දුකක් නැතිව නිවන් දකින් පිංවත් අපෙ අම්මා (729)

post-title

දස මාසේ උරේ ගත්වා

පෝසේ සිවුවුද්ධි කාරණං

ආයුධීගං වස්ස සතං

මාතු පාදං නමාමහං

"අම්මා" නුඹේ අම්මා කොහොම කෙනෙක්ද, ඇය කොයිතරම් නුඹට ආදරය සෙනෙහස පරිපූර්ණ කරනවද කෙනෙකු ප්‍රශ්න කලහොත් නුඹ ලබා දෙන පිලිතුර කුමක් වේවි ද..ඔව් නුඹ කියාවි ඇය ගෙදර බුදුන් ලෙස. ඒ සෙනෙහස පිරුණු ආදරය මහා සාගරයේ ජල කද තරම් ලෙස. ඔව් නිවැරදියි. ඒ ප්‍රේමයට නමක් තැබිය නොහැකි වන්නේ ඒ නිසාම පමණි. දස මසක් කුසේ දරාගෙන ලේ කිරට හැරවෙන සෙනෙහසට නුඹට මට නමක් තැබිය හැකිනම් ඒ "අම්මා" යි. 

වෙස්සන්තර ජාතකයේ එන අම්මා ප්‍රබල සාහිත්‍යය සාම්ප්‍රදායේ එන ප්‍රබල සංකේතයක් ලෙස හැදින්වීමට පුලුවන. මෙම ජාතක කාව්‍ය ලියවුණේ මහනුවර යුගයේ දී බව පැවසෙනවා. ඒ කෙසේ වෙතත් වෙස්සන්තර ලියූ කතුවරයෙකු නැත. මෙහි යශෝධරා හා සිදුහත් කුමරු පාරමිතා පිරූ එක් භවයක් පිළිබඳව කාව්‍ය නිර්මාණය වී ඇත. මෙහි එන "අම්මා" මන්ද්‍රී දේවියගේ සංකේතාත්මක කාව්‍ය තුලින් පිළිබිඹු වන්නේ මවක් සතු වූ දාරක සෙනේහය සහ නුඹෙත් මගෙත් මවක සතු වූ උත්තරීතර මාතෘ ප්‍රේමය යි. ජන කවි ආශ්‍රයෙන් ඉතා සරල ගැමි බස් වහරක් යොදා ගනිමින් මෙම කාව්‍ය නිර්මාණය වී ඇත්තේ නුඹෙත් මගෙත් රසවින්දනය උදෙසාය.

ගසක දොඩම් මදියි කියා කෑ දැයි මගෙ අම්මා

අහසෙ තරුත් මදියි කියා පිලිලෑදැයි අම්මා

මුහුදෙ දියත් මදියි සිතා රස කිරි දුන් අම්මා

සතර අපායේ නොවැටී නිවන් දකින් අම්මා

විවිධ ගෞරවනීය සමාන පද රැසකින් හදුන්වන අම්මා ප්‍රේමයේ මූලික අඩිතාලම සපයන්නීය. දරුවෙකු දසමසක් කුස තුල හොවාගෙන ලේ කිරි කරමින් තම උනුසුම් ඇකයේ හොවා නලවන්නේ ඇගේ දාරක සෙනෙහෙවන්තකම උපයා පූර්ණ කරමිනි. කොපමණ දුක් කම්කටොලු පැමිණිය ද ඇය ඒ සියල්ල පර්වතයක් මෙන් නොසැලී අසා දරා සිටිනුයේ ඇගේ දරුවන් වෙතම පමණක් වූ අප්‍රහිත ආදරය හේතුවෙනි. මෙහි අම්මා කෑමට කොපමණ ද ඇදීමට වස්ත්‍ර කොපමණද මුහුදේ දිය කොපමණ තිබුණ ද ඒ සියල්ල මදියි සිතා තමන්ට කිරි දුන් බව පවසනවා. රජමැදුරු, සිටු මැදුරු, සිට දුප්පත් මැටි පැල් කොටයේ පවා ඇත්තේ එකම මවකි. ඇය සිංහල, දමිල, මුස්ලිම් කියා වෙනසක් නැත. නුඹ මා වෙනුවෙන් ඇයගේ කිරි එරෙන බව කවියා පවසයි.

වදා වඩා රස කිරි දී ඇති කල දැයි පෙමිනේ

අඬා විඩා හැර ඵලවැල ගෙනදුන් දැයි නිතිනේ

වඩා මේ අප වංකගිරිය ආ අම්මා සදිනේ

වඩා සදෙව් ලොව සැප විද නිවන් දකින් සොඳිනේ

(529) 

වෙස්සන්තර රජු සියලු කම්සැප සම්පත් හැර දමා තවුස්දම් පිරීම පිණිස වංකගිරිය වෙත එන අවස්ථාවේ දී ඇය ද තම දරුවන් දෙදෙනා කැටුව වංකගිරිය වෙත පැමිණියේ කොපමණ දුෂ්කරතා පැමිණිය ද තම කුල කුටුම්භය රැකි තම සැමියා හා දරුවන් රැකගැනීමේ අභිලාෂයෙනි. ප්‍රේමය කොයිතරම් නුඹට මට දැනෙන ලෙස අව්‍යෝජනීය වූ වද ඒ ප්‍රේමය තුල ඇති පතිදම හා දාරක සෙනේහය උත්තරීතර වන්නේ මවක් තුල නැගෙන්නා වූ හැඟීම් සමුදාය තුලිනි. ඇයත් මවකි. වංකගිරිය එදා කොයිතරම් නම් සුන්දර වූව ද ඒ සුන්දර වංකගිරිය තුල කොයිතරම් නම් තාඩන පීඩන හා චන්ඩ මාරුතයන්ට ඇය තනියම මුහුණ දෙන්නට ඇති ද. ඒ මුහුණදුන් දුෂ්කරතා ඇය දරාගන්නේ තම දරුවන් කෙරේ වූ බලාපොරොත්තුවෙන්ම පමණි. ඇය ඔවුන් වෙනුවෙන් ජීවත්වන්නට සිතන්නට ඇත. ඒ දායාදයන් හා මාතෘ සෙනේහය කැටිකරගත් වෙස්සන්තරය කොයිතරම් නම් නුඹෙත් මගෙත් ජීවිතය තුල බද්ද වී ඇති ද

සිය පියවර රටතොට හැම වස්තුව නැති අම්මා

එදා ලොබ හැර ඔබ සමඟින් තපසට ආ වෙම්මා

තුරු පිරිවර පුන්සඳ මෙන් වන මැද උන් අම්මා

වෙසතුරු පිය රජුනි නුඹට බාරයි අපෙ   අම්මා

(526)

වෙස්සන්තරයේ එන ජාලිය හා ක්‍රිෂ්ණජිනා බමුණා විසින් රැගෙන යන අවශ්‍යතාවේ ඔවුන් වෙසතුරු තවුසානන්හට පවසනුයේ අම්මා රැකගන්නා ලෙසය. ඇය ඵලවැල නෙලන්නට ගිය අවස්ථාවේ දී බමුණන්ට වෙසතුරු තවුසානන් ඔවුන්ට දන්දෙන අවස්ථාව ඉතාම අනුවේදනීය ය. තම දරුවන් කොපමණ දුෂ්කරතා මැද වූ වද කුසගින්නේ නොතබන්නට මන්ද්‍රී දේවිය කටයුතු කලාය. කොපමණ කුල ගේ තුල සැප තිබුණද ඇය ඒ සියල්ල හැර දැමුවාය. ඒ සියල්ල හැර දමා මහා වංකගිරිය තුල පතිවත් පුරන්නීය. ඇගේ ජීවිතය තුල ප්‍රේමය සෙනේහය ඔවුන් වෙතම පමණක් පුරන්නීය. ඒත් මවකි. නුඹෙත් මගෙත් අම්මා ඇගෙන් වෙනස් නොවන්නේ ඒ නිසාවෙනි. මෙයට මාතෘ සෙනේහය කියා නම් තබන්නට නුඹට මට හැකි වන්නේ මේ නිසාවෙනි.

එක අතකින් නියෙන් ගගා දෙතනේ කිරි බොම්මා

දසෙකඩ මස දුක් උසුලා වැදුවේ අපෙ අම්මා

සැකක් නැතිව බණ ඇහුවොත් සසරින් ගොඩ වෙම්මා

දුකක් නැතිව නිවන් දකින් පිංවත් අපෙ අම්මා

සිදුහත් කුමරුට එක් අවස්ථාවක දී බුදු වීමට විවරණ දුන්නේ අම්මා විසිනි. ඒ ආත්මභවයේ දී ඇය ලබා දුන් විවරණය බුද්ධත්වය තෙක් පාරමිතාවක් විය. කල්ප ලක්ෂ ගාණක් පෙරුම් පුරාගෙන පැමිණි යශෝධරාව සෑම භවයකදීම පාරමිතා පුරන්නට බුදුන්ට උපකාරී විය. ඒ එක් භවයකදී ඇය මන්ද්‍රී දේවිය විය. ඒ ඇගේ ආත්මය යි. ඇයද පෙරුම් දම් පුරන්නීය. විටෙක දරුවන් වෙනුවෙන් විටෙක තම සැමියා වෙනුවෙන් ඇය පාරමිතා පුරන්නීය. ඒ පාරමිතාව තුල වෙස්සන්තරය තුල ඇගේ ප්‍රේමය හා දාරක සෙනේහය තම දෙදනේ නැලවෙමින් එක් තන පුඩුවක් මුව තුල දරාගෙන කිරිකැටි මුහුණින් තමන් දෙස බලා සිටින දරුවන් වෙනුවෙන් ලෙය කිරි බවට පත්වන්නීය. ඒ තුලින් සැකයක් නෑ ඇයට මේ සසරින් එතෙර වන්නට නිවන් දකින්නට මේ පිනම හේතුවක් වන බව දරුවන් පවසයි. මේ තුල ඇත්තේ දරුවන් හා අම්මෙක් තුල ම පවතින ආදරය යි. වෙස්සන්තරයේ එන අම්මා සරල සමාජීය සංස්කෘතිය තුලට ද බද්ද වන්නේ මේ කරුණ නිසාවෙනි.

ලප සේ සඳ විලසේ දවසක් වෙන් වූ අම්මා

එපසේ බුදු කෙනෙකුන් මෙන් රැකිදැයි නිති පෙම්මා

සැපසේ අප දන් දුන් නෙත් වැදුවෙන්වෙද අම්මා

අපගේ ප්‍රිය රජුනි දනට නොදෙන්න අපෙ අම්මා

දස පාරමිතා පුරමින් බුදු බව පතා සියලු කෙලෙස් නසමින් නිර්වාණය අවබෝධ කර ගැනීම සඳහා ඇය ද මවක් ලෙස උත්තරීතර විය. ඇයගේ හදවත තුලින් නැඟුණු ප්‍රේමය තුල ඇත්තේ නිරාමිස බවකි. ඇය පැමිණ දරුවන් සොයන්නට ඇත. වැලපෙන්නට ඇත. කෑ ගසන්නට ඇත. නමුත් තම සැමියා වෙත සාප නොකලාය. ඒ තම ආත්මීය චාරීකාවේ තම සැමියාගේ නිවන් මාර්ගය වෙත උපකාරී කිරීමකි. ඇය හදවතින් හඩා වැටෙමින් තම සැමියා වෙත ගෞරවනීය උවටැන් සිදු කරන්නට ඇත. ඇය වෛර කරේ නැත. ඇය උපේක්ෂාවෙන් මේ සියල්ල දරාගන්නීය. මවක් යනු එවන් කෙනෙකු ය. සඳේ ලප මෙන් එක්ව සිටි බවත් කිසිම දිනක මොවුන් තිදෙනා වෙන් නොවූ බවත් පසේ බුදුන් කෙනෙකු මෙන් රැකි අම්මා කවදාවත් පිටස්තරයෙකු වෙත අපි මෙන් දනට නොදෙන්න යැයි දරුවන් වෙසතුරු තවුසානන්ගේ ආයාචනා කිරීමක් ලෙස මෙම කාව්‍ය නිර්මාණය කර ඇත. ප්‍රේමය එසේම ය. අහිමි වීම හැර යාම දරා ගැනීමට නොහැකිය. මවක් දරුවන් නොමද සේද දරුවන් මවක් නොමද සේ සිටින්නට නොහැකි වන්නේ ඒ නිසාවෙනි. 

සංස්කෘතිමය රාමුවක් තුල මුල්බැසගන්නා වූ ජාතියක් වන අප ජාතිය තුල ඇති මෙම ජාතක කතාවක් තුලින් නැඟෙනුයේ මවක් තුල ඇති උත්තරීතර බවයි. ඇය දරුවන් හදන්නීය. ලේ කිරට හරවා පොවන්නීය. දස මස කඩක් බර උසුලා සිටින්නී ය. සමාජයේ විවිධ ගැරහුම් වලට දුෂ්කරතා වලට මුහුණ දෙන්නී ය. අම්මා කෙනෙකු ජීවිතයක් ජීවත් කරවන්නේ තම සැමියාගේ ශක්තියෙනි. ඒ ඔවුන් දෙදෙනාගේ ම ඇති සහ සම්බන්ධයේ ප්‍රතිඵලයක් ලෙසය. කුල කුටුම්භය වර්ණවත් කරන ඇය දරුවන් ලබමින් ප්‍රේමය තුලින් වර්ණවත් වන්නී ය. ඇය මතු බුදු වන්නේ ගෙදර බුදුන් වන්නේ ඒ නිසාවෙනි. වෙස්සන්තර මන්ද්‍රී දේවියත් සරල ගැමි සමාජීය අම්මා කෙනෙකු අතර පවතින්නේත් ඒ කියන්නාවූ නුඹෙත් මගෙත් මවක සතු ප්‍රේමනීය හා මාතෘ සෙනේහයම පමණි. 

Top