නූතන සිංහල නවකතා රචනයේදී මතු බලාපොරොත්තු තැබිය හැකි ලේඛකයෙකු පාඨකයාට හමුවී තිබේ. ඔහු තරිඳු ශ්‍රී ලොකුගමගේය. ආකෘතිය, වස්තු විෂය, චරිත විවරණය, සමාජ විවරණය, භාෂා භාවිතය යන අංශ ඔස්සේ විමසන විට හුදෙක් ප්‍රේම කතාවක් හෝ සාම්ප්‍රදායික ගම හෝ උපදේශ සපයන කෘතියක් බවට කෘතිය පත්නොකරගැනීමට කතුවරයා සමත්වෙයි. මෝටර් රථ සංස්කෘතිය සහ කර්මාන්තය ඔහුගේ ප්‍රධාන විෂය පථය ය. ඔයිල් පැල්ලම් ගැන සංක්ෂිප්ත විමසුමක් මෙම ලිපියෙහි දැක්වේ.
කතා පරිසරය සහ පසුබිම
තරිඳු ශ්‍රී ලොකුගමගේගේ 'ඔයිල් පැල්ලම්' නවකතාව විහිද යන ප්‍රධාන පැති කිහිපයක් පොදුවේ අංකනය කළහොත් මෙසේ ය.
1) මෝටර් රථ කර්මාන්තය
2) මෝටර් රථ සංස්කෘතිය
3) පන්ති, පැලැන්ති සහ කුල
4) දේශපාලනික සංසිද්ධීන්
5) විපරීත පවුල් සහ සමාජ සංස්ථා
මෝටර් රථ කර්මාන්තයේ ඉතිහාසගත කරුණු, විවිධ රථ වර්ග, ඒවා ලංකාවට පැමිණි සහ පැතිරුණු ආකාරය, ඒ හා සම්බන්ධ නම ගිය පිරිසත්, මෝටර් රථවල සංස්කෘතියේ උප කුලක සහ අනුශයික අංගත් මෙහි දෙබස් ආකාරයෙන් ඉදිරිපත් කෙරේ.
ප්‍රතාපසිංහ හෙවත් ලොන්තහාමු නම්, ගමේ වලව් පැලැන්තියේ ජ්‍යෙෂ්ඨයා මෙන්ම ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ නම ගිය කෙනෙක් යැයි කියවෙන තැනැත්තාගේ වලව්ව කේන්ද්‍ර කරගනිමින් කෘතිය දිව යයි. ඒ අතර වෛද්‍ය පුෂ්පකුමාරගේ කුලය, දිනේෂ් සහ ඔහු ඇසුරු කරන විවිධ සමාජ පන්තිවල, ස්ථරවල පිරිස ද මෙහි විහිද තිබේ. මෙය කියවන කල, කේ.ජයතිලකගේ 'රාජපක්ෂ වලව්ව', ඊවා රණවීරගේ 'සෙඳෝනා' සහ ඩබ්ලිව් ඒ. සිල්වාගේ 'රදල පිළිරුව' සිහිකැඳවිණි. දිරාපත් වන වලව්ව සහ එහි දෙවන පෙළ ක්‍රමයෙන් ඔවුන්ට පහළ පන්තිය සමඟ ගොඩනගාගන්නා බැඳීම්, පළමු පරම්පරාවන් විසින් ගොඩනැගූ සීමා බිඳ දමා පහළ පන්තීන් වලව්වේ සාරයන් උරාගෙන බලය අත්පත්කරගන්නා අයුරුත්, නොහොත් ලොක්කන් සොක්කන් වන සොක්කන් ලොක්කන් වන බල යාන්ත්‍රණයත් කෘතියේ යටිපෙළක් ලෙස අවසානය තෙක් ගමන් ගනී. ඇන්ටන් චෙකොෆ්ගේ චෙරිවත්තේ ගස් කපන බොල් හඬ එහි අවසානයේදී ඇසෙන්නා සේ, ප්‍රතාපසිංහ වලව්වේ මෝටර් රථ අතුරුදන්ව, දොරගුලු දැමූ ගේට්ටුවල දිරූ යකඩ ශබ්ද නගනු පාඨකයාට ඇසේ.
ලංකාවේ පැවති ආණ්ඩු, විවිධ දේශපාලන පක්ෂ, සංසිද්ධීන්, එවකට සිටි පාලකයන්ගේ ක්‍රියාකාරකම්, සහ එමගින් සෘජුව සහ වක්‍රව මෝටර් රථ කර්මාන්තයට වූ දෑ මම ලෙසින් පෙනී සිටින රචකයාට මුණගැසෙන චරිත මගින් විධාරණය කරන්නට සලස්වයි.පවුල් සංස්ථා විපරීත වීමේ තත්වයෙන් පීඩිත සමාජයද මෙහි විවිධ පවුල් පසුබිම් ඇසුරින් කතුවරයා ගෙන එයි.
ආකෘතිය සහ කතාරටාව
ඔයිල් පැල්ලම් කථා රටාව සහ කෘතිය ඉදිරිපත් කර ඇති ආකාරය සංකීර්ණ නොවේ. මෙය කොටස් 3කට බෙදෙයි. පරිච්ඡේදයක් පිටු 2කට හෝ 3කට සීමා වේ. එබැවින් කුතුහලය රඳවා ගෙන නොසිට ඉක්මනින් අනෙකට යා හැකිය. සංවාද සහ ආත්ම කථන වශයෙන් බොහෝ අවස්ථාවලදී කතාව ගලායන්නේ වුවද, නවකතා අවසානයට වන්නට කතුවරයා සිනමාරූපී ක්‍රමයක් භාවිත කර තිබේ. එනම් එකිනෙකට වෙනස් අවස්ථා දෙකක් එකම අවස්ථාවකදී සමාන්තරව ගලා යාමට සැලැස්වීමෙනි. මෙය, ප්‍රතාපසිංහගේ ලියමනේ කොටස් ඉදිරිපත් කරන අතරේදී, උද්‍යානයේදී සිය කුටුම්භය සමඟ ගෙවන අත්දැකීම් යන සිදුවීම් දෙක, එකක් හැර එකක් වශයෙන් ගෙන තරමක් වෙලාවක් තිස්සේ ගෙන ඒමද, අවසන් වරට ඇන්ටනි අයියා හමුවට යන දිනේෂ්ට, මෙතෙක් සොයමින් ආ ඇත්ත කතාව ලෙසින් ඔහු පවසන කතාව අතරට, දිනේෂ්ට මතක් වෙන, ඊට සම්බන්ධ නොවන අවස්ථා සමාන්තරව යෙදීම ද මීට උදාහරණ වේ. මෙය සිනමාපටයක අවස්ථා දෙකක් එකිනෙක මාරුකරමින් කතාව ගෙනයන්නා සේය.
කුතුහලය රඳවා ගැනීම
ඔයිල් පැල්ලම් කතාවේ ආරම්භයේ සඳහන් වන ඇන්ටනි අයියා, කතාවසානය දක්වා ප්‍රහේලිකාවක් ලෙස තබාගැනීමට කතුවරයා සමත් වේ. ඔහුගේ සැබෑ අනන්‍යතාවය, ඔහුගේ ඉතිහාසය, ඔහු දිනේෂ් සමඟ ගොඩනගාගන්නා බැඳීම, ඔහු නිසා දිනේෂ් අභාග්‍ය ගණනකට මුහුණදෙමින් වුවද තවදුරටත් ඔහු මත්තේම එල්ලී සිටින්නේ ඇයිද යනුවෙන් පාඨකයා තුළ රඳන කුතුහලය කෘතිය අවසානයේදී පවා 100%ක් නිමා නොවෙයි. ෆෙඩ්‍රික් ෆෝසිත්ගේ කතා මෙනි. නවකතාව මධ්‍යයේ සහ තැන් කිහිපයකදීම ඇන්ටනි අයියාගේ කතාව කියා ඔහුම පවසන, ප්‍රධාන කතා නායකයා පවා රැවටෙන බොරුවට පාඨකයාද අසුව සිටී. මෙය සැබෑ කතාවක්ය යන්න පාඨකයා ඒත්තු ගනිමින් සිටියදී, නෑ එය සැබෑවක් නොවේ ප්‍රබන්ධයකුත් නොවේ, ඔබ මේ ගැටයට අසුව සිටී යන පණිවිඩය රතු එළියක් දල්වමින් අප හිස මත අනතුරු ඇඟවීම් නිකුත් කරමින් අපව ගොනාට අන්දයි. ඇන්ටනිව සම්පූර්ණ සුදු හෝ කළු චරිතයක් කරන්නට නොයයි. විවිධ සුලු චරිත විසින්, ප්‍රධාන චරිත මෙහෙයවන්නට ගනී. මෙහි වැඩකරුවෝ සුලු චරිත වෙති. ප්‍රබන්ධය සහ යථාර්ථය කුමක්දැයි හඳුනාගත නොහැකිව පාඨකයා තක්කු මුක්කු වන අවස්ථා තිබුණද, කුතුහලය රඳවා ගැනීමේ මෙම උපක්‍රමය සාර්ථකය.
භාෂාව
ලිඛිත වහරට කටවහර නැමීමේදී කතුවරයෙක් මුහුණදෙන ගැටලු තරිඳු ශ්‍රී ලොකුගමගේ, ඔයිල් පැල්ලම්හිදී විසඳාගනී. සම්භාව්‍ය ලේඛන වහරක් වෙත නොගියද, වත්මන් එදිනෙදා කටවහර වෙත ගියද, භාෂාව බටර් සේ දියකර, අවශ්‍ය තැනදී ගල් කර, සියලු පෑස්සීම් කර වාත්තු කර දිලෙන්නා සේ සැකසීමේ කලාව රචකයා දනී. එබැවින් පොත කියවද්දී කම්මැලි සිතෙන්නේ නැත. වාක්‍ය දෙකක් එකිනෙක මුහු කිරීමේදී කතුවරයා කරන අත්හදාබැලීම් පාඨකයා ඒ වෙත රඳවාතබාගනී. මෝටර් රථ ගැන කියවෙන විටදී, ඇසූ නෑසු නූතන උපමා මාලා පොත පුරා විසිරෙන්නට ගනී. එසේවුවත් සංවාදමය බසටම නැඹුරු නොවී පරිසර සහ සිදුවීම් තව උලුප්පා ගතයුතුයැයි යෝජනා කිරීමට කැමැත්තෙමි.
ජීවිතයේ ඔයිල් පැල්ලම් නවකතාව අප දන්නා සමාජයේ සිට, අප මෙතෙක් උවමනාවක් නොදැක් වූ සංස්කෘතියක් කරාගෙනයන්නකි. එබැවින් මෝටර් රථවලට වඩා ඉගෙනගැනීමට බොහෝ දේ තිබේ. ආධුනික ලේඛකයන්ට මෙය කියැවීමෙන් භාෂා උපක්‍රම, නවකතා ආර, විවිධ ලේඛන ශෛලීන් හඳුනාගැනීමට හැකිවනු ඇත. එබැවින් (වෙනත් ඔයිල් ආකාර නමකින් හෝ) ඔයිල් පැල්ලම් දෙවනි කොටසක් දකිනු කැමැතතෙමි. නවකතාවසානය, අවසානයකින් තොර යමක් ඉල්ලන බැවිනි.