අනාගතය අයිති වන්නේද තම සිහිනවල සුන්දරත්වය විශ්වාස කරන්නවුන්ට පමණකි (406)

post-title

The Alchemist - Paulo Coelho

සන්තියාගෝ නම් සැරිසරන්නා 

සිංහල පරිවර්තනය - චූලානන්ද සමරනායක 

විශ්ව සම්භාවනාවට පත් ලේඛකයෙක් වන Paulo Coelhoගේ The Alchemist කෘතිය ලොව පුරා පාඨක සිත් ගත් අනර්ඝ කෘතියක් බව අවිවාදයෙන් පිළිගත හැකි කරුණකි. එය ඉතා අපූර්ව භාෂා හැසිරවීමකින් යුක්තව චූලානන්ද සමරනායකයන් විසින් " සන්තියාගෝ නම් සැරිසරන්නා " නමින් සිංහලයට පරිවර්තනය කර තිබේ. 

කතාව දිගහැරෙනුයේ 'සන්තියාගෝ' නම් අන්දාලුසියාවේ විසූ එඩේර කොලුවා එහි ප්‍රධාන චරිතය බවට පත් කරමිනි. සංචාරයට බෙහෙවින් ප්‍රිය කරන්නෙක් වූ නිසාම බැටළුවන් බලාගන්නා එඩේරයෙකු වූ සන්තියාගෝ ඇසිල්ලක දුටු සිහිනයක් යළි යළිත් දැකීම හේතුවෙන් එම සිහිනය සැබෑවක් බවට පත් කර ගැනීමට යන ගමනෙහි කතන්දරය මෙහිදී දිගහැරේ. හුදෙක් එය සරල කතාවක් ලෙසම නොව තම සිහිනය එසේත් නැතිනම් තම ඉරණම හඹා යන පුද්ගලයෙකුගේ ජීවිත කතාව ලෙස එය දැක්වුවහොත් එහි වරදක් නැත. 

ජීවිතය කියන්නේ සිහිනවලින් පිරුණු පරාදීසයක්. සිහිනවලට පුළුවන් මිනිස්සුන්ව ජිවත් කරවන්න. විටෙක ඉමහත් ප්‍රීතියටත් විටෙක ළතැවුලටත් පත්වන්නේ සිහින මිනිස්සුන්ව ජිවත් කරවන නිසාවෙනි. සිහින වචනයට පමණක් සීමා නොවන්නේ එහෙයිනි.

" ඔබට යමක් සැබෑවටම අවශ්‍ය වෙනකොට ඒ දේ ලබා ගන්න ඔයාට උදව් කරන්න මුළු ලෝකයම පෙළ ගැහෙනවා."

 

සන්තියාගෝ නම් සැරිසරන්නා තුළ මා සිත් ගත් පද පෙළ එයයි. සිහින දැකීම ඕනෑම අයෙකුට ඕනෑම අවස්ථාවක කළ හැකිය. වඩාත් අසීරු කර්යය වනුයේ සිහින සැබෑවක් බවට පත් කර ගැනීමයි. සැබැවින්ම සිහින දකින්නෙකු නම් කොපමණ අසාර්ථක වුවද ගමනාන්තයට යනවා මිස ආපසු හැරී බැලීමක් නැත. විටෙක සොබාදහම , විටෙක ආදරය, විටෙක ජිවන අත්දැකීම් වුවද සැබැවින්ම සිහින සැබෑ කර ගන්නෙකු වටා පෙළ ගැසෙනුයේ එහෙයිනි. සන්තියාගෝ නම් සැරිසරන්නට අනුව නම් " ජීවිතයේ රහස හත් වරක් වැටී අට වතාවක් නැඟී සිටීමයි." වඩාත් විශිෂ්ටතම ජයග්‍රහණය නම් අසමත් වීම් මතින් සිහින ජය ගැනීමයි. අප සිහිනවලට මිලක් ගෙවිය යුතු වන්නේ එනිසාය. සැබැවින්ම සිහින ලුහුබැඳ යන්නෙකු නම් නොපසුබට උත්සාහය , අධිෂ්ඨානය මෙන්ම හදවත කෙරෙහි විශ්වාසය ද නොඅඩුව තිබිය යුතුය. අප සිහින වෙනුවෙන් ගෙවිය යුතු මිල එයයි. සිහිනවල වටිනාකම නිර්ණය කළ හැක්කේ අප සිහිනවලට ලබා දෙන වටිනාකමෙනි. සිහින වෙනුවෙන් ජිවිතයේ බොහෝ දේ කැප කළ යුත්තේද එනිසාය. ආයාසයකින් තොරව කෙදිනකවත් සිහින සැබෑ වන්නේ නැත. එලෙස වනවා නම් එය රැයක දුටු සිහිනයක් පමණකි.

" මං ඒ ගැන නුඹට කිව්වා නම් හෙම කවදාවත් නුඹ පිරමීඩ දැකබලා ගන්නේ නෑ. ඒවා හරිම ලස්සන දේවල්. හොඳයි නැද්ද ?" 

 

සන්තියාගෝ නම් සැරිසරන්නා නිමා වන්නේ අන්දාලුසියවේ එඩේරයෙකුව සිට තම සිහිනය පසුපස නොනැවතී හඹා ගිය කොලුවාට " තම ජිවිතය සැබැවින්ම, තම උරුමය ලුහුබැඳ යන්නවුන්ට ත්‍යාගශීලී වන්නේ යැයි" පසක් කර දෙමිනි. එය සන්තියාගෝට පමණක් නොව විශ්වයෙහිම සිටින්නවුන්ට පොදු වූ සංසිද්ධියකි. සිහිනයක් සැබෑවක් බවට පත් වන තෙක් එහි ගමනාන්තය කෙබඳුද යන්න අපට හඳුනාගත නොහැකිය. විටෙක එය ළඟමය. නැතිනම් බොහෝ දුරය. නැත්නම් එයට බොහෝ කාලයක් ගත වේ. ඒ කෙසේ වුවද සිහිනය සැබෑ වන්නේ අප එයට දෙන වටිනාකම මතය. සිහින මිල අධික වන්නේ අප සිහිනවලට වටිනාකමක් දෙන තරමටය. එය යථාර්ථයක් කිරීමට වෙහෙසෙන තරමටය. අනාගතය අයිති වන්නේද තම සිහිනවල සුන්දරත්වය විශ්වාස කරන්නවුන්ට පමණකි. සන්තියාගෝට සේම විශ්වයටම එය පොදු වූවකි.

Top