"රන් මැණිකා. මගෙ දූ... මෙහාට ආවනං. "
අම්මා කතා කරනවා.
"මේ එනවා අම්මා "
" මයෙ දූ මෙතනින් වාඩිගත්තනං. මං මේ කියන දේ හොදට අහගන්න ඕන. දැන් මගෙ දූ කීප දොහොකින් දීග තලේක යනවනෙ. දැන් මඟුල් පැඳුර වියන්න ගත්තනම් හොදා "
හදිසියේ අම්මා කීව කතාවෙන් මගෙ මූණ ලැජ්ජාවෙන් පිරුණා. අම්මා ඒක නොදැක්කා වෙන්න බෑ. දැන් අම්මා නොකියා කීව කාරණාව. ඒත් මං කොහොමද තනියම මේ දේවල් කරන්නේ. මට තේරෙන්නෑ. ඔන්න නංගිත් ආවා.
"මයෙ අම්මා මොකද්ද මේ මඟුල් පැදුර කියන්නේ"
" දැන් ඉතිං දෙන්නම පොඩි නෑ නොවැ. එහෙනම් අහගනිල්ලකො "
පොඩිස්සියක් " මඟුල් පැදුර " වියන්නට පටන් ගන්නේ ඇය දීග තලයක යන්ට ලං වුණාම. පිල් ගැහෙන්ට තියෙන කැමැත්තත් එක්ක හරිම සීරුමාරුවට තමයි මේ මඟුල් පැදුර වියලා අවසන් කරන්නේ. මෙසේ විවීමට ලොකු හේතුවක් ගංකරේ ඇත්තන්ගේ තියෙනවා. හතර පේරුවේ නෑදෑ සනුහරේ ඉදිරියේ මංගල පෝරු මස්ථකාරූඩ වෙන අවස්ථාවේ පෝරුවේ අතපැන් වඩා පෝරුවෙන් බැසීමේදී පය තියන්නේ මේ මඟුල් පැදුරට යි. මේ හේතුවෙන් නෑදෑ සනුහරේටම තමන්ගේ පැදුරු විවීමේ කෙරුවාව පෙන්වන්න මේක අවස්ථාවක් වෙනවා. පැදුරේ ඇදක් පළුද්දක් තිබුණහොත් මේ ගැන කටකතා බොහෝමයක් ගම්මැදදේ කතා වෙනවා. මේ කටකතා තරුණියගේ අභිමානයට කැලලක් වෙන නිසාම තමයි කාගෙත් ඇස්වහ වදින තරමටම අලංකාරවත් රටා යොදමින් මඟුල් පැදුර වියන්නේ.
පෝරු මස්තකයේ සම්මත සිරිත් අපුරා අතපැන් වත්කොට පෝරුවෙන් බැසීමේ දී කුළුඳුල් යුවතිපති දෙපොළ ඉදිරිපිට මඟුල් පැදුර අකුලා තියනවා. ඔවුන් දෙපළ බිමට පහත් වී මඟුල් පැදුර ඉදිරියට දිග හරවාගෙන ඒ මතින් ඉදිරියට පියවර තබා ගමන් කල යුතු වුණා. මේ පැඳුරට තමයි මගුල් පැදුර කියන්නෙ. මේ පැදුර වියන්නේ මනමාලිය විසින්. ඇයගේ පැදුරු විවීමේ කර්මාන්තයේ ඇති හැකියාව හොද හෝදිස්සියෙන් නෑදෑ සනුහරේ මෝස්තර රටා පිරික්සනවා. ඒ විතරක් නෙවෙයි එහි තිබෙන ගුණදොස් එවෙලෙම මූණටම කියලා දානවා. අලංකාරවත් නොවුනහොත් නෝක්කාඩු අවලාද අසා සිටීමට මනාලියට සිදුවන හෙයින් මෙම මඟුල් පැදුර විවීම තරුණියන්ගේ විශේෂ අවශ්‍යතා වක් වුණා.
මෙයින් ඉදිරියට පැමිණීමත් සමඟ ම මනාලිය පෝරුවට නැංගවූ මාමණ්ඩිය විසින් මේ මඟුල් පැදුර අකුලා මනමාල බෑණන්ඩිය අතේ තබයි. මෙය සම්මත ක්‍රමය යි. මෙසේ පැඳුර ලබා දීමෙන් ඔවුන් දෙදෙනා පැල් ගැහීමේ දී මඟුල් පැදුර එලා කුලුඳුලේ පැල් ගැහීම කල යුතු වුණා. ඒ වගේම මේ මඟුල් පැඳුර වියාගන්න තැනේ සිට ඒ වටා තිබෙන සමාජ සම්මතයන් රැසක් තිබුණා. විශේෂයෙන් ම මේ පැදුර වියන්න තරුණියන් පෙලඹෙන්නේ මඟුල තීන්දු වීමෙන් පසුව යි. ඒ වෙන තෙක් මෙය විවීම තහංචියකි. පං උදුරා පැදුර විවීම තෙක් ම ඇය විසින් මෙය සිදු කල යුතු වුණා. තමන්ට හිතුමනාපෙට පිල් ගැහෙන්න එදා සම්මතයේ අවස්ථාවක් නොලැබුණ අතර දෙමාපියන්ගේ කැමැත්ත සහ අනුදැනුම මත මෙම විවාහයන් තීන්දු වුණා. ඒ වගේම හොර රහසේ වෙන කෙනෙක් ලවා මෙය වියා ගැනීම තහංචි වුණා.
විශේෂයෙන් මේ පැඳුර වියන්න ගත්තෙ ගල්ලැහැ පං, තුන්හිරියා පං හෝ හැවැං පං වලින්. තුන්හිරියා පං හෝ හැවැං පං බහුලව යොදා ගත්තා. එසේ වීමට හේතුව නිදා ගැනීමට මෙහි ඇති පහසුවයි. මෙහි දී පං ඉදිරීමට හොර රහසේම කසාදෙට තීන්දු වූ මනාලයාද කැන්දා ගන්නා අතර එක ගම්මැද්දක හෝ යාබද ගම්මැද්දක පං තියෙන පතහා ගැන මොවුන් හොදට දැනගෙන තමයි මේ ගමන යන්නේ. මෙහි දී මඟුල් පැදුර විවීම සදහා යොදා ගනු ලබන්නේ දොහොත් පුරපසේ බ්‍රහස්පතින්දා දිනයක්. අවපසේ මෙම සුබ කටයුතු සිදු නොකරන අතර පන් නෙලීම සදහාත් බ්‍රහස්පතින්දාවක්ම යොදා ගැනීම සම්මත සිරිතයි.
මොවුන් මුලින් ම තෑග්ගක් විදියට මේ දීග ගන්න ගැටිස්සිට තරුණයා විසින් ලබා දෙන්නෙ පන්නම් කැත්තක්. මේ පන්නම් කැත්ත පන් කැපීමට රටා වියන්න තීරු කපා ගන්න තමයි මේ තරුණයා විසින් ඇයට සාදා දෙන්නේ. කොපමණ පන්නම් කැති ගංගොඩේ තිබුණා වු වත් තෑග්ගක් ලෙස හම්බෙන මේ පන්නම් කැත්ත ජීවිතයේ වටිනාම තෑගි අතරට එක් වෙනවා. මේ කැත්ත ජීවිත කාලෙම ඇය තියාගන්නවා. දරුවන් ලැබී ඔවුන් දැඩිමේනි වන විටත් මෙම පෙන්වා කියා දීම සිදු කරනු ලබනවා. ඒ වගේම පැදුර විවීමට අවශ්‍ය පාට වර්ණ සියල්ල ගැටවර තරුණයා විසින් තරුණියට ගෙනත් දීම සිදු කල යුතු වුණා. මෙය ගැටවරයාගේ යුතුකමකි. රතුපාට ගැනීමට පතඟි ලී කැබැල්ලක් කොල පාටට දියමිත්තා වැල් ජාති ගෙනෙන අතර ගං මැද්දෙන් මේ සියල්ල ඔහු සොයා ගන්නවා. මේ පාට සියල්ල යොදා හංසපූට්ටු, දෙහිමල් රටා සහ නෙළුම් මල් රටා යොදා අලංකාරවත් මඟුල් පැද්‍රක් ඇය විසින් නිර්මාණය කරනු ලබනවා. මින් අනතුරුව ඔවුන් දෙදෙනා කුලුඳුල් පැල් ගැහීමේ දී සිට දරුවන් වැදීමේ දී පවා යොදා ගන්නේ මේ මඟුල් පැදුරයි. මෙය නෑදෑයන්ට, පිලේ එලීම, ගගෙදරින් පිටට රැගෙන යාම, කමතට, කයියට රැගෙන යාම පවා තහංචි වුණා. මෙය හුදෙක් ම ඔවුන්ට ම සතු වූ දෙයක් වූ අතර මහා සම්මත සංස්කෘතිය තුළ වූ අව්‍යාජ සුන්දර පාරම්පරික ගැමියාගේ සොදුරු කඩඉමකි. ඒ හේතුවෙන් මෙම මඟුල් පැදුර සොදුරු බන්ධනයක පවිත්‍ර වූ නොයිදුල් සංකේතගත නිර්මාණයක් ලෙස හැඳින්වීම සාධාරණ නොවන්නේ ද