මතක කොළ දිගේ අදටත් මතක් වෙන මතකයක් (714)

post-title

අපේ ගෙවල් ළඟට වෙන්න ඉස්සර එලවලු කඩයක් තිබුණා ඒ කඩේ කරගෙන ගියේ නිමල් මාමා. ගෙදරට ඕන එළවළු මොනවාහරි ගන්න ඕන උනහම අපි ගන්නෙත් ඔය කඩෙන් සමහර වෙලාවට අම්මා අපිවත් කඩේට යවනවා එළවළු අරගෙන එන්න කියලා.

එහෙම කඩේට යන්න හරි වෙන කොහේ හරි යන්න කිව්ව ගමන් අපි යන්නෙ අපිට ඒ කාලේ තිබුණු වාහනෙන්.. ඒ වාහන වුනත් කාලෙන් කාලෙට වෙනස් වෙනවා.. එක්කො පරණ බයිසිකල් රිම් එකක් නැත්තම් පරණ සෙරෙප්පු කපලා හදාගත්ත කරත්තයක් වගෙ වාහන තමයි අපිට ඒ කාලෙ තිබුණේ..

ඔය වාහනේ සිහියෙන් කඩේට යන නිසා ගොඩක් වෙලාවට වෙන්නේ ආපහු හැරිලා එන්න. මොකද අම්මා ගේන්න කිව්වෙ මොනවද කියලා කඩේට ගියාට පස්සෙ අමතක වෙනවා ඉන්නෙ වෙන සිහියක නිසා. 

කඩේට ගියාට පස්සෙ කඩේ ළඟට වෙලා ටික වෙලාවක් ඔලුව කස කස කකුලෙන් පොළව හාරන ගමන් මතක් කරනවා මොනවද ගේන්න කිව්වෙ කියලා. සමහර වෙලාවට මතක් වෙනවා ඒත් කලාතුරකින් තමයි එහෙම මතක් වෙන්නෙත්.

අපි එහෙම මතක් කරකර ඉන්නකොට කඩේ නිමල් මාමා අහනවා අදත් උබට මතක නැද්ද ගේන්න කියපුවා කියලා... එහෙම වෙලාවට ඉතින් ආයෙත් ඇඹරි ඇඹරි මතක් කරනවා.. 

කඩේ මාමා අපිට අමතක වෙන එකට අමුතු වැඩක් කරන්න පුරුදු වෙලා හිටියේ. අපි කඩේ ඉස්සරහ එහෙම අමතක වෙලා ඉන්න වෙලාවට "මතක කොළ" කියලා බුලත් කොලෙන් කෑල්ලක් කඩලා දෙනවා. කාටවත් කියන්න එපා මේක කෙමක් කියලා..

අපි ඒ කාලේ ගොඩක් පුංචි නිසා එහෙම හිතුමතේ බුලත් කන්න දෙන්නෙ නැහැ ගෙවල් වලින්.. ඒ කාලේ කොහොමත් අපිට කියලා දීලා තිබුණේ බුලත් කන්නේ වැඩිහිටියෝ කියලා. හැබැයි වැඩිහිටියෝ බුලත් කන්නෙ ඇයි කියලා හේතුවක් කවදාවත් අපිට කවුරුත් කියලා තිබුණේ නැහැ..

කඩේ මාමා තමයි අපිට වැඩිහිටියෝ බුලත් කන්නේ ඇයි කියලා හේතුව කියලා දුන්නේ.. 

කඩේ මාමා කිවුව විදියට වැඩිහිටියෝ බුලත් කන්නේ අමතක වෙන එක අඩු කරන්නයි.. ඒකට මාමා උදාහරණත් අපිට කිව්වා ගමේ වයසක ම ආච්චිලා සීයාලාගේ නම් කියලා. මොකද ඒ ආච්චිලා සීයාලා පරණ කතන්දර පොඩි ළමයින්ට කියලා දෙන නිසා. ආච්චිලා සීයාලා බුලත් කන නිසයි එච්චර පරණ දේවල් වුනත් මතක තියෙන්නේ කියලා. 

ඒක ඇත්තක්ද බොරුවක්ද කියලා හාර අවුස්සන්න ඕන කමක් තිබුණේ නැහැ ඒ වයසත් එක්ක.

ඉතින් අරම අමතක වෙලා කඩේ ඉස්සරහ ඉන්නකොට කඩේ මාමා බුලත් කෑල්ලක් දීලා කියනවා ගෙදරට කියන්න එපා මේක කන ගමන් ගෙදර ගිහින් ආයෙත් අම්මගෙන් අහගෙන වරෙන් ගේන්න කිව්වෙ මොනවද කියලා.. අර බුලත් කෑල්ල හොදට දත් වලින් හපලා ගෙදරට යන්න කලින් ගිලිනවා..

කොහොමත් දෙවනි වතාවට ගෙදර ගිහින් අම්මගෙන් හොඳට බැනුම් අහලා ආයෙත් ගේන්න කිව්වෙ මොනවද කියලා අහගෙන එනකොට හොදට මතක තියෙනවා ගේන්න කිව්වෙ මොනවද කියලා. ආයෙත් කඩේට ආවහවම කඩේ මාමා අහනවා දැං මතකයි නේද කියලා.. අපිට ඉතින් ඒක හරි ලොකු දෙයක් එහෙම මතක තියෙන එක ගැන. 

ඒ කාලේ අපි විශ්වාස කරේ ම ඉතින් අර මතක කොළ කියලා දෙන බුලත් කෑල්ලේ තියෙන බලය ගැන විතරයි. කාලයත් එක්ක අපිත් වයසින් වැඩි වෙනකොට අපිට ඒ දේවල්වල ඇත්ත නැත්ත තේරුම් ගන්න පුළුවන් වුනා. 

හැබැයි දැං ඉඳහිටක බුලත් කෑල්ලක් කන වෙලාවට කඩේ මාමව මතක් වෙනවා. එහෙම මතක් වෙන වෙලාවට මං මාත් එක්ක ම හිතින් මුමුණවා බුලත් කොළ කියන්නෙ

"මතක කොළ" කියලා. 

මොකද මැරුණ නිමල් මාමව මතක් වෙන්න, බුලත් කොළේ මතකය හැර වෙන මතකයක් මට මාමා ගැන නැති නිසා.

Top