එතන ‘‘හරි පුදුම ඉස්කෝලයක්”

post-title

ජපන් කතා පොත් ඉතිහාසයේ වැඩිම අලෙවිය සහ රාජ්‍ය සම්මාන ගණනාවක් දිනාගත්ත හරි අපූරු පොතක් තමයි " හරි පුදුම ඉස්කොලේ ".   ටෙට්සුකෝ කුරොයානගි නම් කතුවරිය ( Tetsuko  Kuroyanagi ) විසින් රචිත " මදොගිවා නො ටොට්ටෝ චං”  ( Madogiwa no Totto-Chan ) කෘතිය  ඩොරති බ්‍රිටන් ( Dorothi Britton )  කතුවරිය විසින්   (The Little Girl at the Window ) නමින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරනවා. මෙම ලෝක ප්‍රසිද්ධ ග්‍රන්ථය  ලීලානන්ද ගමාච්චි මාමා අතින් තමයි සිංහල භාෂාවට පරිවර්තනය කෙරෙන්නේ. කතාව ඇත්තටම  හරි අපූරුයි.

ටොට්ටෝ චං කියන අපූරු දැරිය වටා ගෙතී යන මේ කතාව තුළින්  ගුරුවරුන්ට , වැඩිහිටියන්ට මෙන්ම පුංචි දරුවන්ටද ඉගෙනගන්න හුඟක් දේවල් තියෙනවා. ජපානයේ ටෝකියෝ නගරය වටා එදා ඇවිලුණු දෙවන ලෝක යුද්ධයේ යුධමය අත්ඳැකීම් ඇය විසින් මුළු මහත් ආදරයක් දිනාගත් මේ කෘතියෙන් බෙදාගන්නවා.

දුම්රියක මැදිරිවල වෙන් වෙන්ව  තිබුන පන්ති කාමරවල මේ  අපූරු ඉස්කෝලෙට ටොට්ටෝ චං එනවා  මුල් ගුරුතුමා මුණගැහෙන්න. ඒ  මොහොතේ ඉඳන් හරි පුදුම ඉස්කෝලේ අවසාන පිටු අතරට එනකන් ඔබට මට  කියවන්න , බෙදාගන්න , විඳින්න, ඉගෙනගන්න මහ හුඟක් දේ තියෙනවා.

දරුවන් කියන්නෙ ලෝකයක්. ඒ හිත්වල බාහිර සමාජයේ බලපෑම් වලට එහා ගිය සොඳුරු ලෝකයක් තියෙනවා. ඒ සුන්දර ලෝකය විඳින ඒ ලෝකය තුළ ජීවත්වෙන පාට පාට පොඩිත්තන්ව තේරුම්ගන්න බැරිතරමට  වැඩිහිටියන් සහ ගුරුවරුන් නූතන තාක්ෂණයේ බලපෑමට යටත් වෙලා. යුද්ධයකට එහා ගිය දරුණු බලපෑමක් අපේ හිත්වලට ඇතිකරලා. පටන්ගන්න ඕනි කොතනින්ද කියලා හිතන්න බැරිතරමට අසරණ වෙලා ඉන්නවනම් කියවන්න " හරි පුදුම ඉස්කෝලේ "  

සොබාදහම එක්ක දරුවන් සමීප කරවන විදිය, දරුවන්ගේ සිතුවිලි නොමරා දරුවන් ජීවත්කරවන කොබයාෂි ගුරුතුමාගේ ඉගැන්වීම් ඔයාට හරි පාර පෙන්වාවි. 

" ඔය ළමයා මෝඩයෙක්, කිසි කමකට නෑ, අකුරක් ලියන්න බෑ, ගණන් හදන්න දන්නෙ නෑ, පන්තියේ අන්තිමයා ....." 

පුංචි දරුවන්ව මෙහෙම හංවඩු ගහන නූතන ඉගෙනුම් රටාව එක්ක බැඳුණු ගුරුවරුන්ට වඩා අපිට ඕනි  කොබයාෂි ගුරුතුමා වගේ ගුරුවරුන්. එහෙම ගුරුවරු නෑ කියන්න අපිට බෑ, අදටත් ඉන්නවා එහෙම ගුරුවරු. ටොට්ටෝ චං වගේ අතොරක් නැතුවම කියවන, නිර්මාණශීලීව හිතන දරුවන්ට ඇහුම්කන්දෙන්න පුළුවන් කොබයාෂි වගේ ගුරුවරුන් අපිට ඕනිම කාලයක් මේක.

" හපන්න , හපන්න, හොඳහැටි හපන්න

කන විට සියල්ල හපන්න

බත් මාළු මස් අවුළු

හපහපා හපහපා හපහපා බුදින්න "

( හරි පුදුම ඉස්කොලේ පොතෙන් උපුටාගත්තකි ) 

 

තාමත් කියවලා නැති කෙනෙක් ඉන්නවා නම් කියවන්න.

එන්න අපි පුදුම ඉස්කොලෙට ගොඩවෙමු. දරුවන්ගේ ලෝකය ආපිටම දරුවන්ට දෙමු.

සයොනාරා ! සයොනාරා !

 

Top