සොකරී එන්නී සබයෙන් අවසර ගන්නී (772)

post-title

දවසක් මට මිත්‍රයෙක් එක්ක සොකරි බලන්න යන්න අවකාශය ලැබෙනවා. ජීවිතේ තුන්වෙනි වතාවට බැලූවත් රැයක් එළිවෙනකල් ම මේ සුන්දර අත්දැකීම විඳින්න එපා වෙන්නෙ නම් නැහැ. අපිට සොකරි වගේ දේවල් කොළඹ වගේ ඉන්න අයට වඩා සමීපව විඳින්න අවකාශ තියෙනවා. මොකද පාරම්පරිකව සොකරි වගේ රංග නිර්මාණයක් පවත්වාගෙන යන කණ්ඩායමක් අපේ ගමේ ඉන්න නිසා. එක පැත්තකින් මේ කණ්ඩායමට ලංකාවෙ හැම තැනකින්ම ආරාධනා ලැබෙන නිසා අපට දැනෙන්නෙ සොකරි වගේ දේවල් තාමත් මේ අලූත් පරම්පරාවටත් විඳින්න ඉඩකඩ තියෙනවා කියලයි. ඒ ගැන හිතෙන්නෙ ලොකු සතුටක්. මොකද... දවසක මේ දැන් ඉන්න ඇන්ඩ්‍රොයිඞ් තිරය ඇතුළෙ ජීවිතය සොයන පරම්පරාවට අඩුම තරමෙ මේ වගේ කලා මාධ්‍යන් එක්ක යම් පමණකින් හරි බැඳීමක් ඇති වෙන නිසායි. 

ඒත් අපේ ගම්වල සොකරි පෙන්වනකොට තියෙන අර සුන්දර අත්දැකීම හැම තැනකම නම් නැහැ කියන එක ඇත්ත. අස්වැන්න නෙළා අවසන් වුණ කාලය තමයි ඒකට ගන්න කාලය. කූඹුරු යාය කපලා හැම කුඹුරක්ම හරියට මහ විසාල පිට්ටනියක් වගේ. අස්වනු අරගන අවසන් වුණාම එක කුඹුරක තියෙන කමතක් තමා තවමත් සොකරි පෙන්වන රංගභූමිය වෙන්නෙ. විදුලිය නම් ඒ වගේ තැන්වලට අරගන නැහැ. අරගන්න පුලූවන් උණත් අරගන්නෙ නැහැ. මහ විසාල විලක්කු පන්දම් වලින් හතර අතම එළිය කරාට පස්සෙ දවල්ට වගේ එළිය නිසා විදුලිය නොමැති අඩුව දැනෙන්නෙ නැහැ. ඉතින් මේ සුන්දර අත්දැකීම වෙද්දි ගම ඇතුළෙ තව තවත් ඒ හා බැඳුණු සංසිද්ධිත් රාශියක් සිද්ධ වෙනවා. ගොඩක් තරුණයන්ට තරුණියන්ට නම් සොකරි පෙන්වන දවස අතිශය මිහිරි දවසක්. මොකද ගෙදරට හොරා ඇති කරගත්ත පෙම් පලහිලව්වක් එහෙම තියේ නම් සොකරි බලන්න ගිහින් හෙමින් සීරුවෙ අම්මා තාත්තාව මග ඇරගෙන පෙම්වතා එක්ක පෙම්බස් දොඩන්න වෙලාවක් හදාගන්න එදාට පහසුයි. අනෙක් අතට සොකරි බලන්න පටන් ගත්තාම ඒකෙ තියෙන රසවත් බව හින්දාම දෙමාපියන්ට දරුවන්වත් ඒ මොහොතෙ අමතක වෙනවා. ඒ විතරක් නෙවෙයි. සොකරි පෙන්වනදාට ? ගොඩක් පිරිමි ඉන්නෙ මද පමණට සංතර්පණය වෙලා. ගොඩක් පිරිමි පවුලේ බවලතුන් පොඩි දරුවෝ කමතට යවලා ගමේ තැන් තැන්වල රොක් වෙලා රා කට්ටක රස බලන්න අමතක කරන්නෙ නැහැ. හැබැයි ඔය අතරෙ රහසිගත දේවලූත් සිද්ධ වෙනවා. සමහර අසම්මත බැඳීම් වලට සම්මත විදියට හැසිරෙන්න අවස්ථාවක් ලැබෙන්නෙත් සොකරි පෙන්වන නිසා මුලූ ගමම එතනට රොක් වුණාම ගමේ ගෙවල් අතරෙ කවුරුත් නැති හින්දයි. සොකරි එක්ක අපිට තවමත් අපේ ගංගොඬේ ඔය සුන්දර අත්දැකීම් එකතුවම විඳින්න ඉඩ ලැබෙන එක ගැන නම් ඇත්තටම තියෙන්නෙ ලොකු සතුටක්. 

සොකරි කියන්නේ එක් පැත්තකින් ලංකාවෙ ජන නාට්‍යක් කියලා කියුවොත් වැරදි නැහැ. කෝළම්, නාඩගම් හා සොකරි කියන මේ වර්ග තුනම අපි ඇතුල් කරන්නෙ ජන නාට්‍යවලටයි. ගැටබෙරයේ නාදයත් එක්ක ගැයෙන සුන්දර කවි ගායනාවනුත් වරින් වර කෙරෙන හාස්‍යජනක රංගලීලාවනුත් එක්ක සොකරි බලද්දි කාලෙ ගතවෙන බවක් නම් දැනෙන්නෙ නැහැ. සොකරි කතාව සරලව ගත්තොත් මෙන්න මෙහෙමයි. ගුරුහාමි කියන්නෙ කසී රටෙන් ලංකාවට එන ආඩි ගුරෙක්. ගුරුහාමි එක්ක එයාගෙ බිරිඳ සොකරි සහ සේවකයා වන පරයාත් එනවා. සොකරි කියන්නෙ දුටු දුටුවන්ගේ මන පිනවන සුන්දර රූමත් කාන්තාවක්. සොකරි වේදිකාවට එද්දි ගැයෙන මේ කවියත් එක්ක අවටින් නැගෙන ඔල්ඔරසන් නම් නිමක් නැහැ. 

සොකරී එන්නී සබයෙන් අවසර ගන්නී

නැටුම් නටන්නී තාලෙට රාග කියන්නී

පද අල්ලන්නී පියයුරු ළැම සොලවන්නී

කැඩපත ගන්නී සුරතින් මූණ බලන්නී

ඉතින් මේ තුන්දෙනා ලංකාවට ඇවිත් ලංකාවෙ පදිංචි වෙන්න ඉඩමක් හොයනවා. ඔය වෙලාවෙ තමයි ඔවුන්ට තඹරාවිට පැත්තෙ වෙදරාළ කෙනෙක් මුණ ගැහෙන්නෙ. වෙදරාළ එක්ක මේ කට්ටිය මිතුරු උණාම වෙදරාළ දෙන ඉඩමේ ගෙයක් හදාගෙන මේ කාණ්ඩෙ පදිංචි වෙනවා. ඔය අතරවාරෙදි ගුරුහාමිගෙ කකුල බල්ලෙක් හපාකනවා. මේ හේතුව නිසා ගුරුහාමි අසනීප උනාම ගුරුහාමි මියයන බවට ඒත්තු ගන්වලා සොකරිව යාලූ කරගන්න පරයා උත්සහ ගන්නවා. ඒත් ඒක තේරුම් ගන්න ගුරුහාමි කකුලට වෙදකම් කරන්න වෙදරාළ එක්ක එන්න කියලා පරයාව පිටත් කරනවා. ඒකට බෙහෙත් කරන්න එන වෙදා එක්ක සොකරි මිතුරුවෙලා පැනලා යනවා. මේකෙන් ශෝකයට පත්වෙන ගුරුහාමි සොකරිව නැවත සොයා දෙන්න කියලා කතරගම දෙවියන්ට කන්නලව් කරනවා. දේවබැල්මෙන් සොකරිව මුණගැහෙනවා. ඒත් සොකරි වෙදා එක්ක පැනල ගිහින් කළ වරදට දඬුවම් පමුනවනවා. ඒ උනත් සොකරි කියන්නෙ තමාගේ කැමැත්තෙන් පලානොගිය බවත් වෙදා ඉනාවක් කවා තමා හා හාද වෙච්චි බවයි. පස්සෙ සොකරිට තලලා තමන්ගේ කේන්තිය නිවා ගන්න ගුරුහාමි ඇයට සමාව දෙනවා. කතාව අහවර වෙන්නෙ පස්සෙ කාලෙක සොකරිට දරුවෙක් ලැබුණට පස්සෙ මේ හැමෝම සාමාදාන වෙන සිද්ධියත් එක්කයි. හැම සොකරි පෙන්වීමකම තියෙන්නෙ ඔය කතාව උනාට ඔය ප්‍රධාන සිද්ධිය වෙන අතරවාරෙ තව තව අතුරු සිද්ධි විශාල ප්‍රමාණයක් සිද්ධ වෙනවා. ඒ අතුරු සිද්ධි වලින් තමයි හාස්‍ය මතු කරන්නෙ. ගොඩක් වෙලාවට දෙපැත්ත කැපෙන වචනත් මේ ඇතුළෙ නැත්තෙමත් නැහැ. ඒ උනත් ඒ අත්දැකීම හරිම සුන්දර විදියට ප්‍රේක්ෂකයො ග්‍රහණය කරගන්නවා. සොකරි, ගුරුහාමි, වෙදරාළ, පරයා, හෙට්ටියා, කාලිඅම්මා, සොත්තානා, වඩුරාළ වගේ චරිත කිහිපයක්ම සොකරි ඇතුළෙ අපට මුණ ගැහෙනවා. විශේෂම දේ තමයි මේ රංගනය කිසිදු කාන්තාවක් සම්බන්ධ නොවීම. කොහොම උනත් තුන්වෙනි වතාවටත් සොකරි බලලා කමතෙන් ගෙදර එද්දි මට දැනෙන්නෙ ආයමත් වරක් සොකරි බැලීමේ ආශාවක් මිස නීරසක් නම් නෙවෙයි. ඒ තරමටම මේ කලාව සුන්දරයි. 

Top