මුළුතැන්ගෙහි වතගොත (458)

post-title

මුත්තේ මුත්තේ පොල් කඩන්නද?”

“එපා එපා"

නැට්ට කැරකැව්වා

එහෙමනං ඔක්කොම කඩපං”

මෙවර දින 3 ක නිවාඩුව ලැබුණු විගසින්ම වෙනදාටත් වඩා උද්‍යෝගයෙන් කටුක ගෙන්දගම් පොළොවෙන් ඈත් වී ලහි ලහියේම ගම්පියස කරා පියනැගූයේ ලෙහෙසියෙන් අප නිවසට වද්දාගත නොහී මහගෙදරටම වී වෙල් දෙනිවල, ඇළ දොළේ සුවඳට ලොබ බඳින අත්තම්මාව අම්මා විසින් අප නිවසට කැන්දාගෙන ආවා යැයි කියු නිසාවෙනි. 

"ජනශ්‍රැතිය" නම් වූ අකුරු 5 ට වහ වැටී ඒ පසුපස හඹායන්නට වූ තැන් පටන් පමණක් නොව, මා මෙලොව එළිය දුටු දා පටන් "ලුණුවිල තැම්බූ වතුර" ගෙනැ හිල් පොක්කටුවකින් මාව නහවා කල්ක ගුලියක් හෝ වෙනයම් බෙහෙතක් ගෙන සෙනේහෙන් යුතුව මා හට පොවා , අත පයෙහි ඇද යවා... මා පමණක් නොව සනුවරේ අනික් හීං උන්ද උස් මහත් කර උස් කඳු මුදුන් කරා යැවූ ඈ මා හට මහමෙරක් තරම් වටිනේය.. ඈ සිටිනා තැන සිනා සාගරයකි..කවි කතා අහුරකි... ඈ සිටිනා ඉසව්වෙන් ස්‍රියා කාන්තාව හැරීවත් නොබලන්නීය...

"අපෙ ආච්චිගෙ කොට හිරමනෙ, 

ජිංජි බරස් බරස් බරස්"

අත්තම්මා ඔන්න හා හා පුරා කියාල කතාව ඇරඹුවේ ඕං ඔහොමයි. 

දත් නොමැති ලොඹු කට පුරා සිනාසෙමින් රන්වන් පැහැ සමකට උරුමකම් කියන ඈ එයින් සිහිපත් කළේ එදා ගංගොඩේ මෙන්ම මාද ප්‍රිය කළ අපූරු ක්‍රීඩාවකි. 

එලෙස ඇරඹෙන්නා වූ පුංචි සංදියේ අප ප්‍රිය කළ පුංචි පහේ ක්‍රීඩාවකින් එදා අතීත ගැමි නිවෙස් වල මුළුතැන්ගෙහි ක්‍රියාකරකම් කිහිපයක්ම අනුකරණය කරනු ලැබුවේය. මීට මෙළවූ දෑත් වලින් එකිනෙකාගේ මිට මෙලවූ දෑත් මත තබා සංවාදයේ යෙදමින් මෙම සෙල්ලම ඇරඹේ. 

එහිදී පොල් ලෙලි ගසා, පොල් බිඳ පොල් ගා ගන්නේ මෙසේය.

“අපෙ ආච්චිගේ කොට හිරමනෙ

ජින්ජි බරස් බරස් බරස්”

එවන් හාස්‍යෝත්පාදක වදන් තෙපළමින් සංවාදයේ යෙදී අවසන බඩ කට පුරා සිනාසෙති. එතැනින් නොනැවතුණු හීං උන් ,ඇණතියාගත් තැන් වලින් නැගිට එකිනෙකා පරයා දුවයමින් වෙල් දෙණි , ලඳු කැලෑ වල කරක් ගසමින් "වෙරළු,මාදං,ඇඹිල්ල,නමිනං,ඇඹුල් පේර වැනි පළතුරු වලටද වගකියමින් ගම වටා ඇදෙති. ඉන්පසු. ඇළේ දොළේ දියබුං ගසමින් නා කියාගත් විගස හැන්දෑ ජාමේ වන විට පිළිකන්නෙන් ගෙපැලට රිංගා ගන්නා හීං උන් පළමුව පිවිසෙන්නේ අම්මාගේ ව්‍යංජන වල සුවඳ වෑහෙන "මුළුතැන්ගෙය නොහොත් කුස්සියටය."

අතීත ගංගොඩේ ගැමි ගෙවල් වල කුස්සිය යනු හුදූ ආහාර පිසින්නා වූ ස්ථානයම නොවේ. දන්නා හඳුනන බොහෝ ගෙවල්වල අය කුළුපග නෑ සිය හිතමිතුරන් සමඟ සාමීචියේ යෙදුණේ සාලයේ සැටියේ හිඳගෙන නොව, කුස්සියේ තිබුණු පෙට්ටියක් හෝ කැඩුණු වැල් මත ලෑල්ලක් තැබූ පුටුවක හිඳගෙනය. ඉතාමත් කුළුපග අය නිවසේ කුස්සියට ගොස් ගෙදර උදවිය හා සාමීචියේ යෙදෙන්නේ සුහදතාව පළකරන්නටය. එවැනි අමුත්තන්ට තේ එකක් පවා පිරිනැමුණේ කුස්සියේදීමය.

දශක තුන හතරකට පෙර කුස්සිය නවීකරණය වෙන්නට පෙර අපි ආහාර පිසගත් ආකාරයට, ආහාර තාක්ෂණය පිළිබඳ ශිල්පීය අතින් නොව, එදිනෙදා දන්වන සාමාන්‍ය කරුණු ආශ්‍රයෙන් මතක් කර ගැනීම සිතට සුවයක් දැනෙන කාරණයක් පමණක් නොව දිවට කෙළඋනන කාරණයක් ද වෙයි.

ඒ ගැන කරුණු කියන්නට පටන් ගත යුත්තේ කුස්සියෙන්මය.

වඩාත් වෙනසකට භාජනය වී ඇත්තේ කුස්සියේ ප්‍රධානතම අංගය වූ ආහාර පිසගන්නා ලිපය. ගෑස් මිල ඉහළ යනවිට නාගරිකයන්ගේ සහ අර්ධනාගරිකයන්ගේ ඉහමොළ ලිප තරමටම රත් වුණද, දරවලින් උයන කාලයේ දර මිල ගැන ගෘහණියන් තැවුණු බවක් නම් මතක නැත. ඉස්සර බිම් මට්ටමේ තිබුණු දර ලිප පසු කාලයේදී ඉණ තරමට උසින් බැන්දේ ගෘහණියගේ පහසුව තකාය. ලිපට උඩින් චිමිනිය බඳින්නට පුරුදු වූ නිසා දුමෙන් බේරෙන්නට හැකි වූයේය. දරවල දුම වැඩිවන විට වැඩිදුර බැණුම් ඇසුවේ දරමඩු කාරයාය. දරලිපේ දුමද ආහාර කල්තබාගන්නට උපකාරී වූයේය. තෙතමනයෙන් බේරාගත වුතු කරවල ගොරක වැනි දෑ එල්ලුවේ දර ලිපට උඩින් තිබූ දුම් මැස්සේය.පොලොස් මාළුව, ඇඹුල් තියල් මාළු මේ කොයි ආහාරයේත් රස දැනෙන්නට දර ලිපේ දුම යම්තමින් වැදෙන්නට ඕනෑමය.දර ලිපේ දුම මෙන්ම සොබාවික ඉර අව්ව ආහාර කල්තබා ගන්නට අපි උපයෝගී කර ගත්තෙමු. බිලිං, ගොරකා, ලුණු දෙහි පමණක් නොව වැඩිදුර ඇති විට කොස් දෙල් පවා අව්වේ වේලාගත්තේ ආහාරයේ රසයත් විවිධත්වයක් විඳගැනීමේ අරමුණෙනි.

මීළඟට මුළුතැන්ගෙහි බඩු මුට්ටු වලින් ප්‍රධානතම අංගයක් වන හිරමණය දෙස නෙත් යොමා බලමු.ඉස්සර අපේ ආච්චිලා පොල් ගෑ ජින්ජි බරස් හිරමණය පොල් ගා ගන්නා මෙවලමකට අමතරව බංකුවක් ලෙසද භාවිතා වූයේය. එළවළු කැපීම, මේවාට තුනපහ කවලම් කිරීම ආදිය කළේ හිරමණයේ හිඳගෙන වෑංජන ඇතිලි ළඟ තබාගෙනය.

වංගෙඩියක්, මෝල්ගසක්, මිරිස් ගලක් අතීතය සිහිකරන මෙවලම් සේ සාලය සරසන්නට තබා ගන්නට වටින්නේ අලුත් පරම්පරාව ඒවා දැක නැති නිසාත්, ඒවායින් අතීත සුන්දරත්වය සිතට දැනෙ නිසාත්ය. අපේ ජනකතා, ළමා කවි ගී, නිසාත්ය. මේවා රාශියකට මුලාශ්‍රය වී ඇත්තේ කුස්සියේ ඇති හිරමණය, වංගෙඩිය, මෝල්ගස හා මිරිස් ගලක්ය. මිරිස්ගලේ දුරු මිරිස් තුනපහ අඹරා තලියක් ලෙස තබාගෙන ව්‍යාංජනවලට මුසුකළ කාලය දැන් නිමාවූ සෙයක් පෙනේ. අපේ අම්මලා, ආච්චිලා කුස්සියේ උයන කාලයේ මිරිස් ගල අයිනේ අඹරා ගත් කහ, මිරිස්, තුනපහ තලි දෙක තුනක් පෙනෙන්නට තිබුණේය. එමෙන්ම අතීතයේ අද මෙන් කහ කුඩු වැනි කුළුබඩු වෙළෙඳපොළෙන් ගෙන එන්නේ නැත. ගෙවත්තේ , වෙල් ලියදි උඩ වගා කොට ඇති අමු කහ අල ගෙනැ මිරිස් ගලේ අඹරා ව්‍යංජනයට දමති. 

ගමරාලගේ වංගෙඩිය වගේ යයි ඊට කීවේ ඔහු ක්‍රියාකාරකම් කිහිපයකටම වංගෙඩිය භාවිතා කළ නිසාය.

පොඩි ගල් වංගෙඩියක කොටා නැතහොත්, මිරිස් ගලේ අඹරා සාදාගත් පොල් සම්බෝලය මතක් වනවිට අදටත් කටට කෙළ උණයි. රතුලූනු, වියළි මිරිස්, ලුණු කරපිංචා, ගම්මිරිස්, උම්බලකඩ එකට කොටා හෝ ගලේ අඹරා කලවම් කරගන්නා පොල් සම්බෝලයට ඒ කාලයේ ගෘහණියෝ ඉඳහිට සියඹලා, විනාකිරි පවා මිශ්‍රකොට රසකළහ. පොල්සම්බෝලය ඕනෑම තාලෙක බත සමඟ පෑහෙයි. ගලේ අඹරාගත් පොල් සම්බෝලය ගෙදර සාදාගත් ආප්ප කෑමට වඩාත් යෝග්‍යවේ. ඉහත කී පොල් සම්බෝලයට කුරුඳු පොත්තක් දමා කෙටූ විට රස තවත් අතකට හැරෙයි.

කට්ට සම්බල් හදන්නට කුඩා ගල් වංගෙඩියක මිරිස්, උම්බලකඩ, රතුලූනු එකට යොදා ටිකක් වේලා කොටන විට එන සුවඳින් සිතේ ඇතිවන රුචියට මැටි කබලේ තබා දර ලිප මත පුළුස්සාගත් රොටි හත අටක්ම කන්නට සිතේ.කළුපාට මැටි හට්ටිවල අම්මා පිසූ පරිප්පු, කරවල බැදුම ආදිය පාසල් ඇරි අවුදින් අනුභව කිරීමෙන් පසු නැවත වරක් දෙවැනි වතාවට හවස 3ට පමණ කෑවේ එම හට්ටිවල බත් අතුල්ලාගෙනය. තරු පහේ හෝටලයකින් කෑ කෑමක් මතක් වන විටවත් එවැනි ප්‍රණීත රසයක් සහ සුන්දර හැඟීමක් සිතට නොනැගෙන්නේ ඒවායේ සෙනෙහසද මිශ්‍රවී තිබුණු නිසා වන්නට ඇත.

කුඹුරු සමීපයේ වැවෙන අල කොළ කඩා ගෙනැවිත් ලිපේ දුම් වැදෙන්නට උඩින් දවස් දෙක තුනක් එල්ලා තබා සාදන වෑංජනයක් අදටත් අපේ අත්තම්මා නම් යස රහට උයා අප වෙත පිළිගන්වයි. ඉහත කී ලෙස ලිපට උඩින් දුම වැදී මැලවෙන්නට හරින විට එම කොළවල ඇති කටකහන ගතිය මැලවී යයි. ඉන් පසු ගොරකා සමඟ මිශ්‍රකොට සකස් කරගන්නා එම මාළුව බත් අදින කෙක්කකි. 

නමුත්.. අද... ඒ රසාතීතය දවාලේ දකින සිහිනයක් බඳුය. අවාසනාවකට මෙන් ගෑස් ලිපේ ගින්න මත ඇලුමිනියම් භාජනයක සෑදූ ආහර බුදිමින් කාර්‍යබහුල වූත් සංකීර්ණ වූත් වත්මන් කරුමක්කාර පරම්පරාවක උරුමකරුවන් වීම අප ලද ඉතා කටුක වූ ඉරණමක් වගද මතක තබාගතයුත්තේ සොයාගත නොහී ල්‍ර්ඩ රෝග වැලඳී මියයන්නවුන් අතර අපද ගොදුරක්ව මියයන්නට අර අදින නිසාවෙනි. 

ඉතින් ඒ සුවඳවත් පෙරාතීතයේ ගංගොඩේ තවත් රසමුසු ඉසව් සොයා රස කතා රැගත් නවමු වූ ලිපියකින් නැවත හමුවෙමු.

Top