කොළඹ
අඳුරු වලා පිරි, රටාවක් නොමැති පාලු කොළඹ අහස යට ,වස්සානයේ මද පවනක් පේන තෙක් මානයකවත් නොමැත. කිරි කෝඩු ලියැදි දළුලන ගම් පියසෙන් නික්මුණු දා පටන්ම මා කටොර ගෙන්දගම් පොළොවට ගොදුරක්ව බිළි නොවන්නට වග බලාගත්තේම ජනශ්‍රැතියේ පෝෂණය නිසාවෙන් වග නම් නොරහසකි. කටෝර මහ පොළොවේත් මිණි කැට දුටුවේ එනිසාය. ඊට, මා කොළඹ නැවතී සිටි දේවිකා නැන්දාගේ පවුලේ විස්තෘත පවුල් පරිසරයද මහත් වූ රුකුලක් ගෙනදුන් වග නොකියාම බැරිය.දිනක් හිරු අවරට යන යාමයක අයි ඩී එච් හංදියේ සිට මා නැවතී සිටි දේවිකා නැන්දණියගේ නිවසට යන අතරතුරේදී "කොළඹ ට නම් බැඳුණු අයුරු කෙසේදැයි කුහුලක්" සිත තුළ ජනිත වන්නට විය. එදින රාත්‍රියේ කඹුරුගමුව සීයාගෙන් අසා දැනගත් කරුණු මෙසේය.
අඹ යනු ලංකාවේ දැනට වසර 2500 කටත් එපිට ලාංකීය ඉතිහාසයේ පවා සදහන් පළතුරකි. ලංකාවේ අඹ විශේෂ ගණනාවක් තිබේ. මී අඹ, ඇටඹ,ගිරා අඹ ලෙස ඒවායේ ස්වභාවය අනුව වර්ග කර හඳුනාගැනීමට පුරාණ ජනතාව පෙළඹී ඇත.එමෙන්ම ඉතා විශාල ප්‍රමාණයේ ගෙඩි හට නොගත් "කොළ අඹ” නමින් හදුන්වන අඹ ගස් බහුලව පිහිටීම හේතුවෙන් වර්තමාන කොළඹ ප්‍රදේශය "කොළ අඹ ගස් සහිත ප්‍රදේශය” වී කාලයත් සමග "කොළ අඹ” නමින්ද, ක්‍රමයෙන් කට වහර සහ උච්චාරනයේ පහසුව තකා වෙනස්වී "කොළඹ" නමින් හඳුන්වන්නට යෙදුණු බවද ජනශ්‍රැති මූලාශ්‍ර වල සඳහන් වේ.
එමෙන්ම අරාබිකරයෙන් පැමිණි මුස්ලිම් වෙළෙන්දෝ කොළඹ ප්‍රදේශය "ජාලින් තොට” ලෙස නම් කර තිබූ බවද ජනශ්‍රැතියේ එන කියමනකි.කොළඹ නගරය ආශ්‍රිතව කොළොම් ඔය නමින් වූ ඇලක්ද මුහුදට ගලාගිය බවද ඇතැම් පැරැණ්නෝ පවසති. පසු කාලීනව කොළඹ, කොළොම්තොට යනුවෙන් ද හදුන්වන්නට පෙළඹුනේ ඒ අනුව බව සඳහන් කළ යුතුමය.