මින් වසර එක්දහස් පන්සියයකට පෙර ඈත අතීතයට යමු! (778)

post-title

තවමත් හරිහැටි නොවිසඳුණු ඉතිහාසයකට උරුමකම් කියන කාලයක කාල තරණයක් ඔස්සේ විශේෂයෙන්ම පොතක් තුළින් වසර එක්දහස් පන්සියයකට පෙර ඈත අතීතයකට යන්න ලැබීම ම ඇත්තටම කොයිතරම් නම් වාසනාවක්ද...

එදා මෙදා තුර ලංකාව තුළ තිබූ කුල හීනත්වය නිසාම, අනේක වාරයක් තැවෙන මිනිසුන්ගේ ජීවිත වලට ආලෝකයක් ලබා දෙන්නට කතුවරයා උපුලී යන සියලු බාධක, විවේචන හමුවේ නැගී සිටින ශක්තිමත් ගැහැණියකගේ චරිතය නිර්මාණය කර ඇති බව පෙනේ. මේ පොත ආදරය, රාගය, දරාගැනීම, කරුණාව, උපේක්ෂාව, ආත්මානුකම්පාව උපරිමයෙන්ම කවලම් කරපු මැජික් එකක් වගේ. ගැහැනියකගේ ආත්මය කොයිතරම් නම් දැනෙනවාද? ඇගේ හදවත දරු සෙනෙහසක ඇවෑමෙන් කොයිතරම් නම් ශක්තිමත්ද? ඒ වගේම නිර්භීතද? ඇත්තෙන්ම මිනිස්සුන්ගේ හදවත කොයිතරම් නම් උණුසුම්ද?

ඇත්තටම මේ පොත පුදුම ලස්සනක්.  පුරාවිද්‍යාත්මක, ඉතිහාසාත්මක තොරතුරු හොයන කෙනෙක්ට මේක රහස් ගුහාවක්. මන් එකම එක පාරක් සීගිරියට ගිහින් තියෙනවා වුනත්, මේ පොතත් එක්ක මන් ආයිම පාරක් ගියා. ජීවිතේ කිසිම දවසක නොවිදපු හැඟීමක හිත නතර වුනු වාර අනන්තයි. සීගිරි උද්‍යානය නිර්මාණය කළ ආකාරය, ඒ සදහා ස්ථානයක් තෝරාගත් ආකාරය. ඒ හැමදේම මනසේ තැම්පත් වෙන්නේ හරි පුදුමාකාර විදිහට. පොතේ සදහන් වෙන චරිත සියල්ලක්ම හරිම ප්‍රාණවත්. හදවතට දැනෙන ආත්මයට දැනෙන, විටෙක මුළු ආත්මයම ස්පර්ශ කරන මොහොතවල් ඇත්තමයි අනන්තවත්.

සමහර වෙලාවට මට දැනෙනවා, හිතෙනවා, මමත් ඉන්න ඇති ඒ කාලේ. මමත් සීගිරිය නිර්මාණයට අපමණක් උදව් දෙන්නැති. මගේ ඒ උපකාරයට කළගුණ සැලකීමක් විදියට මට මේ පොත මුණ ගැහෙන්නැති. ආයෙම ආයෙම පාරක් ඒ මතකය අවදි කරන්න. ඒ සුන්දරත්වය මනසින් විඳින්න....

මං විශ්වාස කරන දෙයක් තියෙනවා, මේ පොත මට කියවන්න ලැබුණේ මගේ පෙර පිනකට....  මේ පොතේ අකුරක් අකුරක් ගානේ විඳින්න පුළුවන්.. මම ආයෙ ආයෙත් ඒක විඳිනවා... ඇත්තටම මේක පිස්සුවක්... මේ කතාව ඇත්ත කතාවක්ද මිත්‍යාවක්ද කියලා මම හොයන්නෙ නෑ... මට ඕනි මේ මොහොත විඳින්න... මේ චරිත ඇතුලෙ හුස්ම ගන්න....

මී පැණි මිශ්‍ර වැල් මී සුවඳ ගැන නම් මම කියන්න යන්නෙ නෑ... ඒක ඔයාම විඳින්න ඕනි දෙයක්....

මම කියනවට විශ්වාස කරන්න, 

ඇත්තමයි සත්තයි මේ පොත පුදුම ලස්සනක්....

කර්තෘ - මොහාන් රාජ් මඩවල

පිටු ගණන - 294

ප්‍රකාශන ආයතනය - බිසෝ ප්‍රකාශන

මිල - රු.950/-

Top