ගැමි සංස්කෘතියේ අව්‍යාජත්වය පෙන්නුම් කරන ජන කවිය (445)

post-title

තේ කහට උගුරකින් සප්පායම් වෙලා උදෑසනින් ම පැලෙන් පිටවෙන සුදු බණ්ඩා ගොම්මන වැටෙනකන් ම බඩ ඉරිගු කෑල්ලෙයි වට්ටක්කා කෑල්ලෙයි තමයි කරක් ගැහුවේ. බඩ කට පිරෙන්න නම් ඉතිං හේන සරුවෙන්න ඕන කියලා තමයි නිතරම උන්දෑ කීවේ. තව දෙයක් කීවා ජීවිතේ කියන්නේ නවාතැන් පොළක් විතරයි කියලා. ඕකනම් කීවේ නැතිබැරිකම ඉවසාගන්න බැරිම උනාම තමයි. කොච්චර අගහිගකම් ආවත් තමන්ට කියලා තිබුණේ කහට උගුරක් තරම් දෙයක්නම් ඒක බීලා සැනසීමෙන් සෑහීමට පත්වෙන්න පුළුවන්කමක් අපිට තිබුණා. අනාගතේ මහා ලොකූ යාන වාහන මන්දිර බලාපොරොත්තු තිබුණේ නෑ. සැනසීම, ආදරය කියන දේ ඒ පොඩි පැලේ උතුරන්න තිබුණා. මේ ජීවිතේ දැනෙනවා. ගොයමෙ සුවද දැනෙනවා. ජීවිතේ විදිනවා කියන්නේ... ඔව් මේකට තමයි.

ලොකු තාප්ප වලින් වටවුණු තට්ටු දෙකේ මහා මන්දිරේක තමයි මං ජීවත් වුණේ. තාප්ප අතරින් ලෝකය දිහා බලන්න මට අවසර තිබුණේ නෑ. මිනිස්සුන්ට තිබුණේ තරගයක් ජීවිතේ එක්ක. ආදරය සෙනෙහස නෑ. මං අම්මියි තාත්තියි කතා කරනවා දැකලා තියෙන්නේ හරියටම කීවොත් අතේ ඇගිලි ගානට. මට තිබුණු සැප සම්පත්වලින් කිසිම අඩුවක් දැනෙන්න තිබුණේ නෑ. මට මගේ දුක සතුට කියන්න යාලුවෙක් හිටියේ නැ. වාහන අස්සේ නලා අස්සේ මගෙ සිතුවිලි අතරමං වුණා. ඒ අතරේ තමයි මට මැණිකෙව හම්බවුණේ. මැනිකේ කියන්නේ අපේ අම්මගේ මල්ලිගේ දුව. ඒයා හරීම හොදයි. ගමේ ඉදන් ශිෂ්‍යත්ව විභාගය පාස් වෙලා තමයි එයා අපේ සෙන්ට්‍රල් එකට ආවේ. එදා ඉදන් මගෙ දුක සැප දෙකටම මැණිකේ හිටියා. දවසක් ඉස්කෝලෙ ඇරිලා ගෙදර එද්දී තමයි සුදු බණ්ඩා අයියා හම්බවුණේ. ඒ ඇගෑලුම්කම අද පෙලවහක් වෙනකම්ම දුර දිග ගියා. ඒත් ඉතිං මේ දීගෙනම් දෙමාපියන් කැමැත්තෙන් වුන එකක් නෙවෙයි. තනි කැමැත්තෙන් ආපු ගමනක්. අම්මිනම් කැමති වුණා. ජීවිතේ වින්දේ මේ සුන්දර ගම්මානෙත් එක්ක මගෙ සුදු නැන්දයි මාමයි එක්ක ගත කරන විනාඩි තත්පර පැය ගණන් අතරේ කීවොත් මං හරි. 

අපේ අම්මා දුර එනවා                    පෙනෙන්නා

පොඩි මල්ලක මට මොනවද             ගෙනෙන්නා

කැලේ ගහක මල් සුළගට                වැනෙන්නා

ඒ දැක දැක මගෙ දුක් ගිනි               නිවෙන්නා

සුදු බණ්ඩා අයියයි මායි මහ ගෙදරට මෙහායින් වෙන්න ලස්සන පොඩිය පැලක් හැදුවා. මාමයි අයියයි දෙන්නා එක පැහැර නෑර වැඩ කරා. දවස් ගානක් පොළොවත් එක්ක පොර බදලා ලස්සනට ගේ ඩිංගක් අටවගත්තා. හරිම ලස්සනයි. නැන්දා ගෙට ඕන හැම කලමනාවක්ම ගෙනත් දුන්නා. අයියයි තාත්තයි දෙන්නම කරේ ගොවිතැන්. තාත්තිට වගේ කතා කරන්න වෙලාවක් නැතුව හිටියෙ නෑ එයාලා. ඒ හැම වැඩකදීම වගේම දුකේදි සැපේදිත් ඒ හැමෝම එකට හිටියා. ආදරේ වගේම ගෞරවය උතුරන්න තිබුණා. මේ තමයි සුන්දර අව්‍යාජ සිනහව තුල තිබුණු බැදියාව.

වැසි දිය අයිති ගං ඉවුරේ හෝ ඇළ          සමුදුරටයි 

මල් පැණි අයිති වට ගුමු දෙන               බඹරාටයි 

මී රා අයිති කුතුලේ කල                    වැද්දාටයි 

නෑනා අයිති කාට ද                         මස්සිනාටයි

සුදු බණ්ඩෙගෙ පුරුද්දක් තිබුණා රෑට මාත් එක්කම කෑම කන එක. ඒක එයාගෙ අප්පච්චිටත් තිබුණා. ගොම්මනත් එක්කම ගෙට ගොඩවෙන සුදු බණ්ඩේ බත් හොදට සප්පායම් වෙලා මගෙ ඔළුව ඉබලා බත් මුලකුයි කොතලෙයි අරං ඇදිරියත් එක්කම පල්ලම් බහිනවා. ගොඩාක් දුරට ඔය දේ තමයි සිද්ධ වෙන්නේ. ඒත් මේක තමයි අපේ රැකියාව. අනාගතේ සුන්දර කරවන්න මේක තමයි එකම බලාපොරොත්තුව. නෑනා කොහොමත් අයිති ඇවැස්ස මස්සිනාටනෙ. මේ නෑනා මස්සිනා සම්බන්ධය ඇති කරේ තමන්ගේ ගොවිතැන පිට වරිගෙකට අයිතිවෙයි කියන බයට. ඒ වගේ ම ඇවැස්ස නෑකම් තර කරගැනීමටත් මේ සම්බන්ධය හේතුවුණා. 

කැලේ කපා වැට බැන්දා කැත්ත           දනී

කුඹුර පුරා දිය බැන්දා කුඹුර                දනී

සීත් කකා පැල් රැක්කා පැදුර               දනී

මෙදා පැලේ වී අඩුවා අටුව                 දනී

පිල්කඩ උඩම නිදාගන්න හිතෙනවා මටත්. නැන්දා ලස්සනට සිල්ලු ඇටේකින් පිල මැදලා දුන්නා. කොට්ට මෙට්ට වලට වඩා මේ ජීවිතේ හරිම සැපවත්. සුදු බණ්ඩා ලස්සනට කවි කියනවා. ඕවා අහගෙන ඉන්න මං හරී ආසයි. ගෙදරට ලස්සනට ඇහෙනවා රෑට. රත්නේ මාමත් ලගම පැලේ ඉන්නවා. බය නෑ ඉතිං. පවු මට රතු ලප වගයක් පෙන්නුවා. ඊයේ ගිනිමඩේ නිවිලා. මදුරුවෝ කාලා හොදට ම. පවු. ජීවිතේ එයාලගේ එහෙම තමයි. දරුවෙක් නැති අඩුවනම් තදේටම දැනෙනවා. එයාටත් එහෙම වෙන්න ඇති. මේ පාලුව තනිකම එයාටත් නොදැනෙනවා නෙවෙයි. මේ අපි වෙනුවෙන් තමයි එහෙම දුක් විදින්නේ. "මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් සුදුසුයි" කියලා කියනවනේ. ඕවා ඉතිං කට කහනවට නෙවෙයිනේ කියලා තියෙන්නේ. කනාමැදිරි එළි වැඩිවෙනවා. එයාලා කැරකෙනවා. වහියි ලගදිම. බලා ඉන්න ආසයි. රාත්‍රි දේවි ගහේ මල් පිරිලා. සුවදේ බෑ. අම්මා මට දවසක් කීවා ඔය සුවදට දෙවියො වඩිනවලු. 

පෙර කාලේ කරපු අකුසල් පලදීලා

මෙම කාලේ විදිමු දුක් පැල්වලට වෙලා

එම කාලේ පටග පුරුදුයි පැල් රැකලා

අපි රාලේ කියමු පැල් කවි තෝරාලා

පෙර කාලේ කරපු අකුසලයක් හන්දා දුක්පත්ව ඉපදෙන්න ඇති කියලා දවසක් රත්නේ මාමා කීවා. ඒත් සුදු බණ්ඩේ නම් කීවේ මේක පවක් නෙවෙයි වාසනාව කියලා. හැමෝටම බත සරි කරනවා කියන්නේ ලොකු පිනක් කියලා. පැලක රැයක් ගත කරනවා කියන්නේ කොයිතරම් දුෂ්කර වුනත් ඒකට ගෞරව කරන්න සුදු බණ්ඩේ පුරුදුවෙලා හිටියා. කදු වලල්ල, බැද්ද, කඩමංඩිය, පුර හද මේ හැමදෙයක්ම විදින්න පුළුවන් මේ පැලට ගියාම. ඒකමයි ලස්සන කවි කියවෙන්නේ කියලා නිතරම කීවා. වෙහෙස නැතිම වෙලා යනවලු. 

පනාමුරේ ඇත් රංචුව ලං       වෙනවා

විහ මතුරේ වී අමුණට          වනසනවා

කිරි අප්පොට බිත්තර වී ණය   වෙනවා

මෙදා පොටෙත් අලියා මට බැට   දෙනවා

 

රෑනෙන් රෑන උඩ ඉගිලෙන        කුරුල්ලනේ

බානෙන් බාන ගල් ගැසුවත්     නොයන්නේ

පුංචි කටින් කුරු වී ඇට          තලන්නේ

මෙදා යලේ ණය නොකරන්      කුරුල්ලනේ

අස්වැන්න පැහෙනවත් එක්කම තියෙන අතුරු අන්තරාවන්ගෙන් නම් අඩුවක් නෑ. එතකොට ඉස්පාසුවක් නැතුව පැලට දුවන්න තමයි බලන්නේ. බොට කදයා, වී කුරුල්ලෝ, සේරු නිතරම රෑන් පිටින් හේනට කඩාන වදිනකොටනම් ඉහ මොල රත්වෙනවා. කොහොම කෑ ගැහුවත් හැරෙන්නවත් අකමැති ආඩම්බරකාර ලොක්කා තමයි නොන්ඩියා. ඌට එහෙම කීවේ කාගෙ හරි වෙඩිල්ලක් වැදිලා ඌ නිතරම කොර ගහන රෑනෙන් අයින් කරපු ඇතෙක් හන්දා. උගෙන් නිතරම කරදරේ. බලං යද්දී උන්ට අයිති වාසභූමි තමයි අපිත් වගා කරන්නේ..ඕක මං කීවම සුදු බණ්ඩේ කීවේ එහෙව් කියලා උන්ටම හේන කන්ට දීලා හිටියොත් මේ ණය තුරුස් ගෙවන්න වෙන්නෙත් නෑ පස් තමයි කන්ට වෙන්නේ කියලා. ඒකත් හැබෑව තමා.

කල්බලා නොවෙද ගොවිතැන්     කරන්නේ

මල් වරා නොවෙද කිරිවැද         පැසෙන්නේ

හෙනහුරා නොවෙද වැහිඵල      නොදුන්නේ

ලොව්තුරා බුදුන් කවදද           දකින්නේ

 

අටුවක්, වී බිස්සක් හැම ගෙදරක ම තිබුණා. මේ අටුව, වී බිස්ස හැදුවේ ගන්න වැඩි අස්වැන්න සුරක්ෂිතව ගබඩා කරලා තියාගන්න. අටුකොටු පිරෙන්න තරම් අස්වැන්නක් තියෙන්න කියලා සුදු බණ්ඩෙත් පත්තිනි මෑණියන්ට පඩුරක් වෙන් කරා. පලමුවෙන් ගන්න අලුත් හාල් කිරිබතක් හදලා දේව දානයක් දුන්නා. ඒකෙන් අටුකොටු පිරුණා. මේක විශ්වාසයක්. විශේෂයෙන් මේ වී බිස්ස ගෙදරක ගාම්භීරත්වය, නම්බුව වත්පොහොසත්කම් මනින සංකේතයක් වුණා. ඒ කාලේ අපේ සුදු සීයගෙ මහ ගෙදර වී බිසි තුනක් තිබුණා. ඒක ලොකු අප්පච්චි මහා ලොකුකමක් විදියට තමයි සැලකුවේ. බස්තමත් අරන් ඕක ලගට වෙලා ඉන්න සුදු සීයාව මට මැවිලා පේනවා. ඒක තමයි ගම්මානේ තිබුණු ඇගෑලුම්කම. ඔය ඔක්කොම පිරුණේ ගමේ ගැමියන්ගේ වෙහෙස මහන්සිය හා ගෞරවය තුලින් කීවොත් මං හරි.

වෙල හොද මොකද මහ පාළු වේ              නම්

පැල හොද මොකද පොද වැස්සට තෙමේ      නම්

මල හොද මොකද අතු අග පරවයේ            නම්

ලිය හොද මොකද ඉසි ගෝමර මැකේ         නම්

ජීවිතේ කියන්නෙ නවාතැන්පොළක්. ඒ ජීවිතේ යථාර්ථය අවබෝධ කර ගන්නට ඔවුන් තුල පන්සල සමග හොද සහ සම්බන්ධයක් ගොඩනැගිලා තිබුණා. සුදු බණ්ඩා කවදාවත් පේරු දානය පන්සලට වැරැද්දුවේ නෑ. තිබුණා හෝ නැතා දාන වේල හොදට සංඝයාට පූජා කරා. පින් අනුමෝදන් කලා. එයා විශ්වාස කලා මේ සෑම පින්කමකින්ම අස්වැන්න වගේම අපේ ජීවිතත් ලස්සන වෙනවා කියලා. නිතරම කීවේ මේ දුක් කම්කටොලු නැති කරගන්න නම් අපි ආගම එක්ක ඉන්න ඕන කියලා. ආරණ්‍යයේ හාමුදුරුවෝ වෙලාවකට පිණ්ඩපාතේ වඩිනවා. ඒ වෙලාවට පූජා කරන්න කවදාවත් දානේ ගෙදර නැති වුණේ නෑ. ඒක තමයි අපි කා අතරත් තිබුණු විශ්වාසය.

මැණිකෙගෙ පැල ලගින් මා යන              වෙලාවේ

මල් වැස්සක් වැස්සයි ඒ                       වෙලාවේ

ඒකයි පැලට ආවේ සිහි                        මුලාවේ

වැහැපන් හෙටත් මල් වැහි මේ               වෙලාවේ

ආදරය, සෙනෙහස කාටත් උරුම වූ පොදු කරුණක්. ජීවිතේ කවදාකම හෝ කෙනෙකු ආදරයක් ලබනවා. මේ දේ හැගීම කෙනෙකුගෙන් කෙනෙක්ට වෙනස් වෙනවා. ස්ථානය, පරිසරය අනුව මේ දේ වෙනස් වෙනවා. අපේ රත්නේ මාමා කියපු කවියක් තමයි ඕක. මේ ආදරය තහනම් ආදරයක් වෙන්න ඕන. නමුත් මේ ප්‍රේමය බොරුවක් නොවිය යුතුයි. තනියම රාත්‍රියේ පැලක මදුරුවෝ තල තල ඉන්න තරුණයෙකුට මෙහෙම කවි පද ගෙතිය නොහැකිද. අපූර්ව හැගීම් සමුදායක් සරල වචන පේලි හතරකින් කවියට නැගීම කොයිතරම් පුදුමාකාරද..

සුදු බණ්ඩේ නිතරම ඇන්දේ සරමයි බැනියමයි. ඔය සරම රෑට පොරවගෙන පඩංගුවට ගුලිවෙලා සීතලේ ගැහි ගැහී කොයිතරම් දුකක් උහුලනවද. මට මතකයි අපි දෙන්නා මේ හේන කොටන්න විදපු දුකක්. මයිල ගස් අතරින් ඉලුක් පදුරු යායක් ගලවලා ගින්දර දාලා ඉනි වැට බැදලා දඩු රිකිලි අයින් කරලා බිම හාලා බීජ වපුරලා...කොයිතරම් කාලයක් ගියාද. ඒත් ඒ සතුට හදවතේ ඉතුරුවෙලා. පැල ඉන්දන්නත් බුදුන් සිහි කරලා හොද වෙලාවක් බැලුවා. අස්වැන්න මේ පාර හොදයි කියලා සුදු බණ්ඩේ කීවා..

 

උණ දඩු කපන තැන උණ දඩු             රිකිල්ලා

බට දඩු කපන තැන බට දඩු               රිකිල්ලා

වතුර බසින තැන හොල්මන්              කුරුල්ලා 

සී පද කියන්නට කවුරුත්                 වරෙල්ලා


ගැමි ගීතය දියුණු නොවූ සෑම ගෝත්‍රයක් අතරම දැකිය හැකි ය. මෙම පැල් කවිය මෙයින් එක් කොටසක්. මේවා ගැමියා යම්කිසි මෙහෙයක නිරත වෙමින් ගැමියා විසින් ම අව්‍යාජව නැගුණු කවි විශේෂයක්. අද්‍යාපනයක් නොලැබුවත් තම අත්දැකීම් තුලින් සොබාදහම, ආගම, සිරිත් විරිත් පිළිබඳ මහා දැනුමක් ඔවුන් ලැබුවා. තම හිතට දැනුණ පාළුව කාන්සිය වගේම තනිකම ඒ ඒ කාර්යන්හි ඇති දුෂ්කරතාව ආදී සාධක මුල් කරගෙන තම සිතට නැගුණු සිතුවිලි කවි බවට පත්කලා. ගොවිතැන තුල තිබුණු විවිධ සාධක, කෙම් ක්‍රම, භාණ්ඩ, විශ්වාස ඒ කවි තුළ ම තිබුණා. ඉහත කවියේ සදහන් හොල්මන් කුරුල්ලා කියන්නේ දිය හොල්මනට. මේක අවට සතුන්ගෙන් එන වගා හානි නතර කරගන්න කරපු උපක්‍රමයක්. මෙයින් නැගුනු ශබ්ධය නිසා සත්තු බිය වුණා. වගා හානි අවම වුණා. මේ සියල්ල මොවුන් කවියට නගා තිබීම හරිම අපූරුයි. ඉතිං මේ සෞන්දර්ය එක් වූ තැන නිර්මාණය වන්නා වූ ජන කවිය ඔවුනොවුන්ගේ සංස්කෘතිය නිර්මල හා අව්‍යාජත්වයෙන් රසවත්ව ගලා යන හැගීම් සමුදායක් ලෙස සැලකීම උචිත නොවේද?

Top