ඒ ගිණි ඇඳිරි යාමය, නිශාචරයන් ද ඈත සිටන් එබිකම් කරන, තවත් එක් ආලෝකවත් රාත්තිරියකට අත වනන මිලිනව යන සැඳෑ යාමයකි. පුර හඳේ ආශිර්වාදය ද යහමින් ගලාගෙන එන්නා වූ ඒ ගොම්මනත් නිශාවත් අතර කාලය, සෑම ඉරිදා දිනකම මා ගෙවූයේ වෑ කන්ද පාමුල වන අරණේ ඉදිරිපසම අටවා තිබූ පුංචිරාළ අයියණ්ඩිගේ පැල්කොටයේදීය.
බොහෝ සිකුරාදා දිනවල උදෑසන ම පැල්කොටයේ සිට වනඅරණට යන අඩිපාර දිගේ කුලුහරක් අල්ලන්නට පියමනින මමත්, පොඩිරාළ අයියණ්ඩිත් දින දෙකකට පමණ සෑහෙන ආහාර රැගෙන යන්නේ දින දෙකක පමණ කලක් වනඅරණේ ලැගුම් ගන්නට සිදුවන නිසාය.
මේ සෑම දිනෙකම පුංචිරාළ අයියාට සුමනා නැන්දා විසින් පිළියෙල කර දෙන ආහාර සියල්ලම කල්තබාගත හැකි අයුරින් සදාගත් ඒවාය. එම ආහාර කල්තබාගන්නට භාවිතාකර ඇති ක්‍රමවේදයන් මොනවාදැයි දැනගැනීමට මා හිතේ තිබූයේ දැඩි කුතුහලයකි.
හැබෑවට ම සිංහල ගැමි සමාජයේ ආහාර කල්තබා ගැනීමට ක්‍රමවේද බොහෝමයක් භාවිතා කර ඇති අතර ඒවා පිළිබඳ දැනුවත්වීම වර්තමාන සමාජයට ද වැදගත් වේ යැයි මා හට සිතේ.
එසේ නම් මෙවර ලිපිය ලියැවෙන්නේ පුරාණ ලාංකීය ආහාර සංස්කෘතියේ එන ආහාර කල්තබාගැනීමේ ක්‍රමවේද පිළිබඳවය.
සැබැවින්ම ආහාර කල් තබා ගැනීමේ සරල තාක්‌ෂණ ක්‍රමවේද බොහොමයක් ගැමියන් සතු විය. ස්‌වාභාවික ක්‍රම ඇසුරින් මේ ආහාර කල් තබා ගත් හෙයින්, එහි පෝෂණ ගුණයට ඉන් කිසිදු හානියක් නොවීය. ආහාර හිඟ කාලවලදී දී ප්‍රයෝජනයට ගැනීම පිණිස අතිරික්‌තය මේ ආකාරයෙන් කල් තබා ගන්නා ලදී. අව්වේ වියළීමෙන්, විශේෂ ක්‍රමවලට සකස් කර ගැනීමෙන් මෙන් ම විවිධ ආහාර සමග එකතු කිරීමෙන් මෙම ආහාර වර්ග කල් තබා ගන්නා ලදී. කොස්, දෙල් වියළා පසුව කෑමට ගන්නා ලද අතර, වැලි යට කොස් ඇට දමා ඒවා කල් තබා ගන්නා ලදී. මාළු කල් තබා ගැනීම සඳහා විවිධ ක්‍රම භාවිතා කරන ලදී. ඒ අතරින් ජාඩි, උම්බලකඩ, ඇඹුල් තියල්, කරවල ආදිය විශේෂ වේ.
අතිරික්‌ත මාළු අස්‌වැන්න නාස්‌ති නො වී රැකගැනීමටත්, රට අභ්‍යන්තරයේ ජනයාට ප්‍රයෝජනයට ගැනීමටත් මෙබඳු ක්‍රම නිසා හැකි විය. රාත්‍රියට ඉතිරි වන බත ඉවත නොදැමූ ගැමියා එයට ජලය ස්‌වල්පයක් එක් කොට තබා පසුදින උදෑසන බත නෑඹිලියෙහි දමා හොඳින් පොඩි කොට එයට සිහින්වට ලියාගත් රතුලූනු, අමු මිරිස්, ගම්මිරිස් ස්‌වල්පයක් එක් කොට ‘දියබත් ‘ සකස් කරගන්නා ලදී. මෙය ඉතා රසවත් ආහාරයක් වන අතර පෝෂණ ගුණයෙන්ද අනූන විය.
රා, මී රා පැසීම වැළැක්‌වීම සඳහා එයට හල් පොතු මිශ්‍ර කරන ලදී. කල් තබා ගැනීමට මී පැණිවලට ගම්මිරිස් එකතු කරයි. වියළි මිරිස් වල සුදුලූනු බහා තැබීමෙන් බොල් වීම වළකයි. මස් වර්ග කල් තබා ගැනීම පිණිස දුමේ එල්ලීම, වියළීම, ලූණු දමා තැබීම හා මී පැණිවල බහා තැබීම සිදු කරන ලදී. ජල පිරිසිදුකාරකයක් ලෙස ඉඟිනි ඇට භාවිත කරන ලදී.
මේ ආකාරයෙන් සාම්ප්‍රදායික ආහාර සංස්‌කෘතිය හා සබැඳුණු සාරධර්ම පද්ධතියක් එකල ජනතාව සතු විය. ආහාරවල පෝෂණ ගුණය සුරකිමින් විවිධ අයුරින් නිර්මාණය කර ගත් මේ ආහාර පරිසර-හිතකාමී විය. වීවලට අමතර ව තල, ඉරිගු, මෙනේරි ආදී වෙනත් ධාන්‍ය වර්ග ද වගා කරනු ලැබී ය. මේවාද විවිධ අයුරින් සකසා කෑමට ගැනිණි. කුරක්‌කන් තලප, හැලප, රොටී, පිට්‌ටු ආදී විවිධාකාරයෙන් සාදා ආහාරය සඳහා එක් කර ගනු ලැබී ය. මේ ධාන්‍ය වර්ග සකස් කර ගැනීමේ දී ඒ හා බැඳුණු විශේෂ ක්‍රම ද විය. කුරක්‌කන් ඇඹරීම සඳහා නිර්මිත කුරහන් ගල උචිත අයුරින් සාදා තිබිණ. මෙනේරි කෙටීමේ දී කොහු දමා කොටනු ලැබී ය. එදිනෙදා ආහාර රසවත් කර ගැනීම පිණිස විවිධ අයුරින් සකසා ගන්නා ලද කුළු බඩු භාවිත කරන ලදී. ලුණු, රම්පේ, කරපිංචා, අමුමිරිස්, කරාබු නැටි, කරදමුංගු, කුරුඳු, ගොරකා, ඉගුරු, සුදුලූනු, උඵහාල්, අබ, දුරු, මිරිස් කුඩු, ගම්මිරිස්, කහ යනාදිය සමග තුන-පහ දමා ආහාර රසවත් කර ගන්නා ලදී.
අතීතයේ දී නම් අලුත් අවුරුදු කෑම මේසය සැරසුවේ වැඩි මිලක් නොවන ගමේ ගෘහණියන් අතින් හැදෙන රසයෙන් ගුණයෙන් පිරුණු දේශීය කෑම වර්ගවලිනි. කිරිබත්, කොණ්‌ඩ කැවුම්, කොකිස්, අතිරස, මුං කැවුම්, මුං ගුලි, ආස්‌මී, දොදොල්, අග්ගලා, අලුවා ආදී ආහාර සෑම නිවසකම සකස් විය. ඒ හා බැඳුණු සිරිත් විරිත් රටාවක් ද පැවතිණි. නැකතට අනුව තෙල් තාච්චිය ළිප මත තැබීම, සෑම ආහාර වර්ගයකින්ම අග්‍ර කොටස බුද්ධ පූජාව සඳහා වෙන් කොට තැබීම ආදිය ඉන් සමහරකි.
සෘජුව බටහිරකරණයට නතු ව පැවතුණු ආහාර ඒකාධිකාරය ක්‍රමයෙන් සාම්ප්‍රදායික ආහාර වට්‌ටෝරු වෙතට පරිවර්තනය වීමක් මෑතකාලීනව සිදුවිය.
අනෙක් කරුණ වනුයේ වර්තමාන කතුන්ගේ සාම්ප්‍රදායික ආහාර සකස් කිරීමේ ලා නොදැනුවත් භාවයයි. මෙවැනි කාරණා හේතු කොට ගෙන දේශීය ආහාර පාන වෙනුවට පහසුවටත් ලේසියටත් සකස් කර ගත හැකි විදේශීය ආහාර පාන ශ්‍රී ලාංකික මුඵතැන්ගෙය ආක්‍රමණය කළේ ය.
කෙසේවෙතත් ලාංකීය ගැමි සමාජයේ ගෙවිලියන් ආහාර කල් තබා ගැනීමට භාවිත කරන ලද ස්වභාවික උපක්‍රම සියල්ල ඉතා වටිනා බැව් ඔබත් මමත් හොඳ හැටි දන්නා කරුණක් වග නොඅනුමානය.