පෝරුවේ චාරිත්‍ර ගැන හරියට ම දැනගමු (517)

post-title

ඉර උරුමයි ඉර උරුමයි ගිරවුන්ට

සඳ උරුමයි සඳ උරුමයි සාවුන්ට

මල උරුමයි මල උරුමයි බඹරුන්ට

කත උරුමයි කත උරුමයි පිරිමින්ට

ඉරට හොරෙන් ඉර මුදුනෙන් ගිරවු ගියා

සඳට හොරෙන් සඳ මුදුනෙන් සාවු ගියා

මලට හොරෙන් මල මුදුනෙන් බඹරු ගියා

අපට හොරෙන් කළු එතනා දීග ගියා

කාන්තාව ගැන පුරාණ ජන කවියා පවසනුයේ කත උරුම පිරිමියාට බව යි. මේ උරුමය කෙසේද ලබා දෙනුයේ, මෙයට ඇති කරුණු කාරණා කෙසේද, විවාහයක රැදීම තුල මූලික වන්නා වූ කරුණු මොනවාද?

" නොකෙරෙන දීගේ හෙවනැල්ලත් ඇදයි කියනවනේ " ස්ත්‍රී පුරුෂ මානව බන්ධනය හේතුවෙන් ඉතිහාසය පුරාම මේ විවාහ චාරිත්‍ර පැවත එන්නේ අර්ථ, ධර්ම හා කාම යන ත්‍රිවිධ ගුණාංගයන් උරුම කරගෙන බව කිව යුතු ය. 

ධනංජය සිටුවරයා විශාකාවට ද, අනේපිඬු සිටුවරයා චුල්ලසුභද්‍රාවට ද ලබා දුන් අවවාද හින්දු සමාජයේ මෙන් ලාංකීය සමාජයේ ද දක්නට ඇති අවස්ථාවක් හා සාම්ප්‍රදායික ගැමි ජීවන රටාව තුල තිබූ අතිගෞරවනීය පවිත්‍ර චාරිත්‍ර රැසක් ගොනු වූ සුන්දර අවස්ථාවක් ලෙස විවාහය, කසාදය, දීගය, ආවාහවිවාහ හිර ගැනීම නැතහොත් සරණබන්ධනය හැදින්විය හැකි ය. මෙහි එන පෝරු චාරිත්‍ර තුළ ඇති ගාම්භීරත්වය, මනා සැලසුම හා ජීවන චර්යාවන් තුළ ඇති වූ සමාජීය, සංස්කෘතික හා ආගමිකත්වය තුළ ඇතිවන්නා වූ ගතානුගතික බැඳියාව චාරිත්‍රානුකූලව අන්තර්ගත වී ඇත. එවන් චාරිත්‍ර ගොන්නක ඇති රසාලිප්ත ආවර්ජනයක් අද ලිපියෙන් ගෙනහැර දක්වමි. 

පෝරුවක සිදු කරන චාරිත්‍ර ගොන්නකි. ඒ අතරින්,

1) පහන් දැල්වීම

2) මඟුල් බෙර වැයීම

3) දේවතාරාධනය 

4) යුවල පෝරුවට නැංවීම 

5) පෝරුවේ කියමන්

6) බුලත් හුරුළු පිළිගැන්වීම

7) තැලිපිලි ඇන්දවීම 

8) දෑගිලි බැදීම 

9) ජයමංගල ගායනා 

10) අෂ්ටක ගායනා 

11) කිරිකඩ හේලය දීම 

12) සෙත් පිරිත් මැද පෝරුවෙන් බැස්සවීම

ප්‍රධාන චාරිත්‍ර අතරට එක් වේ. මෙහි දී එක් යුවලක් සඳහා නිර්මාණය කරන ලද පෝරුවක් වෙනත් යුවලක් සඳහා ප්‍රයෝජනයට ගැනීම තහංචියකි. නමුත් අද සමාජයේ පෝරු කුලියට දීම ව්‍යාපාරික වශයෙන් කරන බව කාටත් පෙනීයන කරුණකි. ඒ කෙසේ නමුත් එවැනි පෝරු භාවිතයෙන් බලාපොරොත්තු වන ආශිර්වාදය නොලැබී යන බව මතය යි. පෝරුවේ චාරිත්‍ර සෑම දෙනාටම කළ නොහැකිය. එයට දැනුම් තේරුම් තියෙන අයෙකු සිටිය යුතුය. ඔහු පවා දින 07 ක් මේ කාර්යය වෙනුවෙන් පේවී සිටිය යුතු අතර යුවතිපතීන් දෙදෙනා ම පිරිසිදු ශීලයේ පිහිටා සිටීම අනිවාර්ය වේ. මත්පැන්, මස්මාංශ හා කිලි කුණුවලින් හසුවීමෙන් වැළකිය යුතු විය. පෝරුවේ චාරිත්‍ර ඉටුකරන වැඩිහිටියා ද සිල්වත්, ගුණවත්, බහුශෘත සම්භාවනීය අයෙකු විය යුතු ය. විශේෂයෙන් ඔහු තවත් කෙනෙකුට ආශිර්වාද කළ හැකි තරම් වූ ගුණගරුක වාග් ශක්තියක් ප්‍රගුණ කළ අයෙකු විය යුතු ය. නිවැරදි වාග් ශක්තියක් නොමැතිනම් ගාථා, කවි, ස්ත්‍රෝත්‍ර නිවැරදිව උච්චාරණය කළ යුතු වන බැවින් ඔහු පිරිසිදු ශීලයෙන් යුතු විය යුතු ය. මේ හේතුවෙන් සුබ ඵල හෝ අසුබ ඵල ලැබිය හැකි ය. මංගල දින උදෑසන ම හිස සෝදා නා පිරිසිදුව තෙරුවන් නැමද දෙවියන්ට පිං අනුමෝදන් කළ යුතු ය. මනමාලියගේ මව විසින් පෝරුවේ ඇස්වහ හැරීමෙන් පසු පෝරු චාරිත්‍ර ආරම්භ කෙරේ. චාරිත්‍ර වල දී කවිය භාවිතා වූ ආකාරය පිළිබඳ මෙම විවාහා චාරිත්‍ර වලින් මනාව පැහැදිලි වේ.

1) පෝරුවට නැංවීම

මුලින් ම පෝරුවට නැංවීමට පෙර යුවතිපතීන් ට මංගල පෝරුවේ වැදගත්කම පැහැදිලි කරන අතර පහන් දල්වා පන්සිල් පිහිටුවා නියම නැකත බලා පෝරුවට නැංවීම සිදුකරනු ලබයි.

නිම්මා නැති මහ සාගරේ මැද

එතෙර වන්නට භව තිරෙන්

සම්මා සම්බුදු වේවා කියමින්

අම්මා විවරණ දුන් බෙලෙන්

පියුම් සත ඉද ලොවට පෑ බුදු රත්නයේ තිසරණ බලෙන්

පළමු දොරටුවෙ පහන් දැල්වුනේ බුද්ධ රත්නයේ අනුහසින්

එහි දී යුවතිපති දෙපල පෝරු මස්තකාරූඩ කිරීම සඳහා මාමාවරුන් දෙදෙනෙකු යොදා ගනී. සාම්ප්‍රදායික විවාහයේ දී මොවුන් දෙදෙනා ද විවාහකයන් නොවිය යුතු විය. හෙල සිරිතේ ක්‍රමයට නම් මොවුන් දෙදෙනා වෙන් වුවහොත් ඔවුන්ව රැකබලා ගැනීමට සහ භාරකරුවන් ලෙස පෝරු චාරිත්‍ර අතර මාමාවරුන් දෙදෙනා වගකීමක් මෙන් ම පොරුන්දුවක් දීම සංකේතවත් කෙරේ. 

මෙමුලු ලොව සිව් වේදයෙන් පරතෙරට පත් බමුණන් විසින්

එමුලු කොටගත් විවහ මඟුලට බොහෝ වූ සුබ නැකතකින්

ඇඳුරු පරසිදු ගෙන පලා දුටු නැකත ලං වී ඇති හෙයින්

යෙදෙන මෙම සුබ යෝගයෙන් අද දෙදෙන පෝරුවේ පා තබන්

මින් පසු දෙදෙනාට සෙත් පැතීම සිදු කරනු ලබයි. එහි එන කවි අතර 

සපිරුණු යොවුනින් හා රූ සරින් යුතු එබෝසත්

වගේය ලඳ එකල්හි දෙව්කතක් පන් කතක්යෙන්

මිණි භරණ පලන්ඳාලා මඟුල් පෝරුමත්හි ලා

කල 

අභිසෙස් බෙලෙන් දෙදෙනාහට සෙත් ලැබේවා

දැක්විය හැකි ය. 

2) තැලිපිලි පැලඳවීම

වෛදික දහමට අනුව සැමියාට බිරිඳගේ හිමිකම ලැබෙනුයේ මල් මාලයක් දැමීමෙනි. අතීතයේ එම මල් මාලය වර්තමානය වනවිට මංගල තැල්ල හෝ චේන් පොට දක්වා විකාශනය වී ඇත. සිඟාලෝවාද සූත්‍රයේ 4 වෙනි යුතුකම බිරිඳට යස ඉසුරු සම්පත් පැවරීම යි. 5 වෙනි යුතුකම වන්නේ ඇයට ඇදුම් ආහාරපාන සැපයීම යි. බෞද්ධ ආගමේ ද මෙම අවස්ථාවන් දැකිය හැකි ය.

උදා :- සූත්‍ර පිටකයේ සංයුක්ත නිකායේ සක්ක සංයුක්තයේ සක්දෙවි මිනිසුන්ට නමදින අවස්ථාවක් දැක්වේ. එහි දී තම යුතුකම් දන්නා සැමියාට වන්දනාමාන කරන බව මාතලී විසින් දිව්‍යපුත්‍රයාට පවසයි.

මෙම මගුල් චාරිත්‍ර වල ඇති තවත් සුවිශේෂී කරුණක් වන්නේ මේ චාරිත්‍ර සඳහා බෞද්ධ ගාථා යොදා ගැනීමයි. සෙත් පිරිත් හා තම ආගමිකත්වය සමඟ බැඳුණු අනන්‍යතාවය නොනසා රැකගැනීම යි. තැලිපිලි පැළඳවීමේ දී පවා පිරිත් කීම මෙහි දී විශේෂ වේ. 

කුමරියගෙ වමතෙහි කුල කුමරුන්ගෙ දකුණෙහි

වෙඳැගිලි මේ කෙරෙහි යොමනු මුදු පළඳවනු සිරිතෙහි

මුද්ද යනු සදාකාලිකභාවයේ සංකේතය යි. පෙරදිග වේද නීතිය අනුව අතේ වෙදඟිල්ලේ මුල් පුරුක හදවතට සම්බන්ධ වේ. විශ්ව නීතිය අනුව ගැහැණියට වමතත් පිරිමියාට දකුණතත් විශේෂ වේ. නයිල් නදියේ වාසය කළ ආදී මිනිසුන් ගැහැණියගේත් මිනිසාගේත් එක් වීමේ සලකුණ ලෙස මුදු පැළද වූ බව කියැවේ. මෙය මුලින් ම සිදුකරන ලද්දේ රෝමන්වරු විසිනි. මෙම ක්‍රමය සිංහල වෙදකමේ නාඩි බැලීම සඳහා ද යොදා ගනු ලබයි. 



3) අතපැන් වැඩීම

බිම්බිසාර රජු වේළුවනාරාමය පවරා දුන්නේ ද දෙවන පෑතිස් රජු මහමෙව්නාව පූජා කළේ ද වෙස්සන්තර රජු දේපළ පවරා දුන්නේ ද අතපැන් වැඩීමෙනි. මලගිය ඥාතියාට ද පින් පමුණුවන්නේ ද පැන් වැඩීමෙනි. මෙය පැරණිම පවරා දීමේ චාරිත්‍රය යි. තම දියණිය සැමියාට පවරා දීම අතපැන් වැඩීමෙන් සිදු කරනුයේ වෛදික දහම් රීති අනුව ය. අතීතයේ නැවුම් පූ ලිඳකින් කපුටන් හැඬීමට පෙර නැවුම් කලයකට සුදු රෙදිකඩක් දමා ජලය සත් වතාවක් පෙරා පිරිත් කොට පෝරු මස්තකයේ දී අතපැන් වැඩීම සඳහා යොදා ගනී. ජලයට පවා පැන් ලෙස ගෞරවාර්ථ පද යොදා ගැනීම මෙහි දී විශේෂ ලක්ෂණයකි. මේ කාර්යය ඉටු කිරීම සදහා යොදා ගනු ලැබූයේ තම ආදරණීය පියවරුන් දෙදෙනාය. පියා විසින් තමාට අයිතිව තිබූ වටිනාම වස්තුව වන තම දියණිය සහ පුතණුවන් පාවා දීම සිදු කරනු ලබනුයේ පිරිත් නූලෙන් දෑගිලි ගැට ගසා පෝරුව මස්තකයේ දීමය. මෙහි දී 

සබ්බේ බුද්ධා බලප්පත්තා.. 

ගාථාව සහ ජයමංගල ගාථා ගායනා කරනු ලැබේ. මේ සඳහා යොදාගනු ලබනුයේ කුඩා දරුවන් වන කන්‍යාවියන් 4කි. මොවුන් ද මනාව නා පිරිසිදු වී නිවැරදි ශීලයෙන් යුක්ත විය යුතු ය. මොවුන් විවාහ වීමෙන් පසු තම පවුලේ නොවන හිත මිතුරෙකු ලෙස දෙදෙනා විසින් පෝරු මස්තකේ සිට දරුවන් වෙත තෑගි ලබා දීම සිදු කෙරේ. මෙය ප්‍රබල චාරිත්‍රයක් වන අතර නව යුවලට බුදුන් විවිධ අභියෝග ජයගත් බැවින් ඒ තේජසින් සුබ මංගලම් ලෙසින් මෙම ජය මංගල ගාථා තුලින් ආශිර්වාද කෙරේ. මින් පසු ලබන චාරිත්‍රයක් වන්නේ,

4) සඟල බුලත් හුවමාරුව

මෙහි දී බුලත් අතවල් හතක් දෙදෙනා අතර හුවමාරු වෙයි. බුලත් අතකට ඇති බුලත් ප්‍රමාණය 40කි. අවම සංඛ්‍යාව හතකි. සඟල බුලත් හුවමාරුවේ දී අවම බුලත් සංඛ්‍යාව ගනු ලබයි. මෙයින් පිලිබිඹු වන්නේ සිඟාලෝවාද සූත්‍රයේ එන ආකාරයට සැමියා බිරිඳට මුදල් සොයා දිය යුතු බවත් එම ධනය රැක ගැනීම බිරිඳගේ යුතුකමක් ලෙස යි. සදිසා නමස්කාරය සහ සත්පත්තිනි අර්ථයෙන් මෙම චාරිත්‍රය යොදා ගන්නා අතර පරපුරෙන් පරපුරට ආ හත් මුතු පරම්පරාව, ගම්භාර දෙවියන්ට විවාහා වූ බව දැනවීම සහ මේ එක්වීම යාළුවෝ අසල්වැසියන් වෙනුවෙන් යුතුකම් ඉටුකරන බවට පොරුන්දුවක් ලෙස ද සිදු කරනු ලබයි. 

සුද්ධ සුර නිරිදුන්ට දාව වූ එපින්වත් කුමරුන් උතුම් 

මැද්ද මංගල කිඹුල්වත් පුර නුවර ඉපදුනු අනුහසින් 

යුද්ධ කරලා පැරද වසවතු ගියේ දස පෙරුමන් බෙලෙන් 

බුද්ධ රත්නයේ අනුහසින් මේ මොවුන්හට වේ මංගලම්

5) පෝරුව ඉදුල් කිරීම

මෙය උම්මග්ග ජාතකයේ අමරාදේවි හා මහෞෂධ පඬිවරයා මුණගැසීම සිහිකරන්නකි. ආහාරයට පෙර පැන් පිරිනැමේ. ඉන් අනතුරුව දෙදෙනා කැවුම් කිරිබත් සහජීවනයෙන් ආහාරට ගැනෙන අතර නැවත පැන් පානය කරයි. පැන් යනු ජලය යි. (පෝරුවේ දී පැරැන්නන් ජලය සදහා ද යොදාගත් ගෞරව නාමයක් ලෙස මෙය හැදින්විය හැකිය.) මේ ජීවත්වීමේ කලාවයි. දුකසැප සමසේ බෙදා ගනිමින් දෙදෙනෙකු ලෙසින් නොව එකෙකු ලෙස සිතා කටයුතු කිරීම සංකේතවත් කෙරේ. විවාහය යනු සංසාරගත බැඳීමකි. ඒ බැඳීම තුල ඇත්තේ ආදරය ගෞරවය හා රැකවරණය යි. මේ සියල්ල දෙදෙනා සමසේ බෙදාගත යුතු ය. විවාහයක වටිනාකම එය යි. මේ පෝරුවේ සියලු ම චාරිත්‍ර තුල ඇත්තේ සංකේතාත්මක වටිනාකමකි. අව්‍යාජ ගැමියාගේ ගෞරවය යි. මොවුන් තුල විවාහය අත් හැර වෙනත් විවාහයන් සිදුකර ගැනීම සිදුවූයේ ඉතාම අල්ප ලෙස ය. එක විවාහය සංසාරය පුරාවටම දුක ද සැප ද කම්කටොලු විදදරාගෙන ජීවිතය වින්දනය කලේ ය. ඒ තුලින් ඔවුන්ගේ බැඳියාව ශක්තිමත් විය. මුට්ටිය ඉදෙනකන් විතරයි කියලා කතාවක් තියෙන්නේ. විරසකයක් තිබුනේ බත් හැලිය ඉදෙනකන් වැනි සුළු කාලයකි. ආදරය එකිනෙකා වෙනුවෙන් උතුරන්න ඔවුන් තුල තිබිණ. ඒ මූලිකත්වය හිමිවන්නේ ගැහැනියට සහ පිරිමියාට යි. මේ හේතුවෙන් දූ දරුවන් මෙන් ම නෑදෑ හිතමිතුරන්ගේ ගෞරවයට ලක් විය. මේ සියල්ල පෝරුවේ චාරිත්‍ර තුලින් කියැවිණ. පෝරුව හත් මුතු පරම්පරාව සහ හිත මිතුරන් ඉදිරියේ ගාම්භීරත්වයට පත් වූයේ එහෙයිනි.

සරණ යුග බැදි මඟුල් සිරිතෙහි පෙර සිටන් මේ ලෙස එනා

සර්ණ තිසරණ බෙලෙන් නැවුම් කිරිබත් මුං මනා

සරණ මුණි බලයෙන් ම දිවිතුරා අගහිඟ නොම වෙනා 

සරණ පැතුමන් සිත් සුවා පෝරුවේ ඉදුල් කරනුය මනා

6) කිරිකඩ හේලය පූජා කිරීම

ඔක්කාක රජ සමයේ සුබ්‍රහ්මා සහ සෝමසීලී යන බමුණු යුවළට ජාතක වූ බ්‍රහ්මපාලී කුමරිය දීගෙට යන විට මවගේ කිරිවලට ණය ගෙවීමේ කථා වස්තුවක් උපයෝගී කරගෙන මෙම කිරිකඩ හේලය පිරිනැමීමේ චාරිත්‍රය බිහි වී තිබේ. දියණියක මවකගෙන් පානය කරන ලද කිරි වල ණය කෙදිනකවත් ගෙවිය නොහැකි බව මේ චාරිත්‍රයෙන් කියැවේ. කච්චි කිරිකඩ ලෙස ද මෙය හඳුන්වයි. යාර 36ක සුදු කපු රෙදි තම මවට පෝරු මස්තකයේ සිට තම දියණියගෙ සැමියා විසින් ලබා දෙන අතර අතීත යශෝදරා කතා වස්තුව ද මෙයට මූලික වී ඇත. දියණිය මවක් වීමට දැන් සූදානම්‍ ය. පෝරුවේ තම සනුහරේ ඉදිරියේ ඇය ගෞරවයට පාත්‍ර වී හමාරය. අප ශ්‍රී ලාංකීය සංස්කෘතිය තුළ ලිංගිකව එකතු වීමට අවසරය හිමි වන්නේ සරණබන්ධනයෙන් පසුව ය. මෙහිදී සහල් පාගා දිවුරමින් ඇගේ පාරිශුද්ධත්වය සහ මවගේ පියාගේ ගෞරවය සංකේතවත් කරනු ලබයි. අතීතයේ පෝරුවේ චාරිත්‍ර තුල දියණියගේ මවට පමණක් තෑගි ලබා දීම සිදු කෙරිණ. දියණියක් වැඩිවියට පැමිණියායින් පසුව සිට ඇය කුල කුමරියක් ලෙස ගෞරවනීය විවාහයක් දක්වා රැගෙන ඒම තුල මවකට යුතුකම් සම්භාරයක් පැටවේ. මෙය පියාට ද උරුම වගකීමක් වූ වද දියණියක් පවුලක් ලෙස සමාජයට ගෙන ඒමට අවශ්‍ය සියලු දැනුම් තේරුම් මව විසින් ලබා දෙයි. ඇය සුන්දර දක්ශ දියණියක් ලෙස ගෞරවයට ලක් වන්නේ තම මවගේ ගුණධර්ම තුලිනි. අතීතයේ පමණක් නොව අද වර්තමානයේ ද දියණියක වැරැද්දක් කලහොත් තම මවට බැනීම හෝ අවලා ද කීම සමාජයේ පොදු ලක්ෂණයකි. සහල් යනු ගැහැණිය සමග සම්බන්ධ ධාන්‍ය වර්ගයකි. ගෙදරක බත් හැලියක් ඉදෙන්න ගැහැනියක් සිටිය යුතුම ය. ඇය ගුණධර්ම වලින් අනූන විය යුතු ය. මේ සියල්ල ඇයට හිමි වන්නේ තම මව තුලින්ම පමණි. මේ හේතුවෙන් මවට දක්වන ඉහල ම ගෞරවයක් ලෙස දියණියකගේ මෙම චාරිත්‍රානුකූල සාම්ප්‍රදායික විවාහ පෝරුව සැලකිය හැකි ය. මෙම නොයිදුල් පෝරුවක් මතට එදා නැගිය හැක්කේ නොයිදුල් කන්‍යාවියක්ට ම පමණි. ඒ තුලින් ඇගේ පවිත්‍ර නොයිදුල් බව සතර පේරුව ඉදිරියේ තම මව විසින් ගෞරවයෙන් සංකේතවත් කරනු ලැබීය. මේ නිසාවෙන් මේ කච්චි කිරිකඩ හේලය පිදීම මවට ගෞරවයක් ලෙස සිදු විය. සිදුහත් බෝසතානන්හට බුද්ධත්වය ලැබීමට විවරණ ලබා දුන්නේ ද තම මව විසිනි. තම දියණිය මනාලියක් ලෙස අලංකාර කරනු ලැබූයේ ද අතීතයේ ඇය විසිනි. මවයි මුලින් ම තම දියණියගේ සුන්දරබව දකිනු ලැබූයේ. මවගේ ආශිර්වාදය යි මුලින් ම ඇයට ලැබුයේ. මංගල තැලි පළදා ඇය සනුහරේම ගෞරවයට් පාත්‍ර වන්නේ මව නිසාවෙන්ම පමණී. මේ සියල්ල මේ කවි 29 තුල අන්තර්ගත වී ඇත.

අනෙක දුක් වින්දා පුතණුව ම දුව හන්දා 

දෙතනේ කිරි කන්දා මගෙන් කොපමණ බොන්න ඇති දා

මා විදපු දුකසේ දුව ඇති කලේ මලක් සේ

පුතණුවනි නෙතක් සේ ඇතිකලා රන්මිණක් සේ

මව් පියවරුන් හට දරු දුක සම කරන්නට 

උපමා කරන්නට දෙයක් කුමරුනි ඇති ද කිය මට

රනින් කිල්ලෝටයෙහි ඇමුණු එරන් කෙන්දයි 

රන් ගාපු ගිරයයි තබා කිරිකඩ රෙද්ද පිදුවයි

රන් හෙප්පු ගත්තේ ඒ පිට තබා නිත්තේ

මවට දුන් සත්තේ එදයි කිරිකඩ ලොව පැවැත්තේ

මින් ඉහත නුඹ දුව අප ලඟ විසුවද දුව

මින් මතු මගේ දුව හිමිට අදරින් වසාපන් දුව

සිය හිමිගෙ කිසියම් දුටුව ද වරද ඉවසම්

දබර කරගෙන ගෙදරින් නොයන් කිසි කල දුවේ මගෙ පෙම්

වැඩිහිටියන්ට බුලත් දීමත් ඔවුන්ගේ ආශිර්වාදය ලබා ගැනීමත් සිදු කිරීමෙන් පසු එලඹෙනුයේ

7) පෝරුවෙන් බැසීමේ චාරිත්‍රය

අවිවාහකයන් ලෙස භාරකරුවන් යටතේ පෝරුව දෙපසින් නැඟි යුවළ විවාහකයින් ලෙස එකිනෙකාට භාරකරුවන් වෙමින් සුභ දිශාවට මුහුණලා පෝරුවෙන් බසී. පෝරුවෙන් බැසීමට පෙර වරම් ගැනීම සඳහා ආශිර්වාද කවි 8ක් ලාංකීය සංස්කෘතියේ පවතී. 

රන් පණම් පන් පඬුරු දළුමුර ඔප්පු කර ජය මංගලම්

සංතොසින් මේ පුද දිවැස් ලා සිව්වරම් දෙව් මංගලම්

ගත්ත දළුමුර ඉන්න නෑයෝ පිරිවරා දෙව් මංගලම්

පෝරුවෙන් බැස යන්න දෙවියනි දෙන්න අවසර මංගලම්

පෝරුවෙන් බැසීමේ දී පෝරු මස්තකේ දී සරස්වතී ඝණදෙවි දැහැනෙන් වස් දොස් හැර බුලත් කොලයක් මත පඬුරක් තබා හිස වටා කරකවා මුඩ්ඩ සහිත පොල් ගෙඩියක් මත තබා මාමා විසින් බිඳිනු ලබයි. මේ මාමා දරුවන් සිටින විවාහක පුද්ගලයෙකු විය යුතු ය. අතීතයේ පැවති තවත් චාරිත්‍රයක් තමයි මගුල් පැදුර. මෙය විවාහ වීමට මත්තෙන් කුල තරුණිය විසින් රටා යොදා වියනු ලබයි. මෙය පෝරුවෙන් බැසීමේ දී පෝරුවේ ඉදිරියට එලන අතර යුවල විසින් පැදුර තල්ලු කරගෙන ඉදිරියට යා යුතු ය. මෙය තුලින් සංකේතවත් වූයේ ඔවුන්ගේ යුග ජීවිතය යි. මොවුන් අරඹනුයේ අලුත් ජීවිතයකි. එහි දී තරුණියගේ අත්කම් පිළිබඳ ඇති හැකියාව ද සංකේතවත් විය. මෙය එලා මොවුන් එකට එක්විය යුතු විය. කෙදිනකවත් මෙම පැදුර පිල උඩ එලීම, නෑදෑයින්ට නිදාගැනීමට දීම තහංචි විය. අතීතයේ අද මෙන් හොටෙල් කාමර සහ නිදන යහන් තිබුණේ නැත. දරුවෙකු ලැබීමේ දී පමණක් මෙම මගුල් පැදුර කොහොඹ කොල දමා යොදාගනු ලැබීය. මෙයින් ඇයට මානසික සැහැල්ලුවක් ඇති විය. ඔවුන්ට තිබුණේ සරල සුන්දර ගතිපැවතුම් ය. ඒ තුල සතුට සෙනෙහස උතුරන්න තිබුණු අතර පළමු රැය ගත කරනු ලැබූයේ තම නිවසේ ය. ඇය කුලුදුලේ පතිනියක් වන්නේ තම සැමියාගේ නිවසේ ය. පවිත්‍ර පිරිසිදු සංස්කෘතිය තුල තිබුණු ඒ සුන්දර සෙනේහවන්ත චාරිත්‍රයන් තුල තිබුණේ මවගේ ගෞරවය යි. ඇය කුලුදුලේ ගැහැනියක් වීම එදා සමාජයේ මහා ගාම්භීරත්වය සංකේතවත් විය. (උදෑසනින් ම කුල කුමරියගේ මව සහ නෑදෑයන් පිරිස කුල කුමරාගේ නිවසට පැමිණෙන අතර එහි දී දියණියගේ පිරිසිදු බව මව ඉදිරියේ පෙන්වීමත් ඉන් පසු රබන් ගසා දෙවෙනි ගමන උත්සවාශ්‍රීයෙන් සැමරීමත් සාම්ප්‍රදායික විවාහයේ සිරිතයි) පෝරුවෙන් බැස ඔවුන් පහන් දැල්වීම සිදු කරනු ලබයි. මෙයින් සංකේතවත් වූයේ අදුර පලවාහැරීමට ආලෝකය අවශ්‍ය වන්නා සේම අදුර පලා යාමත් සමග යා යුතු මග හොදින් ම පෙනේ. මේ ආලෝකමත් වන්නේ නව යුවලගේ ජීවිතය යි. ජීවන මාර්ගය යි. මගුල් බෙර සහ සක් නාදයන් අතරින් නව යුවල නව ජීවිතයකට පා තබයි.

මෙම පෝරු ගායනාවන් තුල විශේෂ ලක්ෂණ දැකිය හැකි ය. ගාථාවක හෝ කවියක නාද මාලාව බොහෝ වාර ගණනක් ගැයීම සිදු වීම විශේෂ කරුණකි. මෙය අසන්නා විඩාවට පත් කරවන සුළු වූ වක් වූව ද මෙය අර්ථ රසයට මුල් තැනක් දුන්නේ විනා ද නාද රසයට දෙවැනි තැනක් ම වූ බව පෙනේ. ඉහළ හඬකින් ගායනා කිරීමත් බොහෝ අවස්ථාවන් වල දී මධ්‍යමය හෝ පංචමය ශ්‍රැති ස්වරය වේ. ස්වර පරාසය ස්වර 3 - 5ත් අතර සීමාවක පටු වීමත් එනිසාම උච්ඡ ස්වර ගැයීම ද පහසුව ආරක්ෂා වීම ද මෙහි දී සිදු වේ. මෙම අශ්ටක තුල දේශීය වහරින් ම පද බැදි කවි ගායනාවන් ද දැකිය හැකි අතර මෙම කවි ගායනාවන් තුළ ඇත්තේ සාම්ප්‍රදායික විවාහයේ තිබූ නියම ගුණධර්මයන් ය. 

අතීතයේ සාම්ප්‍රදායික විවාහය තුල පැවතියා වූ මෙම ගෞරවනීය චාරිත්‍ර ඔවුන්ගේ කුල කුටුම්භය වර්ණවත් කලේ ය. සහල් පාගා දුන් පොරොන්දු සතුට දුක කම්කටොලු කොපමණ පැමිණිය ද සැමියා බිරිදටත් බිරිද සැමියාටත් සෙනෙහස මෙන් ම ගෞරවය දැක්වී ය. ඒ තුලින් මව නැන්දම්මා යන ආකල්ප ගොඩනැගුනේ නැත. වර්තමානයේ මෙන් මේ විවාහය නොගැලපෙනවා යැයි සිතා යලි වෙන් වී නැවත විවාහයන් සිදු කිරීමත් වෘතිය මත ම පමණක් ආදරය ලිංගිකත්වය හා සෙනේහවන්තකම් පවත්වා ගැනීමත් අතීත සම්ප්‍රදායන් තුල සිදු වූයේ නැත. විශ්වාසය මත පදනම් වූ හෘදයාංගම බැදීමක් පෝරුවේ සිට සංසාරය පුරාවටම ඔවුන් හා බැදී පැවතිණ. දරුවන් රැකබලා ගෙන තම සැමියා මොන දේ කරත් තම පවුල රැක ගැනීම බිරිඳ සතු යුතුකමක් ලෙස සිතා කටයුතු කලේ ය. එය ඇය ඉටු කලේ මනා ඉවසීම සහ ආත්මීය විශ්වාසය තුලිනි. බෞද්ධ ආකල්ප සහ එකිනෙකා අතර තිබුණු සහ සම්බන්ධතාව ආදරය තුලින් නැගුණු සෙනේහවන්තකම කුල කුටුම්භය වර්ණවත් කලේ ය. පරිසරය සමඟ බැදුණු එම සෞන්දර්යවාදී අව්‍යාජ මිනිසා තුල තිබුණු එම ගෞරවනීය චාරිත්‍රයන් වර්තමානය තුල හැලෙමින් පවතිමින් පුද්ගලානුබද්ධව නිර්මාණය වෙමින් පවතී. ඒ තුල ඇත්තේ ඔබෙත් මගෙත් සාම්ප්‍රදායික විවාහයේ චාරිත්‍රයන් ද. ඒ තුල එදා තිබුණු සෙනේහවන්ත වූ පොරොන්දු කවියකට රචනාවකට සීමා වී ආදරය පෑල දොරෙන් පැන යන්නට ඉඩක් සලසා ඇති ද. කුල වර්ගයා බෝ කිරීමත් එසේ නොකිරීමත් සෙනේහවන්ත හැගීම් ගොන්නෙන් මිදීමට කාරණයක් වේවි ද යන ප්‍රශ්නයන් එදා ඔවුන්ගේ අව්‍යාජ සිනහව තුල ගැබ්වී තිබුණේ නැත. උඩරට විවාහයේ එන කුල ක්‍රමය සහ මගුල් පෝරු චාරිත්‍ර තුල තිබුණේ ම ගතානුගතික බැඳියාව තුල අන්තර්ගත වූ ඔබෙත් මගෙත් උරුමය වූ සංස්කෘතියේ හැඟීම්බර වූත් අභිමානවත් වූත් චාරිත්‍ර ලක්ෂණයන් ය.

Top