ගංකරේ ගොයියන්ගේ බඩ වියත රැක දෙන හේන් කෙරුවාව (330)

post-title

ගම්මැද්දට ඉරගල මෝදුවෙන්ටත් මත්තෙන් ඇසි පියන් ඇහැරවා නිදි පැදුරේම ඈඳිගෙන උන්නු මං, හදිසියේම ඔබ මොබ බැලුවේ අම්මාගේ හාවක් හූවක් ඇසෙන්නට නොතිබුණු බැවිනි. එහෙයින් විගසම කුස්සිය දෙසට අඩි කැඩූ මා හට දැකගන්නට ලැබුණේ හංදියේ තේ කඩයට කඩයප්පන් සාදන අම්මාගේ කලබලකාරී මුවය. 

"මයෙ පුතේ, උඹට ඇහැකිද අද පොඩි රාළ අයියණ්ඩිගෙ හේනට ගොහින් එන්න. අප්පොච්චීට රෑ මැදියමක හිටං සහළෝල උණ. ඕං ඔය අත් බේතකුත් කළා නොවැ. වෙද ගෙදර දිහාට යන්න වෙයි මයෙ හිතේ."

අම්මාගේ මුවින් පිටවුණු ආයාචනාත්මක වචන පොදියට මා බොහෝ සේ ඇලුම් කළ ද අප්පොච්චීගේ අසනීප තත්ත්වය නිසාවෙන් මගේ හද සොවින් සසල විය. විගසම අප්පොච්චී නිදා හුන් පිළෙහි බූරු ඇඳ වෙත ගිය මා , හේන් කුඹුරු මැදැ දහදිය හෙලීම නිසාම වයසටත් වඩා මුහුකුරා ගිය මුවෙන් යුත් අප්පොච්චී දෙස බලා යළිත් අම්මා සිටින ඉසව්වට පියනැගූවෙමි. විගසම නිවී ගිය අඟුරු කැබැල්ලක් ද ගෙන දත කට මදිමින් මා දෙකේ ඇළ වෙත පියනැගුවේ පොඩි රාළ මාමාගේ හේනට ගොස් උදව් පදව් කිරීමට පමණක් නොව, නොදන්නා වගතුග බොහොමයක් අසා දැනගැනීමේ අටියෙනි.

මහ වැවෙන් ගලා එන දෙකේ ඇළෙහි දියවර ට ඉරගල වැටිලා තියන අපූරුව. හරියට ඉර ඇළට වැටිල නැටුමක් නටනවා වාගෙයි. ඒ විතරක්ද? කලබලයකින් වාගෙ ඇළ දෙවුර අද්දර එහෙ මෙහෙ දුවන තිත්ත පැටව්, ගප්පි පැටව්න්ට පාට වැටිලා හරියට මගුලකට යන්ට ලක ලෑස්ති වෙලා වාගෙයි. අඟුරු කැබැල්ලකින් දත මදින ගමන් මමත් අර හරියටම ඉර ඇළට වැටිල තිබුණු තැනට "ජබුං" හඬ නංවා ගැසූ ගල් කැටෙන් ඉර කෑලි කෑලි වලට විසිරිලා ගිය අපූරුව. 

"සොබාදහමත් හරියට සිත්තමක් වාගෙයි."

ඉතින් ඕං ඔහොම හිත හිතාම පැල් කොටේට ලහි ලහියේ දුව විත් අම්මා සෑදූ ආප්පයක් කා කහට උගුරක් බඩට දාගත් මා, කැත්තක්ද අතැතිව පොඩි රාළ අයියණ්ඩිගෙ හේන ඉහව්වට දිව්වේ නොඉවසිල්ලෙනි.

මා එහි යන විටත් ගංකරේ පිරිමි ඇත්තන් වයිතාලෙන්ම හේං යායට ගොඩ වෙලා වන බූටෑවල්, වල්ගොන්නවල් කපන්ටයි සූදානම.ඕං ඔහොම "පඳුරු බූටෑවල් එළි පෙහෙළි කළායින් පස්සෙන් පහුව හේං ගෙවැදීමෙදි ගජරාමෙට වැඩ තියෙනවායි" එක් දොහක් අප්පච්චි කියු සැටි මාගේ මතකයට නැගුණේ ඉබේටමය.

ආං පොඩි රාළ අයියණ්ඩි...

" ආ බාලයා... උඹ මොකෑ සුනංගු උනේ? කොයි අප්පොච්චි?

"අප්පොච්චිට සහළෝල උණ අයියණ්ඩි" කියාගෙනම මමත් රැගෙන ආ කැත්තෙන් එක් කොණක හිටන් වල් පඳුරු හෙළි පෙහෙළි කරන්ට වූයෙමි.

හැබෑටම මේ හේං යායවල් ගැන වග තුග නිසියාකාරෙංම දැනගන්ට මා තුළ වූයේ දැඩි කුහුලකි.

පුරාණ ගැමි ජනතාව ගොඩ ගොවිතැන් කළ වගා භූමිය "හේන” යි. මඩ ගොවිතැන් කළ වගා භූමිය "කුඹුර" යි.ජනශ්‍රැතියේ එන පරිදි ලංකාවේ පුරාණ ම ගොවිතැන් ක්‍රමය වන්නේ ද හේන් වගාව යි.

පුරාණයේ හේන් ගොවිතැන සිදු වූයේ, විදානේ උන්දැගේ අනුදැනුම යටතේ යි. මේ නිසා ම යායේ ඇත්තෝ කවුරුත් "එක කතාවට" හේන් වපුරන්ට මනාපය. එනම්, කල් ඇති ව කතිකා කරගෙන වගා කළ යුතු හේන් වර්ගය හා බිම් තීරු බෙදා ගැනීමයි. මේ නිසා විදානේ උන්දැගේ මූලිකත්වයෙන් එක කතාවට - එක හුවට හේන් වපුරන්න පුරුදු පුහුණු වුණු පුරාණ සමතයකි.

පුරාණ සම්මතයන්ට අනුව වගා කරන හේන් වර්ග හතරක් තිබේ. එයින් මූලිකත්වය හිමි වී තිබෙන්නේ නවදැලි හේන් වගාවට යි. නවදැලි හේන කියා කියන්නේ අලුතින් කැලෑ කපා ගිනි ලා කුලුඳුල් වගා කරන හේන්වලට යි. මීට පෙර එම භූමියේ වගාකොට නොමැති බැවින් ඉතා සරුවට බෝග ජාති වැවෙන බව සැබෑවකි.එහෙයින් නවදැලි හේන් වගාවට ගොවීන්ගේ ඇත්තේ වැඩි මනාපයකි. නමුත්, දිගින් දිගට ම අලුත් කැලෑ කපා කොටා ගිනිලමින් නවදැලි හේන් පමණක් වගා කිරීම සිදුකරන්නෙ නැත.මන්දයත්, එවිට කැලෑ බිම් වන පෙට්ජ් විනාශ වී යන නිසාවෙනි. එයින් සිදු වන විපත අත්දැකීමෙන් පුරාණ ගොවීන් හඳුනාගෙන සිටියහ.

එමනිසා නවදැලි හේවගාවට හැම කන්නයක ම ඉඩ ලැබෙන්නේ නැත. පුරාණයේ නවදැලි හේන් කොටන විට එහි මූලිකත්වය හිමි වන්නේ ගංකරේ අලුතින් විවාපත් තරුණ ගොවීන්ට යි. අලුතින් විවාපත් වෙලා හා හා පුරා කියා හේන් ගොවිතැනට පිළිපන් විට නවදැලි හේනක් කොටා හේන් වගා කටයුතු පටන් නො ගතහොත් එය අසුබ ලකුණක් හැටියට සම්මතයක් ගොඩනැගී තෙබෙන්නේය. මන්දයත් නවදැලි හේනේ අස්වැන්න සාරය.එම සශ්‍රීකත්වය නැවුම්ව ඇරඹි යුග දිවියට බෙහෙවින් වැදගත්ය. නවදැලි හේන් අස්වනු කිරී වැදෙන සමය වන විට අලුතින් විවාපත් අඹුව ගැබ්බර වෙයි. එවිට අලුත්, එළවළු පලතුරු පමණක් නො වෙයි නැවුම් කටුසර බෝග ආහාරයට ගැනීමේ පහසු ව ඇති වන බව පුරාණ මතයකි.

මෙලෙස දෙතුන් කන්නක් නවදැලි හේන් වගා කරන විට අස්වැන්න නිසරු වීම සාමාන්‍ය කරුණක්.එවිට නව දැලි හේනේ වගාව අත්හැර දමනවා. මේ ආකාරයෙන් අත් හැර දැමු හේන් යායේ ආයෙමත් වතාවක් කැලෑ ගහ කොළ හැලීමට පටන් ගන්නවා. එහෙම වැඩුණු මිනිසකුගේ අත් දඬුවමක් තරමට ගස් විශාල වන විට යළිත් එම ගස් කොළං කපා පුලුස්සා වගා කටයුතු කිරීමට එම භූමිය තෝරා ගන්නවා. මේ ආකාරයෙන් අත් දඬුවක් තරම් විශාල ගස් කපා ගිනිලා ගන්නා හේන්වලට කියන්නේ අන්දඩුවා හේන් කියලා යි. මේ අන්දඩුවා හේන්වල එළවළු ජාති වගේ ම බව බෝගත් සරුවට වැවෙනවා. ඒත්, දෙකකට වඩා වගා කිරීමට අපහසු යි, පස නිසරු වෙනවා.

මූකලන් හේන් වගාවත් සරුසාරහේන් ගොවිතැන් ක්‍රමයක් බවට ප්‍රකටය.මූකලන් වනාහි සාමාන්‍ය ප්‍රමාණයේ ගස් තිබෙන වන රොදට යි. මෙහි රූස්ස ගස් ඉතිරි කොට අනෙක් කුඩා ගස් කපා පුලුස්සා ගැනීමෙන් මූකලන් හේනට බිම සකසා ගැනීම සිදුවෙයි.මෙහිදී රූස්ස ගස් කපා බිම හෙළා හේන් ගොවිතැන් කිරීමට පුරාණ ගොවීන් මනාප වන්නෙ නැත.හේන් යායේ යෝධ ගස් තිබෙන ඒවා ඒ ආකාරයෙන් ම තියෙන්නට හරිනවා. පහතට නැමී තිබෙන අතු පාහිනවා. එවිට වගා භූමියට වදුල වැටෙන් නෑ. පරම්පරා ගණනක පටන් පවතින මහා සද්දන්න ගස්වලට පුරාණ ඇන්තන් කියන්නේ වෘක්ෂ දේවතාවන් කියලා.වෘක්ෂ දේවතාවන් බිම හෙළන විට ඉක්මනින් ම හේන් බිම පුරන් වෙනවා. එහෙම වුණොත් පරම්පරා කීපයක් පහසුවෙන් හේන් වගා කිරීමට තිබෙන බිම් කට්ටි බලා මුඩු ඉඩම් බවට පත්විය හැකි යි. එ බඳු විනාශයක් කැමැත්තෙන් උදාකර ගැනීමට ගංකරේ ඇත්තෝ කවුරුවත් මනාප වන්නෙ නැහැ.එමෙන්ම විදානේ උදෑ ඊට ඉඩ දෙනෙත් නෑ.

ඇගේ පතේ සවිශක්තිය තිබෙන කොයි කවුරුත් එකතු පහදු වී නවදැලි හේනක්, අන්දඬුවා හෙනක් නැතිනම් මූකලන් හේනක් කොටන අතරේ වයෝවෘද්ධ ඇත්තන් ඒ වගේ ම රෝග උපද්‍රවයන්ට ගොදුරු වී ඔත්පළ වූ අය වැඩි මනාප හේන් කනත්තක් කොටාගෙන වගා කිරීමට යි. හේන් කනත්තක් කියා අදහස් කරනුයේ මීට ඉහත වගා කළ හේනක් අත්හැර දැමීමෙන් පසු ව කන්නක් හෝ දෙකක් හෝ ඇවෑමෙන් බූටෑවන්ගෙන් පිරී තිබෙන අවස්ථාවක එම ලඳු බූටෑවල් කපා කොටා වගා කරන අවස්ථාවට යි. විශේෂයෙන් හේන් කනන්ත ඒ තරම් සාරවත් එකක් නො වෙයි. එය යාන්තමට ගැට ගහගෙන එදිනෙදාට අවශ්‍ය එළවළු ජාති කීපයක්, වවා ගැනීමට යොදා ගන්නා තාවකාලික ක්‍රමයකි.

ඉහතින් පහදා දුන්නු ආකාරයට කුමන හෝ ක්‍රමයකට හේනක් වගා කිරීමට නම් විදානේ සමඟ කතිකා කරගත යුතු යි. එ මෙන් ම ගංකරයට සීමා වී තිබෙන කැලෑ මායිමෙන් පිට පැන හේන් කෙටීමත් තහංචි යි.

එක කතාවට එක හුවට වගා කළ යුතු හේන් වර්ගය තීන්දු කර ගත්තායින් පසු ව, විදානේ උන්දෑ හේන් බිම් තෝරා දීම සිදු කරනවා. එය ද පුරාණ සම්මතයන් ගණනාවක් අනුව සිදු කර ඇති බව පැහැදිලි වෙයි. හේන් බිම තෝරා ගැනීමේ දී පිහිටි පොළොවේ හැඩ අනුව මුල්කැට ගේන්නක් වපුරනවා ද නැති නම් ඉරවැලි හේනක් වපුරනවා දැ යි විදානේ උදෑ තීන්දු කරනවා. මුල්කැට ගේන්න කියා කියන්නේ යායේ ගොවීන් සියලු දෙනා ම එක මුල් කැටයක් වටේට සිටින සේ සමාන බිම් තීරූ තෝරාගෙන හේන් යාය වට රවුමට පොදු දඬුවැටක් තනා ඇතුළතින් ඉනි සිටුවා වගා බිම් කට්ටි වෙන් කරගෙන හේන් වැපිරීමටයි. මෙහි දී මුල් කැටේ සදහා විශාල ගසක් නැති නම් කට්ටි කණුවක් හිටුවා ගන්නවා. එම මුල් කැටේ සිට යායේ ගොවීන් සියලු දෙනා අතර සමාන බිම් කට්ටි වෙන් කර දෙනවා.

ඉරවැලි හේන් ක්‍රමය අනුව බිම් කට්ටි වෙන් කරන්නේ ඉරවැලි හෙවත් කොටස් එකින් එක පහළට සිටින අයුරිනු යි.

බොහෝ විට ඉරවැලි හේන් යාය දිගැති හැඩයකින් යුක්ත යි. වෙනසකට තිබෙන්නේ එක් බිම් කට්ටි හිමිකරුවකු පැති දෙකකින් දඬුවැට තැනීමට හා එය රැකවල් කිර්මට බැදී සිටීම යි. හේන් යාය ඇතුළත ඉරවැලි වෙන්කර ඇත්තේ කුඩා ඉනිවැටක් තැනීමෙනි.

මෙ වැනි නිසරු බිම් සශ්‍රීක වන තුරු හේන් සඳහා තෝරා නො ගැනේ.පිහිටි පොළොවේ හැඩ අනුව හේන් බිම් තෝරා ගැනීමේ දී විදානේ විමසා බලන කාරණ කීපයක් තිබෙනවා. ඒ අතර පොළොවේ පිහිටීම ඉතා වැදගත්. හුඹස් සහිත බිමක්, කඳු ගැටයක් හෝ ගල්කුළුවලින් ගහන පොළොවක් සේ ම වදුලක් ද නො විය යුතු යි. වගාවට පහසු වන සේ තැනිතලා පොළොවක් තෝරා ගන්නවා. එ මෙන් ම හේන් බිම් යාය අද්දරින් උල්පතක්, දොළපාරක් හෝ ඇළ මාවතක් හෝ තිබිය යුතු යි. යම් විටක බවබෝගවලට වතුර දැමීමට සිදු වුවහොත් පහසුවෙන් දියවර ලබා ගැනීමට හැකිවිය යුතුය.එහෙත්, ගංකරේ වැවට දියවර ගලාගෙන යන ඇළ මඟක් හෝ දිය පාරක් නම් එ බඳු පෝෂණ කලාපයන් හේන් වගාවට තෝරා ගන්නේ නැත.

බිම් කට්ටි තෝරා දීමේ දී තවත් පිළිවෙත් රැසක් විදානේ අනුගමනය කරනවා. ඒ නම්, එක පවුලකට එක හේන් කට්ටිය යි. මොන ම ආකාරයකටවත් පවුලේ සාමාජිකයන් අඩු-වැඩි වුණා කියා හේන් දෙකක් තුනක් කෙටීම තහංචි යි.පවුලේ උදවිය අතර නොහොඳ නෝක්කාඩුකම් තිබුණා ය කියා වෙන-වෙන ම හේන් කටි කෙටීමේ සිරිතක් නෑ. නොහොඳ නෝක්කාඩුකම් හිත යට තියාගෙන එකා වගේ කවුරුත් එකට වැටිලා හේන් යායේ වැඩ කරනවා. මේ නිසා මුල්කැට හේන් වගාවේ දී ගංකරේ ගොවියන් සියලු දෙනා සමඟ කතිකා කරගෙන සමාන බිම් කට්ටි බෙදා ගන්නවා. ඒමෙන්ම ඉරවැලි හේනේදීත්, විදානේ බඹයක් දිගට රිටක් කපා ගන්නවා. එයින් සමාන දුරක් දිගට ද ඒ හා සමාන දුරක් පළල අතට ද බෙදා දෙනවා. ඊට පසු විරසක වෙලා තව-තවත් තමුන්ගේ බිම් කට්ටි පළල් කර ගැනීමට ගංකරේ ගොවියන් කාටවත් ම බෑ. යම් විටක පවුලේ සාමාජික-සාමාජිකාවන් දහ පහළොවක් ඉන්නවා කියා හේන් බිම් කට්ටිය විශාල කර ගැනීමට බලහත්කාරයෙන් කැලෑව කපනවා නම් එවිට විදාන්නේ උදෑ අණබෝල් බඳිනවා. එම අණබෝලට පිටින් කාටවත් කැලෑ එළිකරන්න බෑ. එය පුරාණ සමතයක්.

එක කතාවට එක හුවට කැලෑරොදෙන් බිම් කට්ටියක් තෝරා ගෙන විදානේ ගේ ඇල්ම බැල්ම යටතේ හේන්යායක් වපුරන්ට ගංකරේ ගොවියෝ සූදානම් වුණත්, ආවාට ගියාට කැලෑ එළි කරන්න බැහැ. ඒකටත් පුරාණේ පටන් පැවැත එන සමතයන් තීන්දු වෙලා තිබෙනවා. ඒ සම්මතයන්ට අනුව හේන් ඇල්ලීමට ඒ කියන්නේ හේන් එළපෙහෙළි කිර්මට සුබ දවසක් තෝරාගත යුතු යි. කෙම්මුර දවස්වල හේන් ඇල්ලීම අකැප යි. ඔය ආකාරයෙන් සුබ දවසක් තෝරාගෙන හේන් අල්ලන විට හාහාපුරා කියා වක්කැති පාර ගහන්නේ ගංකරේ අත් ගුණය තිබෙන ගොවියෙක්. එයත් ආවාට ගියාට කරන්න පුළුවන් රාජකාරියක් නෙමේ. හේන් යාය අල්ලන්නා නැතිනම් මුල පුරන්නා "සබ්බපාපස්ස” ගාථාව කියලා දෙවියන්ට පිං දීලා ගම්බාර දෙවියන්ට බාරහාර වෙලා තමයි වක්කාති පාර පඳුරකට ගහන්නේ.

ඉතින් wachana.lk "ජනදිවි වතගොත" සමගින් දිගහැරුණු අතීතයේ පටන්ම ප්‍රකට මෙම හේන් වගාව පිළිබඳ වගතුග රැගෙන මීළඟ සතියේදීත් හමුවෙමු.

Top