සංහිඳේ දෙවියන්ට නොයිඳුල් අස්වැන්න ලෙසින් පුදන අගස්මුර පූජාව (441)

post-title

වෛතාලෙන් ගලා එන අරුණැලි කැරලි, ගංකරේ ඇත්තන්ගේ නෙත් සිත් තොසින් විකසිත කරවන්නේය. ඒ අතර පරක් තෙරක් නොමැතිව ගී ගයන විහඟ සමූහයා හඬලන්නේ හරියට උන්ගේ රජ මඟුල් අද වාගේය. ඒ විතරක්ද? දෙකේ ඇළේ දිය කඩිති වල තිත්ත පැටව් ඔබ මොබ පිහිනමින් කඩිමුඩියේම මොන මොනවදෝ සොයනවා වාගෙයි. අසල කරාඹුනැටි ගහේ වසා සිටි පිළිහුඩු නයිදේ "ජබුහ්" ගා හොට දමා තිත්ත පැටවෙක් ඩැහැගත්තේ හදිසියේම කඩාවැදි සොරෙකු මෙනි. 

ගම්මැද්දට ඉරගල මෝදුවනවාත් සමගම, උද්‍යෝගයෙන් ලතාවට ඔබ මොබ දිවෙන ගං ගෙවල් වල බවලත් උදවියගේ මුළුතැන්ගෙවල්වල අද නම් හැරෙන්නටවත් ඉස්පාසුවක් නැතුවා සේය.

උදෑහනක්කේම අප්පොච්චිත් සමගම දත කට මදිමින් පිරිසිදු වී යන්ට දෙකේ ඇළ වෙත අඩිකැඩූ මා තවමත් තිත්ත පැටවුන්ගේ නැටුම් දිහා බලාගත්වනම බලාගෙනය. අප්පොච්චි, නා කියා ගන්ට ආ අනෙකුත් ඇත්තන් සමග ආපසු පිටව ගොස් අඩ හෝරාවකුත් ඉක්මවා ගොස් ය. 

එ'විගසම ඉහත්තාවේ හිටන් ඇසුණු හඬ ගෑමෙන් මා සැනෙන් තිගැස්සී ගියෙමි.

"බාලයෝ...., 

උඹට අදවත් හනික ලක ලෑස්ති වෙන්න බැරිද පුතේ...? 

ආං අරහෙ අප්පොච්චි මටත් එක්කලා දෙහි කපනවා...

මෙහෙ වරෙං දැන්වත් ඔය නාටක හෙට බලාපං...."

ඒ වනවිටත් මඩ කඩිති වල රැඳී හුන් තිත්ත පැටව් එකතු කර ඇළට දමමින් සිටි මා නැවතත් මුහුණ අත පය සෝදාගෙන සංහිඳ දිහාට අඩි කැඩූවෙමි. 

හැබෑවට ගම්මැද්දෙ මොකක්ද මේ කඩිමුඩිය...?

************

ඕං ඉතිං හා හා පුරා කියාලා එක කතාවට එක හූවට ඇරඹූ හේන් ගොවිතැන් කාරියෙ කොයියම් කටයුත්තක් කළත් දැනුම් තේරුම් ඇති උදවියගෙන් අසා බලා කිරීම සිරිතය. කෙසේ වෙතත් විදානේ උන්දෑගේ කීමට පිටින් නොයන මෙම කාරිය අහවර වනුයේ "අගස්මුර පූජාව" පැවැත්වීමෙනි.

හැබෑවටම මේ අගස්මුර පූජාව කියන්නේ මොකක්ද?

ගං ගොඩේ පෙරාතීතයේ සිටන්ම පැවත ආ "අගස්මුර" යන්නෙන් අදහස් කෙරෙනුයේ නොයිඳුල් මුල්ම ඵලදාව යන්නයි. සැබැවින්ම හේන් ගොවිතැනේ මුල්ම ඵලදාව හිමි වනුයේ දිවා රෑ වෙහෙසී හේන් වැපිරූ ගොවියන්ට නම් නොවෙයි. එය බැති සිතින් හා හා පුරා කියා පිදෙනුයේ දෙවියන්ට සහ පංසලේ ස්වාමීන්වහන්සේටය. 

ගම්පියසේ ගොවියන් එක්කාසු වී කෙරෙන අගස්මුර පූජාව සිදුවනුයේ "සංහිඳේ" ය. ගම්මානයෙර් කිරි ඉතිරීම්, බාරහාර වීම, පඬුරු ගැටගැසීම ආදී සියළු තේවාවන් සිදුකරන විශාල වෘක්ෂය හඳුන්වනුයේ "සංහිඳ" නමින් ය. සියළු ගොවීහු තමන්ගේ නොයිඳුල් අස්වැන්න ද රැගෙන එදින කලට වේලාවට සංහිඳ අසලට පැමිණෙති.කුරහං තලප, පිට්ටු, රොටී, බඩ ඉරිඟු වැනි ආහාර රැගෙන විදානේ ගේ මූලිකත්වයෙන් පවත්වනු ලබන අගස්මුර පූජාවට කොයි කවුරුත් බැති සිතින් එක්කාසු වන අතර ගම්භාර, වීරමුණ්ඩ, දැඩිමුණ්ඩ, අයියනායක, සහ පුල්ලෙයාර් වැනි දෙවියන් සඳහා අගස්මුරය පූජා කිරීම සිදුවේ. මෙහිදී එකී දෙවිවරුනට කන්නලව් කරමින් එය භාරගන්නා ලෙස ගරුත්වයෙන් යුතුව ඉල්ලා සිටීමද මෙහි සුවිශේෂ වූ සංසිද්ධියකි. කෙසේ නමුත් හේන් අගස්මුර පූජාවේදී කෝල්මුර කවි ගායනය ද,කමතේ මෙන් උඩැක්කි බෙර වාදනය ද සිදුවන්නේ නැත. 

ඉන්පසුව ගංකරයේ විදානෙර් උන්දෑ විසින් විහාරයේ ස්වාමීන්වහන්සේ හට අගස්මුරය පූජා කිරීම සිදුවන අතර ඊට පෙර අස්වැන්නෙන් කිසිම කොටසක් ආහාරයට හෝ ප්‍රයෝජනයට ගැනීම නොකළ යුතු කටයුත්තකි. එමෙන්ම පංසලට මෙන්ම ගම්පියසේ දේවාලයක් තිබේ නම් එහි කපු මහතාට ද අගස්මුර කොටහ වෙන්කර ලබා දීම ද අනිවාර්යයෙන් සිදුකළයුතු කටයුත්තකි. ඉන් පසුව අස්වැන්න භුක්ති විඳීම ගංගෙවල් වල කොයි කාටත් කැපය.

එමෙන්ම නව විවාපත් අඹු සැමි දෙපළක් කෙටූ නවදැලි හේනේ අස්වැන්නෙන් අගස්මුර පූජාව සිදුකළ පසුව දෙපාර්ෂවයේම මව් පියන් වෙත කුළුඳුල් අස්වැන්නෙන් කොටහක් ලබා දීම අනිවාර්යයෙන් සිදුකළයුතු කාර්‍යයකි. එසේ නොමැතිව අස්වැන්න ආහාරයට ගැනීම සපුරා තහංචිය. එමෙන්ම එක යායට වපුරන ලද හේන් අස්වැන්න නෙළා අගස්මුර පූජාව සිදුකළ පසු ගම්මනයේ ඉහළ තැන් යනුවෙන් ප්‍රකට විදානේ උන්දෑ, මහ ගමරාළ , වෙද මහතා, නැකැත් රාළ, වින්නඹු ආතා යනාදි ඇත්තන්ට ද කොටහක් බෙදා වෙන්කර ලබාදීම සිරිතය. ඉන් පසුව ඊළඟ කන්නයට බීජ වෙන්කොට තැබීම ද සිදුවේ. මේ සඳහා හේන් යායේම බෝග වල පළදාම මේරීමට ඉඩ සලස්වන අතර ඒවා හඳුනාගැනීම සඳහා එම බෝග ගොක් කොළයකින් හෝ පරඩැල් පතකින් බැඳ දැමීමද සිදුකළයුතු කටයුත්තකි. 

ඉතින් ඕං ඔය ආකාරයට එක කතාවට එක හූවට සිදු කරන ලද හේන් ගොවිතැනේ අවසානය මෙසේ සිදුවන්නේය. ඒ අයුරින්ම මීළඟ කන්නයේද වැඩ කටයුතු සිදුවන්නේ මෙදා දොහේ දුම්මැස්සේ හෝ අටුවේ ගබඩා කරගත් බිත්තර බීජ වගාකිරීමෙනි.

Top