දිවි මග බර දරාන යන කරත්තකරුවෝ (501)

post-title

සුදු නැන්දා තොරතෝංචියක් නැතුව කියවනවා. අද අප්පො මාමා සුදු ආතා එක්ක කරත්තේ බඩු අරං ගිහිල්ලා. සුදු නැන්දා තනියම හන්දා අද අපේ දිහා ඇවිල්ලා. 

 "සුදු පුතා මෙහෙ විගහට ආවනං.. නැන්දා කතා කරනවා. "

"ඇයි මේ එනවෝ. "

" මං මේ පුතාගෙන් අහන්නමයි හිටියේ. ම්ම්ම් කැමති නැද්ද කරත්තෙ යන්ට. සුදු සීයත් නිතරම කියනවා. අම්මණ්ඩිනම් උබලෑ මනාපයි ඕං. මොකෑ අප්පොච්චිත් උබලෑ යනවනෙ."

සුදු නැන්දා පෙරැත්ත කරනවා. 

" හා "

විතරක් කියලා මං ගේ ඇතුලට ඇදුනේ හරියට ගොදුරක් ගිලපු නාගයෙක් වගේ හරිම ඔතෑනිව. එතකොට මාත් හෙට ඉදන් අප්පච්චි එක්ක කරත්තෙ යනවා..

අපේ ගං ගේ තිබුණේ ගම මැද්දෑවට වෙන්න. කවුරුත් අපේ ගෙදරට කීවේ මහ ගෙදර කියලා. ඒ මොකද අපේ මහ ගෙදර කරත්ත තුනක් ම තිබුණා. හතර දිග්බාගෙන් ම මොකාක් හරි සන්තෑසියක්, මගුලක්, කාරණාවක් යෙදුණොත් දුවගෙන එන්නේ සුදු ආතගෙන් කරත්තයක් ඉල්ලන් යන්ට තමයි. සුදු ආතගේ හොදම වස්සො දෙන්නා බදින්නේ මහ කරත්තේ. පුල්ලියයි සුද්දයි තමයි ඉස්සර ගව පට්ටියේ හිටපු ශක්තිමත් ම ගොන්නු දෙන්නා. උන් දෙන්නව වෙනම දිගේලි කරලා කන්න දීලා තමයි අනිත් උන්ව ගාල් කරේ. උදේ හවා තණකොළ කපලා ලෙඩ රෝග වෙන්න නොදී අනිත් පට්ටියේ ගොනුන්ට වඩා සැලකිල්ලක් මුන් දෙන්නට ආතා දුන්නා කීවොත් මං නිවැරදි යි. 

මේ කරත්ත වලත් විශේෂ කරත්ත තිබුණා. ඉස්සර බණ මඩුවකට ආරාධනයක් තියේනම් ඒකට වෙනම කරත්තයක් තිබුණා. දවසක් අපේ ආරච්චි මාමගේ ගෙදර බණට ලොකු හාමුදුරුවෝ වැඩියේ ඒ කරත්තේ. ඒකට ගම් වහරෙ කීවේ" බණ කරත්තෙ" කියලා. මේ කරත්තෙ හරිම හුරුබුහුටි යි. යහපතා මාමා ඕක ඇදගෙන තමයු හාමුදුරුවන්ව වඩම්මගෙන ආවේ. අපේ ගමේ හැමෝම ගොනාව සැලකුවේ දෙවියන් විසින් මවපු සශ්‍රීකත්වයේ ප්‍රතිමූර්තියක් විදියට. අස්වැන්න කාටත් ලැබුණේ උගේ දායකත්වයෙන්. ඒ උපකාරය ගැමියන් වෙච්ච අපේ සුදු ආතලා විතරක් නෙවෙයි ගමේ කවුරුත් අමතක කරේ නෑ. ඒ හන්දම උන්ට කවුරුත් " පුතා " ලෙස ආදරෙන් වගේම ගෞරවය හා සෙනෙහසින් යුතුව උන්ව රැකබලා ගත්තා. 

එදා කඩමංඩියේ බඩවැටියට ඉහලින් ලස්සනට හද පායලා. පුර පෝය ලඟයි. මේ පාරත් සිල් ගන්න යන්න ඕන සුදු ආතා එක්ක. ඉක්මනට සරම් කඩමල්ලයි බැනියම් කොටෙයි ගහගෙන උදේ පාන්දරින්ම මේ පිටත් වුණ ගමන හරිම සුන්දරයි කීවොත් මා නිවැරදි යි. මට මතකයි.. එදා මේ ගමන ගෙදරින් තනියම පිටත් වුණාට අපි දෙන්නා විතරක් නෙවෙයි කඩමංඩිය ලඟදි අහල ගමේ තව මාමලා හතර දෙනෙකුත් එක්ක කරත්ත පෝලිමක් එක්ක තමයි මේ ගමන අපි පිටත් වුණේ. ගෙම්බොන්ගෙ වාදවිවාදයි තණකොළපෙත්තොන්ගෙ සද්දෙයි ඇරෙන්න ඈතින් කුකුල් නාම්බෙක්ගෙ සද්දේ විඩින් විඩේට ඇහුණා. සීතලත් කා ගෙන හෙමින් හෙමින් ලතාවකට ඇදෙන කරත්තෙට යටින් එල්ලලා තිබුණා පොඩි ලන්තෑරුමක්. අපේ විතරක් නෙවෙයි අපේ අනිත් මාමලා ආතලාගේ කරත්තවලත් මේ ලන්තෑරුම තිබුණා. කණාමැදිරි එලි අස්සේ තාලෙට ලතාවකට පැද්දෙමින් හැප්පෙමින් කඳු නගිමින් බහිමින් මේ ගමන දෙයියගේ බුදුන්ගේ පිහිටෙන් මේ ගමන පටන් ගන්නවා. අපේ කරත්තෙට ටිකක් ඈතින් ලස්සන කවියක් ඇහෙනවා. 

කන්දේ කකා ලන්දේ යන බෝසත්තු

අත මිණි බැඳ පය මිණි බැඳ ජයගත්තු

රාජ සබෙන් සොඳ කරුණා ලැබ ගත්තු

වලවේ ගඟට බැස්සොය ගෝමර ඇත්තු

" කවුද අප්පච්චි ඒ " 

" ආ සුදු පුතා. ඒ සුසිල් මාමා " 

" ඔන්න පුතත් අහන් ඉන්ටකො එහෙනම් "

පෙට්ටිගල හොඳයි පෙට්ටියකට ගන්න

දිය ඇදහැලෙයි ඇඟපත නාවා ගන්න

පළා කොළ තියෙයි කදිමට මල වන්න

බලංගොඩ හොදයි දිගටම නව තින්න 

ජීවිතේ හරිම පුදුමාකාරයි. ඔව් මට ඒක දැනෙන්නේ මේ ගමනත් එක්ක. මේ මිනිසුන් කොයිතරම් සුන්දරද. ඔහොම කවියත් එක්ක යන මේ ගමන නවතින්නේ කරත්ත ගාලක් ලඟ. සුද්දටයි පුල්ලියටයි මහන්සියි කියලා දැනුණම අප්පච්චි කරත්තෙ නවත්තනවා. ගොනුන්ට කන්න වෙනම කරත්තෙ යට පැසක් හදලා තිබුණා. ඒකේ තමයි පිදුරු වෙනම දාලා තිබුණා. ගොඩාක් කදු නැගලා බැහැලා අපි කාටත් තදටම මහන්සිය දැනුණා. ගොඩාක් දුරට අපි ආ ගිය කඩපොළවල් තිබුණා. ඒ එකක් තමයි එදා අපි නැවතුණ නාරම්මල. මට මතකයි අදටත් එදා එතන හිටපු ලස්සන කෙල්ල. කොණ්ඩ කරල් දෙකක් බැදලා හිනාවෙද්දී තිබුණේ හරිම ලස්සන වල ගැහුණු සුන්දර හිනාවක්. මල් වැටුණු චීත්තෙයි හැට්ටෙයි ඇදලා කහට කෝප්පයක් මා අතට ගෙනත් දීලා හිනාවුණ අහින්සක ඒ කෙල්ලට දැනුණ ඒ හැගීම සෙනෙහස පිරුණු ආදරයක් වෙන්නම ඕන. තව මොහොතකින් යලිත් අපි ගමන පටන් ගන්නවා. ඇගේ සුරතල් කතාව, සුන්දර හිනාව ආයේ කෙදිනක දකින්න අපේක්ෂා කල හැකිද...මොහොතකට මට සිතුණා.

අම්බලං පෝරු පිට සිටියා ළඳුනේ

රංසලං ලෙසට ගෝමර පිට දිලුනේ

මං බොලං එහෙම දේකට නැත අගුනේ

රං දොඩං පිටත් වෙන කොට හද මුදුනේ

මේ කරත්ත ගමනත් අපේ ජීවිතේ වගේ. ගමනාන්තය නිශ්චිත නෑ. සසර ගමන ඔහේ අපි ගෙවාගෙන යනවා. රැකියාවක් විදියට මේ කරත්ත ගමන ගොන් බානත් එක්ක දුක සැප සමව බෙදාගෙන ගමන යනවා. ඒ ගමනේ සුන්දර අසුන්දර තැන් කොච්චර තිබුණද. අප්පච්චි කියනවා වගේ අපිට නැවතීමක් නෑ.

කඳු ඇදලා දෙපයට සවි නැත ඉතිනේ

බර ඇදලා ඉල ඇට පොඩි විය තදිනේ

දුක සිතිලා ගම නෑයන් මතක් වුනේ

ගම ඉදලාවත් පණ යන්න නොලැබුණේ

මේ කවි ගොඩාක් දුරට අප්පච්චි එහෙම කීවේ සන්නිවේදනකාරකයක් විදියට. ඒ මොකද දන්නවද මේ ගමන පෝලිමට යන ගමනක් වුණත් වෙහෙස මහන්සිය දැනුණේ කාටත් එක විදියට නෙවෙයි. කරත්තයකට ඇති දුර ප්‍රමාණය ගොනාගේ ශක්තිමත් බවත් එක්ක වෙනස් වුණා. ඒ හන්දා කරත්ත පෝලිමේ කෙලවර මැද සිටින කරත්ත ආරක්ෂිත ද යන්න තීරණකාරකයක් ලෙස භාවිතා වුණේ මේ කරත්ත කවිය. අප්පච්චි කීව කතාවක්. ගැල් පෝලිමේ මුලින් ම යන ගැල්කරුවා කවියක් කීවම පෝලිමේ කෙලවරට ඇසෙන්න මේ කවිය කිය යුතු වුණා. ඉන් පසුව මෙයට ප්‍රති පිලිතුරක් ලෙස අනිවාර්යෙන් කෙලවරින් කවියක් කියනු ලැබුවා. සුන්දරයි මේ ගමන.

බතට කන්ට බැරි බතලේගල කන්ද

අලට කන්න බැරි අලගල්ලේ කන්ද

හුනට කන්න බැරි හුන්නස්ගිරි කන්ද

මේ කඳු තුනට නායක සමනල කන්ද

අපි ගොඩාක් දුරට ගමන් කරේ රෑට. දවල්ට ගමන් කරේ අඩුවෙන්. රෑට ගමන් කිරීමෙන් දැනුණ වෙහෙස අඩුයි. දවල්ට ඔහේ ගොනුන්ට ඉන්ට දීලා අපි වට්ටක්කා හොද්දක් හරි හත්මාළුවක් වගේ කෑමක් තමයි හදාගත්තෙ කන්න. ඒ හොද්ද හරිම රහයි. බඩ දරු අම්මලා කරත්ත බත් කන්න ආසයිලු. රෑට ගමන් කරත් මග කරත්ත ගාලක හරි අම්බලමක හරි නැවතිලා ටිකක් නිදාගන්නත් අමතක කරන්නෑ. ඔය කරත්ත ගාල ගාව අපිට ආරක්ෂාව තිබුණා. නාගන්න කන්න උයාගන්න වගේම අඩියක් පුඩියක් ගහන්නත් පහසුකම් තිබුණා. ඊට අමතරව කෝපි කඩයක් තිබුණා. එතනදි තමයි හරකුන්ට නිදහසක් ලැබුණේ. 

රෝද දෙකට තෙල් ගහපන් කැරකෙන්න

ගොන්බානට මිණි බැඳපන් නද දෙන්න

අං යුවලට කොපු දාපන් දිලිහෙන්න

දක්කාපන් අපි හපුතලයට යන්න

ඒ මොනවා තිබුණත් කරත්ත ගාල අයිතිකාරයාට වෙලාවට ගැල් කාසි ගෙවන්න වුණා. .

බැදලා විය බාන ගොන් දෙන්නගෙ කරට

මැනලා ගනිමු බෝතලයක් සිලිමකට

බෙදලා බොමුය හැමදෙන එක්ක හරියට

කොතලාවල පසුව යමු මිතුර විගහට

වයිර ගොනා දණ ගහලා අදිනකොට 

මයිල ගොනා පැන්නයි පස්සට හොරට

මොකද කරන්නේ පූරුවේ කල පවට

පවු කල ගොනෝ ඇදපන් ගාල  ගාවට

බත උයලා කා බී අප සිත ඇසුර

තණ කවලා ගොං බානට දී වතුර

නතර වෙලා අද රෑ ගාලේ වැතිර

එලිවෙන ජාමේ පිට වී යමු හිත මිතුර

අපි හැමෝම මෙතනදී කණ්ඩායමක් විදියට එකතුවෙලා වැඩ කරා. එක්කෙනෙක්ට මහන්සි නම් හැමෝම නැවතුණා. ලෙඩක් දුකක දී හැමෝම උදවු කලා. මට මතකයි අපි ඒ ගිය එක ගමනක දී සුමනේ මාමගේ කරත්තෙ පෙරලුණා. අනේ හදයට තුවාල වුණා. මාමටත් තුවාල වුණා. ඒ වගේ වෙලාවකට වෙනම අපි කවුරුත් තණ්ඩලේ අරන් යනවා. තණ්ඩලේ කියන්නෙ කරත්තෙ බදින ගොනුන් දෙන්නට අමතරව ගෙන යන ගොනාට. ඌව බැදලා කරත්තෙ අරන් යනවා. එතකොට ගොන්නු තුන් දෙනාට වැඩිය මහන්සියක් දැනුනෙ නෑ. ගොනුන්ට පවා කතා කරේ පුතා කියලා. ඒ වචනයක තුලවත් අශිෂ්ඨ සම්පන්න බවක් අව්‍යාජ ගැමියා තුල තිබුණේ නැත. ඔවුන්ගේ හදවත් තුළ තිබුණු බැදියාව තුලින් මිතුරුකම්, මනුසත්කම් හා සහෝදර බැදීම් ශක්තිමත් කරා. 

එගොඩ ගොඩේ නා කණුවේ බැන්ද ගොනා

මෙගොඩ ගොඩේ සපු කණුවේ බැන්ද ගොනා

දෙගොඩ තලා යන වතුරට පැන්න ගොනා

අපොයි මගේ රන්මුතු වල්ලියා ගොනා

මේ ගමන දුශ්කරයි. වැස්සට තෙමෙන්න වෙනවා. මග අනතුරු වැඩියි. සතා සිව්පාවගෙන් වෙච්ච හිරිහැර වැඩියි. ලන්තෑරුම් එලිය මැදින් කට්ට කරුවලේ මේ යන ගමන සුන්දර වුනේ හිත් තුල තිබුණු සිතුවිලිත් එක්ක. අපිට යන්න තිබුණු පාරවල් හතක් විතර තිබුණා. කොලඹ මහනුවර, මහනුවර බදුල්ල, බදුල්ල මඩකලපුව, කොළඹ ගිනිගත්හේන රක්වාන, යාපනේ අලිමංකඩ, නාවලපිටිය කොත්මලේ පුත්තලම වනාතවිල්ලුව, පැල්මඩුල්ල බලංගොඩ හරහා හපුතලේ යන පාරවල්. 

කළුගල් තලාලයි පාරට දමන්නේ

එම ගල් පෑගිලයි ගොන් කුර ගෙවෙන්නේ

ගොනා නෙවෙයි හරකයි බර අදින්නේ

කිරිගල් පොත්ත කන්දයි අපි නගින්නේ

ක්‍රි.පූ 3500 දී පමණ තමයි රෝදය සොයා ගන්නේ. අශ්ව කරත්ත, ඇත් කරත්ත, භූමිතෙල් කරත්ත, තිරික්කල, ගොන් කරත්ත වගේම වැවිලි ආර්ථිකය සමග 10 වන සියවසේ දී පමණ කරත්ත ගමනාගමනය වැඩි වුණා. මේ කරත්ත ගිය මාර්ග අද මහා මාර්ග විදියට සංවර්ධන වී තියෙනවා. 

මනෝ පුබ්බං ගමා ධම්මා - මනෝ සෙඨ්ඨා මනෝමයා

මනසාවේ පධුඨ්ටේන - හාසථීවා කරෝතිවා

තනෝ නං දුක්ඛ මන්වේති - චක්ඛංව වහතෝ පදං

( සිතුවිලි සිත පෙරටුකොට ගෙන ගමන් කරයි. ශ්‍රේෂ්ඨතම සිත යි. සිතින් සියල්ල උපදියි. යමෙක් කිලිටි සිතින් ක්‍රියා කරන්නේ ද දුක ඔහු පසුපස ලුහු බදින්නේ ගොනා පසුපස යන කරත්තය ) වාගේ

( ධම්මපදය - යමක වග්ගය )

රෝද, කුර, සොකඩ, අඩ කොටේ වදින සද්දත් එක්ක සුන්දර ඉසව් පහුකරගෙන තමයි මේ ගමන ගියේ. මේ කරත්ත ගමන අල්ලලා ප්‍රස්ථා පිරුළු හැදිලා තියෙන්නෙත් ඒ හන්දමයි.

ගොවිරාළගෙ කට එතකොට කුමක් වැනී

වලාකුලින් මතුවෙන පුන් සඳක් වැනී

ඒක දකින කම්මැලි කට කුමක් වැනී

කරත්තයට අහුවුණ කජු ලෙල්ල වැනී

 ( බොරලැස්ගමුවේ ජී.එච් පෙරේරා - කුරක්කන් හේන කවි පන්තිය )

කරත්තයයි ගොනයි වගේ

ගොනා පස්සේ කරත්තෙ යනවා වගේ

ජරමර අස්සේ බර කරත්ත

ගොනාට කලින් කරත්තෙ යනවා වගේ

සතුටට වඩා මිත්‍රත්වය, පරිසරය, උපහාසය, බණ කතා, දුක, ආදරය වගේ කරුණු රැසක් මේ කරත්ත කවි තුල ඔවුන්ගේ වචන අතර සැඟවී තිබුණා. අතීතයේ විදේශිකයින්ට යටත්විජිතයක් වීමෙන් පසු තෙල් නොමැතිව කරත්ත රෝදය කැරකෙනවා නම් එයට විරුද්ධව නඩු දැමීමට පොලිසියට පුළුවන්කම තිබුණු බව සඳහන් වෙනවා. ඒ වගේ සෑම කරත්තයකම ඔවුන්ගේ ලිපිනය සහිත බෝඩ් ලෑල්ලක් තිබීම අනිවාර්ය වුණා. කරත්ත ලියාපදිංචි කල යුතු වූ අතර තමාට අවශ්‍ය පරිදි මාර්ගයේ ගමන් කිරීමට අයිතිය නොලැබිණ. මේ සෑම බාධකයක්ම ඔවුන් සම සිතින් විදදරාගෙන මේ සංසාර ජීවන ගමන සතුටින් ගෙන ගියා. ඔවුන්ගේ ගුණධර්ම වර්ධනය වුණා.

කාලයත් සමඟ ම මෙම දුෂ්කර වූත් වටිනා වූත් මනුස්ස ගත සුවඳින් පිරීගිය සත්ත්ව කරුණාවෙන් යුතු අපූරු සංස්කෘතිය නැත්තටම නැති වී ගොස් ඇත. ජීවිතයේ සුන්දර ගැමියා තුල තිබුණු හැඟීම් හා නිර්ව්‍යාජ කවීත්වය ඔබ මා අතර තිබේද. එදා ඒ ගැල් කවියෝ සිතපු ලෙසට බර ඇඳපු හරක් සංසාරයෙන් එතෙර වෙලා ඇති ද. නැති නම් ඔබ මා අතර ඔවුන් සිටිනවා ඇති ද. ගමයි පන්සලයි- වැවයි දාගැබයි සංකල්පය තුල තිබූ මානුෂීය හැගීම් එදා අද අතර වෙනස් වෙමින් පවතිමින් නැතිවෙමින් ගලාගෙන යනවා නොවේ ද. එදා ජීවත්වෙන්න දත කාපු මිනිසුන්ගේ අපූරු සුවඳ සහිත කරත්ත සාහිත්‍යය ඔබ මා හා සමග හෝ නිවන් නොදැක අදත් අතීත නිර්ව්‍යාජ ගැමි සුවදේ ඉතිරි වී තිබීම ඔබෙත් මගෙත් භාග්‍යක් කොට සැලකීම විශේෂ නොවන්නේ ද.

Top