දාගැබ යන සිංහල වචනය සෑදී ඇත්තේ සංස්කෘත ‘ධාතු’ සහ ‘ගර්භය’ වචන දෙක එක්වීමෙනි. ස්තූප, ථූප, තුබ, තුඹ, චෛත්‍යය, චේතිය, වෙහෙර යන වචන ද දාගැබට පර්යාය නාම වේ. ස්තුපයක හෙවත් දාගැබක විශේෂතම අංගය වන්නේ ධාතු තැන්පත් ගර්භය හෙවත් ගැබයි. මේ හේතුවෙන් එම විශේෂ අංග සළකා මුළු ස්මාරකයම දාගැබ නමින් ව්‍යවහාරයට පත්වී ඇති බව පෙනෙයි. දාගැබ බෞද්ධ විහාරයක නැතහොත් ආරාමයක අවශ්‍යම අංගයක් බවට පත්ව ඇත්තේ එය බෝධියක් හෝ පිළිම ගෙයක් වැනි අනෙක් බෞද්ධ ස්මාරක මෙන් හුදකලාව පිහිටනු ලබන්නේ ඉතා විරලව බැවිනි.
මෙහිදී පළමුවෙන්ම දාගැබ සඳහා යෙදී ඇති අනෙකුත් පර්යාය වචන ගැනද අවධානය යොමු කළ යුතුය. ස්තූප යන්නෙන් හිස් මුදුනේ ඇති කෙස්රොද යන අරුත ද ගෙන එයි. ඒ අනුව යම් ගොඩල්ලකට ස්තූප යන්න භාවිතා විය. යම් උත්තමයකුගේ භෂ්මාවශේෂ තැන්පත් කොට නිපදවන ලද ගොඩනැගිල්ලක් ද ස්තූප යනුවෙන් හැඳින්විණ. මේ අනුව බුදුන්වහන්සේගේ හා මහරහතන් වහන්සේලාගේ පාරිශුද්ධ ශාරීරික භෂ්මාවශේෂ තැන්පත් කර තනන ලද ගොඩනැගිල්ලකට අනිවාර්යයෙන්ම ස්තූප ලෙස හඳුන්වා ඇති බව පෙනෙයි.
ශ්‍රී ලාංකීය සිංහල සංස්කෘතියෙහි දාගැබට විශේෂ ස්ථානයක් හිමි වෙයි. ‘වැවයි දාගැබයි ගමයි පනසලයි’ සංකල්පය බිහිවී ඇත්තේ එම නිසා ය. ශ්‍රී ලාංකීය සිංහල බෞද්ධ සංස්කෘතිය නිරූපණය කරන ප්‍රධාන සංස්කෘතික අංගයන් ලෙස මෙම අංග ඉදිරිපත් කළ හැකි ය. දාගැබ හෙවත් ස්තූපය වූ කලී මළවුන් දාව භෂ්මාවශේෂ හෝ මෘත ශරීර හෝ තැන්පත් කරනු ලැබූ ස්මාරකයක් ලෙස භාරත සංස්කෘතියේ දැක්වෙයි. මිසරය වැනි රටවල, ප්‍රාග් බෞද්ධ යුගවල රජවරුන්ගේ මෘතදේශ තැන්පත් කර තනවා ඇති පිරමිඩ ද එසේ සුසාන සමාරකයන් වෙයි.
බෞද්ධ සංස්කෘතිය පෙන්නුම් කරන එක් සංකේතයක් ලෙස දාගැබ යන සංකල්පය ලංකාවේ හඳුන්වනු ලැබේ. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු බුද්ධ දේහය ආදාහනය කොට ශාරීරික ධාතු ශේෂයන් අට කොටසකට බෙදා නගර අටක තැන්පත් කොට ස්තූප තනන ලද බව ශාසන ඉතිහාසයේ දැක්වේ. එතැන් පටන් ස්තූප ගොඩනැගීමේ ක්‍රමය බෞද්ධ සංස්කෘතිය තුළ පවතියි. බෞද්ධ ජනතාව ජිවමාන බුදුන්වහන්සේ හා මහ රහතන්වහන්සේ ලා වන්දනාමානය කරනවා මෙන් දාගැබ් වන්දනාමාන කරනු ලබයි. ස්තූපයන්ට විවිධ පුජෝපහාර, දැන් පැන් පිරිණමමින් පුණ්‍යකර්මයන් සිදුකරනු ලබයි. එයින් ආත්ම තෘප්තියක්, සැනසීමක් හා සිත පහදවා ගැනීමක් ඇති කර ගනු ලබයි. අනුරාධපුර අටමස්ථානය, පොළොන්නරුව සොළොස්මස්ථාන ආදිය මෙන්ම ප්‍රාදේශීය වශයෙන් ඇති විවිධ ස්තූපයන් විශාල සංඛ්‍යාවක් ලාංකීය බැතිමතුන්ගේ ගෞරව බුහුමානයට පත්වෙයි.
ලක්දිව පැරණි දාගැබ් නිර්මාණ ප්‍රධාන කොටස් දෙකොටසකට වෙනකොට දැක්විය හැකිය. ‘මහා ස්තූප’ ගණයට එන රුවන්වැලිසෑය, අභයගිරිය, ජේතවනාරාමය, තිස්සමහාරාමය, කැලණිය, රන්කොත්වෙහෙර, කිරිවෙහෙර ආදී ප්‍රමාණයෙන් විශාල චෛත්‍ය ගණය එක් කොටසකි. අනෙක් වර්ගය නම් එතරම් විශාල නොවූ චෛත්‍ය විශේෂයි. මුල් ගණයේ චෛත්‍ය වල අඩංගු සියල්ල මෙම චෛත්‍ය වල අන්තර්ගත වුවද ඒවායේ ඇතැම් කොටස් හුදෙක් සැරසිලි මාත්‍රා බවට පත්ව ඇත. පෙසාත්‍රය සහ උපරිභාගය මෙම වෙනසට භාජනය වූ කොටස් ය. ඉඳිකටුසෑය වැනි චෛත්‍ය මේ ගණයට අයත් වෙයි. එය බැලූ බැල්මට ලෝහයෙන් නිමවූ කරඬු වලට සමාන ය. මෙම චෛත්‍ය දෙකොටස අතුරින් වර්තමාන විහාරස්ථානයන්හි පිහිටවනු ලබන දාගැබ් කුඩා ගණයේ දෙවැනි කොටසට අයත් චෛත්‍ය අනුගමනය කරන බව පෙනෙයි.
මූලාශ්‍ර : අපේ සංස්කෘතික උරුමය (සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය,1998)
සංස්කෘතිය හා කලා ශිල්ප කෘතිය (අනුරාධ සෙනවිරත්න,1997)