යන්ත්‍ර සූත්‍ර නිසා ඈතට ගිය ගැමි සුවද (461)

post-title

මිනිසා මෙම ධරණීතලය මත උපන් දා පටන් අද වන තෙක්ම එක එක යුග පහුකරන්න උනා.ඉතින් ගොවි යුගය කියල කියන්නෙ ඒ අතරින් එක යුගයක් උනත් ගොවිතැන කියන්නෙ මිනිස්සු අදටත් දේවත්වයෙන් අදහන වෘත්තියක්. ඈත අතීතයේ ඉදන් වර්තමානය දක්වාම මිනිසුන්ගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය උනේ ගොවිතැන. ඉතින් අද වගේ යන්ත්‍රසූත්‍ර නැති කාලෙ ගමයි, ගැමියොයි, ගොවිතැනයි අතර තිබ්බ බැදීම, ඒ ගැමි සුවද, හරිම අපූරුයි. ගමේගොඩේ භාෂාව  හරි  ලෙන්ගතුයි . ඒ වගේම හිතට දැනෙන්න ළය නැවුම් සුවදින් පුරවන්න පුලුවන් උනු එකම තැන තමයි ගම කියන්නෙ. හරි අපූරු ජීවන සුවදක් තමයි ගමයි ගොවිතැනයි අතර තියෙන්නෙත්. ඒ වගේම තමයි මිනිස්සු අතර තියෙන එකමුතුව හරි පුදුමයි. එක හූවයි තියන්න ඕනි මිනිස්සු එකතුවෙනවා කරදරයක් කියල හිතල. ඉස්සර ඉතින් අත්තම් ක්‍රමේට තමයි ගොවිතැන් කටයුතු සිදුකලේ. කුලී ගෙවනවා කියන එක හරි අඩුවෙන් තමා සිදු උනේ. ඒ කාලෙ යන්ත්‍රසූත්‍ර නැති නිසාම ශ්‍රම දායකත්වයෙන් තමයි හැමදේම සිද්ධ උනේ. එක්කෙනෙක්ගෙ වැඩට තව කෙනෙක් ගියොත් ඒ කෙනාගෙ වැඩටත් කලින් කෙනා එනවා.ඒකට තමා අත්තම් ක්‍රමය කියන්නෙ. බුලත් ගොන්නක් අරන් ගෙයින් ගෙට ගිහිල්ල ගොයම් පැළ හිටවන්න, ගොයම් කපන්න ආරාධනා කරනවා.එතැනින් බුලත් කොළයක් ගන්නව කියන්නෙ ආරාධනාව පිළිගන්නව කියන එක . ඊට පස්සෙ තමා ගොන්නෙ ඉතිරි ගොන්නෙ ඉතිරි බුලත් කොළ ගාන ගණන් කරල  කී දෙනෙක් වැඩට එනවද කියල දැනගන්නෙ. ඒ තරමට ලස්සන චාරිත්‍ර ටිකක් තමා ශ්‍රී ලාංකික අපට උරුම  වෙලා තිබ්බ.

මී ගවයින්ගෙන් කුඹුරු හානව කියන එකත් වෙනමම කලාවක්. නෙලුම් කොලේ, කෙසෙල් කොලේ, කැන්ද කොලේ දාගෙන කිරිබත් කෑල්ලක් කට්ට සම්බල් ටිකක් එක්ක කුඹුරෙ නියරෙ ඉදන්ම කෑමට ගන්නවා කියන්නෙ රසත් එක්කම අමුතුම අශ්වාදයක්. නමුත් යන්ත්‍ර බිහි උනාට පස්සෙ මේ ගැමිරස, ගැමි සුවද, එකමුතුව පෑල දොරෙන් පැනල ගිහිල්ලා තියෙන්නේ වර්තමාන , අනාගත පරපුරට එහි සුවද පොදක්වත් රස විදින්න තියෙන අවකාශය අහිමි කරල. කුඹුරෙදි කට්ටියම එකතුවෙලා ගොයම් පැල හිටවද්දි,කපද්දි මහන්සියට එක එක තාලෙට කවි පද ඇමිණුනා, කියවුණා. අද අපි ඒවට නම් දීල තියෙනවා ගොයම් කවි, පැල් කවි, කරත්ත කවි කියල . නමුත් ඒ කාලෙ ඒව කියවුනේ මහන්සිය , තනිකම ,පාලුව මකාගන්න තමයි. වගාවන්ට සත්තුන්ගෙන් ඒ කියන්නෙ අලි, ඌරන්ගෙන් කරදර එනව කියන එක ඒ කාලෙ හරි සුලබ දෙයක් වෙලා තිබුණා. ඉතින් කට්ටිය කතාවෙලා තමයි දින මාරුවට පැල් රකින්නෙ. ඉතින් එහෙම වෙලාවට එක පැලක ඉදන් අනෙක් පැලට ඇහෙන්න කවි කියන්නෙ තනිකම, පාලුව මකාගන්න. එක්කෙනෙක්ගෙ කවියකට තව පැලක කෙනෙක්ගෙන් පිළිතුරු කවියක් එනව කියන්නෙ එතන තියෙන්නේ තරගයක් වගේම  වෙනම මිහිරියාවක්.ගොයම් කපල, මිටි බැදල, ගොයම් පාගන්න කොළඹට ගෙනාවම කමතෙදි කතා කරන භාෂාව හරිම වෙනස්. අනිත් එක කමතට ගොයම් ගෙනත් දාන්න කලින් කොහොඹ ලෑල්ලයි, හක්ගෙඩියයි ,මුත්තයි තියල රටා ඇදලා කරන කාර්‍යයන් ටිකට කියන්නෙ අළුවන් වඩනවා කියල . යන්ත්‍රසූත්‍ර ආවට පස්සෙ කමතෙ රටාවක් ඇදෙනවා තියා කමතත් අභාවයට ගිහිල්ලා තියෙනවා. අද අත්තම් ක්‍රමයක් කියල එකක් දකින්නවත් නෑ. යන්ත්‍රසූත්‍ර වල ආගමනය ගැන කතා කරනවනම් ඉස්සර මී ගවයින්ගෙන් පාගපු කොළය පස්සෙ අත් ට්‍රැක්ටර් වලින් පෑගුවා ඊට පස්සෙ මහ ට්‍රැක්ටර් ආවට පස්සෙ ඒවගෙන් පාගන්න පටන් ගත්ත . ඊටත් පස්සෙ කමතට ගෙනත් කොළ පාගනවා වෙනුවට ඇග්‍රිමෙක් යන්ත්‍රය මගින් වී ටික ගත්ත. ඊට පස්සෙ සුනාමි කියන යන්ත්‍රය ආව. අද වෙනකොට අතින් ගොයම් කපන්නවත්, කමතෙ කොළ පාගන්නවත් අවශ්‍යතාවයක් නෑ. ගමේ වචනෙනෙන්ම කියනවනම් භූතයාගෙන් මේ ඔක්කොම ක්‍රියාවන් එකවර කරගන්න පුලුවන් වෙලා තියෙනවා . ඉස්සර ගෙදරම වී ටික කොටල තමයි සහල් ටික වෙන්කර ගන්නෙ. ඒ උනාට අද වෙනකොට  ඒ කාර්‍යයන් කිරීමටම නිමවුනු යන්ත්‍ර උපකරණ සහිත වී මෝල් ඇති නිසා වැඩ පහසු උනාට ඒ වගෙන් සහල් වල තියෙන පෝෂණ කොටසතුත් අයින් වෙලා යනවා.යන්ත්‍රසූත්‍ර නිසාම අද ගමේ තිබ්බ ගැමිකමත් ගමෙන් ඈත්වෙලා ගිහිල්ලා තියෙනවා . කොටින්ම කීවොත් අද ගම්මාන තියෙන්නේ හරිම අඩුවෙන් . තියෙන්නෙ ගැමිරික කලාප කීවොත් තමා හරියටම හරි. අද මී ගවයෙක් දකින්න පුලුවන් ෆාම් එකක විතරයි . ගමක මී ගවයෙක් දකින්න ඉන්නවා කියන එකත් දුලබ දසුනක්. ඒ වගේම තමයි යන්ත්‍ර ඇවිල්ල උදුරගත්තෙ ගමේ ගැමි සුවද විතරක් නෙවෙයි  මනුස්සකමත් උදුරගත්ත. ඇත්තටම අද ගැමියො අතර එදා තිබ්බ මනුස්සකම නෑ. ඉස්සර වක්කඩ ළග දිය කෙළපු දණ්ඩි පැටව් අද නෑ. අත්තම් ක්‍රමය අභාවයට ගිහිල්ලා කුලී ක්‍රමය තමයි වර්තමානයේ ක්‍රියාත්මක උනේ. ඒත් අද ඒකත් නැති වෙමින් යනවා. ඉස්සර නියර උඩ, කමතෙ ඉදගෙන කිරිබත් කෑල්ලක් රස බලපු මිනිස්සු අද නෑ. අද කුඹුරෙ ගොයම් කපනව කියල ගෙදරක කිරිබතක් ඉදෙන්නෙ නෑ. මොකද භූතයාගෙන් ඔක්කොම කරන නිසා ඉක්මනටම වැඩේ වෙනව. තමන්ගෙ වැඩ තමන් කරගෙන පාඩුවෙ ඉන්නව මිසක් නිකමටවත් තව කෙනෙකුට උදව් වෙන්නෙ නෑ. සත්තු බය කරල එලවන්න එක එක ආයුධ තියෙන හින්ද ඉස්සර වගෙ සත්තු වගාවන්ට එන්නෙත් නෑ කවුරුත් පැල් යන්නෙත් නෑ .. ඒ වගේම තමයි අද වගා කරන අයට කවි පබැඳුම් හැකියාවකුත් නෑ. ඇත්තටම අද දිය හොල්මන කියන්නෙ මොකක් ද කියල ඇහුවොත් කවුරුත් ළමයෙක් දන්නෙත් නෑ . නෙලුම් කොලේ රස අදුරන්නෙත් නෑ. යන්‍ත්‍ර ඇවිත් නැති කලේ ගැමි සුවද විතරක් නෙවෙයි මිනිස්සුන්ගෙ නීරෝගිකම කියන දේත් නැතිකරල දැම්ම. 

ඉතින් අද වෙද්දි ගැමි සුවද අකුරුවල තැවරුණු සුවදක් විතරක්ම වෙලා . පුලුවන් නම් අධ්‍යාපන ක්‍රමය ඇතුලෙවත් අකුරු තුළින් ඒ සුවද නැවත මතුකරන්න නොමිනිසත්කම මිනිසත්කමක් බවටත් රෝගී බව නීරෝගී බවටත් පෙරලීමට හැකියාව ලැබෙනු ඇත. 

Top