රජුට නොමිලේ ම සේවය සැපයූ 'රාජකාරිය' (645)

post-title

යුරෝපීයයන්ගේ පැමිණීමට පෙරාතුව ලක්දිව රාජ්‍ය පාලන තුළ ක්‍රියාවලිය තුළ දැකගත හැකි වූ එක් වැදගත් අංගයක් වූයේ රාජකාරි ක්‍රමයයි. මෙරට පුරාතන රජ දවස සමාන්‍ය ජනයා නොමිලේ රජු වෙනුවෙන් යම් සේවයක් සැපයිය යුතු විය. රජතුමාට කරන ලද සේවය යන සරල අර්ථය ඇති එම කාර්යය පිළිබඳව රැල්ෆ් පීරිස් දක්වන අදහස වන්නේ "යම්කිසි පුද්ගලයෙකු විසින් හෝ ඉඩමක් උදෙසා හෝ ඉටු කළ යුතු පෞද්ගලික සේවය හෝ මුදලකින් හෝ ද්‍රව්‍යයකින් හෝ ගෙවිය යුතු නිස්ස ය." යනුවෙනි." ඒ වගේම "රාජකාරිය දේව කාරියටත් වඩා ලොකුය" යන්න අතීතයේ සිටම සිංහල ගැමියන් අතර පැවති කියමනකි. පැහැර හැරීමකින් තොරව රජු වෙනුවෙන් ඉටු කළ යුතු රාජකාරිය පිළිබඳ දැක්වීම පිණිස මෙම යෙදුම භාවිත කරන්නට ඇතැයිද සිතිය හැකිය.

 රැල්ෆ් පීරිස් මහතාගේ අදහස වන්නේ රාජකාරිය යන්නෙන් තෙවැදෑරුම් සේවයක් අදහස් කරන බවයි.එනම්, 

 ▪ 'කත්-හාල් රාජකාරිය'යනුවෙන් රජතුමාට ගෙවිය යුතු බද්ද

 ▪ යුද්ධ අවස්ථාවලදී හා ජාතික හදිසි අවස්ථාවල දී ඉටු කළ යුතු විශේෂ පෞද්ගලික රාජකාරිය

 ▪ඉඩම් භුක්තිය සලකාගෙන රජතුමාට සහ/හෝ ඔහු ගේ නියෝජිතයකුට පෞද්ගලික රාජකාරියෙන් සහ/හෝ මුදලින් හෝ ද්‍රව්‍යකින් හෝ ගෙවන බද්ද යි.

 මෙහිදී පැහැදිලි වන ප්‍රධාන කරුණක් වන්නේ රාජකාරිය සමග ඉඩම නමැති අංගය එකිනෙකට බද්ධ වී පැවති බවයි. පුරාතන ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනය බොහෝ දුරට රඳා පැවතුනේ සේවා ක්‍රමය මතය. එනිසාම රාජ්‍යයේ ඉඩම් භුක්ති විඳින පිරිස් රාජකාරිය නම් වූ පෞද්ගලික සේවය සැපයිය යුතු විය. 

භූමියේ අයිතිය රජු සතුය යන අදහස අතීතයේ සිට ම ලක් වැසියන් අතර පැවතුණි. රජු යටතේ ඉඩම් පැවති නිසා ම සාමාන්‍ය ජනයාගෙන් මුදලට නොව නොමිලේ සේවාවක් ලබා ගැනීම පිණිස ඉඩම් බද්දට දීම සිදු විය. රාජ්‍යය තුළ පැවති ඉඩම්වලින් වැඩි කොටසක් භුක්ති විඳින ලද්දේ මෙම පදනම මතය. ඒ අනුව ඉඩම්වල අයිතිය හිමි වීමේදී පුද්ගල අයිතියට වඩා රාජකාරී අයිතිය අනුව හිමි වීමත් පුද්ගලයාට වඩා රාජකාරිය වැදගත් කොට සැලකීමත් මේ ක්‍රමය තුළ හඳුනාගත හැකි වූ සුවිශේෂී කරුණකි. ඉඩම් විකිණීම්, තෑගි දීම් වැනි අවස්ථාවලදී පවා රාජකාරිය නොවෙනස්ව ක්‍රියාත්මක වූ අතර ඉඩම් සම්බන්ධ රාජකාරියෙන් නිදහස් වූයේ විහාර දේවාලගම් ඉඩම් සම්බන්ධ 'නිලකාරයන්' පමණි. 

මෙලෙස රාජ්‍යයේ බොහෝ ජනයා රාජකාරී ක්‍රමයට බැඳී සිටීම වැඩවසම් රාමුවකට කොටු වී සිටීමක් බවද කිව හැකිය. මෙම වැඩවසම් ක්‍රමයට කොටු වූ රාජකාරිය යටතේ නිදහසක් හිමි නොවීය. කැමති තැනක පදිංචි වීමට, කැමති රැකියාවක් තෝරා ගැනීමට අවස්ථාව එමගින් හිමි නොවීය. එහෙත් රාජකාරී ක්‍රමය යටතේ මෙරට ස්වයංපෝෂිත ආර්ථිකයක් නිර්මාණය වීමක සිදු වූ බව නම් කිවමනාය. 

එහෙත් යටත් විජිතකරණ ක්‍රියාවලිය තුළ බ්‍රිතාන්‍යයන්ගේ ආගමනයත් සමඟ රාජකාරී ක්‍රමය සම්බන්ධයෙන් පැවති තත්ත්වය වෙනස් වන්නට විය. බ්‍රිතාන්‍යයන්ට අවශ්‍ය වූයේ මෙරට ධනේශ්වර ආර්ථිකයකට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමටයි. එහෙත් රාජකාරී ක්‍රමය හරහා ශ්‍රම සංචලතාවයට බාධා පැවති නිසා ම රාජාකාරී ක්‍රමය අහෝසි කිරීමේ අවශ්‍යතාවය මතු විය. ඒ අනුව එතෙක් කල් සාම්ප්‍රදායික ලෙස පවත්වාගෙන ආ රාජකාරී ක්‍රමය අහෝසි කිරීමට මූලික පියවර වර්ෂ 1833 දී මෙරටට ගෙන එන කෝල්බෲක් - කැමරන් ප්‍රතිසංස්කරණය හරහා ගනු ලැබීය.

Top