පත්තිනි මෑණියන් උදෙසා කරන ඔංචිලි වාරම් (414)

post-title

දිඩිං බිඩිං.. දිඩිං බිඩිං.. කුස්සිය පැත්තෙන් ඇහෙන්නේ අම්මයි නැන්දයි පිටි කොටනවා. අවුරුද්දත් ළගයිනේ. ලස්සන මල් වැටුණු චීත්තයයි බෝරිච්ච් හැට්ටෙයි මගෙ අම්මට හොදටම ගැලපුණා. කලු ඝනව වැඩුණු දිග කොන්ඩේ ලොකු ගෙඩියක් වෙන්න බැදලා. අම්මගෙ තිබුණේ සිරියාවන්ත මුහුණක්. දයාව අනුකම්පාව නිතරම අම්මා ගාව ඉතුරුවා කීවනම් හරි. දාඩිය බින්දු කීපයක් එයාගෙ නළලේ දාලා. කැවුම් හදන්න වෙන්න ඇති මේ ලක ලෑස්තිය. අම්මට තිබුණා පිළිවෙලට වැඩ කරන්න ඕන කියලා නියමයක්. මට මතකයි

අපේ මහ ගෙදරට පැත්තකට වෙන්න ලස්සනට ශක්තිමත් කණු හතරක් හදලා ඒ උඩට පුවක් රීප්ප පටි දාලා අප්පච්චි අම්මට මැස්සක් හදලා දීලා තිබුණා. ඒකට කීවේ " දිය මැස්ස "කියලා. මේ දිය මැස්ස උඩ තිබුණේ ලස්සන මැටි කළ 02 හෝ 03 ක්. කළ වලට පැත්තකින් හොදින් කුරුටු ගාපු පොල් කටු 5 ක් 6ක් නවල තියෙනවා. ඒවගෙන් තමයි අපි නිතරම සෙල්ලන් කරලා ආවම වතුර බීවේ. මැටි කළේ වතුර වල තිබුණේ පුදුම නැවුම් ගතියක්. අපිට මේකෙත් තිබ්බා පොඩි තහංචියක්. එක කළයක් ඉවර වෙනකන් අපි අනිත් කළෙන් වතුර බොන්න තහංචි උණා. ඒ වගේම කළේ වතුර ඉවර නම් අපි ඒ කළේ පුරවලා මිසක් පිරුණු කළෙන් වතුර බොන්න තහංචි වුණා. මේ හන්දා හැම වෙලේම දිය මැස්සේ කළ වල වතුර පිරිලා තිබණා. මේ හන්දා ගෙදරට සුබයි කියලා තමයි නිතරම අම්මා කීවේ. හිස් කළයක් සුබ ගමනක් යනකොට මුනිච්චි වුණොත් ඒ ගමනම අසුබ වෙනවා කියලා තමයි පුරාණ මතය වුණේ. 

ඔය කාලේට ඉතිං නංගියි මායි කරන්නෙම සෙල්ලම් කරන එක තමයි. උදෙන්ම ඕවිටට ගිහින් දං, හිඹුටු, ඇඹිල්ල කඩාගෙන දවල් වෙලා තමයි ගෙදරට එන්නෙ. ඒ එනකොට අපේ කටවල් දම්ම දම් පාටයී. අම්මා හිනාවෙනවා. මතක් වෙද්දිත් කටට කෙල උනනවා...

"අනේ අයියේ ඇඹරැල්ලා කඩලා දෙන්නකෝ"

 

නංගිගෙන් බේරුමක් නෑ. කොහොම හරි ගහට පොල්ලක් ගහලා කඩලා දෙන්නම වෙනවා. ඕක ඉතිං නිකන් කන්නත් බෑනේ. ලුණු ටිකක් තිබ්බනම් ශෝක්. කුස්සියට යනවා. අම්මා බනීද දන්නෑ හවස ඇඹුල් කනවා කියලා. හවස කෑවම බඩරිදෙනවා කියලා අම්මා කන්න දෙන්නෑ.

මට මතකයි අම්මා මට එදා කියපු කතාවක්. 

මේ ලුණු පොල්කට්ට කියන්නේ ශිව දෙවියන්ගේ කුස්සියේ ඉදන්ම එන දෙයක්ලු. කතාවක් තියෙනවා ශිව දෙවියන් ගණ දෙවියන්ගේ නුවණ බලන්න කරදිය වළල්ල වටේ රවුමක් ගිහින් ඉක්මනට එන්න පුළුවන්ද කියලා. ඒ වෙලාවේ නුවණ කල්පනා කරලා ගණ දෙවියෝ එයාගෙ මී වාහනෙන් කුස්සියේ ලුණු පොල්කට්ට වටේ ගිහින් පෙන්නුවාලු. ඕක ජනප්‍රවාදයක්. තව දෙයක් ලුණු පොල්කට්ට මිදුලට අරන් යන්න අපිට තහංචි වුණා. අම්මා නිතරම කීවේ ලුණු මිටක් තමන්ගේ අතින් පිටස්තර කෙනෙක්ට දෙන්න හොදනෑ කියලා. ලුණු පොල්කට්ට පෙනුනොත් ඇස්වහ වදිනවා කියලාත් අම්මා කීවා. අපේ ලුණු පොල්කට්ට වටේට පොඩි තුබසක් වගේ ලුණු බැදිලා තිබුණා. අම්මා කීවේ මේක අපේ ගෙදරට ආශිර්වාදයක් කියලා. 

අප්පච්චි අපේ කොස් ගහේ අත්තක ඔංචිල්ලාවක් බැදලා දුන්නා අවුරුද්දට. මේ ඔංචිල්ලාව අප්පච්චි බැදලා දුන්නේ කොස් අත්තේ රියනක් විතර පරතරයක් තියලා කඹයේ දෙකොණ බැදලා. කඹයේ නැම්මට දර මඩුවෙන් ලෑල්ලක් ගෙනල්ලා මැදින් තියලා බදිනවා. නංගි ඔංචිල්ලාව පදිද්දී පිටිපස්සෙන් තල්ලු කරන්න ඕනී. එතකොට නංගියි සුදු අක්කයි ලස්සනට කවි කියනවා. මුලින්ම අපි දෙවියන්ගෙන් අවසර ගන්න ඕනි ඔංචිල්ලාව පදින්න.

සරණයි සරණයි බුද්ධං සරණයි 

සරණයි සරණයි ධම්මං සරණයි 

සරණයි සරණයි සංඝං සරණයි 

සරණයි සරණයි මේ තුං සරණයි 



ඔංචිලි චිලි චිල්ල මලේ

වැල්ල දිගට නෙල්ලි කැලේ

කඩන්න බැරි කටු අකුලේ

කඩා දියන් මගේ මලේ

ඔන්න අතරමැදින් නැන්දත් කවියක් කියනවා. ඒ නම් අපේ නංගිට තමයි. එයාට තේරුමක් තිබ්බේ නෑ ඔංචිල්ලාව ගැන. 

පදිනා කල විත් වැල් ඔංචිල්ලා

අදිනා වත තද කර ඇදගල්ලා

පදිනා වැල් දෙක බුරුල් නොදෙල්ලා

සොදිනා ගී කියමින් පැදපල්ලා

එතකොට සුදු අක්කා මෙහෙම ලස්සන කවියක් නැන්දට කියනවා.

උඩයන රවුමට පපුවයි දන්නේ

පාතට එනකොට නිවිලයි එන්නේ

පොල්ලත් පැත්තට බය නොසිතන්නේ

පත්තිනි දෙවිදුව අප රැක ගන්නේ

අපේ සුදු පුංචත් එකතුවෙනවා එතකොට ඔංචිලි පදින්න. මේ ඔංචිල්ලාව පදින්න හතර දෙනෙක් ඕනි. එතකොට තමයි මේ ක්‍රීඩාව ලස්සන වෙන්නේ. පත්තිනි දේවිය මුල් කරගෙන තමයි මේ ඔංචිල්ලාව නිර්මාණය වෙලා තියෙන්නේ. පත්තිනි මෑණියන් මුල් වෙන්න ප්‍රධානම හේතුව වෙන්නේ අවුරුද්දේ සශ්‍රීකත්වය පදනම් වෙලා තියෙනේ වනිතාව මත හන්දා වීම. ඔංචිල්ලාවත් පත්තිනි පූජාවක් කියලා තමයි ගැමියො විශ්වාස කරේ. 

අම්මා අතුල් පතත් අරන් ඒකට මුකුණුවැන්න, ගොටුකොල, සාරණ, පොල්පලා, ආඩිකොල, කෝප්ප කොල කඩනවා. අද දවල් දානේ අපේ ගෙදරින්. අම්මා ඉතිං ඒකට ලෑස්තිය. ඊයෙ නැන්දා හවස කුල්ලත් අරන් හාල් පෙලුවා. දානේ උයන්න. ඔය කුල්ල අප්පච්චි අරන් ආවේ. අම්මා ඕකේ බෙලි ලාටු ගාලා අපේ වහලෙ උඩින් තියලා තිබ්බ දවස් කිහිපයක්. මට මතකයි අම්මා කීවා එහෙම කරන්නේ කුල්ල ශක්තිමත් වෙන්නලු. ඒ වගේම සිදුරු තියෙනම් වැහෙන්නලු. අපේ ගෙදර පිං හාල් මුට්ටියක් තිබුණා. ඒකෙන් තමයි යාචකයො ආවම හාල් දුන්නේ. අම්මා ඕකට හැමදාම උයද්දි හාල් මිටක් දැම්මා. ඔන්න නැන්දා ආයෙත් කවියක් කියනවා.

ඉද ගත්තෙමි උස පුටුවක ගුවනා

බැද ගත්තෙමි ජය කොණ්ඩය මුදුනා

ඇද ගත්තෙමි වතකුත් ආභරණා

වැද ගත්තෙමි නාරායණ සරණා

පුන්චා තව කවියක් කියනවා. මේක තරගයක් වගේ තමයි වෙන්නේ. එක ගොල්ලක් කවියක් කියද්දී අනිත් කට්ටියත් ඒකට කවියක් කියන්න ඕනි. නැත්තම් පැරදෙනවා. මාත් බලන් ඉන්නේ ඉතිං. මටත් පදින්න දෙයිද කියලා. ඒත් ඉතිං නංගිලානෙ පදින්නේ. 

පුරවර මැද බැදි රන් ඔංචිල්ලා

දුර යන තරමට පුදුම නොවෙල්ලා

වවුලන් ලෙස කැරකෙයි ඔංචිල්ලා

අපිත් පදිමු දැන් රන් ඔංචිල්ලා

ඔන්න නංගියත් කවියක් කියනවා එතකොට..

අත්ත උසට උසං උසං

ජම්බු පොකුරු සිලිං සිලිං 

ලොකු අක්කේ පදිං පදිං

ජම්බු කඩන් බෙදං බෙදං 

අපි ඔක්කොටම ඉතිං හිනා යනවා. මගෙ හුරුබුහුටි නංගගෙ වැඩ දැක්කම. අපි හැමෝම එදාට සතුටින් තමයි ඉන්නේ. ඔංචිල්ලාව පදින අතරෙ කොස් ගහෙ අත්ත ලතාවකට පැද්දෙනවා. අපෙ ලොකු අක්කා පදිද්දි කකුලක් බිම ගහලා රුකුල් අරගෙන තමයි පදින්නේ. එයාට හොදට හුරුයි ඔංචිල්ලාව. එයයි නංගියි දෙන්නා ජෝඩුව එක්කෙනෙක් වාඩිවෙලා අනිත් කෙනා නැගිටගෙන පදිනකොට බලන්න ඕනි තියෙන උජාරුව. සහයෝගය, ආදරය, සෙනෙහස පිරිලා තිබ්බ තැනක් තමයි මේ ඔංචිල්ලාව.

 

අපි ඔංචිල්ලාව පැදලා ඉවරවෙලා ඔක්කොමත් එක්ක යනවා පහල දොළ පාරට. ගිහින් ඇති වෙනකං දිය බු ගහලා නානවා. නාපු ගමන්ම අම්ම ගාවට තමයි දුවන්නෙ. එයා රස කෑමක් හදලා තියනවා අපිට. මං ආසම වැලි කොස් ඇට අග්ගලා කන්න. හරිම රසයි. කෙසෙල් ගෙඩිත් එක්ක හරිම රසයි. අපේ දර ගෙයි වැලි දාලා ඒ අස්සට කොස් ඇට දාලා වේලනවා. ඒවා අම්මා අරගෙන පොතු සුද්ධ කරලා කබලෙ දාලා බදිනවා. එහෙම බැදලා පොලුයි ඇටයි වංගෙඩියෙ දාලා කොටලා රසට අග්ගලා හදනවා. බඩ පිරෙනවා කෑවම. අප්පච්චි කපාන එන කෙසෙල් කැන් දාන්නේ දුම් මැස්සට. අම්මගෙ ලිපට උඩින් තමයි දුම් මැස්ස තිබුණේ. අප්පච්චි ඒකට හොදට රීප්ප පටි ගහලා තට්ටු දෙකක් වෙන්න හදලා තිබ්බේ. ඒකෙ තමයි කොප්පරා, කරවල එහෙමත් දාලා තිබ්බේ. ඒ සුන්දර අතීතෙට ආයෙත් යන්න තිබුණා නම් කොයි තරම් සිත නිවේවිද කියලා මට හිතෙනවා...

අතීතයේ තිබුණු මෙම චාරිත්‍ර ආහාර ක්‍රම අද ගොඩාක් දුරට දකින්න නොමැති තරම්. ඒත් නැතුවාම නෙවෙයි. අද නාගරීකරණය වීම නිසා මෙම සංකල්ප, හා ජීවන රටාවන් නගරයෙන් බැහැර ගම්මාන අතලොස්සක විතරක් දකින්න හැකියාවක් තියෙනවා. මෙම ක්‍රීඩාව තුලින් සමූහිකත්වය , මිනිසෙකුගේ පරිසරය හා පන්සල සමග බද්ධ වූ සොදුරු චින්තනයන් දරුවන් තුල වර්ධනය වුණා. අම්මා අප්පච්චි, නෑදෑයෝ වැඩිහිටියෝ, ලෙස ගෞරවයක් ඔවුන් තුල කුඩා අවදියේ සිට ම ඇති වුණා. ආධ්‍යාත්මිකව පරිසරය සමග සම්බන්ධ වුණා. මේ ක්‍රීඩාවන් හේතුවෙන් ගැමි ජීවිතය තුළ තිබුණු දුක, කටුක බව පහව ගියා. ඉතිං මෙම ඔංචිල්ලාව පත්තිනි මෑණියන් උදෙසා සිදුකරන චාරිත්‍රයක්, ක්‍රීඩාවක් ලෙස නිර්මාණය වුණත් මෙහි තිබුණේ හුදෙක්ම සොදුරු මිනිසුන් ගේ හදවත් තුල තිබුණු සංයමය, සාමූහිකත්වය හා ගෞරවය මුසු වූ භක්තියම නොවේද..

Top