අකලංක වෙනුවෙන් තව දුරටත් තමන්ට කරන්න ඉතුරු වෙලා තියෙන්නෙ පිං අනුමෝදන් කරන එක විතරයි කියලා නවංජනා දැනගෙන හිටියා. හැම අවුරුද්දකම නොවැම්බර් මාසෙ 14 වෙනිදාට " මැද මහනුවර උප්පලවණ්නා මෙහෙණි අරණට " නවංජනා එන්නෙ ඒ වෙනුවෙන්.
අද ලංකාවෙ අංක එකේ ව්‍යාපාරිකාවක් වෙන නවංජනා මේ තත්වෙට එන්න හේතු උන මහා පොදු සාධකය උනේ අකලංක. එතරම් දුර එනකම් අතුපතර විහිදාගත්ත මහා වෲක්ශයක් වගෙ නංවංජනාට සෙවණ සැලසුව අකලංක තමන්ගෙ ජීවිත ගමන නිමා කරලා අදට හරියටම වසර හතරක්.
" අපි උපදින්නෙම මරණය තීන්දු කරගෙන දරුවෝ…….."
පෙර ආත්මවලදි අපි කරපු කුසල අකුසල් මත තමා මේ ආත්මෙ ආයුෂ තීරණය වෙන්නෙ. අකලංක හොද දරුවෙක්. ඒ දරුවා පෙර ආත්මෙක මොකක් හරි ලොකූ අකුසලයක් කරලා තියෙන්න ඇති.
ලොකුමෑණියන්ගෙ වචන වලින් නවංජනා ගෙ කල්පනා ලෝකෙ බිදවැටුනා…………
නවංජනාගෙ හොදම යෙහෙලිය වගේම අකලංකගෙ හොදම මිතුරා උන නිශාන්ගෙ බිරිද සංජානත්, නිශානුත් හැම අවුරුද්දකම වගේ මේ ගමනට එකතු උනත් මේ පාර නිශාන්ට එන්න බැරි වුනේ හදිසියේ යෙදුන ව්‍යාපාරික කටයුත්තකට කොළඹ යන්න සිද්ධ වුන නිසා.
පිංකමේ වැඩ ඉවර කරපු නවංජනාත් සංජනාත් ආපහු එන්න අවසර ගන්න ලොකු මෑණියන්ගෙ දෙපා වැන්දා….
අපට අවසරයි ලොකුමෑණියෝ……………..
" තෙරුවන් සරණයි " ප්‍රවේශමෙන් දරුවෝ……….
ලොකු මෑණියෝ කවදත් තමන්ට හිතවත් බව නවංජනා දන්නවා…….
වාහනෙන් ම ආරාමෙ ළගටම යන්න පුලුවන්කම තිබ්බත් නවංජනා ආස කරේ පහළින් වාහනේ නවත්තලා ඉතිරි දුර පයින් ඇවිදගෙන උඩට යන්න. කලබලකාරිත්වයෙන් මිදුන ලස්සන පරිසරයක පිහිටලා තිබ්බ ආරමය අවට තිබ්බෙ පුදුම සුන්දරත්වයක්. එ සුන්දරත්වය විදින්න තමන්ටත් වඩා අකලංක ආසකල බව නවංජනා දැනගෙන හිටියා.
සජා....
හම්ම්ම්.............ඇයි නවී......
පුරුද්දට වගේ ඇයි කියලා ඇහුවත්, නවංජනා කියන්න හදන්නෙ මොකක්ද කියලා සංජානා දැනගෙන හිටියා.
නවංජනාත් අකලංකත් මෙතන්ට ආව හැම දවසකම මේ ගල්තලාව උඩට වෙලා පහළින් පේන ලස්සන පරිසරය දිහා බලාගෙන ඉන්න පුරුදු වෙලා හිටපු බව සංජානා දැනගෙන හිටියා.
තාමත් ඒ පරණ පුරුද්ද අමතක කරන්න නවංජනාට පුලුවන් කමක් නැති බවත් සංජානා දැගෙන හිටියා.
සංජනා ගෙ අතින් අල්ලගනෙම ගල්තලාව උඩ වාඩි වුන නවංජනාට, අකලංක තමන්ගෙ ජීවිතේට ලං වුන ඒ දවස මතක් වුනා.
............................
ඉල්ලා අස්වීමේ ලිපිය ජාලිය බොස්ගෙ මේසෙ උඩ තියපු නවංජනා කාර්‍යාලයෙන් එලියට බැස්සෙ නිශ්විත අරමුණකින් නෙවෙයි.
නවංජනාට යන්න තැනක් ඉතුරු වෙලා තිබ්බෙ නෑ. තමන් වෙනුවෙන් කවුරුවත් බලා නොඉන්න බව නවංජනාට තහවුරුවෙලා තිබ්බෙ ඒ වෙනකොට. තමන්ගෙ පවුල ඇතුලෙම පිටස්තරයෙක් වීමේ හැගීම නවංජනාව රිදවමින් තිබ්බා. ඒක මහා දරුණු වේදනාවක්. තවදුරටත් ඒ වේදනාව දරාගැනීමේ ශක්තියක් තමන් තුල ඉතිරි වෙලා නෑ කියලා නවංජනා දැනගෙන හිටියා.
එදා ඒ පාලම උඩ හිටගෙන හිටියෙ ඇයි කියලා නවංජනා අදටත් කල්පනා කරනවා.
යන්න ගිහින් නගින්න කාර් එකට………. ඒ අකලංක,
ඒක ඉල්ලීමක්ද……….. අණකිරීමක්ද……….. නවංජනාට තේරුනේ නෑ……….
ඒත් ඒ වෙලාවෙ අකලංකගෙ වචනෙට අකීකරු වෙන්න ශක්තියක් නවංජනාට තිබ්බෙ නෑ. කාර් එකේ ඉස්සරහ දොර ඇරලා හීනෙන් වගේ වාහනේට නැංග බව විතරක් නවංජනා ට මතකයි. දෙන්නම ආවෙ ගියේ එකම පාරෙ නිසා නවංජනාට අකලංකගෙ කාර් එකේ යන එන එකේ විශේෂ අමුත්තක් තිබ්බෙ නැහැ…….
දෙන්නගෙන් කවුරුවත් නවංජනා ගෙ ගේ ළග කාර් එක නවත්තනකම් වචනයක් වත් කතා කරේ නැහැ.
" මේ Green Value Enterprise එකේ ප්‍රොජෙක්ට් රිපෝට් එක "
ප්‍රසන්ටේශන් එක හෙට 11 ට. මං 8 වෙනකොට ඔයාව පික් කරනවා. ලෑස්ති වෙලා ඉන්න…. අපිට පැය දෙකක් ඇති නුවරඑලියට යන්න.
අකලංක කිව්වෙ නවංජනාට වචනයක් වත් කියන්න ඉඩ නොතියා.
ඒ ගමන තමන්ගෙ ජීවිතේ සම්පූර්ණයෙන් ම වෙනස් කරයි කියලා නවංජනා ට මොහොතකටවත් හිතුනෙ නෑ.
ආපහු එන ගමනෙදි හිතේ හිරකරගෙන හිටපු දුක, වේදනාව වචන කරලා කදුලු වල දියකරලා පිටකරලා දාන්න නවංජනාට පුලුවන් වුනා, වචනයක්වත් නොකිව්ව අකලංක ඒ හැමදේම සාවධානව අහගෙන හිටියා. අහගෙන හිටියා විතරක් නෙවෙයි, නවංජනාට අහිමි වුණ ගොඩක් දේවල් නැවත නවංජනාගෙ ජීවිතේට ලං කරලා දෙන්න අකලංකට පුලුවන් උනා.
ඒ වෙනුවෙන් නවංජනාට අකලංකට ආපහු දෙන්න පුලුවන් උනේ ආදරේ විතරයි. නවංජනා අකලංකට ආදරේ කරා, පිස්සියෙක් වගේ ආදරේ කරා, අකලංක ව කවදාවත් තමන්ගෙ කරගන්න බැරි බව දැන දැනම මහමෙරක් තරමට ආදරේ කරා.
ඒක මහා පරම පිවිතුරු ආදරයක්.
............................
දුරකථන ඇමතුම් කීපයක් ම ගත්තත්, ඒවට පිළිතුරු නොදුන්න නිසා නිදර්ශනා නවංජනාට කෙටි පණිවිඩයක් යොමු කළා.
නිදර්ශනා විදුමිණි සේනාරත්න……
අකලංක ප්‍රභාෂ්වර සේනාරත්න ගෙ එක ම දියණිය. තමන්ගෙ පණටත් වඩා අකලංක ආදරය කරපු එයාගෙ පුංචි කෙල්ල. අකලංකත් නවංජනාත් සම හිමිකාරත්වය දරපු N & N සමූහ ව්‍යාපාරයේ වර්තමාන හිමිකාරිණිය. අකලංක ගෙ මරණයෙන් පස්සෙ N & N සමූහ ව්‍යාපාරයේ අකලංක සතුව තිබුණු කොටස් වල ට හිමිකම් කිව්වෙ නිදර්ශනා. ඒ වෙලාවෙ තමන් සතු කොටස් වල අයිතියත් නිදර්ශනා ටම පවරන්න නවංජනා ගත්ත තීරණය නිසා ඇයට N & N සමූහ ව්‍යාපාරයේ සම්පූර්ණ හිමිකාරිත්වය හිමිවුනා.
නිදර්ශනා ගෙ කෙටි පණිවිඩය දැක්ක නවංජනා ගෙදර යන ගමන් ඇයවත් මුණ ගැහිලාම යන්න තීරණය කරා. නිදර්ශනා නොදැන හිටියට නවංජනාත් ඇයට තමන්ගෙ කුසින් උපන්න දරුවෙකුට වගේ ආදරය කළා.
අකලංකත් නිදර්ශනාත් අතර තිබ්බෙ තාත්තෙක් දුවක් අතර තියෙන බැදීමටත් වඩා එහා ගිය මහා ශක්තිමත් බැදීමක් බව නවංජනා හොදටම දැනගෙන හිටියා. අකලංකට කොයි තරම් ආදරේ කරත් තුන්වෙනියෙක් වෙලා ඇවිත් ඒ බැදීම දුරස් කරලා දාන්න නවංජනා ට කිසිම දවසක ඕන වුනේ නැහැ.
පහළ වාහන අංගනයෙ වාහනය නවත්තපු නවංජනා, සිව්වන මහලෙ තිබ්බ නිදර්ශනාගෙ කාර්‍යාලයට යන්න විදුලි සෝපානය වෙනුවට තරප්පු පෙළ තෝරා ගත්තා. මහලින් මහල උඩට නගින නවංජනා ට අකලංකත් එක්ක එකතු මේ ව්‍යාපාරය අඩියෙන් අඩිය ගොඩනගපු හැටි මතක් වුනා.
ගැඹුරු කතාවක නියැලිලා හිටපු නිදර්ශනාටවත් නිශාන්ටවත් නංවංජනා ගෙ පැමිණීම දැනුනෙ නෑ.
හදිසියේ යෙදුන ව්‍යාපාරික කටයුත්තකට කොළඹ යන බව පවසමින් උදේ ගමනටත් නොපැමිණි නිශාන් ව, මෙතනදි දකින්න ලැබීම ගැන නංවංජනාට ඇතිවුනේ තරමක විමතියක්.
නිශාන් ට තම ප්‍රාණසම මිත්‍රයාගෙ අවසන් ඉල්ලීම ඉටු කරන්න ට හැකිවීම පිළිබද යම් අස්වැසිල්ලක් සිතට දැනෙමින් තිබුණා වුනත්, නිදර්ශනා ට නම් තදින්ම දැනෙමින් තිබුණේ කල්පනා කරමින් නින්දත් නොනින්දත් අතර ගතකරපු රාත්‍රීන් කීපයක වෙහෙසයි.
නවංජනා ගේත් තමන්ගේත් කතාව ලියාතැබිය යුතුයැයි අකලංක ගත් තීරණය, අවසානයේ මේ තරම් සංකීර්ණ ප්‍රශ්නයක් විලසින් තමන්ට හැගේයැයි නිශාන් කිසිවිටෙකත් ඒ මොහොතේ සිතුවේ නැත.
සිව්වසරක්ම තමන් අත සුරැකිව තිබූ ඒ අත්පිටපතේ අන්තර්ගතය ට නිදර්ශනා කෙලෙසක ප්‍රතිචාර දක්වාදැයි නිශාන්ට පැහැදිලි අදහසක් නොතිබුනේ අකලංකත් නිදර්ශනාත් අතර තිබූ බැදීමේ විසල් බව හොදින්ම දැන සිටි බැවිනි. අවසන කිසිවක් නොපවසා ම අත්පිටපත පමණක් ඇය අතට පත්කරන්න ට නිශාන් තීරණය කළේ එම තීරණය සංජානාත් අනුමත කළ නිසාය.
නිශාන් අතින් තමන්ට ලැබුණු අත්පිටපත කියවාගෙන යද්දී, එය හුදෙක් ප්‍රබන්ධයක් පමණක් ම නොවේයැයි තමන්ට දිගින් දිගටම හැගුනේ ඇයි දැයි නිදර්ශනාට නොවැටහුණි. දිගින් දිගටම දැනෙන ඒ හැගීම් හමුවේ නිශාන් ට ගත් දුරකතන ඇමතුමත්, ඒ ඇමතුමට නිශාන්ගෙන් ලැබුණු පිළිතුරුත් නිසා නිදර්ශනා පත්වූයේ මහා ව්‍යාකූලත්වයකටයි. වචනයෙන් කිව නොහැකි තරමේ සංකීර්ණ හැගීම් සමුදායක් අතර කිමිදෙමින් නිදවර්ජිත දින කිහිපයක් ගත කළ නවංජනා, අවසන පසුදින උදෑසනින්ම තමා හමුවන ඉල්ලමින් ලෙස නිශාන්ට කෙටි පණිවිඩයක් යොමු කළාය.
නිදර්ශනා ගේ කෙටි පණිවිඩය ලද නිශාන්, පසුදින උදෑසනින්ම ඇයව හමුවිමට යාමට තීරණය කළේ මෙවර ආරාමයට යන ගමන සදහා තමන්ට සහභාගි වීමට නොහැකි වන බව නවංජනාට දන්වන මෙන් සංජානාගෙන් ඉල්ලමින්.
නිශාන්.............. ඔයා මෙතන, ඇයි කොළඹ ගියේ නැද්ද ????????
නවංජනා ගෙ හඩට නිශානුත් නිදර්ශනාත් දෙදෙනාම එකවර හැරී ඇය දෙස බැලුවා.
ආ නවී, එන්න එන්න..... ඉදගන්න............. තමන් ඉදගෙන හිටපු පුටුවෙන් එහා පුටුවට මාරු වෙන ගමන් නිශාන් කිව්වා.
කෝ මගෙ එකී…..
නිශාන් නවංජනාගෙන් පෙරලා ඇහුවෙ, නවංජනා අහපු ප්‍රශ්නෙ නොඇහුණ ගාණට.
මම සජා ව ගෙදරින් ඩ්‍රොප් කරගෙන ආවෙ, බය වෙන්න දෙයක් නෑ..........
එහෙම කියමින් නවංජනා නිශාන් අසලින් වාඩි වුනා....
ඉතින්......... ඉතින්........... නවංජනා ඇහුවෙ නිදර්ශනාත් නිශානුත් දෙදෙනා දිහාම මරුවෙන් මාරුවට බලන ගමන්.
ආන්ටි, සුභ ආරංචියක්....
අර පබ්ලිකේශන් කම්පැනි එකේ අයිතිය අපිට හම්බුණා. අනිත් කම්පැනි දෙකම අන්තිම වෙලාවෙ අයින් වුනා.
නිදර්ශනා කිව්වා....
ඒක නම් සුභම සුභ ආරංචියක් තමා, මගේ උණුසුම් සුභ පැතුම් අපේ අලුත් එම්.ඩී ට.....
නවංජනා සුභපැතුවෙ හදවතින්ම යි, නිශානුත් නවංජනත් එක්කම ඒ සුභ පැතුමට එක් වුනා.
මං හිතාගෙන ඉන්නෙ, ලබන අවුරුද්දෙ පළවෙනිදම ඒකෙ වැඩ පටන් ගන්න, අපිට පබ්ලිකේශන් එකකුත් දැනටම ලැබිලයි තියෙන්නෙ.
නිදර්ශනා කිව්වෙ, නවංජනාගෙත් නිශාන්ගෙත් සුභ පැතුම් පිළිගන්න ගමන්.
ෂා, කෙල්ල නියමයි නෙ, තාත්තා ටත් වඩා දක්ශයි වගේ නෙ... නවංජනා කිව්වෙ සිනාවෙමින්,
හැබැයි ඉතින් පබ්ලිකේෂන් එක හොයා ගත්ත එකේ ක්‍රෙඩිට් එක නම් යන්න ඕන අංකල් නිශාන් ට,
නිදර්ශනා කිව්වෙ ලස්සන හිනාවකුත් එක්ක.
ඒ හිනාව නවංජනාට මතක් කරේ අකලංකව, නවංජනා ආස කරපු අකලංකගෙ ඒ හිනාව කිසි වෙනසක් නැතුව නිදර්ශනාටත් ඒ විදිහටම උරුම වෙලා තිබ්බ. නිදර්ශනා පෙනුමෙන් අකලංක වගේ නොවුනත් හැසිරීම සහ ගතිගුණ අතින් හැම අතින්ම සමාන වුනේ අකලංකට.
ඕ... ඒකයි එහෙනම් නිශාන් අද උදේ නාවෙ, කියමින්ම නිදර්ශනා දිහා බලපු නවංජනා,
කෝ බලමු නිදර්ශනා පොත, කවුද ලියලා තියෙන්නෙ, කියලා ඇහුවා.
අලුත් කෙනක් ආන්ටි, ආ මෙන්න ආන්ටිම බලන්න කො, කියමින් නිදර්ශනා දුන්න පොත අතට ගත්ත නවංජනා ඒ දිහාට ඇස් යොමු කරා.
නවංජනා............
අකලංක ප්‍රභාෂ්වර සේනාරත්න.................
නවංජනාට දැනුනෙ මුලු ලෝකෙම තමන් වටේ කැරකෙනවා වගේ, අතේ ඇගිලි වෙව්ලන්න පටන් ගත්තා. ඇස් කෙවණි වල එකතු වුන කදුළු සට සට ගාලා බිමට කඩාගෙන වැටෙන එක නවත්තන්න නවංජනාට පුලුවන් කමක් තිබ්බෙ නෑ. ඒ කදුලු වැටිලා අකලංකගෙ අකුරු බොදවෙලා යයි කියලා ඇති වුන බයට නවංජනා පොත තමන්ගෙන් ඈතට කළා.
මුලු ශරීරයේම තිබ්බ ශක්තිය අත්දෙකට එකතු කරත් ඒ පොත දිග අරින්න නවංජනාට පුලුවන් වුනේ නැහැ.
නවී........... මට සමාවෙන්න, අකලංක මගෙන් ඉල්ලපු අන්තිම ඉල්ලීම මේ, මේක කරන්න මං මෙච්චර කල් ගත්තට මට සමාවෙන්න නවී............
නිශාන් ගෙ කටහඩ දුර ඈතකින් ඇහෙන හඩක් වගේ නවංජනාට දැනුනෙ.....
මට...... මට......... ස... සමාවෙන්න............ අකලංක ත් මාත් අපි දෙන්නම වෙනුවෙන් මට සමාවෙන්න දුවේ.............
නොනවතින කදුලු මැද්දෙන් බොහොම අමාරුවෙන් චචන පිටකර ගන්න නවංජනා ට පුලුවන්කම ලැබුණා.
............................
ආන්ටි, මගෙන් සමාව ඉල්ලන්න ඕන නෑ, ඔයා අපට කිසි වැරැද්දක් කරේ නෑ............
ආදරය කියන්නෙ නිකම් නිකම් අකුරු හතරක් නෙවෙයි, කෙනෙක් තුල අනෙකා වෙනුවෙන් තියෙන කැපවීම, ඒ දෙන්නා අතර ඇතිවන අවබෝධය, බැදීම, සුරක්ෂිතභාවය, එකිනෙකා වෙනුවෙන් දේවල් දරාගැනීම, ඉවසීම වගේ මහා ගොඩක් කාරණා වල එකතුවක්, එහෙම ආදරයක් මනින්න සම්මත අසම්මත කියලා මිනුම් දඩු හදාගන්න එක වැරදියි.
මං දැන් හොදටම දන්නවා ආන්ටි තාත්තිට කොච්චර ආදරේ කරාද කියලා, ඒත් කිසිම වෙලාවක තාත්තිව මගෙන් වත් අම්මිගෙන් වත් ඈත් කරලා උදුරලා අරගෙන අයිතිකරගන්න ඕන උනේ නෑ. ඒ වෙනුවට ඉඩක් ලැබුණ හැම වෙලාවෙම උත්සාහ කරේ අපිව තව තවත් ලංකරන්න. ඒක මහා පරිත්‍යාගශීලී ආදරයක්. ආදරේදි ආත්මාර්ථකාමී වෙන්න හැමෝටම පුලුවන් උනාට පරිත්‍යාගශීලී වෙන්න හැමෝටම බෑ. ඒකට ලස්සන හදවතක් තියෙන්න ඕන. ආදරේ කියන්නෙ අයිතිකරගැනීම ම නෙමෙයි, ආන්ටි කියලා දුන්න ලස්සනම පාඩම ඒක.
ඔය දෙන්නව මේ තරම් දුර ගෙනාවත් ඔය දෙන්න අතර තිබ්බ ඒ මහා ශක්තිමත් බැදීම.......... ඔයාට ගොඩක් ස්තූතියි ආන්ටි, තාත්ති වෙනුවෙන් කරපු හැමදේටම.....
නිදර්ශනා කියාගෙන කියාගෙන ගියේ ඇස්වලින් වැටෙන කදුලු නවත්තගන්න අසාර්ථක වෑයමක යෙදෙමින්.
නිදර්ශනා ගෙ ඒ කතා කළේ හදවතින්ම බව නවංජනා ට තේරුණා.
ඇයට මහා සැනසීමක් දැනුනා. ඕනම ප්‍රශ්නෙකට විසදුම හෙව්ව අකලංක නිරුත්තර වුන එකම ප්‍රශ්නෙ වුනේ, නිදර්ශනා මේ දේවල් දැනගත්ත දවසකදි කොහොම හැසිරෙයිද කියන එක.
නවී......... අපි මේක පබ්ලිශ් කරමු, මේ කතාව අපි ලෝකෙටම කියමු, මේ වගේ ආදර කතා ත් ලෝකෙ තියන බව මිනිස්සු දැනගන්න ඕන, අකලංක වෙනුවෙන් මට ඒකට ඔයාගෙ අවසරය ඕන......
නිශාන් තමන්ගෙ හඩ අවදි කළා.
අකලංක ප්‍රභාෂ්වර සේනාරත්න විසින් රචිත,
නවංජනා....
කුලුදුල් කෘතිය එළිදැක්වීමේ උත්සවය
2021 මාර්තු මස 20 වන දින පෙ.ව 10.00 ට යෙදෙන
සුභ මොහොතින්
මහනුවර නගරසභා පුස්තකාල ශාලාවේදී...........
ඒ මොහොත හා එක්වන්න ට
නවංජනා සත්සරණි ඒකනායක
මැතිතුමාට/මැතිණියට කෙරෙන
ගෞරවණීය ආරාධනයයි......
තවත් වතාවක් ආරාධනාපත්‍රය අතට අරන් කියවපු නවංජනා, බොහොම පරිස්සමට ඒක ආපහු මේසෙ උඩින් තිබ්බා. අවශ්‍යම දේවල් විතරක් අසුරපු ගමන් මල්ල අතට ගත්ත නවංජනා බොහොම සීරුවට කල්පනා කරලා යන්න තෝරගත්ත මාර්ගය දිගේ යන ගමන යන්න පිටත් වුණා.
අමතක කරන්න බැරි අකලංක ගැන මතකයත් ඊළග ආත්මභවයකදි හරි අකලංක තමන්ගෙ ම කරගැනීමේ ආර්ථමාර්තකාමී සිතිවිල්ල ත් ඒ ගමන දුෂ්කර කරන බව නවංජනා හොදටම දැනගෙන හිටියත්, ඒ සිතුවිලි අතහැරලා දාන්න බැරි මහා ලෝභකමකින් නවංජනා ගෙ හිත පිරිලා තිබ්බා.
නිමි............