අසරණකම් දැනෙන්ට නොදී දරුවන් රැක ගනිමු (582)

post-title

අද උදේ වරුවෙ කාලඡ්චේද දෙක නැති නිසා මම හිටියෙ ගුරු විවේකාගාරයට වෙලා. උදෑසනම ආහාරය ගන්න නිසා පාසලට ඇවිත් උදේ ආහාරය ගැනීමට ගතවන කාලය මට ඉතිරි උනා.ඉතින් අනිත් ගුරුවරුන්ට ඉඩ දීලා මම ටික වෙලාවකින් පුස්තකාලය දිහාවට යන්න ලෑස්ති වෙනකොට ගුරු විවේකාගාරයට එපිටින් තියෙන ජල කරාමය ලඟ ඉඳගෙන ඉන්න සදුනිව මම දැක්කා. සදුනි උදේ කෑම වරුවට ජල කරාමය අසල හෝ පන්ති කාමරයෙන් එළියට වෙලා ඒ කාලය ගත කරන බව මම දින කීපයක්ම දැක්කා.

සදුනි කියන්නෙ 8 ශ්‍රේණියේ ඉගෙනගන්න සිසුවියක්. මම පොත් ටිකත් අරන් ගුරු විවේකාගාරයෙන් එළියට ආවා.අටේ පන්තියේ සදුනිගෙ මිතුරියන් කීප දෙනෙක් ලඟට ගිහින් සදුනි ගැන වර්තමාන තොරතුරු විමසුවා. ඒ දරුවන්ගෙන් දැනගත්ත කරුණු ප්‍රමාණවත් උනා සදුනිගේ හැසිරීම මට අවබෝධ කරගන්න.

" ටීචර් සදුනිගෙ අත්තම්මා මේ දවස්වල අසනීප වෙලා හොස්පිට්ල් එකේ ඉන්නෙ. සීයාත් ගෙදර අසනීපෙන් ඉන්න නිසා සදුනිලු ගෙදර වැඩ ටික කරන්නෙ.කෑම කන්න එන්න කිව්වට අහන්නෙ නෑ ටීචර්. සදුනි කෑම කාලා ඉන්නෙ කියලා එළියට යනවා "

සදුනිගේ අම්මා විදේශගතව ඉන්නෙ. පියා වෙනත් විවාහයක් කරගෙන ඔවුන්ගෙන් ඈත්වෙලා ඉන්නෙ. සදුනි පුංචි කාලේ ඉදන්ම හැදුනෙ සදුනිගෙ අම්මගෙ දෙමව්පියන් ලඟ. ඇය දක්ෂ සිසුවියක්.පවතින දුෂ්කරතා මත ඇයට මූණදෙන්න වෙන අසරණකම ගැන දැනුන මම කෙලින්ම ගියෙ විදුහල්පතිතුමා මුණගැහෙන්න.

මම මේ දවස්වල පාසලේ ව්‍යාපෘතියක් කරනවා. ගෘහ විද්‍යාගාරය ලඟ බිත්තියේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට අදාල සිතුවම් කීපයක් සිත්තම් කරනවා. සදුනිට හොඳට චිත්‍ර අඳින්න පුළුවන්.ඒ අවස්ථාව මත සහ ඇගේ පවුල් පරිසරයේ පවතින වර්තමාන ගැටලු ගැන විදුහල්පතිතුමා ද දැනුවත් කරමින් ඇයව පුළුවන් වෙලාවට මගේ ව්‍යාපෘතිය සඳහා සම්බන්ධ කරගැනීමට අවසර ලබාගැනීම සිදු කලා.

එදින සිට සදුනිව මගේ ව්‍යාපෘතිය හා සම්බන්ධ කරගනිමින් ඇයට සමීප වීමට මට හැකිවුණා. සදුනි ගොඩක් දක්ෂ දැරියක්.අහිංසක ගොඩක් ශක්තිමත් දැරියක්.දෙමව්පියන්ගේ සෙනෙහස ආදරය අහිමි උන ගැහැනු දරුවෙක් විදියට හඳුනාගන්නවට වඩා මම ඇයව නිතරම දකින්න උත්සාහ කලේ ශක්තිමත් දියණියක් විදියට.

වෙනදට උදෙන්ම ආහාර ගන්න මම උදෑසන ආහාරය පාසලේදි ගැනීමට තීරණය කලා. ඉතින් ව්‍යාපෘතිය නිසා සදුනිව ටිකක් උදෙන්ම පාසලට ගෙන්න ගන්න ගමන් ඇය සමඟ උදේ ආහාරය ගත්තා.ඇයට දිවා ආහාරයද ලබාදෙමින් මම නිතරම ඇයට බත් පාර්සලය සමඟ පුංචි ලිපියක් දුන්නා.යොවුන් වියේ ඉන්න දරුවෙක් විදියට අම්මගෙන් නොලැබෙන මඟපෙන්වීම මම ඇයට උපදෙසක් විදියට හැමදාමත් බත් එක සමඟ ලියා තැබුවා.

මට හැකි පමණ ඇයගේ අත්තම්මා රෝහල්ගතව සිටින කාලයේ ඇය ගැන සොයා බලා ඇයගේ නිවසට උදව් කලා. විදුහල්පතිතුමා සහ ගුරුවරු කීප දෙනෙක්ම ඒ සඳහා මට උදව් කලා.

 පාසලේ සීමාවාසි කාලය ගෙවන තුරාවටම මම ඒ දරුවාට හැකි පමණ මගේ මඟපෙන්වීම ලබාදුන්නා. ඉගෙනීමට වගේම පාසලේ බාහිර කටයුතු වලටත් හොඳින් සම්බන්ධ වූ ඇය දිනෙන් දින ශක්තිමත් දියණියක් විදියට ජීවිතයට මූණදෙන බවට ඇගේ හැසිරීම තුළින් අවබෝධ කරගත්තා.

 මනුදම් ගුණදම් එක්ක ජීවත්වෙන්න දරුවන්ට මඟපෙන්විය යුතුම කාලයයි මේ. . වචන එක්ක අකුරු මුමුණන ඔයාගෙ හුස්මට අපි ආදරෙයි ! 

වචන කියවන්න. පරිස්සමෙන් ම ගෙදරට වෙලා ඉන්න

Top