි වෙනවා 

 බංගලාමලේ දෝනාවට යනවා

රස්සාවක් සොයා ආවෙමි බෝගල ට 

බැස්සා වලේ බඹ හැත්තෑ දෙකක් ය

 මැස්සෙක් විතරවත් නොපෙනෙයි ගොඩ අය ට 

විශ්වාසයක් නෑ අපි එනතුරු ගොඩ

පතල් කැණීම සැමවිටම වාසනාව ගෙනදෙන කරුණක් නොවේ. එනිසා සෑම කල්හිම මිනිරන් තබා ගැනීම අපහසුය. බොහෝවිට ශ්‍රමය අපතේ යනවා මිස අවසානයේ ඉතිරි වන්නක් නොමැත. එමෙන්ම බොහෝ පතල්කරුවන් පැමිණෙන්නේ දුෂ්කර ප්‍රදේශවල සිටය. එලෙස පැමිණෙන්නේද ඉල්ලමක් පෑදේ යැයි සිතෙහි රඳවාගෙනය. එහෙත් තම අපේක්ෂා ඉටු නොවූ විට සිතෙහි හටගන්නා දුක ඔවුන් කවියට නඟන්නේ මේ අයුරිනි.

රහතුන් නැතිව අපි කාටද දන් දෙන්නේ

මහතුන් නැතිව කොහොමද පඩි බේරෙන්නේ

 ගින්දර නැතිව කොහොමද සීතලේ එන්නේ

 මිනිරන් නැතිව කොහොමද බෝගල ඉන්නේ

පල්ල පාඩු නැති මදුරාගොඩට වෙලා

ගොල්ල සැවොම නෑදෑයෝ එකතු වෙලා

කොන්ද කෙවුණි දෝනාවල ගල් ඇදලා

යන්න යමවු මදුරාගොඩ අතහැරලා

 ඇතැම් පතල්කරුවෝ පතල තමන්ට වාසනාව ගෙනදෙන්නක් ලෙසින් ඒ කෙරෙහි ප්‍රශංසාවෙන් යුක්තව කවි ගායනා කළහ.

 ඉහින වලට දබරය වාසනාවන් 

 දඹර සඳට කඹ පොට වාසනාවන් 

 මහත්මයට ඉල්ලම වාසනාවන්

 දුප්පත් අපට බෝගල වාසනාවන් 

 පතල සොඳයි මීගොඩ වැඩ කරන්නට 

 කඩේ සොඳයි තේපැන් බී සිටින්නට

 වැඩේ සොඳයි දෝනාවේ බලන්නට 

 කැඩෙයි මෙදා මිනිරන් ඉල්ලම සොඳට



 පතල්කරුවන් බොහෝ ජීවන ප්‍රශ්නවලින් පීඩිත පිරිස්‍ ය. ඔවුන්ගේ ජීවිත වල සතුටට වඩා ඇත්තේ දුකය. එයට බෙහෙවින් හේතු වන්නේ දුප්පත්කමයි. මෙවැනි අවදානම් සහගත රැකියාවක යෙදීමට වුවද සිදුවන්නේ ජීවත්වීමට වෙනත් ක්‍රමයක් නොමැති නිසාය. එනිසා පතල්කරුවන්ගේ සමාජ ජීවිතය පිළිබඳව ද පතල් කවිවලින් කියවෙන්නේ ඒ අත්දැකීම් හේතු කොටගෙනය.

ගමෙන් පිටත් වී එන දා මීගොඩට 

ඔවුන් දෙපස අල්ලා වැඳ ගියේ යන්ට 

උතුම් මුනිදුගේ තුන්සරණේ බලයට 

සමන් දෙවිදුනේ පුතු එවනුය ගමට

 ඉල්ලමක් පෑදේ යැයි දහසක් බලාපොරොත්තු සහිතව පතල් වැඩෙහි නිරත වන පතල්කරුවාගේ ජීවින අභිලාෂයන්ට බොහෝය. ඒවා ඉටු වුවද ඉටු නොවූවද ඔවුන් නිරන්තරයෙන් තම ජීවන අභිලාෂයන් සිහියට නඟන්නේ සතුටු සිතකිනි.

මහත්තයෝ දුප්පත්කම බලනව ද 

අතේ තියෙන පොඩි කරගැට පෙනෙනව ද 

පොතේ තියෙන පඩි ගණනක් පෙනෙනව ද 

ගමේ යන්ඩ ඕඩරයක් ලැබෙනව

කෙතරම් දුෂ්කර, අවදානම් සහගත රැකියාවක් වුවද දුප්පත් ජනයාට වුවමනා වන්නේ යම් මුදලක් උපයා ගැනීමටය. ඒ තම අඹු දරුවන් ජීවත් කරවීමටය. ඔවුන් යම් මුදලක් ලබා ගෙන ගමට යාමට බලා සිටින්නේ එනිසාය. මේ අයුරින් මිනිරන් පතල් කර්මාන්තයෙහි අති දුෂ්කර වූ අත්දැකීම් අතීත ගැමියන් විසින් කවියට නැඟීම අපූරුය.

Top